HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

අසූවියට පා තබන එක්සත් ජාතීන්ගෙන් අපට ලැබුණේ මොනවා ද?

එක්සත් ජාතීන්ගේ දිනය යෙදෙන්නේ ඔක්තෝබර් 24 වැනිදාටය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් ආරම්භ වූයේ 1946 ඔක්තෝබර් 24 දා නිසා ය. එය ආරම්භ වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු නැවතත් ලෝක යුද්ධයක් ඇති වීම වැළක්වීම පිණිස එකමුතු විය යුතු යැයි ලෝකයේ බලවත් ජාතීන් එක්ව දැරූ මතය අනුව යමිනි. ලෝකයේ රටවල් එක්ව පිහිටවනු ලබන සමගි සංධානය, සඳහා ‘එක්සත් ජාතීන්ගේ සංවිධානය‘ යන නම යෝජනා කළේ එවකට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වූ ෆ්රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් ය. 

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ම්‍රූලස්ථාන ගොඩනැඟිල්ල.

1945 අප්‍රේල් 25-26 දෙදින තුළ ඇමෙරිකාවේ සැන්ප්‍රැන්සිස්කෝ නුවර දී රැස්වී අන්තර්ජාතික සම්මේලනයක් පවත්වන ලදී. ලෝකයේ ප්‍රබල රටවල් සියල්ල ම පාහේ එක්වී සිටි මේ සම්මේලනයේ දී එක්සත් ජාතීන් සඳහා ප්‍රඥප්තියක් සකස් කරන ලදී. 1945 ජූනි මාසයේ 26 වැනිදා චීනය, ප්‍රංශය, සෝවියට් රුසියාව, මහා බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 51ක් ඊට එකඟත්වය පළ කර අත්සන් කරන ලදී. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් 1946 ඔක්තෝබර් 24 දා ආරම්භ විය. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය අරඹා අදට වසර 79කි. 

මේ වන විට එහි සාමාජික රටවල් සංඛ්‍යාව 195ක් දක්වා වැඩි වී ඇත. 195 වැනි රාජ්‍යය ලෙස 2011 ජූනි 9 වැනි දින එක් වී ඇත්තේ සුඩානයෙන් නිදහස ලබා වෙනම රාජ්‍යයක් බවට පත්වූ දකුණු සුඩානයයි. 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට නිරීක්ෂණ තත්වයෙන් සහභාගි වන, ඡන්ද බලය නොමැති රටවල් දෙකක් ද තිබේ. ඒ, පලස්තීනය හා වතිකානය හෙවත් හෝලි සී රාජ්‍යයයි. 


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුවක් පවත්වන අවස්ථාවක්.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරවල දී නිල වශයෙන් භාවිත කෙරෙන්නේ ලෝකයේ භාෂා අතුරෙන් ප්‍රධාන භාෂා 6ක් පමණි. ඒවා නම් ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියන්, චීන, ස්පාඤ්ඤ, අරාබි යන භාෂා හයයි. කලින් දැනුම් දී ඕනෑම රාජ්‍ය නායකයකුට තමන්ගේ භාෂාවෙන් සමුළුව ඇමතිය හැකිය. එය නිල භාෂා හයට පරිවර්තනය කිරීමට කටයුතු යොදනු ලැබේ. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය හුදෙක් සාම සාධක ආයතනයක් හෝ ලෝකයේ සංවර්ධන කාර්යයන්ට අත හිත දෙන ආයතනයක් පමණ නොවේ. එය ලොව පුරා ම රටවල ජන ජීවිතයේ සෑම අංශයකට ම සම්බන්ධ වූ කිසියම් ක්ෂේත්‍රයකට එක්සත් ජාතීන්ගේ සංවිධානය යම් කිසි අයුරකින් බැඳී ඇති බව විමසිලිමත්ව බලන විට පෙනේ. එයින් එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී සේවය විශේෂයෙන් ම පහත සඳහන් ක්ෂේත්‍රවලදී වඩාත් කැපී පෙනෙයි. ළමා සංවර්ධනය, පරිසර සංරක්ෂණය, මානව හිමිකම් සුරැකීම, සෞඛ්‍ය සේවා හා ඊට අදාළ පර්යේෂණ කටයුතු, දරිද්‍රතාව පිටුදැකීම, සහ සංවර්ධන කටයුතු, කෘෂිකර්ම හා කර්මාන්ත සංවර්ධනය, ධීවර කර්මාන්තය, අධ්‍යාපනය, ජනගහන කටයුතු, කාන්තා හිමිකම් සුරැකීම හා ඔවුන්ගේ අසමානතා දුරු කිරීමට කටයුතු කිරීම, ආපදා සහ සහන සේවා සැපයීම, විද්‍යා හා තාක්ෂණ සංවර්ධනය, ගගන හා සමුද්‍ර ගමනාගමනය, කම්කරු අයිතිවාසිකම්, සරණාගතයන්ගේ ශුභ සාධනය, පරමාණු බල ශක්තිය සාමාකාමී අරමුණු සඳහා උපයෝගී කර ගැනීම ඇතුළු විවිධ ක්ෂේත්‍ර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරම්වල ඇතුළත් වෙයි. 

තුන් වැනි ලෝක යුද්ධයක් ඇති වීම වළක්වා ගත හැකි වුවත් ලොව තැන ඇති වන යුද ගැටුම් නවත්වා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හැකි වී නැත. එය හේතුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්නා බලවත් රටවල් යුද අවි නිපදවීම ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය කර ගෙන සිටින නිසාය. ඒ නිසා ලෝක සාමය ඇති කිරීම සම්පූර්ණ කිරීම කිසිදාක කළ නොහැක්කක් වී තිබේ. රටවල් දෙකක් අතර දේශ සීමා අර්බූදයක් ඇති වූ විට එය ආරම්භයේ දී ම කතාබහ කර විසඳා ගත නොහැකිවී ඇත්තේ තම රටේ ආරක්ෂාවට ආයුධ රැස් කර තබා ගැනීම අවශ්‍යයි නායකයන් සිතන නිසයි. එසේ ම ඒ සඳහා දෙපැත්තට ම ආයුධ සැපයීමට බලවත් රටවල් සූදානමින් සිටින නිසාය. අවි ගත්තෝ අවියෙන් නැසෙති කියා කියමනක් තිබේ. එහෙත් අවි ගත්තන් අතර සිටින අහිංසකයන් ද ඒවායින් නැසෙන බව අපට පෙනේනේ නැත. 

ලෝක සාමය ඇති කිරීම වගේ ම ලෝකයෙන් දිළිඳු කම තුරන් කිරීම ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ඉලක්කයකි. එහෙත් එය ද තවමත් එම සංවිධානයට සපුරා ගත නොහැකි වී තිබේ. ලොව පුරා වෙසෙන මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තවත් ඉලක්කයකි. එහි දී ද එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම පල දරා නැත. මෑත දී ගාසා තීරයේ යුද ගැටුම් නිසා එහි ජීවත්වූ ළමයින් ඇතුළු සිය දහස් ගණනින් මිය යාම දැක්විය හැකිය. 

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලැබුණු හැටි 

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලැබූ ආකාරය ගැන පසුගිය ඔක්තෝබර් 19 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතට The day Sri Lanka was denied admission to the UN by a Soviet veto (සෝවියට් නිෂේධ බලයෙන් ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලැබීම වැළැක්වූ හැටි) යනුවෙන් ලිපියක් ලියමින් තලීෆ් ඩීන් අතීතාවර්ජනයක් කර තිබේ. ඔහු අයි.පී.එස්. ප්‍රවෘත්ති ආයතනයේ එක්සත් ජාතීන්ගේ කාර්යාංශ ප්‍රධානියා ලෙස කලක් කටයුතු කළ අයෙකි. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ, හිටපු අගවිනිසුරු, ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසූරිය මහතාය. මේ වන විට ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු බවට පත් වී වසර 70 ක් ගත වී ඇත. ඒ නිමිත්තෙන්, ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සැමරුමක් පැවැත්වෙනු ඇත. 

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය හිමිවූයේ, ගෙවී ගිය යුගයක අපූරු සිදුවීම් රැසක් ද සමඟය. 

තලීෆ් ඩීන් සිය ලිපිය ලියන්නේ එදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ කීර්තිමත් රාජ්‍ය තන්ත්‍රිකයකු වූ නෙවිල් කනකරත්නගේ මතක සටහන් ඔස්සේ යමිනි. . පසුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ නිලතල දැරූ නෙවිල් කනකරත්න ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලැබුණු ආකාරය ගැන සිහිපත් කරන්නේ මෙසේය: 

එදා ලංකාව, එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ඉල්ලා කළ ඉදිරිපත් කළ අයැදුම්පතට සෝවියට් සමූහාණ්ඩුව එරෙහි විය. ඒ, නිෂේධ බලය භාවිතයට ගනිමින් ඊට විරෝධය දක්වමිනි. ඊට හේතුව, ශ්‍රී ලංකාව, 1948 පෙබරවාරි මාසයේ, මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා තිබුණ ද, ඒ වන විට බ්‍රිතාන්‍ය රජය සමඟ පැවැති ආරක්ෂක එකඟතාවක් මුල්කොට ගනිමිනි. එම ආරක්ෂක එකඟතාව වූයේ ත්‍රිකුණාමලය වරාය, නාවික වරායක් ලෙස පවත්වාගෙන යෑමට බ්‍රිතාන්‍යයට ඉඩ දීමය. 

බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවා යැයි කීවත්, ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලබා නොතිබුණු බවත්, ශ්‍රී ලංකාව තවමත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවත් සෝවියට් සමූහාණ්ඩුව තර්ක කළේය. මේ නිසා ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ අසුනක් පිරිනැමීම සෝවියට් සමූහාණ්ඩුව ප්‍රතික්ෂේප කළේය. 

ඇත්ත වශයෙන්ම මෙය ශ්‍රී ලංකාවට එරෙහිව දැක්වූ විරෝධයක් නොවීය. ඒ වන විට, සෝවියට් සමූහාණ්ඩුව සහ ඇමෙරිකා එක්සත් ජනපදය නිරවි යුද්ධයේ පැටලී සිටියේය. සෝවියට් සමූහාණ්ඩුව, ඔවුන්ට හිතවාදී රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් විය යුතු යැයි යෝජනා කරද්දී, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඊට විරෝධය දැක්වූ අතර, සෝවියට් සමූහාණ්ඩුව, එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයට සුදුසු යැයි යෝජනා කරන ඔවුන්ට හිතවාදී රටවලට ඇමෙරිකාව ඇතුළු රටවල් විරෝධය දැක්වීය. 

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය පළමු වරට ඉල්ලා සිටියේ 1948 මැයි මාසයේය‍. ඒ නිදහස හිමිවීමෙන් මාස තුනකට පසුවය. ඊට අදාළ අයැදුම්පතට අත්සන් කළේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායකය. එදා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස එම ධුරය හෙබවූයේ ද ඩී.එස්. සේනානායකය. අයැදුම්පත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, එහි නිත්‍ය නියෝජිත සෝවියට් සමූහාණ්ඩුව නිෂේධ බලය යොදා ඊට එරෙහි වුණු බැවිනි. ‘සිලෝන් ස්වෛරී සහ ස්වාධීන රාජ්‍යයක් බව පෙන්වීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත්, ප්‍රමාණවත් සාක්ෂි ලැබෙන තුරු සාමාජිකත්වය සඳහා කරන ලද ඉල්ලීම සම්බන්ධ තීරණය තාවකාලිකව කල් දමන්නේ’ යැයි ආරක්ෂක මණ්ඩලය විසින් සඳහන් කරනු ලැබීය. 

මේ සම්බන්ධයෙන් ගැඹුරින් කල්පනා කළ, පසුව අග්‍රාමාත්‍ය ධුරයට පත් ශ්‍රීමත් ජෝන් කොතලාවල මැදිහත් වී, මාධ්‍ය දැවැන්තයකු මෙන්ම දක්ෂ දේශපාලන බල තැරැව්කරුවකු ද වූ එස්මන්ඩ් වික්‍රමසිංහ මෙම කාර්යයට සම්බන්ධ කර ගත්තේය. ඒ විශේෂ නියෝජිතයකු ලෙස ඔහු පත් කරමිනි. සියලු පාර්ශ්වකරුවන් සමඟ (ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සමූහාණ්ඩුව) සාකච්ඡා කර, එකඟතාවක් ඇති කර ගනිමින්, ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට ක්‍රමයක් කල්පනා කර එය ක්‍රියාවට නඟන්නැයි එස්මන්ඩ් වික්‍රමසිංහට උපදෙස් ලැබුණි. 

එස්මන්ඩ් වික්‍රමසිංහ කීර්තිමත් මාධ්‍ය දැවැන්තයකු පමණක් නොව, දේශපාලනයේ රජුන් තනන්තකු ලෙස ද එකල ප්‍රකටව සිටියේය. ඒ වන විට තිරයෙන් පිටුපස රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා බොහොමයකට ඔහු දායක වී සිටියේය. ඒ අනුව, ආර්.එස්.එස්. ගුණවර්ධනගේ ද (පසුව අපගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පළමු නිත්‍ය නියෝජිතයා වූ) සහයෝගය ඇතිව, සැමට වාසි වන ආකාරයේ ගනුදෙනුවකට සියලු දෙනා කැමැති කර ගැනීමට හැකියාව ලැබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 1955 වසරේ දෙසැම්බර් 14 වැනි දින ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමිවිය. 

අපට පමණක් නොව, අපට සාමාජිකත්වය හිමිවුණු දිනයේම, සෝවියට් සමූහාණ්ඩුව විසින් එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය සඳහා යෝජනා කර තිබුණු සහ ඇමෙරිකා එක්සත් ජනපදය නිෂේධ බලය යොදා සාමාජිකත්වය අවහිර කළ සෝවියට් සමූහාණ්ඩුවට හිතවත් ඇල්බේනියාව, බල්ගේරියාව, හංගේරියාව සහ රුමේනියාව යන රටවලට ද සාමාජිකත්වය හිමිවිය. 

අප එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දෙවන වර ඉල්ලා සිටියේ 1950 වසරේ සිට වුවත්, එය අපට හිමිවූයේ වසර පහකට පසුවය. ඒ සඳහා දිගු කාලයක් අපට බලා සිටීමට සිදු විය. 

සාමාජිකත්වය ලැබීමෙන් පසු, ශ්‍රීමත් ජෝන් කොතලාවල බලාපොරොත්තු වූ ආකාරයට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අති උත්කර්ෂවත් අන්දමින් සහභාගි වීමට ඔහුට හැකියාව ලැබුණේ නැත. ඊට හේතුව, 1956 දී එක්සත් ජාතික පක්ෂයට දරුණු පරාජයක් හිමි වූ නිසාය. ඒ අනුව බලයට පත් රජයේ අග්‍රාමාත්‍යවරයා වූයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 1956/57 සැසිවාර සඳහා ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දුන්නේ බණ්ඩාරනායකය. 

1956 වසරේ දී ශ්‍රී ලංකා අගමැති බණ්ඩාරනායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුවට 
සහභාගී වූ අවස්ථාව. එහි ශ්‍රී ලංකා පළමු නිත්‍ය නියෝජිතයා වූ ශ්‍රීමත් ආර්.එස්.එස්. ගුණවර්ධන මෙහි සිටී.

1956 වසරේ නොවැම්බරයේ, බණ්ඩාරනායක සහ මෙරට දූත පිරිස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වෙද්දී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය හිමිවුණු පළමු ශ්‍රී ලාංකික මාධ්‍යවේදියා වූයේ, ලේක් හවුස් පුවත්පත් සමූහය නියෝජනය කරමින් අර්නස්ට් කොරයා ද නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය බලා ගොස් සිටියේය. අර්නස්ට් කොරයා පසුව එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළේය. 

අර්නස්ට් කොරයා සඳහන් කරන්නේ, බණ්ඩාරනායක අගමැති එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී කළ පළමු මෙන්ම අවසාන කතාව ද සුවිශේෂී වූ බවය. සෙසු රටවල නායකයන් බොහෝ දෙනකු පෙර සූදානම් කරගෙන ආ කතාවක් පිටපත බලාගෙන කියවූවත්, බණ්ඩාරනායක සමුළුව ඇමතුවේ ලියාගෙන ආ කතාවක් බලාගෙන නොවීමය. අග්‍රාමාත්‍යවරයාගේ චතුර කථිකත්වය, විචක්ෂණභාවය සහ පුළුල් දේශපාලන දැක්ම, සෙසු ලෝක නායකයන් මවිතයට පත් කළේය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවැති සම්ප්‍රදාය බිඳ දැම්මේ එසේය. 

1955 දී එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමිවුවත්, ශ්‍රී ලංකා දූත මණ්ඩලයට කාර්යාලයක් සඳහා ඉඩකඩ ලැබුණේ නැත. මෙය ශ්‍රී ලංකා රජයේ පුදුමයට හේතුවක් විය. 1950 දශකයේ මුල් භාගයේදී ඇමෙරිකාවට ගොස් සිටි ශ්‍රී ලාංකිකයකු වූ ලෝරන්ස් ගුණතිලකගේ කරුණාව සහ හොඳ හිත දූත මණ්ඩලයට යොමු වූයේ මෙම අවස්ථාවේදීය. ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය පුරෝගාමී ශ්‍රී ලාංකිකයකු ලෙස ලෝරන්ස් ගුණතිලක සැලකෙයි. ගුණතිලක, ඔහුගේ නවාතැන ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ කාර්යාලය ලෙස භාවිතයට ගන්නැයි ඉඩ සලසා දුන්නේය. 

වෙස්ට් 73 වැනි වීදියේ පිහිටි ගුණතිලකගේ නවාතැනේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ පළමු නිවහන ස්ථාපිත කෙරුණි. එවකට දූත මණ්ඩලයේ ලිපිශීර්ෂවල ලිපිනය ලෙස සඳහන් වූයේ එම ස්ථානයයි. එදා තානාපති ධුරය හෙබවූ තානාපති කනකරත්න පවසා ඇත්තේ, සටන් ප්ලේස් හි ගොඩනැගිල්ලක් සොයා ගන්නා තෙක් මාස දෙකක් හෝ තුනක් පමණ ලෝරන්ස්ගේ නවාතැන අපගේ මූලස්ථානය වූ බවය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ශ්‍රී ලංකා පළමු නිත්‍ය නියෝජිතයා වූ ශ්‍රීමත් සෙනරත් (ආර්.එස්.එස්.) ගුණවර්ධන, එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළ බැවින්, ඔහුට නිව්යෝක් නුවර සහ වොෂින්ටන් අගනුවර අතර නිතරම එහා මෙහා යෑමට සිදුවිය. වාර්ෂිකව පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීමට ප්‍රමාණවත් නියෝජිතයන් නොමැති වීම එදා ගැටලුවක් විය. එබැවින්, එක්සත් ජාතීන්ගේ නිව්යෝක් නුවර මූලස්ථානය ඉදිරිපිට සිට පාරේ ගමන් කරමින් සිටින ශ්‍රී ලාංකිකයකු දුටුවහොත්, ඔහු මූලස්ථානයට ‘ඇදගෙන‘ ගොස් නියෝජිතයකු ලෙස සමුළුවට සහභාගී කරවා ගනු ලැබුවේ යැයි විහිළුවක් ද එකල පැවතුනි. 

- ලුසිත ජයමාන්න 

 

අදහසක් පළ කරන්න

0 Comments