“නිදහස්ය, නිවහල්ය කීවාට තාමත් අපේ නිදහස් වෙලා නැහැ. අඩුතරමින් මේ රටේ සෑම පුරවැසියකුට ම නිදහස් ව, නිවහල් ව, ගෞරව බුහුමානයෙන් යුතුව ජීවත්වීමේ අයිතියවත් මේ රටේ ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා නැහැ. මැතිනිය ගේ 72 ජනරජ ව්‍යවස්ථාවට මේ වගන්තිය ඇතුළත්ව තිබුණත්, ජේ. ආර්ගෙ 78 ව්‍යවස්ථාවෙන් ඒක හැළුවා. අපි ඒ ගැන ප්‍රශ්න කළා ම ජේ. ආර්. කිව්වේ මූලික ව්‍යවස්ථාවෙන් නිදහස තහවුරු වෙන නිසා ඒකට වෙන ම වගන්තියක් අවශ්‍ය නැති බවයි. අනික් අතට අපේ රටේ තාමත් තියෙන්නේ සුද්දන් අපට දීල ගිය වහලුන් බිහිකරන අධ්‍යාපන ක්‍රමයක්. ඒ මදිවට වයස 18 පිරෙන කම් ඒක හැම දරුවකුට ම අනිවාර්ය කරන නීතියකුත් මේ ව්‍යවස්ථාවෙ තියෙනවා. එහෙම තියෙද්දී කොහොමද නිදහස්, නිවහල්, පුරවැසියෙක්, බිහි වෙන්නේ. අපේ නිදහස තාමත් සම්පූර්ණවෙලා නෑ කියා මා කියන්නේ ඒ නිසයි.“ හරිශ්චන්ද්‍ර විජයතුංගයන් මෙසේ අදහස් පළ කළේ වසර කීපයකට පෙර නිදහස් දිනය නිමිත්තෙන් ‘ලංකාදීපය‘ට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.
“යටත් විජිතයක්ව තිබුණු අපේ රටට නිදහස දෙන කොට සුද්දන් ඔවුන්ගේ අදහස් අනුව හදා දුන් ව්‍යවස්ථාවට පස්සේ අප භාවිතයට ගත් ව්‍යවස්ථා දෙකම, පොදු ජන කතිකාවතක් ඇති නොකර, කවුරුන් හෝ ඉහළින් ඉඳ ජනමතයට පිටුපා සකස් කර, මැතිසබයට ගෙනවුත් සම්මත කර ගත් ඒවායි. අපේ සමාජයට ගැළපෙන, නියම මහජන වරමින් සැකසූ ඒවා නොවෙයි. ඒ සමහර කොටස් අපට නොගැළපෙන වෙනත් ව්‍යවස්ථාවලින් ‘කොපි‘ කර ගත් ඒවායි. ඒ නිසා ජනතාවගේ අදහස් හා යෝජනා මත සැකසූ නිර්ව්‍යාජ ව්‍යවස්ථාවක් මහජන සම්මතයෙන් ගෙනාවොත් විතරයි, අපේ නිදහස සම්පූර්ණ වන්නේ.“ එදා ඔහු ‘ලංකාදීපය‘ට කීවේය.
අපේ වර්තමාන ව්‍යවස්ථාවේ ඇති වැරදි හා ඒ නිසා සිදු වී ඇති අයථා දේ සියල්ල පෙන්වා දෙමින් ‘ව්‍යවස්ථාවත් වැරදියි, ඒ යටතේ කළ වැඩත් වැරදියි (1991)‘ සහ ‘මූලික අයිතිය පෙන්වා උත්තරීතර අයිතිය පැහැර ගැනීම‘ (1996) කියා පොත් දෙකක් ද හරිශ්චන්ද්‍ර විජයතුංගයන් විසින් ලියා තිබේ.
නිදහස්, නිවහල් රටක්, රාජ්‍යයක්, ජනතාවාදී රජයක්, ජන සම්මත විධිමත් ආණ්ඩුුක්‍රම ව්‍යවස්ථාවක් ගැන හරිශ්චන්ද්‍ර විජයතුංගයන් නිරන්තරව සිහින දුටුවේය. මෙවර ජනතාවාදී රජයක් බිහි වීමත් එහි ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව සඳහන් වීමත් සමග ඔහුගේ ඒ සිහිනය අලුත් විය. එහෙත් එය ඉටුවනු දකින්නට ඔහුට ජීවත් වීමට නොහැකි විය. ඔහු 2025 නොවැම්බර් 13 වැනිදා 94 වියේ දී අභාවප්‍රාප්ත විය.
ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මේ සියවසේ පහල වූ යුග පුරුෂයන් තුන් හතර දෙනා අතරින් කෙනෙකි. සිය ජීවිත කාලය තුළ යුගයේ අවශ්‍යතා නොපිරිහෙළා ඉටු කළ අයෙකි. ඔහු ලේඛකයෙකි; දාර්ශනිකයෙකි; ගුරුවරයෙකි; නීතිවේදියෙකි; කවියෙකි; භාෂා විශාරදයෙකි; ශබ්දකෝෂ සම්පාදකයෙකි; පරිවර්තකයෙකි; පුරෝගාමී දේශපාලනඥයෙකි.
විජයතුංග මුදලිගේ හරිශ්චන්ද්‍ර විජයතුංග උපන්නේ 1931 ඔක්තෝබර් 25 වැනිදා මිනුවන්ගොඩ මැඩෑමුල්ල ග්‍රාමයේ දී දරුවන් අට දෙනකුගෙන් යුත් පවුලක හතර වැන්නා ලෙසටය. ඔහුගේ පියා අක්ෂිවෛද්‍යාචාර්ය ඩබ්ලිව්. එම්. ඩී. බී. විජයතුංග ය; මව අමරාවති ජයසිංහ ය.
මූලික අධ්‍යාපනය සඳහා හරිශ්චන්ද්‍ර සිසුවා ගියේ මිනුවන්ගොඩ ද්විභාෂා පාඨශාලාවටය. මේ කාලයේ දී දෙවන ලෝක යුද්ධය ආරම්භ විය. කොළඹට බෝම්බ හෙළන බවට ජපානයෙන් තර්ජනයක් එල්ල විය. ඒ සඳහා ආරක්ෂක පියවරක් වශයෙන් කොළඹ නාලන්ද විද්‍යාලය මිනුවන්ගොඩට ගෙන එනු ලැබීය. එහිදී ඇස් වෙදමහතා සිය පුත්‍රයා මිනුවන්ගොඩ ද්විභාෂා පාඨශාලාවෙන් අස් කර ගෙන නාලන්දා විදුහලට ඇතුළත් කළේය. යුද බිය පහව ගිය පසු යළි නාලන්දය කොළඹට ගෙන යද්දී ළමයින්ගෙන් කොටසක් එහි මිනුවන්ගොඩ නාලන්දා විදුහලේ ම නැවතුණු අතර අනිත් කොටස කොළඹ යළි ආරම්භ කළ නාලන්දා විදුහලට ගියහ. හරිශ්චන්ද්‍ර සිසුවා තෝරා ගත්තේ කොළඹ නාලන්දයයි.
කොළඹට ගෙනා පසු ඔහු නාලන්දයට ගියේ ජයන්ත වීරසේකරයන්ගේ නිවසේ නතර වී සිටි පෙරමුණ කර්තෘ වෙ. වි. අභයගුණවර්ධනයන්ගේ බෝඩිං සගයා ලෙස ය. ඔහුට එහි දී පැපොල හැඳුණේය. සති දෙකක් කාමරයට ම වී සිටීමට සිදු වීම නිසා ඔහු කළේ අභයගුණවර්ධනයන්ගේ පුස්තකාලය තුළ තිබූ පොතපත කියවීම ය. ඉංග්‍රීසි භාෂාවෙන් විද්‍යාව ඉගෙනගනිමින් සිටි ඔහු සිංහල භාෂාව ගැන, සිංහලයේ සම්භාව්‍ය කෘති ගැන, මුනිදාස කුමාරතුංග ගැන, වැඩි ඇල්මක් ඇති කර ගත්තේ ඒ අවස්ථාවේ දීය. ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ ඒ දෙසතියයි. පසු කලෙක ‘කුමාරතුංගගේ සමාජ දර්ශනය‘ (1962) නම් කෘතිය කරන්නට යෙදුණේ එසේ ලද අත්දැකීම් නිසාය.
නාලන්දා විදුහලේ දී ඔහුගේ සමකාලීනයන් වූයේ ගුණදාස අමරසේකර, හෙන්රි ජයසේන, කරුණාරත්න අබේසේකර, රවීන්ද්‍ර රූපසේන, හඩ්සන් සිල්වා, ස්ටැන්ලි ජයසිංහ, ධර්මසේන ආටිගල, රූපා කරුණාතිලක ආදීන්ය.
ඔහු 1952 දී විශ්ව විද්‍යාල ප්‍රවේශය සමත් වී කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් විද්‍යාවේ දී උපාධිය ලබා ගත්තේය. ඔහු දේශපාලනය ආරම්භ කළේ කොළඹ විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍යයකුව සිටිය දීය. එහිදී සිංහල සංගමය පිහිටුවා ගනිමින් එකල සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ ව්‍යාපාරයට හවුල් විය. 1955 දී උපාධිය ලැබූ ඔහු ප්‍රථම රැකියාව ලෙස තෝරා ගත්තේ ගුරු වෘත්තියයි. මහනුවර ධර්මරාජ විදුහලේ රසායන විද්‍යා ගුරුවරයා ලෙස පත්ව ආ ඔහු ඊට අමතරව මහනුවර මහාමායා බාලිකා විදුහලේ ද රසායන විද්‍යාව ඉගැන්නුවේය. ඔහු සම්පාදනය කළ ප්‍රථම ග්‍රන්ථය වූ ‘මිරිදිය ජීවීහූ‘ (1955) කෘතිය පළ කළේ මේ කාලයේය. ඊළඟට ඔහු අතින් රචනා කෙරුණේ ‘පොළොවේ කතාන්තරය‘ (1959) යි.
මහනුවර ධර්මරාජයේ සිටිය දී එහි සිසුන් ද සහභාගි කරවා ගෙන පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීමට බල කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම පෙළපාළිය සංවිධානය කළේය. එපමණක් නොව ධර්මරාජයේ පුස්තකාලයට මුලින් ම සිංහල පොතපත එකතු වූයේ ද විජයතුංගයන් එහි සේවය කළ කාලයේ දීය. එය සිදු වූයේ මෙසේය. ඉන්දු-පාකිස්තාන යුද්ධයක ලකුණු පහළවීමත් ක්‍රීඩා භාර ආචාර්යවරයා ක්‍රිකට් පන්දු හිඟයක් ඇති වෙතැයි කියා ක්‍රිකට් පන්දු දෙදහසක් මිල දී ගන්නට විදුහල්පතිවරයාගෙන් අනුමැතිය ලබා ගත්තේය. ඒ අවස්ථාවේ දී පුස්තකාලය භාර ආචාර්යවරයා වශයෙන් ඉදිරිපත් වූ විජයතුංග මහතා විදුහල් පුස්තකාලයේ සිංහල පොත පත නොමැති අඩුපාඩුව පෙන්වා දී අත්‍යවශ්‍ය පොත් ටිකක් මිල දී ගැනීමට ඊට සමාන මුදලක් ඉල්ලා සිටියේය. පොත් දමන්න පුස්තකාලයේ අල්මාරිවල ඉඩ ඇත්නම් මුදල් දෙන්නම් කියා ඒ ගැන බලන්නට තමා පැයකින් එන බව කියා විදුහල්පති තුමා විජයතුංග මහතා හරවා එවීය. වහා ම පන්තිවලට ආ විජයතුංග මහතා තමා උගන්වන පන්තිවල ළමුන් අමතා සිදු වූ දේ කියා පුස්තකාලයට කැඳවා ගෙන ගොස් ඒ අල්මාරිවල තිබූ ලතින්, ඉංග්‍රීසි හා ජර්මන් පොත් තුන බැගින් හැම ළමයකුට ම දුන්නේ ‘කියවන්න හදන්න එපා! පරිස්සමෙන් සති දෙකකින් ආපසු ගෙනෙන්න‘ කියාය. විදුහල්පතිවරයා පැමිණ බලා අල්මාරි හිස්ව ඇති බව දැක ක්‍රිකට් පන්දුවලට දුන් මුදලට සමාන මුදලක් පොත් මිල දී ගන්නට ලබා දුන්නේය. ලතින්, ජර්මන් පොත් වෙනුවට ධර්මරාජ පුස්තකාලයට සම්භාව්‍ය සිංහල පොතපත එකතු වූයේ ඒ අයුරිනි.
ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග අධිනීතිඥයකු, නීති ග්‍රන්ථ සම්පාදකයකු පමණක් නොව ශබ්දකෝෂ සම්පාදකයකු ද විය. 1971 කැරැල්ලට හසු වූවන් වෙනුවෙන් අපරාධ යුක්ති කොමිසම ඉදිරියේත්, 1977 අගෝස්තුවේ දී රට පුරා ඇවිළී ගිය කෝලාහලය පිළිබඳ විමසන්නට පත් කළ ජනාධිපතිවරයා විසින් පත් කළ සන්සෝනි කොමිසම ඉදිරියේත් ස්වේච්ඡාවෙන් පෙනී සිටියේ එය ජාතික කර්තව්‍යයක් සේ සලකා ගෙනයි.
1956 දී සිංහල විශ්වකෝෂයේ කටයුතු පේරාදෙණිය සරසවියට ගෙන ගියාට පසු ඔහු ධර්මරාජයේ ආචාර්ය පදවිය අත්හැර විශ්වකෝෂයේ විද්‍යා අංශයේ සංස්කාරක ලෙස බැඳුණේය. කලක් එහි සේවය කළ ඔහු යළිත් ධර්මරාජයට ගියේ එහි නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙසය. 1984 – 1990 කාලය තුළ සිංහල විශ්වකෝෂයේ ප්‍රධාන සංස්කාරක ලෙස ද කටයුතු කළේය. සිංහල විශ්වකෝෂයේ පමණක් නොව එතුමා සිංහල ශබ්දකෝෂයේ ද සංස්කාරක පදවිය හෙබ වීය.
එවකට සංස්කෘතික ඇමතිව සිටි වි.ජ.මූ. ලොකුබණ්ඩාර ඔහුට ජාතියේ හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ සිංහල ශබ්දකෝෂයේ අතිරේකයක් ලෙස ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂයක් එහි කාර්ය මණ්ඩලය එක්ව සම්පාදනය කරන ලෙස පැවරීය. එය සාර්ථකව ඉටු කළ අතර, සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් ‘ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂය‘ (1982/84) කාණ්ඩ දෙකක් වශයෙන් නිකුත් කරනු ලැබීය. එදිනෙදා කටයුතු සඳහා භාවිත කළ හැකි සිංහල ශබ්දකෝෂයක අඩුව එයින් පුරවනු ලැබීය. දැන් ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන විශාලතම සිංහල පොත වශයෙන් සැලකිය හැකි ‘ගුණසේන මහා සිංහල ශබ්දකෝෂය‘ (2005) ලෙස පළ වන්නේ ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂ කාණ්ඩ දෙකෙහි නව සංස්කරණයකි.
හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා විද්‍යාව සිංහලෙන් ඉගැන්වීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ බව කිවයුතුය. එවකට පන්තිවලට නියම කර තිබූ නිර්දිශ්ට ග්‍රන්ථ වූ බ්‍රවුනිං හා ජෝශප් ගේ ‘ප්‍රායෝගික රසායන විද්‍යාව‘ හා ඩරන්ට්ගේ ‘කාබනික රසායනය‘ වැනි පොත් 1963දී පරිවර්තනය කළේය. රසායන විද්‍යාව ඉගැන්වීමේ දී බටහිර පතපොතින් දේශීය අවශ්‍යතා සපිරෙන්නේ නැතැයි පැවසූ ඔහු 1956දී ජ්‍යෙෂ්ඨ රසායන විද්‍යාව නමින් අපේ රටේ බහුලව ඇති රසායනික ඇතුළත් කර සම්පාදනය කර තිබේ. සිංහලෙන් විද්‍යාව ඉගෙනගන්නා අයටත්, සිංහල භාෂාවෙන් කටයුතු කරන්නන්ටත්, සහය වනු පිණිස පාරිභාෂික වදන් එක් රැස් කොට ‘නූතන සිංහල පාරිභාෂික ශබ්දකෝෂය‘ (1978) නමින් විශ්වකෝෂීය ශබ්දකෝෂයක් සම්පාදනය කළේය. ඊට විදු වදන්වලට නිර්වචන ද ආදාළ ඉංග්‍රීසි වදන් ද ඇතුළත් කළේය.
ශ්‍රී ලංකාව 1965 දී අධිරාජ්‍යවාදී මිනුම් ක්‍රමවලින් අද පවත්නා මෙට්ට්‍රික් ක්‍රමයට හැරවෙද්දී ප්‍රථමවරට ආරම්භ කළ ප්‍රමිති කාර්යංශයේ ලේකම් වශයෙන් එහි කටයුතු කළේ හරිශ්චන්ද්‍ර විජයතුංග මහතාය. ඔහු එය නිරවුල්ව හා කඩිනමින් ඉටු කිරීමට කටයුතු මෙහෙය වීය.
හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා දේශපාලනයට පිවිසියේ පිලිප් ගුණවර්ධන මහතාගේ අනුගාමිකයකු හැටියටය. එතුමා 1956 දී බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ බලයට ගෙන ඒමට සක්‍රිය දායක විය. එතුමාගේ දේශපාලන දර්ශනය වූයේ ප්‍රජාතන්ත්‍රවාදයෙනුත් ඔබ්බට ගිය මහා සම්මතවාදයයි; එනම් සියලු දෙනාගේ ම කැමැත්ත මත සිදුවන පාලන තන්ත්‍රයයි. ඒ සමග ම සිංහල බෞද්ධ අයිතිවාසිකම් වෙනුවෙන් හැම විට ම පෙනී සිටියේය. එතුමා කිසි විටෙකත් ජාතිවාදියෙකු නොවීය. ඔහු ප්‍රකාශ කළේ සිංහල බෞද්ධයකුට අනෙක් ජාතියක් හෝ භාෂාවක් කිසිසේත් හෙළා දැකිය නොහැකි බවත්ය. “ලෝකයේ සෑම රටක් ම භූමිපුත්‍රයින්ට මුල් තැනක් දෙනවා. සංක්‍රමණිකයන්ට සලකනු ලබන්නේ ඊළඟටයි. ඒත් අපේ රටේ එහෙම නැහැ. එය වෙනස් විය යුතුයි“ ඔහු සිය නොසතුට පළ කළේය.
එවකට ශ්‍රී ලංකාවේ පැවති ප්‍රධන පක්ෂ දෙකෙන් ම සිංහල බෞද්ධ අයිතිවාසිකම් නොරැකෙන බව ප්‍රත්‍යක්ෂ වීම නිසා තවත් බෞද්ධ විද්වතුන් ඒකරාශී කර ගෙන සිංහලේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂය පිහිටුවා ගෙන ඒ පක්ෂයෙන් 1994 සහ 1999 පැවති ජනාධිපතිවරණවලට ඉදිරිපත් විය.
ග්‍රන්ථ කර්තෘවරයකු හා පරිවර්තකයකු වශයෙන් එතුමා සම්පාදනය කළ නොයෙක් පොත්පත් අතර, ජාතික සටන (1960), ජනතා ජයග්‍රහණයේ අනාගතය (1963), මාඕ සේතුංගේ කලාව සහ සාහිත්‍යය (1963), සිංහල ශබ්දකෝෂ සම්පාදනයට අලුත් ආකල්පයක් (1977), පහන් වන දා (1981), ලෝකය රක්නා ප්‍රජාතන්ත්‍රය - මහාසම්මතවාදය (1991), ජාතික අනන්‍යතාවේ න්‍යායික පසුබිම (1992), නේරු- කොතලාවල ගිවිසුම ක්‍රියාත්මක කරමු (1993), වෙනසක පෙර නිමිති (1995), නීති නිඝණ්ඩුව (1996), භීෂණයෙන් තොර සමාජයක් (1999), සුන්දර කෙන්යාව හෙවත් මාසෛයන්ගේ රට (2002), මාර සෙනඟගේ හා දේවදත්තයන්ගේ වැඩ (2003), සිංහල අකුරු අකාරාදි කිරීම සහ ප්‍රමිත කිරීම (2003), ආගමික නිදහස හා මුලික අයිතිය (2003), ඊර්ෂ්‍යාකාරයාගේ අණ (2006), හෙවිසි එපා (2007), පෙරළියක නිර්මාතෘ - ඇෆ්. ආර්. ජයසූරිය (2007), යක්කු සහ කුවේණි (2008), යනාදිය ද වෙයි.
මිනුවන්ගොඩ මැඩෑමුල්ලේ දී 1931 ඔක්තෝබර් 25 වැනිදා උපන් විජයතුංග මුදලිගේ හරිශ්චන්ද්‍ර විජයතුංග වසර 94ක් ආයු වළඳා 2025 නොවැම්බර් 13 වැනිදා මාකොළ තැඹිලිගස් මුල්ලේ දී අවසන් ගමන් ගියේය.

0 Comments