HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

චීන දේශසීමාව රකින්න උදව් වෙන්න රොබෝ හමුදාවක්

දැන් මිනිසා කරන සමහර වැඩ කරන්න රොබෝලා යොදා ගැනීම සාමාන්‍ය දෙයක් වෙලා. එකලස් කරන කම්හල්වලට, රොබෝලා යොදා ගැනීම සාර්ථක මෙන්ම වියදම් හා සේවක ගැටලු අඩු කරන, ඉතාමත් සාර්ථක, කාර්යක්ෂම දෙයක්. ආහාර හා ඖෂධ වර්ග ඇතුළු වෙනත් ඩිලිවරි වැඩටත් රෝබෝලා බහුලව යොදා ගන්නා බව ඔබ දන්නවා. සැත්කම්වලදී ශල්‍ය වෛද්‍යවරුන්ගේ කාර්යයත් ඉතා නිවැරදිව කරන්න රොබෝලාට පුලුවන්. ඔලිම්පික් ගම්මානයට එන අමුත්තන් පිළිගෙන ඔවුන් යායුතු තැනට යොමු කිරීමත් රොබෝලා හොඳින් ඉටු කළ බව ප්‍රකට කරුණක්. ඒ වගේ ම චීනය දරුප්‍රසූතවලදී දාරක අම්මලා ලෙස රොබෝලා යොදා ගන්නා බව පසුගිය දා අපි ඔබට ‘මල්කැකුළු‘වලින් කීවා මතක ඇති. දැන් චීනය අලුත් ම වැඩකට රොබෝලා යොදා ගන්න පටන් අරන්. චීනය දේශසීමාව රැක ගන්න රෝබෝලා යොදන පළමු රට වෙනවා. 

මෙසේ රෝබෝලා යොදා ගන්නේ චීනය සහ වියට්නාමය අතර දේශ සීමාවේ ආරක්ෂාව සහ මෙහෙයුම් කටයුතු සඳහායි. චීනයේ නිෂ්පාදිත වෝකර් එස් 2 වර්ගයේ මානුෂීය රොබෝ බලඇණියක් යෙදවීමට චීන රජය තීරණය කර තියෙනවා. 

UBTECH Robotics රොබෝ නිෂ්පාදන සමාගම සමඟ ඇති කරගත් ඩොලර් මිලියන 37 ක ගිවිසුමක් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය අති නවීන තාක්ෂණය දේශ සීමා ආරක්ෂාවට එක් කිරීමේ සුවිශේෂී පියවරක්. 

වෝකර් එස් 2 යනු හොඳින් වැඩුණු මිනිසෙකුගේ ප්‍රමාණයෙන් යුත් රොබෝවෙක්. මොවුන් සතුව, ස්වයංක්‍රීයව බැටරි හුවමාරු කර ගැනීමේ තාක්ෂණය සහ දියුණු සංවේදක පද්ධති පවතිනවා. 

මෙම රොබෝවරුන්, ප්‍රධාන වශයෙන් ෆැන්චෙන්ගැන්ග් දේශසීමා හරස් මාර්ගයේ රඳවා තැබෙනු ඇතැයි චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. මේ රොබෝලා මුලින් ම කරන්නේ පිරිස් පාලනය කරමින්, රථවාහන හසුරවමින් සහ භාණ්ඩ බහාලුම් පරීක්ෂා කරමින් චීන හමුදා සෙබළුන්ට සහාය දැක්වීමයි. 

මෙසේ රොබෝවරුන් යොදා ගැනීම, කෘත්‍රිම බුද්ධිය (AI), පොදු ආරක්ෂාව සහ කාර්මික අංශ සමඟ ඒකාබද්ධ කිරීමේ චීන ජාතික උපායමාර්ගික වැඩ පිළිවෙළ යටතේ කෙරෙන අත්හදා බැලීමක් ලෙස හඳුන්වා තියෙනවා. තීරණාත්මක අත්හදා බැලීමක් යැයි පැවසෙනවා. 

දේශසීමා රාජකාරිවලට අමතරව, දේශසීමාව ආසන්නයේ පිහිටි වානේ සහ ඇලුමිනියම් කර්මාන්තශාලාවල ආරක්ෂිත තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා මුර සංචාරයේ යෙදවීමට ද මෙම රොබෝවරුන්ව පුහුණු කර තිබෙනවා. 

- ලුසිත ජයමාන්න 

BBC ඇසුරිනි

අදහසක් පළ කරන්න

0 Comments