ඔබ ලේඛක හැකියාවක් ඇති අයකු නම්, ඔබට වෙනත් රැකියාවක් කරන අතර, ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන්නට අවස්ථාවක් ලබා ගත හැකි හොඳම මඟ තීරු ලිපි රචනයට පිවිසීමයි. පුවත්පතක කතුවරයා ලියන ‘කතුවැකිය‘ එහි ප්‍රධාන තීරු ලිපියයි. තීරු ලිපියට ඒ නම ලැබුණේ පුවත්පතක ලිපි පළ කරන සැලැස්ම වූ තීරු ක්‍රමය අනුවයි. සාමාන්‍යයෙන් සම්මත සැලැස්ම අනුව පුවත්පතක එක පිටුවකට තීරු 5ක් හෝ 8ක් ඇතුළත් වෙයි.
මුද්‍රණයේ මුල් යුගයේ දී මුද්‍රණයට ලිපි සකස් කළේ අතින් අකුරු එකින්එක අමුණා ගෙන බැවින් ඒ සඳහා පහසු වන්නට මේ සම්මත තීරු ක්‍රමය යොදා ගනු ලැබීය. අකුරු වාත්තු කිරීම සඳහා යොදා ගත් ලෝහය ඊයම් ය. මේ අකුරු වාත්තු කරන්නේ නිශ්චිත උසක් සිටින පරිදිය. ලිපියක් තීරුවලට සිටින සේ අකුරු ඇමිණීමෙන් පසුව, මුද්‍රණයට පිටුව සකසක අවස්ථාව එන තෙක්, ඒවා ඔතන නූලක් යොදා හොඳින් හිරකර බැඳ තබනු ලැබේ. පිටුව සකසන අවස්ථාවේදී ඒ නුල් වෙනුවට ඊයම් පටි යොදා තදින් හිරකර ගනු ලැබේ.
දැන් පරිගණක යුගයේ මුද්‍රණය ක්‍රම මුළුමනින් ම වෙනස් වී ඇති නිසා තීරුව විවිධ ප්‍රමාණයන් හා හැඩතල වලින් සකස් කළ හැකිය. ඒ වගේ ම තීරු ලිපිය ද පුවත්පත් සඟරාවලින් පිටට ගොස් විවිධ මාධ්‍යවලට විවිධ අයුරින් එක් වී ඇත. නිදසුනක් වශයෙන් ලාල් හේමන්ත මහවලගේ ‘සියත ටීවී සඳහා ලියන ‘ටෙලි වැකිය‘ දැක්විය හැකිය. එසේ ම ඍජුවම පුවත්පතකට සම්බන්ධ නොවී තීරු ලිපියක් ලියන ලේඛකයකුට සිය තීරු ලිපිය තමන් කැමති පුවත්පතකට ලිවිය හැකිය. සුන්දර නිහතමානී ද මැල් ලියන ‘මානිගෙ තීරුව‘ මුලින් ම පළ වූයේ ‘ඉරිදා ලක්බිම‘ පුවත්පතේය. දැන් පළ වන්නේ ‘සති අග අරුණ‘ පුවත් පතේ සහ ‘මුහුණු පොතේ‘ ය. ඔබට අවශ්‍ය නම් ඔබේ තීරු ලිපිය බ්ලොග් අවකාශයේ පළ කළ හැකිය. ඔබේ මුහුණ පොතේ ගිණුමේ පළ කළ හැකිය. නැතිනම් යූටියුබ් වීඩියෝවක් ලෙස පළ කළ හැකිය.
තීරු ලිපියක් මොන මාධ්‍යයක, මොන ආකාරයට පළ වුවත් එහි තිබිය යුතු ගුණාංග කීපයක් වෙයි. ඒවා පුවත්පත් වලින් ඊට උරුම වූ පොදු ගුණාංග වේ. තීරු ලිපිය සඳහා අර්ථවත් ප්‍රස්තුතයක් තෝරා ගත යුතුය. තීරු ලිපිය කෙටි විය යුතය. කෙටි කථාවක් මෙන් රසවත් විය යුතුය. සරල නිරවුල් බස් වහරකින් ලියන්නක් විය යුතුය. පක්ෂපාතී නොවී මධ්‍යස්ථව අදහස් පළ කළ යුතුය. මතය තහවුරු කිරීමට දත්ත උපුටා දැක්විය යුතුය. පාඨකයාගේ බුද්ධිමය නිම් වළලු පුළුල් කරන ආකාරයේ එකක් විය යුතුය. එසේ ම ඔහු තවදුරටත් සිතන්නට පෙලඹවිය යුතුය. ඔබේ මේ තීරු ලිපිය කියවන පාඨකයා ඊළඟ ලිපියත් කියවීමට පෙලඹවීමක් කළ යුතුය. පුවත්පතකට නොබැඳී, නිදහස් ලේඛකයකු ලෙස හිඳිමින් කළ හැකි, හොඳම සන්නිවේදන සේවාව කළ හැක්කේ තීරු ලිපි රචනය ඔස්සේය.
මෙසේ ලියන තීරු ලිපි පසුව ග්‍රන්ථ බවට ද පත් කර තිබේ. ඒවා කියවීමෙන් තීරු ලිපි ලියන්නට කැමති අයට යම් අවබෝධයක් ලබා ගත හැකිය. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ‘ලංකාදීප‘යට ලියූ ‘වගතුග‘, බී. ඒ. සිරිවර්ධන ගේ ‘ඇත්ත කතු වැකි‘ ග්‍රන්ථ බවට පත්වූ තීරු ලිපි අතරින් දෙකකි.. මෑත දී ම නිකුත් වූ සුන්දර නිහතමානී ද මැල් ලියන ‘මානිගෙ තීරුව‘ පොතක් වශයෙන් පළ වූ අලුත් ම කෘතියයි.
පුවත්පත්වලට පිටින් තීරු ලිපි ලියන ලේඛකයන් රැසක් අන්තර් ජාලය හරහා ද අපට හමුවෙයි. මෙසේ හමුවූ එක් අපූරු රචනාවක් මෙසේ පළ කරමි. මේ ලේඛකයා ප්‍රවීණ විද්‍යා ගුරුවරයෙකි; නවකතාකරුවෙකි; ග්‍රන්ථ කර්තෘවරයෙකි.
තිලක්ගේ තීරු ලිපිය
පරපුරෙන් එහා ගිය ආදරයක්
නිකිණි මහේ මද්දහනක් නිසාවෙන් මුළු අහසම එකද වලාකුළකින් හෝ තොරව නිල් තැටියක් පරිද්දෙන් දිස්වේ. පෙර දවස නාද කිරීමේ යම් චාරයක් තිබුණ ද දැන් එවන් වෙලාවක් කලාවක් නැති කොහා පමණක් ගිරිය පුප්පා කෑගසයි. ගේට්ටුව අසලට කවුරුන් හෝ පැමිණි බවට නොපැහැදිලි පණිවුඩයක් සවනට දැනුනත් එය හරිහැටි වටහා ගැනීමටවත් මේ කරදරකාර කොහා නිසා නොහැකිවිය.
පොල්....පොල්.... වචන බර කරමින් සම විරාම තබමින් ඉඳ හිට ඇසෙන මේ හඬ මට නුපුරුදු එකක් නොවේ.
මහත්තයා ..පොල් කඩනවද? ස්වභාවයෙන් නොඉවසිලිමත් තැනැත්තෙකු වුවද මේ වැකියේ වචනාර්ථය මුල් කරගෙන කේන්ති ගැනීම පසෙක ලා පිළිතුරක් දෙන්නටත් ප්‍රථම අමුත්තා ගේට්ටුව ද හැරගෙන මිදුලට පැමිණ අවසානය.
මැඩගත් කෝපයෙන් යුතුව මේ මිනිසාට නිශේධාත්මක පිළිතුරක් දීම සඳහා සුදානම් ව ඔහු දෙස බලත්ම ඔහුගේ මුවග රැඳුණු සිත් ඇදගන්නා සිනහව නැවත මා ආණ්ඩු මට්ටු කළායැයි මට හැඟුණි.
ළඟදි නේද කැඩුවෙ...තාම පැහිල නැතුව ඇති...
නෑ..නෑ....දැන් කාලෙ හරි ..වලු දෙකක්ම පැහිල ඇති ඔහුගේ ප්‍රායෝගික දැනුමට එරෙහිව තර්ක නොකිරීමට තරම් බුද්ධියක් මට තිබුණු නිසා පිළිතුරක් නොදීම මා බිරිඳ ඇමතුවේ මේ අංශයේ ඇයගේ දැනුම මට වඩා ඉහළ නිසාය. දැන් මා කුමන තීරණයක් ගත්තත් පොල් කැඩීම හෝ නොකැඩීම පිළිබඳ අවසන් තීරණය ඇගේ වන බැවිනි.
මේ පුද්ගලයාගේ හැඩ රුව මා හරියටම දැක්කේ ඔහු පොල් ගස පාමුලට පැමිණ ඒ සඳහා සැරසෙන විටය.
වයසක මනුස්සයෙක් නේ....කොහොමද මෙයා මෙච්චර උස ගහකට නගින්නේ.... මගේ සැක සංකාවන්ට ඉඩක් තොතබාම ඔහු යුහුසුළුව ගහ දිගේ ඉහළ නගින්නට ගත් නමුත් දෙගිඩියාව ම සිතින් තුරන් වූයේ නැත.
ලිස්සල වැටුණොත් ජංජාලෙ තමයි...පොලිසි උසාවි යන්නත් වෙයි... ඒකද ප්‍රශ්නෙ..එහෙම උණොත් මේ මනුස්සයගෙ ජීවිතේ....ඇයි ඒ ගැන හිතෙන්නෙ නැද්ද..කතාව නං මහ ලොකු මානව හිතවාදියා...සුදු හකුරු වගේ තමයි...දොස් පවරන්නේ වෙනත් කිසිවෙකු නොව මගේම හෘද සාක්ෂියයි....
වඩාත් අනතුරු දායක අවදානම් අවස්ථාව එළඹෙන්නේ පොල් කැඩීම පටන් ගත් පසුවය. පිහියෙන් කපා පොල් වල්ලම එක වර බිම හෙළන්නේ නම් කාර්යය එතරම් ම අපහසු නොවූත් අපේ පොල් ගස පිළිබඳව එම ක්‍රියා පිළිවෙත නොගැළපෙන්නේ ගස යටත් ඒ වටාත් විවිධ විසිතුරු පැළ වර්ග රැසක්ම වවා ඇති නිසාය..
එබැවින් අපේ ගෙදර පොල් කඩන්නට පැමිණෙන ඕනෑම අයෙකු එකඟ විය යුතු කොන්දේසියක් ඇත...ඒ..එකද පැළයකට හෝ හානි නොවන පරිද්දෙන් එය ඉටු කිරීමයි..
මේ නිසා එක එක ගෙඩියේ නැට්ට කරකවා කඩාගෙන ගහක් වැලක් නැති තැනකට හරි එල්ලය බලා අත හැරිය යුතුය....
එක අතකින් පමණක් ගහ අල්ලාගෙන මෙය කළයුතු නිසා එහි ඇති අසීරුතාව කෙතරම් ද යන්න සිතා ගැනීම අපහසු නොවේ. ඒ අතරේ පරණ අතු හනසු ආදියද ගලවා දැමීම ද කළ යුතුවේ. ගහකට නැග ගැනීමටවත් බැරි මට... මටත් වඩා වයස් ගතසේ පෙනෙන මේ මිනිසා පිළිබඳව ඇති වන්නේ වීරත්වය හා මුසු ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමකි......
ඔහු වෙනුවෙන් හටගත් මහත් අනුකම්පාවකින් මසිත වෙළී ගියේ කල්පනාවක ද නිමග්න කරවමිනි......
පියවි ලෝකයට මා පිවිසෙන විට ඔහු තම කාර්යය නිම කොට ගසෙන් බැස මා ඉදිරියට එමින් සිටියේය... උරිස්සට උඩින් වරින් වර දමන රෙදි කඩක් උපයෝගී කරගනිමින් සිරුරෙන් ගලන ඩහදිය මැඩ ලන්නට අසාර්ථක උත්සාහයක නිරතව සිටිය ද මුහුණේ සිනහව නම් මැකී ගොස් තිබුණේ නැත...
සුව පහසු කාමර තුළ රාජකාරි ඉටුකොට හෝ නොකොට වායු සමනය කළ සැප පහසු රියකින් රාජකාරි රියදුරු ලවා ගෙදරට ඇරලවා ගන්නා ඇතැම් මහත්තුරුන් පෙන්වන තරම්වත් නොරිස්සුම් ගතියක් ඔහු තුළ නොවීය. කරනදේ සතුටින් කිරීම ඔහුගේ තේමාව දැයි මට සිතුණි....
බඩ වියත රැකගන්න මිනිස්සු මහන්සි වෙන තරමක්.... අසලවූ පයිප්පය වෙත ගොස් මුහුණ කට සෝදාතෙන එන විට ගාස්තුව ගෙවීමට මගේ බිරිඳ සූදානමින් සිටියාය.
සැබෑ කතාව ඇරඹෙන්නේ එතැන් සිටය. පිරිනමන ලද මුදල් නෝට්ටු කීපය අතට නොගත් ඔහු බිරිඳ දෙස බැලුවේය...
දුන්න සල්ලි මදිවෙලා වෙන්න ඇතැයි මට සිතුණි....ඉල්ලුවොත් ඉල්ලන ගාණක් දෙන්න කියනව..මගේ හිත පැවසුවේ..මටමය...
අනේ..නෝන..
සල්ලි මදිවෙලාම තමයි...ඉල්ලන්න කලින්ම ..කීයක් හරි වැඩිය.. දෙන්නයි තිබුණෙ...මිනිහ හිතනව ඇති අපි මහ කුණු ලෝබයො කියල...
අනේ නෝන ....තරහ නැතුව..
පාද වලින් පටන් ගත් හිරියක් විදිල්ලක් මෙන් දිව ගොස් හිසෙන් මතු වූවා වැනි සංවේදයකින් මා වෙළී ගියේය.
ඔහු තවතවත් දොඩමලු වෙයි.
නෝන මේ කොළ ටික අරගෙන ..ඒකට හරියන්න....
මොනවද මෙයා ඉල්ලන්නෙ....
ගාණට හරියන්න මට කාසි දෙනවද....පොඩිම පොඩි කාසි නං වැඩිය හොඳයි... සිල්ලර කාසි....
ඔහෙට පිස්සුද...එච්චර කාසි ගොඩක්....කරදරයක් නෙමෙයිද....
නෑ..නෑ..නෝන තියෙනවනං එහෙම දුන්නොත් හොඳයි...
සැබැවින්ම ඔහු යම් මානසික ආබාධයකින් පෙළෙන්නේ යැයි අපට සිතිණි.. මාරු කාසි හා බැඳුණු කිසියම් අනුවේදනීය අත් දැකීමක් දරා ගත නොහැකි වීම නිසා හටගත් කම්පනයක් මෙවන් තත්වයකට හේතු වන්නට ඇතැයි අපි අනුමාන කළෙමු..
ඔහුගේ කතාව තුළ සැඟව ගත් රහස් දැන ගැනීමේ කුතුහලය නිසාම ....
මොකටද එච්චර මාරු කාසි ...බඩු ගන්න ගියාම...කඩ වලින් ඕව ගනීද?
නෑ..නෑ.මං..මේ සල්ලි ගෙනිහින්.. මගේ මුණුබුරාට දෙනව....කැටේට ...දා..ගන්න..
මේ මොන බොරුවක් ද මිනිහ කියන්නෙ...දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි පොඩි එකෙක්ගෙ කැටේට..ටිකක් නං කමක් නෑ...ඔක්කොම ටික...
සිතට පහළ වන අදහස් එළි නොදක්වා අපි ඔහුගේ කතාවට දිටම සවන් දුන්නේ..සුලමුළ දැන ගැනීමේ උවමනාව තව තවත් වැඩිවූ නිසාය.
මහත්තයලට සැක ඇති මං කියන දේ ගැන...ඒත් ඒක තමයි ඇත්ත..
ඒත්..ඇයි ඉතින් පොඩි දරුවෙකුගෙ කැටේකට ඔය තරං කාසි ගොඩක්.
නෝන....ඒ දරුවා සාමාන්‍ය දරුවෙක් නෙමේ...ආබාධිත දරුවෙක්... එතෙක් පැවති දෙගිඩියාව බිඳිමින් සිත් සතන් තුළ හටගත් මහා අනුකම්පාවකින් වෙළී ගිය බවක් දැනී ගියේය.
කතාව දිරි ගන්වන බැල්මක් ඔහු වෙත යොමු කරමින් අපි ඔහුට බාධා නොකර සවන් දී සිටිය දී......
ඔහු දිගටම තම කතාව දිග හරින්නට විය.
එයාගෙ කකුල් දෙකම කොරයි...ඇවිද ගන්න බෑ...තියෙන්නෙ එක අතයි...ඒකෙත් මහපටැඟිල්ලයි මැදැඟිල්ලයි විතරයි.. දරුවට...ඔක්කොම කරන්න වෙලා තියෙන්නෙ ඒකෙන්...
ඔහු බොරුවක් කරන්නේය යනුවෙන් සිත තුළ පැවති සැක සංකාව පිළිබඳව පවා මහත් පසු තැවිල්ලක් මා තුළ ඇති විය. බිරිඳ මා දෙස හෙළූ බැල්ම ඇයගේ සිතිවිලි ද මා හා සමාන බව සනාථ කළේය.
එහෙත් මාරු කාසි පැනය...එය.. තවම විසඳී නැත....
කවද හරි දවසක දරුවට තනියම ජීවත් වෙන්න වෙනවනේ...පිහිටට තියෙන්නෙ ඔය ඇඟිලි දෙක තමයි...තාත්තත් නැති අහිංසකයාට තාත්තත් සීයත් දෙන්නම මම....මට හිතුණ තියෙන ඇඟිලි දෙක උණත් හොඳට පුරුදු කළොත් ඉස්සරහට වැඩක් වෙයි කියල..ඉතිං මං එයාට කැටේකට සල්ලි දාන්න පුරුදු කරනව...පස්සෙන් පහු පෑනක් පැන්සලක් අල්ලගන්නත් හුරු වේවි කියල හිතෙනව....
ආබාධිත දරුවන් පුහුණු කරන තැන්වල මෙබඳු ක්‍රියාකාරකමක් යොදා ගන්නේ දැයි නොදනිමු.
මං හරියටම එල්ලෙ බලල පොල් ගෙඩිය අත අරින්නෙ නැත්නං මල් පැල පොඩි වෙනව..එහෙම උණොත් නෝනල මට ආයෙ වැඩ දෙන්නෙ නැහැ නේ...ඒ වගේ මේ දරුව ඇඟිලි දෙකෙන් කාසිය අල්ලගෙන එල්ලෙ බලල කැටේ සිදුරට දාන්න ඕන...
මුලදි මුලදි වැරදුනාට දැන් හරියට කරනව...තව ටිකක් පුරුදු වෙන කොට පෑනක් පැන්සලක් අල්ලල ලියන්න කල වයසත් හරි යාවි...තාම අවුරුදු දෙකක් වත් නෑ....... අතෙහි වූ තුවාය පිට හරහා අදිමින් නැවත වරක් ඩහදිය පිස දමා ගත් ඔහු අප වෙත සුපුරුදු සිනහවෙන් සංග්‍රහ කරමින් නික්ම ගියේ එතෙක් අප තුළ වූ සැනසිලි දායක හැඟුම් ද උදුරා ගෙන යයි මට සිතිණි.

0 Comments