සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සාහිත්‍ය අනුකමිටුවේ සේවය කරන කාලේ එහි ලේකම් අමා (AMA) බණ්ඩාරත්, මමත් සංස්කෘතික අධ්‍යක්ෂවරියගේ නියෝගයක් මත කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහත්තයා හම්බවෙන්න මරදානේ ගොඩගේ පොත්මැඳුරට ගියෙමු. එහි ගොඩගේ මහත්තයා උන්නු කාමරයට ගිය අපට දැක ගන්න ලැබුණේ ඔහු ඉදිරියේ අල්මාරි කීපයක් පුරවා තිබුණු රාජ්‍ය සාහිත්‍ය සම්මානයි. ඒ 1986 සිට වසරක් පාසා වසරේ වැඩිම පොත් පළ කළ ප්‍රකාශකයා ලෙස ඔහුට පිරි නමන ලද සම්මානයි. එතැන් සිට වසර 40ක් තිස්සේ ඔහු ප්‍රකාශයට පත් කළ පොත් වෙනුවෙන් ඔහු ලද සම්මානයි. ඒ පොත් අතරට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම කෘතීන් ඇතුළත් විය. අනිත් ප්‍රකාශකයන් වැඩි අළෙවියක් ඇති නවකතා, කෙටිකතා, පරිවර්තන පොත් විතරක් පළ කළ අතර, ගොඩගේ මහතා හැම විෂයකටම අයත් පොත් හැම එකක් ම පළ කළේය. ඒ අතින් ඔහු භාෂාවලට හා සාහිත්‍යයට කළ මෙහෙය අමිල එකකි. මගේ හැඟීමේ හැටියට මෙ‍ෙතක් ආණ්ඩු කළ මෙහෙයට වැඩි සාහිත්‍ය මෙහෙයක් ගොඩගේ මහතා අතින් සිදුවී තිබේ. රාජ්‍ය සාහිත්‍ය උත්සවයට සමගාමීව ඔහු ද සාහිත්‍ය උත්සවයක් පවත්වා වසරක් පාසා භාෂාත්‍රයෙන් ම සම්මාන පිදුවේය. ඔහු එතැනින් නැවතුණේ නැත. අංශ කීපයකින් අත් පිටපත් තරඟයක් ද වාර්ෂිකව පවත්වා තෑගි දුන්නේය. 2003 දී ඔහු දේශබන්ධු ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය. 


දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතා.

අපේ කාර්යය ඉටුකර දුන් ඔහු ලියූ ‘කුසල් අකුසල්‘ කියන පොතේ පිටපත් කීපයක් අපට දුන්නේය. ‘මේ මම ලියපු පොතක්. ගෙනිහින් කියවන්න. තවත් අයටත් දෙන්න.‘ යි කීවේය. 

“ගොඩගේ මහත්තයා කොහොමත් කරන්නේ කුසල් රැස් කරන රස්සාවක් නෙ. අර්ය අෂ්ඨාංගික මාර්ගයට අනුව වර්තමාන ලෝකයේ තියෙන යහපත් ම රස්සාව තමයි ඔය කරන්නෙ.“ මම කීවෙමි. ඔහුගේ මුහුණ පාට වැටුණේය. 

“පොත් ලියන එකත් යහපත් රස්සාවක්. පොත් ලියන අයව දිරිමත් කිරීමත්, ජීවත් කරවීමත්, එක වගේ ම පින්කම්.“ මම කීවෙමි. 

“මම රස්සාවල් හයක් කරලා අන්තිමට තමයි, මේ රස්සාව තෝරා ගත්තෙ.“ ඔහු පිළිතුරු වශයෙන් කී විට මට ඊට කලෙකට පෙර දිරිය මිනිසුන් ගැන ලියූ ලිපි පෙළකට ඔහු හා කළ සම්මුඛ සාකච්ඡාව මගේ මතකයට කැඟුණි. 

ඔහුගේ උපන් ගම මාතර පාලටුවය. 1936 මැයි 18 වැනිදා උපන්නේ දරුවන් නව දෙනකුගෙන් යුත් පවුලක හය වැනි දරුවා ලෙසයි. ඔහුගේ පියා ජේමිස් ගොඩගේය. ඔහු අඳ ගොවියෙකි. ඔහුගේ අඳ පංගුව පවුලේ එකොළොස් දෙනකුගේ කුසගින්න නිවා ගන්නට තරම් ප්‍රමාණවත් නොවීය. නිතර ඇති වූ ගංවතුරෙන් පාළුවුණු කුඹුරු මහන්සි වී කරන ගොවිතැනද උදුරා ගත්තේය. අගහිඟකම් මකාගන්නට බැරි වූ තැන පුංචි සිරිසුමන අම්මාට සවියක් වනු පිණිස පාලටුව සිට මාතර තෙක් පයින් යමින් මුගුණුවැන්න, ගොටු කොළ ආදී කීර මිටි විකුණුවේය. විටෙක අම්මා බැඳ දෙන තණ කොළ මිටි ගෙන ගොස් මුදල් කර අම්මාට ගෙනවුත් දුන්නේය. එසේ ලැබෙන සොච්චමකින් ද පලක් නැති බව තේරුම් ගත් ඔහු අම්මාටත් තාත්තාටත් තවදුරටත් බරක් නොවෙමියි සිතා පාසල් ජීවිතයට ආයුබෝන් කීය. 

ඒ වන විට ඔහු පාලටුව ගුණරතන විදුහලේ හත් වැනි පන්තියේ ඉගෙන ගනිමින් සිටියේ ය. ඔහු ඉගෙනීමට ඔහු දක්ෂයකු විය. ඔහු වඩා දක්ෂ වූයේ මනෝමයෙන් ගණිත ගැටලු විසඳීමට ය. කෙතරම් දක්ෂ වුනත් ඉහළට ඉගෙනීම හීනයක් බව ඔහුට වැටහුණේය. තාත්තාත්, අම්මාත් එකොළොස් දෙනකුගෙන් යුත් පවුල නඩත්තු කිරීමට ගන්නා දැඩි වෙහෙස ඔහුට තවදුරටත් දරා ගැනීමට නොහැකි විය. ඔහු 15 හැවිරිදි වියේ දී ම රැකියාවක් සොයා ගෙදරින් පිට විය. තාත්තාට බරක් නොවෙමි. කෙසේ හෝ රැකියාවක් කර පවුලට උදවු කරමි. ඔහුගේ අදිටන විය. 

ඔහුට කළුතර කටුකුරුන්දේ තේ කඩයක රැකියාවක් ලැබුණි. ඒ අත් උදවුකරුවකු ලෙසයි. එහිදී වේටර්කම ඇතුළු එහි හැම වැඩක් ම කරන්නට ඔහුට සිදුවිය. කෑම හා ඉඳුම් හිටුම් නොමිලේ ලැබිණ. තේ කඩයේ ම නවාතැන් ගත් නිසා රාත්‍රියේ නිදා ගන්නට ලැබුණු පැය කීපය හැරණු විට අනෙක් හැම විට ම හැම වැඩක්ම කරන්නට ඔහුට සිදු විය. මහමෙරක් තරම් වැඩ කරන්නට ලැබුණද ඔහුට ලැබුණේ සොච්චම් පඩියකි. හෝටලේ දී නොමිලේ ලැබුණු කෑම කන හැම විට ම ඔහු ගෙදර අය මතක් විය. පඩි ගත් ගමන් කළේ ගෙදර යාමය. ගෙදර අනික් අය සමග දුක බෙදා ගෙන ජීවත් වන්නට සිතාගෙන ගෙදර නතර වුනත් ටික දවසකින් ඔහුට යළිත් රැකියාවකට යන්නට සිත් විය. 

එවර ගෙදරින් පිටව ගිය ඔහුට ඊළඟ රැකියාව ලැබුණේ සුරතල් මසුන් හා කුරුල්ලන් ඇති කර විකුණන තැනකය. සතුන් සමග වැඩ කිරිම සතුට දනවන්නක් වුව ද එය තමාගේ ඉදිරි ගමනට මඟ පාදන එකක් නොවන බව තේරුම් ගත් ඔහු එතැනින් අස්ව රත්මලානේ කිරි පට්ටියක වැඩට ගියේය. එතැනින් අස්ව දෙහිවල කිරි පට්ටියක වැඩ කළේය. පඩිය යහපත් වුවද ඔහු ඒ රැකියාව තම හැකියාවට සුදුසු එක නොවන තේරුම් ගත්තේය. ඉන් ඉවත් ව යළිත් රැකියාවක් සෙවූ ඔහුට කළුබෝවිල දර මඬුවක රැකියාවක් ලැබුණේය. අත් කරත්තයක දමා ගෙන ගෙන් ගෙට ගොස් දර විකිණීම ඔහුට බාර රාජකාරිය විය. ඒ රැකියාව ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය. 

දර විකුණමින් ගිය ඔහුට එතෙක් කිසිදාක දැක නොතිබුණු ඔහුගේ බාප්පා හමු විය. බාප්පා දුටුමතින් ඇති වූ හැඟීමක් අනුව ඔහුගෙන් නම ගම විස්තර ඇසුවේය. පියා ගැන තොරතුරු ඇසූ පසු බාප්පා ඔහු හඳුනා ගෙන, ‘සිරිසුමන මා එක්ක යන්, අපේ ගෙදර. මං උඹට හොඳ රස්සාවක් හොයලා දෙන්නම්‘ කියා පිළියන්දල බෝකුන්දර පිහිටි ඔහුගේ නිවසට කැටුව ගියේය. බාප්පා කළේ පොල් වෙළඳාමය. රැකියාවක් සොයා දෙනතුරු ඔහු බාප්පා සමග පොල් වෙළඳාමේ ගියේය. 

බාප්පා ඔහුට විජේසේකර නම් මුද්‍රණාල හිමියකු හඳුන්වා දුන්නේය. ඒ අනුව ඔහු සිරිසුමනට එවකට අච්චු අකුරු වාත්තු කළ එන්. ජේ. කුරේ සමාගමේ පුහුණු වන්නකු ලෙස රැකියාවක් ලබා දුන්නේය. එතැන් සිට පිලියන්දල බාප්පාගේ නිවසේ සිටි රැකියාවට ගිය ඔහු නිවාඩු දිනවල අහල පහල ළමයින්ට නොමිලේ ගණන් කියා දුන්නේය. 

එතැන පුහුණුවෙන් පසු බාප්පා ඔහු ඩී. පී. දොඩංගොඩ පොත් ප්‍රකාශකයන් ළඟ රැකියාවක් අරන් දුන්නේය. ඔහුට පොත් බඳින්නට ඉගෙන ගන්නට ලැබුණේ එහි දීය. එකල දැන් වාගේ විචිත්‍ර නිමාවක් සහිත පොත් කවර ඇතුව පොත් අළෙවි කරන පුරුද්දක් තිබුණේ නැත. මෙවැනි සරල පොත පත බහුලව තිබුණේ ද නැත. තිබුණේ පිරිත් පොත, ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්ම රත්නාකරය ආදී වශයෙන් වූ සම්භාව්‍ය පොතපතය. ඒ නොකැපූ පොත් මුද්‍රණාලයෙන් හෝ ප්‍රකාශකයන්ගෙන් හෝ පොත්හලෙන් මිල දී ගෙන බඳින්න දීම සිරිත විය. පොත් බඳින්නන් විසින් ඒ පොත ඇතුළතින් බැඳ, රෙස්කින් රෙද්දක් යොදා ඝන කවරයක් ඇතිව ජීවිත කාලයක් පවතින ආකාරයට සකසා, පොතේ නම හා හිමිකරුගේ නම රන් අකුරින් හෝ රිදී අකුරින් හෝ මුද්‍රණය කර දීම සිදුවේ. තරුණ සිරිසුමන මේ හැම දෙයක් ම එහි දී උගත්තේ ය. එය ඉතා නිවැරදිව, පිරිසිදුව, අලංකාරයෙන් කර දීමට ඔහු සමත් විය. ඒ රැකියාවට ඔහු වඩාත් ප්‍රිිය කළේ ඒ කාර්යය තුළ පොත කියවන්නත් අවස්ථා ලැබුණු බැවිණි. හාමුපුතුන්ගෙන් සිදුවූ අසාධාරණයක් නිසා දොඩංගොඩ සමාගමේ සේවකයෝ වර්ජනයක් දියත් කළහ. එයින් ඔහුටත් පොත් බැඳීමේ රැකියාව අහිමි විය. ඉගෙන ගත් දෙයින් ප්‍රයෝජනය ගන්නට කල්පනා කළ ඔහු මිතුරකු සමග මාළිගාකන්දේ පොත් බැඳීම පටන් ගත්තේය. ඒත් කිසියම් හේතුවක් නිසා එය නතර කර දමන්නට සිදු විය. 

1957 දී පමණ දෙමටගොඩ තමාගේම තනි ව්‍යාපාරයක් ලෙස යළිත් පොත් බැඳීම පටන් ගත්තේය. මුලින් බැන්ඳේ විද්‍යෝදය පිරිවෙණේ භික්ෂූන් වහන්සේලාගේ පොත්ය. එය ඔහුට හොඳ ආදායම් මාර්ගයක් විය. ඔහුගේ මාසික ආදායම රුපියල් 800 ඉක්ම වීය. ඔහු සේවකයන් හතර දෙනෙක් ද වැඩට ගත්තේය. පොත් බැඳීමට අමතරව සියයට දහයේ වට්ටමක් දෙමින් වෙනත් පොත් ද ඒ භික්ෂූන් වහන්සේලාට ගෙන ගොස් දුන්නේය. මේ කාලයේ දී ඔහුට බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මාහිමියන්ගේ ඇසුර ලැබිණ. ඔහුට නක්ෂත්‍රය හා සංස්කෘත භාෂාව ඉගෙනීමට ලැබුණේ උන්වහන්සේ ගෙනි. උන්වහන්සේ ඔහුට පොත් බැඳීමට අවශ්‍ය පීඩක මැෂිමක් පරිත්‍යාග කළහ. එය ඔහුගේ ව්‍යාපාරයට ලොකු රුකුලක් විය. 

ඒ දිනවලම ඔහු විද්‍යෝදය හා විද්‍යාලංකාර (වර්මානයේ ජ‘පුර හා කැලණිය) විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට සියයට දහයේ වට්ටමට පොත් ගෙන ගොස් අලෙවි කළේය. ඊට අමතරව ජ‘පුර විශ්ව විද්‍යාල පුස්තකාලයේ පොත් බැඳීම ද කළේය. අලුත් පොත් මෙන්ම කැඩුණු බිඳුණු පොත් ද ඔහුට බැඳීම සඳහා දෙනු ලැබීය. ඔහුට තරුණ මහින්ද රාජපක්ෂ මහතා හඳුනා ගන්නට ලැබුණේ එහිදීය. ඔහුට බඳින්න ලැබුණු පොත් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවෙත්ම, පොත් බැඳ පීඩනයේ තබන්නට සම්පිඩක මැෂින් තවත් අවශ්‍ය විය. මහින්ද රාජපක්ෂ මහතා ද සිරිසුමනට මැෂිමක් පරිත්‍යාග කළේය. 

‘ඔහෙ හොඳට පොත් බඳිනවා. පොත් ප්‍රකාශනයත් පටන් ගන්න. ඔහෙට හොඳ අනාගතයක් තියෙනවා.‘ පුස්තකාලයට බැඳපු පොත් ගිහින් දෙන්න ගිය දවසක මහින්ද රාජපක්ෂ මහතා ඔහුට කීවේය. එසේ කියා නොනැවතුණු ඔහු පොතක් සමග කර්තෘවරයකු ද ඔහුට හඳුන්වා දුන්නේය. ඒ ලයනල් සරත් නම් ගුරුවරයා ය. ඒ අනුව ඔහු මුලින් පළ කළ පොත ලයනල් සරත්ගේ ‘හිතුවෙ නෑ මං මෙහෙම වෙයි කියා‘ කෘතියයි. ඔහු ඒ පොත මුද්‍රණය කොට පොත් සාප්පුවලට දැම්මේය. ඒ කෘතිය හොඳින් අළෙවි විය. 

එයින් තවත් දිරිමත් වූ ඔහු 1970 දී මරදානේ පොත් අළෙවි හලක් පටන් ගත්තේය. ප්‍රකාශකයකු වශයෙන් ඔහු ඒ වසරේදී පොත් 25ක් පළ කළේය. ඊළඟ වසර 25 ක කාලය තුළ දී එය වසරකට 800ක් දක්වා වැඩි කර ගත්තේය. 1986 දී ඔහුට වැඩිම පොත් පළ කළ ප්‍රකාශකයා ලෙස රාජ්‍ය සම්මානය පිරි නමනු ලැබීය. එදා සිට අද දක්වා සෑම වසරකම අඛණ්ඩව ඔහුට එම සම්මානය පිරිනැමිණ. එදා සිට 2026 වන විට ඔහු පළ කළ පොත් සංඛ්‍යාව 30,000 ඉක්මවා තිබුණි. 

ලංකාවේ සෑම ලේඛකයකුට ම ඔහු ‘ගොඩගේ මහත්තයා‘ ය. ගොඩගේ මහත්තයාත් අනික් පොත් ප්‍රකාශකයනුත් අතර ලොකු වෙනසක් තිබේ. ඒ ඔහුත් ලේඛකයාත් අතරට ප්‍රකාශන කළමනාකරුවකු නැතිවීමය. ලේඛකයාට කෙළින් ම ගොස් ඔහු හමුවිය හැකිය. පොත් ප්‍රකාශන ලෝකයේ රජු ඔහු වුවත් ලේඛකයාට ඔහු සලකන්නේ රජකුට වාගේය. ලංකාවේ ලේඛකයන් සියලු දෙනාම ඔහු නමින් හඳුනයි. 

බොහෝ ලේඛකයන් කොළඹ ආවොත් ගොඩගේ මහත්තයා බැහැ දැක යාම සිරිතය. වරක් එහෙම ආ එක් ලේඛකයකුගෙන් ‘මොනවද ගෙනාවෙ?‘ ඔහු අසයි. ‘මුකුත්නෑ. කොළඹ වැඩකට ආ ගමන් ගොඩගේ මහත්තයා බලලා යන්න කියලා ආවෙ?“ ඔහු කියයි. ‘නිකම් එන්න එපා! එනකොට මොනව හරි ලියපු දෙයක් අරන් එන්න“ ගොඩගේ මහතා එදා කීවේ ඔහු නිතරම කියන දෙයකි. 

ලංකාවේ ප්‍රසිද්ධ ලේඛකයන් හැම දෙනාම පාහේ ඔවුන්ගේ පොත් දුන්නේ ගොඩගේ මහත්තයාටය. ජී. බී. සේනානායක, මහාචාර්ය සුචරිත ගම්ලත්, සිරිල් සී පෙරේරා, ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ආචාර්ය බන්දු ගුණසේකර, ආචාර්ය කේ. බී. ඒ. එඩ්මන්ඩ් ආදී වශයෙන් ඒ ලැයිස්තුව පළ කිරීමට බැරි තරම් දීර්ඝ එකකි. හරිශ්චන්ද්‍ර විජේතුංග මහතා ඔහුගේ මහා සිංහල ශබ්දකෝෂය පමණක් ගුණසේන ප්‍රකාශකයන්ට දුන්නේ මගේ මැදිහත් වීම නිසාය. ඔහු ලියූ අනෙක් සියලු ම පොත් දුන්නේ ගොඩගේ මහතාට පමණි. ඊට අමතරව මහා නවකතාකරු ඩබ්ලිව්. ඒ. සිල්වා ගේ හා පියදාස සිරිසේනගේ නවකතා සියල්ල ම පළකරන්නේ ගොඩගේ මහතාය. දිවයිනේ පැරණිතම සිංහල ශබ්දකෝෂයක් වන වැලිවිටියේ සෝරත මාහිමියන්ගේ ශ්‍රී සුමංගල ශබ්දකෝෂය ඇතුළු විවිධ ශබ්දකෝෂ සම්පාදකයන් විසින් කරන ලද ශබ්දකෝෂ පළ කරන්නට ද ගොඩගේ මහතා උනන්දු විය. 

ප්‍රවීණ පරිවර්තක සිරිල් සී. පෙරේරා සූරීන් විසින් පරිවර්තනය කරන ලද ලියෝ ටෝල්ස්ටෝයිගේ ‘යුද්ධය හා සාමය‘ වැනි සිංහල සාහිත්‍යයට එක් වූ සම්භාව්‍ය විදේශ සාහිත්‍ය කෘතීන් රැසක් සිංහල පාඨකයා වෙත ගෙනාවේය. බොහෝ ප්‍රකාශකයන් පාඨකයන් අතර ජනප්‍රිය ශානරවලට අයත් පොත් පමණක් පළ කර ලාබ ලබද්දී ඔහු ලාබ පාඩු ගැන නොසලකා හැම විෂයකටම අයත් පොත නොපැකිළව පළ කළේ රටට හා පාඨකයාට අවශ්‍ය පොත පළ කිරීම තම වගකීමක් ලෙස සලකා ගෙනය. සිරිල් සී. පෙරේරා සූරීන් විසින් ඔහු වෙනුවෙන් ම පරිවර්තනය කළ රුසියානු සම්භාව්‍ය කෘතීන් රැසක් ගෝඩගේ ලේබලය යටතේ පළ විය. ඒ හැරෙන්නට කලකට ඉහත රුසියාවේ දී සිංහල බසට පරිවර්තනය කර පළ කළ කෙටි කතා පොත් පෙළක් ද ඔහු විසින් ගොඩගේ ලේබලය යටතේ නැවත පළ කර ඇත. 

පොත් පළ කිරීමෙන් නොනැවතුණු ඔහු පාඨකයන්ට පොත් කියවීම හුරුකරන්නට දිවයිනේ ප්‍රධාන නගරවල පොත් ප්‍රදර්ශන හා සල්පිල් පැවැත්වීය. සති දෙකක් හෝ තුනක් පුරා අඩු මිලට පොත් ගන්නට පාඨකයන්ට ඉඩ සැලසුණේය. එහෙත් ඔහුගේ පොත් අළෙවි කළ ඒ පළාතේ පොත් වෙළෙන්දෝ ඊට විරෝධය පළ කළහ. ඊට කන් දුන් ඔහු ඒ ක්‍රමය අත්හැර වෙන ක්‍රමයක් යොදා ගත්තේය. 

ඒ පොත් ගන්නට තම පොත්හලට එන අය හැමෝටම හැම පොතකට ම ඔවුන් නොඉල්ලාම වට්ටම් ලබා දුන්නේය. ආරම්භක වට්ටම සියයට දහයක් විය. කලින් වසරවල මුද්‍රණය කළ කෘතීන්ට, ගෙවී ගිය වසර අනුව වැඩි වට්ටමක් දෙන ක්‍රමයක් සැකසුවේය. ඒ සමගම ගොඩගේ පාඨක සමාජයක් ගොඩ නංවාගෙන පාඨකයන්ගේ දෙපා ළඟට පොත් යවන ක්‍රමයක් ද හඳුන්වා දුන්නේය. 

එදා සිට ම ගොඩගේ මහතාගේ සවියට හිටියේ නන්දා ගොඩගේ මහත්මියයි. දැන් ඔහුගේ දියණිය කමනී ද ඔහුගේ සේවය ඉදිරියට ගෙන යාමට එක්ව සිටියි. පොත් ව්‍යාපාරය නවීන තාලයට ගැළපෙන ලෙස සැකසීමේ කාර්ය භාරය පැවරුණේ ඇයටය. තාත්තා අසනීප වූ නිසා ඇය තනිව ඒ කාර්යය ඉටු කරමින් සිටියාය. ඒ කටයුත්ත සම්පූර්ණ කිරීමට ප්‍රථම එය ඇති පමණින් විවෘත කිරීමට තාත්තාට ඕනෑ විය. ඒ නිසා පසුගිය අප්‍රේල් 20 වැනි දා නවීකරණය කළ නව පොත් මැඳුරේ විශේෂ උත්සවයක් පැවත්වීමට අම්මාත් සමග එක්ව කටයුතු සංවිධානය කළාය. ගොඩගේ මහතා ඒ උත්සවයට ආවේ රෝද පුටුවෙනි. 

ඔහුට හිතවත් ලේඛක ලේඛිකාවන් විශාල පිරිසක් ඊට සහභාගි වූහ. ඔහු රෝගීව සිටියද සිනාමුසු මුහුණින් පැමිණි ලේඛකයන් පිළිගත්තේය. ලේඛක හමුව කවදත් ඔහුගේ සතුට දනවන්නකි. ලේඛකයන්ට ද එසේමය. 

පොත් සාප්පුවේ නවීකරණයෙන් එතෙක් කර තිබූ වැඩ ප්‍රමාණය ඔහුගේ සිත් ගත්තේය. ‘කමනී, අපූරුවට මෙහි නවීකරණය කර තිබෙනවා. මට හරි සතුටුයි, එයාට මගේ මේ වැඩේ දිගට ම ගෙනියන්න පුලුවන්‘ ගොඩගේ මහත්තයා සතුටින් ඉපිලෙමින් කීවේය. ඔහු තෘප්තිමත්ව ගෙදර ගියේය. ඔහු ගෙදර ගොස් දින කීපයකින් එනම් 2026 අප්‍රේල් 29 වැනිදා ගොඩගේ මහතාගේ යුග මෙහෙවර අවසන් වෙකැයි එදා පැමිණි ලේඛකයන් කිසිවකුත් නොසිතන්නට ඇත. දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතාට නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර ගොඩගේ මහතා ගෙන ගිය යුග මෙහෙවර ඉදිරියටත් කර ගෙන යාමට ශක්තියත් ධෛර්යයත් කමනී දියණියටත් මවටත් ලැබේවායි ප්‍රාර්ථනා කරමු. 

 - පර්සි ජයමාන්න