HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

හිසරදයක් වුණු ඥාන දත ගැන ඔබ නොදත් දේ

දත් යනු ආහාර හැපීමට පමණක් ඇති දෙයක් නොවෙයි. කුඩා කාලයේ හරිහැටි අවබෝධයක් නැති වුණත්, දත් මැද පිරිසුදුව තබා ගැනීමට අප කම්මැලි වුණත්, ස්ථිර දත් මතුවුණු දා පටන් මියයන තුරු ම අප ඒවා අපේ දෑස් මෙන් රැක බලා ගැනීම කළ යුතුමය. ප්‍රධාන වශයෙන් දත් ආහාර ජීර්ණයේදී වැදගත් වෙයි. ආහාර හොඳින් සපා කුඩු කිරීම හා ඇඹරීම මගින් ජීර්ණ පද්ධතියට එය පහසුවෙන් අවශෝෂණය කර ගැනීමට හැකිවෙයි. ඒ වගේ ම ඔබ කථා කරන භාෂාවේ වචන පැහැදිලිව උච්චාරණය කිරීමට ද දත් අත්‍යවශ්‍ය වෙයි. දත්වලින් උපදින දන්තජ අකුරු කියා දෙයක් අපේ භාෂාවේ තිබේ. ‘ස’, ‘ත’, ‘ද' වැනි අකුරු දත් නොමැතිව උච්චාරණය කළ නොහැකිය. අනිත් අතට ඔබේ මුහුණට ලස්සන හැඩයක් එන්නේ ද දත්වලිනි. හකු අස්ථි සහ මුහුණේ මස්පිඬු නිසි පරිදි පවත්වා ගැනීම සිදුවන්නේ දත් පිළිවෙළට, ලස්සනට තිබෙනවා නම් පමණි. එපමණක් නොවෙයි; ආත්ම විශ්වාසය වැඩි කර ගැනිමට ද දත් වැදගත් වෙයි. සුන්දර සිනහවකට උරුමකම් කීම යනු සමාජීය වශයෙන් පුද්ගලයකුගේ ආත්ම විශ්වාසය වැඩි කිරීමකි. 

මනුෂ්‍ය අප අයත් වන්නේ කිරි බී වැඩෙන සතුන් නැතිනම් ක්ෂීරපායීන් අතරටය. මේ ක්ෂීරපායීන් අනෙක් සත්ව විශේෂවලින් වෙන් වන්නේ මවගෙන් කිරි බී වැඩෙන නිසාම නොවෙයි. කිරි දත්වලින් ඇරඹී, පසුව ස්ථිර දත් වර්ධනය වීමක් සිදුවන්නේ ක්ෂීරපායීන්ගේ පමණි. විවිධ කාර්යයන් සඳහා විවිධාකාරයේ දත් ඇත්තේ ද අප ක්ෂීරපායීන්ට පමණි. කෘන්තක, රදනක, පුරස්චාර්වක සහ චාර්වක යනු අපට ඇති දත් වර්ග හතරය. ඒ අනුව වැඩුණු අපගේ දත් 32 කි. ඉදිරිපසින්ම ඇති දත් 8 කෘන්තක දත්ය. ආහාර හපා, කැබලි කර ගැනීමට මේවා උපකාරී වෙයි. රදනක දත් යනු කෘන්තක දත් දෙපස ඇති උල් දත් හතරය. ආහාර; විශේෂයෙන් මාංශ වර්ග ඉරා ගැනීමට මේවා ඉවහල් වෙයි. පුරස්චාර්වක දත් පිහිටන්නේ, රදනක දත්වලට පිටුපසිනි. පුරස්චාර්වක දත් 8 කි. මේවාගේ කාර්යය ආහාර ඇඹරීමය. චාර්වක දත් හනුවේ කෙළවරේ පිහිටයි. චාර්වක දත් 12 කි. සවිමත් ආහාර තවත් ඇඹරීම සිදු කරන්නේ මෙම චාර්වක දත්වලිනි. දත් 32 ක් ඇතැයි කීවත්, අප වැඩි දෙනකුට දත් 32 ක් නැත. අන්තිම දත් දෙක ලෙස සැලකෙන්නේ ඥාන දත් ය. මේවා ද අයත් වන්නේ චාර්වක දත් අතරටය. 

ඥාන දත්, ඉංග්‍රීසියෙන් විස්ඩම් ටූත් යනුවෙන් හැඳින්වෙන මේවා බොහෝ දෙනකුට නැත්තේ ඇයි? ඥානය නැතිනම් මොළේ නැති නිසාද? නැත. ඥාන දත් සහ බුද්ධි මට්ටම අතරේ සම්බන්ධයක් නැත. නමුත් ඥාන දත් මතුවන්නේ අවුරුදු 17 ත් 25 ත් අතර කාලයේදී හෝ 25 ත් 30 ත් අතර කාලයේදී යැයි දන්ත වෛද්‍යවරු පැහැදිලි කරති. වයසින් මුහුකුරා යද්දී අප පරිණත වෙයි. බුද්ධියෙන් ද වර්ධනය වෙයි. ඒ අනුව, ඥාන දත් වර්ධනය වෙද්දී බුද්ධි මට්ටමින් ඔබ පරිණත වී ඉදිරියෙන් සිටිනවා විය හැකියි. මුඛයේ ඇති වන අවසන් දත් යුගලය ඥාන දත් ය. බොහෝ දෙනකුට මේ ඥාන දත් හිසරදයක් වෙන්නේ, දත මතුවීමට හනුවේ ප්‍රමාණවත් ඉඩක් නොමැති වීම නිසාය. ඥාන දත් කෙළින් මතු නොවී ඇලයට හෝ තිරස් අතට මතුවීම ගැටලුවකි. දතෙන් කොටසක් පමණක් මතු වී ඉතිරිය විදුරුමසින් වැසී පැවැතීම හේතුවෙන් ආහාර රැඳී විදුරුමස් ඉදිමීම සහ ආසාදන ඇති වීම ගැටලුවකි. අසල ඇති දත් තෙරපීම නිසා දැඩි වේදනාවක් සහ හිසරදයක් හට ගැනීම ගැටලුවකි. වර්තමානයේ දන්ත වෛද්‍යවරුන් හැකි සෑම විටම උත්සාහ ගන්නේ දත් රැක ගැනීමටය. දත් ගැලවීම යනු අවසන් විකල්යයි. කෙසේ නමුත් ඥාන දත් හිසරදයක් වෙද්දී, ඒවා ගැලවීම සිදු කෙරේ. ඥාන දත නිසා නිතර නිතර විදුරුමස් ආසාදන ඇතිවන්නේ නම්, මේ ඥාන දත් යාබද දත්වලට හානි සිදු කරයි නම්, ඥාන දත් දිරායාමට ලක්වී ඇත්නම් හෝ එය පිරවීම අපහසු ස්ථානයක පිහිටයි නම්, ඥාන දත ගැලවීම හැර වෙන විකල්පයක් නැත. 

මනුෂ්‍ය අපේ මුඛයේ ඇති දත් ගණන 32 ක් විය යුතුයි නම්, මේ ඥාන දත්වලට ඉඩ මදි වන්නේ කෙසේද? ඒ ගැන පැහැදිලි කරන්නයි මේ සූදානම‍. ඥාන දත් මනුෂ්‍ය පරිණාමයේ කතාවට සෘජුව සම්බන්ධ වෙයි. මිනිස් පරිණාමික ඉතිහාසය දෙස බලද්දී, අප සිරුරේ සිදු වූ කැපී පෙනෙන වෙනස්කම් අතර, හකු ඇටය සහ දත්වල ව්‍යුහය ප්‍රධාන තැනක් ගනී. වසර මිලියන කිහිපයකට පෙර විසූ මුල් කාලීන මානවයන්ට අදට වඩා ඉතා ශක්තිමත්, ඉදිරියට නෙරා ආ විශාල හකු ඇට පිහිටා තිබුණි. මෙම ව්‍යුහය පුරාණ මානවයන්ට අත්‍යවශ්‍ය වූයේ එකල ඔවුන් පරිභෝජනය කළ රළු සහ තන්තුමය ආහාර නිසාය. අමු මස්, ශාක මුල් සහ ඇට වර්ග වැනි දෑ සපා කෑමට සහ ඇඹරීමට විශාල පීඩනයක් යෙදිය හැකි ශක්තිමත් දත් පෙළක් ඔවුන් සතු විය. 

මිනිස් ඉතිහාසයේ දැවැන්තම විප්ලවය සිදු වූයේ ගින්දර සොයා ගැනීමත් සමඟය. ගින්දර භාවිතයෙන් ආහාර පිසීමට හුරු වීමත් සමඟ, ආහාරවල තිබූ සවිමත් බව සහ තද ගතිය සැලකිය යුතු ලෙස අඩු විය. පිසින ලද මස් සහ ශාක කොටස් මෘදු වූ බැවින්, ඒවා සැපීම සඳහා විශාල බලයක් සහිත හකු ඇටයක හෝ විශාල දත් පෙළක අවශ්‍යතාව ක්‍රමයෙන් නැති වී ගියේය. පරිණාමික ක්‍රියාවලියේදී භාවිතය අඩු වන අවයව කාලයත් සමඟ කුඩා වීම හෝ වෙනස් වීම ස්වභාවික වන අතර, ඒ අනුව මානව හකු ඇටය ද ක්‍රමයෙන් ප්‍රමාණයෙන් කුඩා වන්නට විය. 

කෙසේ නමුත්, එසේ හකු ඇටය කුඩා වුව ද, අපගේ දත් සංඛ්‍යාව තවමත් (අද වනවිටත්) ජානමය වශයෙන් තීරණය වී ඇත්තේ පැරණි ප්‍රමාණයටමය. මෙහිදී වඩාත්ම අර්බුදයට පත්ව ඇත්තේ ඥාන දත්ය. හකු ඇටය ප්‍රමාණයෙන් කුඩා වෙද්දී, අනෙකුත් දත් සියල්ල පිරී පවතින හක්කේ කෙළවරින්ම ඇති ඥාන දත් මතුවීමට අවශ්‍ය ඉඩකඩ අහිමි විය. අතීත මානවයාට අතිරේක ඇඹරුම් දත් ලෙස ඥාන දත් අත්‍යවශ්‍ය වුවත්, වර්තමාන මානවයාට ඒවා බොහෝ විට මතුවන්නේ විදුරුමස හෝ හකු ඇටය තුළ තෙරපෙමිනි. අද වන විට බොහෝ දෙනෙකුට ඥාන දත් මතුවීමේදී ඇති වන වේදනාවට සහ විවිධ සංකූලතාවලට හේතුව වන්නේ මෙම පරිණාමික නොගැලපීම නිසාය. හකු ඇටය කෙටි වීම නිසා ඥාන දත්ට නිවැරදිව මතුවීමට ඉඩක් නොමැති අතර, එය ඇදයට හෝ අර්ධ වශයෙන් මතුවීමට උත්සාහ ගනී. මානව විද්‍යාඥයන් පවසන්නේ මෙය මිනිස් සිරුර තවමත් පරිණාමය වෙමින් පවතින බවට හොඳම නිදසුනක් බවය. ඇතැම් පුද්ගලයන්ට දැන් උපතින්ම ඥාන දත් නොපිහිටන අතර, අනාගතයේදී මිනිස් වර්ගයාට ඥාන දත් සම්පූර්ණයෙන්ම අහිමි වීමේ ප්‍රවණතාවක් ද පවතී. 

- ලුසිත ජයමාන්න 

බ්‍රේන් මේස් ඇසුරිනි

අදහසක් පළ කරන්න

0 Comments