HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

ගොදුර කටේ තියන් මැරුණු අපූරු ඩයිනසෝරයෙක්!

පොසිල විද්‍යාඥයන්ට, කැණීම් කරද්දී, ඩයිනසෝර පොසිල අස්ථි හමුවීම සහ එම අස්ථි ඇසුරින් අලුත් ඩයිනසෝර විශේෂ හඳුනා ගැනීම අරුමයක් නොවෙයි. ඒත් අවසන් කෑම වේලත් සමඟ මියගිය ඩයිනසෝරයකුගේ පොසිල අස්ථි සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වුවහොත්, එය නම් අරුමයකි. පසුගිය දා එවැන්නක් සිදුවිය. 

දකුණු ඇමරිකාවේ දකුණු කෙළවරේ පිහිටි විශාල භූගෝලීය කලාප හැඳින්වෙන්නේ පැටගෝනියාව යනුවෙනි. ආර්ජන්ටිනාව‍ සහ චිලී යන රටවල් මෙම භූමි කලාපයට අයත් වෙයි. මෙම භූමිය, එහි විස්මයජනක ස්වාභාවික සුන්දරත්වයට ප්‍රසිද්ධය. බටහිරින් අන්දීස් කඳු වැටියේ දකුණු කොටස, හිම කඳු, ග්ලැසියර, විල් සහ වැසි වනාන්තර ද, නැගෙනහිරින් කාන්තාර, සානුවලින් මෙන්ම ස්ටෙප් තණ බිම්වලින් ද වියළි බිම්වලින් ද සමන්විතය. 

පැටගෝනියාවේ ආජන්ටිනාවට අයත් හුවාපි කැණීම් භූමියේ, කැණීම් කරමින් සිටි පොසිල විද්‍යාඥයන්ට නව ඩයිනසෝරයකුගේ අස්ථි කොටස් හමුවිය. පොසිලකරණයට ලක් වුණු තියුණු නියවලින් පැහැදිලි වූයේ මේ ඩයිනසෝරයා බිහිසුණු විලෝපිකයකු බවය. කශේරුකාවේත්, වල්ගයේත් පොසිලකරණයට ලක්වුණු අස්ථි විද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලදී. ඒත් වැදගත්ම සොයා ගැනීම දකින්න ලැබුණේ ඩයිනසෝරයාගේ මුඛයේ පොසිලකරණයට ලක්වුණු දත් අතරිනි. දත් අතරේ වූ අස්ථියක් ගැන විද්‍යාඥයන්ගේ අවධානය යොමු විය. ඒ අස්ථිය ඩයිනසෝරයාගේ අස්ථියක් නොවුණු බව පැහැදිලිව පෙනෙන්න විය. එය, එදා ඩයිනසෝරයා ජීවත් වූ කාලයේ වාසය කළ කිඹුල් පවුලට අයත් උරගයකුගේ අස්ථියකි. ඩයිනසෝරයාගේ ප්‍රියතම ආහාරය වන්න ඇත්තේ මෙම කිඹුල් විශේෂය විය හැකිය. 

කිඹුලා අල්ලා ගෙන ආහාරයට ගනිමින් සිටිද්දී මියගිය මෙම ඩයිනසෝරයා, නව ඩයිනසෝර විශේෂයකට අයත් බව වැඩිදුර විමර්ශනවලදී තහවුරු විය. මේ ඩයිනසෝරයා අයත් වන්නේ මෙගාරැප්ටෝරා යනුවෙන් හැඳින්වෙන ඩයිනසෝරයන් අතරට යැයි විද්‍යාඥයන් සැක හැර දැනගත්තේ ඉන් පසුවය. බිහිසුණු විලෝපික ඩයිනසෝරයන් වන මෙගාරැප්ටෝරා ඩයිනසෝර පොසිල අස්ථි මීට පෙර ආජන්ටිනාවෙන් හමුවී ඇත. ඒත් මෙවැනි මෙගාරැප්ටෝරා ඩයිනසෝරයකු හමුවී නැත. ඊට අමතරව, මෙගාරැප්ටෝරා ඩයිනසෝර පොසිල අස්ථි මධ්‍යම ආසියාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් හමුවී ඇත. එයින් පැහැදිලි වෙන්නේ, ඈත අතීතයේ මෙම ඩයිනසෝරයන් ලොව පුරා ව්‍යාප්තව සිටින්නට ඇති බවය. 

මෙසේ හමුවුණු පොසිල අස්ථි අනුව, මේ මෙගාරැප්ටෝරා ඩයිනසෝරයා එම විශේෂයේ අලුත් සාමාජිකයකු බව විද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීමය. මෙගරැප්ටෝරා (Megaraptora) යනුවෙන් හැඳින්වෙන්නේ දෙපා (පසුපස ගාත්‍රාවලින් ඇවිද ගිය) ඩයිනසෝරයන් වර්ගයකි. මොවුන්ගේ විශේෂත්වය දිග අත් පිහිටීමය. අප කවුරුත් හොඳින් දන්නා, ඩයිනසෝර ලොවේ රජු ලෙස ද සැලකෙන ටයිරැනසෝරස් රෙක්ස් ඩයිනසෝරයන්ගේ අත් කෙටි වූ අතර, මෙගරැප්ටෝරා වර්ගයට අයත් ඩයිනසෝරයන්ගේ අත් දිගු විය. ඒවා තියුණු නියවලින් සමන්විත විය. ගොදුරු මේ නියවලින් හොඳින් අල්ලා ගැනීම සිදු කරන්නට ඇතැයි විද්‍යාඥයන්ගේ අදහසය. 

විද්‍යාඥයන් මෙම නව ඩයිනසෝරයා නම් කර ඇත්තේ, වෝකින්රැප්ටර් කැසාලි [Joaquinraptor casali] යනුවෙනි. ඩයිනසෝරයාගේ හිසේ සිට වල්ගය තෙක් දිග මීටර් 7 ක් පමණය. මේ සත්වයා ජීවත් වන්න ඇතැයි පැවැසෙන්නේ මිලියන 66 ත් 70 ත් අතර කාලයේය. මියයද්දී මෙම ඩයිනසෝරයාගේ වයස අවුරුදු 19 ක් වන්නට ඇතැයි පැවැසෙයි. විද්‍යාඥයන් මේ බව අනාවරණය කර ගත්තේ පොසිල අස්ථි හොඳින් පරීක්ෂා කිරීමෙනි. වෝකින්රැප්ටර් කැසාලි ලෙස නම් කරමින් මෙම නව ඩයිනසෝරයා හඳුනා ගත්තත්, උගේ දත් අතරේ තිබී හමුවුණු අස්ථි කිඹුල් ඥාතියකුගේ යැයි හඳුනාගත්තත්, වෝකින්රැප්ටර් කැසාලි මියගියේ කෙසේදැයි අවබෝධ කර ගැනීමට විද්‍යාඥයන් සමත් වී නැත. 

වසර මිලියන 160 කට අධික කාලයක් පෘථිවියේ ආධිපත්‍යය රඳවා ගත්තේ ඩයිනසෝරයන්ය. උරගයන් සේ පෙනුනත්, ඩයිනසෝරයන් සමානකම් දක්වන්නේ කුරුල්ලන්ටය. විද්‍යාඥයන් මේ බව පවසන්නේ ඩයින්සෝර අස්ථි අනුවය. ඩයිනසෝර් යන වදනෙහි අරුත බිහිසුණු උරගයා (කටුස්සා) යන්නය. (Deinos යනු බිහිසුණු යන්නය. sauros යනු කටුස්සාය.) බ්‍රිතාන්‍ය ජාතික ස්වභාව විද්‍යාඥයකු වූ ශ්‍රීමත් රිචඩ් ඕවන් විසින් 1842 දී මෙම නාමය හඳුන්වා දෙනු ලැබුණි. ඩයිනසෝරයන් ජීවත් වූයේ මීසොසොයික් (Mesozoic Era) අවදියේය. මෙම අවදිය කොටස් තුනකි. ත්‍රියාසික යුගය (Triassic Period), ජුරාසික යුගය (Jurassic Period) සහ ක්‍රිටේසීය යුගය (Cretaceous Period) යනුවෙනි. ඩයිනසෝරයන් වර්ගීකරණය කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය පදනම් වී ඇත්තේ ඔවුන්ගේ ශ්‍රෝණි (උකුල්) අස්ථිවල සැකැස්මට අනුවය. 

ලුසිත ජයමාන්න 

ලයිව් සයන්ස් ඇසුරිනි

අදහසක් පළ කරන්න

0 Comments