HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

වසර 56කට පෙර හඳට පා තබමින් අභිමානය නංවා ගත් හැටි

අද ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාව යළි ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට ලොකු සටනක් දෙමින් සිටියි. ඔහු දෙවැනි වරටත් ජනාධිපති පදවියට පත් වූයේ America Great Again නම් ඒ පොරොන්දුව ජනතාවට දෙමිනි. ඒ වෙනුවෙන් ඔහු ලොවට ම දැනෙන්නට අලුතින් ම කළ දේ එරටට භාණ්ඩ අපනයනය කරන රටවලට නිෂ්පාදනවලට විශාල වශයෙන් තීරු බදු පැනවීමෙනි. ඒවා ක්‍රියාත්මක කිරීම කල්දැමූ ඔහු ඒවා අඩුකර ගන්න අවශ්‍ය නම් සාකච්ඡාවට එන්නැයි ඒ හැම රටකට ම කීවේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාකරන්නේ අතීතයේ දී සක්විති රජුන් යටත් කර ගත් රටවලට ක්‍රියා කළ ආකාරයටයි. ඒ වගේ ම ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් රුසියානු නායක පුටින්ට දින 50ක් ඇතුළත යුක්රේන යුද්ධය සමාදාන වෙන්නැයි නැතහොත් රුසියාවට සියයට 100ක් තීරු බදු පනවන බවට තර්ජනය කළේය. ට්‍රම්ප් මේවා කරන්නේ ඇමෙරිකාවේ අභිමානය නංවා ලන්නයි. මේ ඔහුගේ ක්‍රමයයි. 

මේ වගේ ම ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ කරන්නට වුවමනාවක් මීට 64 වසරකට පෙර ඇමෙරිකාවේ ජනපති පදවියට පත් ජෝන් එෆ්. කෙනඩිටත් ඇති විය. ඒ සෝවියට් දේශය 1958 ඔක්තෝබර් 1 වැනිදා ලොව පළමුවරට චන්ද්‍රිකාවක් උඩුගුවනට යැවීමෙන් පසුව ඇති වූ තත්වය නිසාය. එයින් ඇමෙරිකාවේ අභිමානයට කැළලක් වූ බව ඇමෙරිකා වැසියන්ගේ නිගමනය විය. ඒ නිසා ඔවුහූ නාසා ආයතනය පිහිටුවා ගෙන උඩුගුවනට ජයගන්නට සූදානම් වූහ. ඇමෙරිකානුවන් 1961 දී කෙනඩි ජනාධිපතිතුමා බලයට පත් කළේ ඇමෙරිකාවේ අභිමානය යළි නංවා ලන්නයි. ඇමෙරිකාව ඔසවා තබන්නට එතුමා කල්පනා කෙළේ අද ට්‍රම්ප්ගේ ක්‍රමයට නොව වෙනස් විදියකටයි. ඒ හඳ මතට ‘පළමු මිනිසා‘ යැවීමට ඉලක්කයක් ලබා දීමෙන්. ඇපලෝ අභ්‍යවකාශ වැඩ පිළිවෙළ ආරම්භ කළේ අනුවයි. 


සඳගාමීන් තිදෙනා, නීල්, මයිකල් හා ඕල්ඩ්රින්

අද ඇමෙරිකානුවන්, ‘පළමු මිනිසා’ ලෙස ගෞරව නාමයෙන් හඳුන්වන්නේ නීල් ඒ. ආම්ස්ට්රෝං (Neil A. Armstrong) ය. නීල් ආම්ස්ට්රෝං ‘පළමු මිනිසා‘වෙමින් පළමුවෙන්ම සඳට පය තැබූ මොහොත දැක ගන්නට ජනාධිපති කෙනඩි ජීවත්ව නොසිටියේ ය. එයට හේතුව ස්නයිපර් තුවක්කුකරුවකු අතින් 1963 දී ඝාතනය වූ නිසයි. නීල් ආම්ස්ට්රෝං සඳට පා තැබුවේ, නාසා ආයතනයේ ඇපලෝ 11 මෙහෙයුම යටතේ, 1969 වසරේ ජූලි 20 වැනිදාය. ආම්ස්ට්රෝං පමණක් නොව, තවත් නාසා ගගනගාමීන් දෙදෙනකු ඇපලෝ 11 චන්ද්ර මෙහෙයුමට එක් වුණු අතර, ඔවුන් දෙදෙනා එඩ්වින් ඕල්ඩ්රින් (Edwin Aldrin) සහ මයිකල් කොලින්ස් (Michael Collins) ය. 

ඇපලෝ 1 සිට ඇපලෝ 10 දක්වා සිදු කළ පර්යේෂණ, අත්හදා බැලීම් සහ පුහුණුවීම් රැසකින් පසු, ඇපලෝ 11 මෙහෙයුම සඳහා මඟ සකස් කෙරුණි. විද්යාඥයන්, ඉංජිනේරුවන් සහ කාර්මික ශිල්පීන් දහස් ගණනකගේ දායකත්වය, නොපසුබට උත්සාහය සහ කැපවීමකින් ඇපලෝ 11 මෙහෙයුම සාර්ථක කර ගැනීමට ඉවහල් විය. මේ ජය ලබා ගන්නට අවස්ථාව සැලසුණේ එතෙක් ලෝකය තැනූ බල සම්පන්නම සැටර්න් 5 රොකට්ටුව නිසාය. එය නිර්මාණය කළේ එවකට ලෝකයේ විශිෂ්ටතම රොකට් විද්‍යාඥයා වූ වර්නර් වොන් බ්රවුන් නිසාය. 


මවු යානය හා චන්ද්‍රයානය ආපසු ඒමට සූදානම්ව


සඳගාමීන් එහි ගෙන ගිය ප්‍රබල සැටර්න්-5 රොකට්ටුව

හඳට ගිය මුල්ම මිනිහා වූ නීල් ආම්ස්ට්රෝං උපන්නේ, 1930 අගෝස්තු 5 වැනි දා ඇමරිකාවේ ඔහියෝ (Ohio) ජනපදයේ ඔග්ලේස් ප්රාන්තයේ (Auglaize County) වපකොනිටා (Wapakoneta) නුවරදීය. ආම්ස්ට්රෝං පර්ඩියු විශ්වවිද්යාලයෙන් (Purdue University) ගුවන් යානා ඉංජිනේරු විද්යාව හැදෑරීය. ආම්ස්ට්රෝං එක්සත් ජනපද නාවික හමුදාවේ ගුවන් නියමුවකු ලෙස සේවය කළ අතර, කොරියානු යුද්ධයේදී සටන් මෙහෙයුම්වලටද සහභාගී විය. යුද්ධයෙන් පසු, ඔහු ජාතික ගුවන් විද්‍යා උපදේශන කමිටුවේ (NACA - පසුව NASA බවට පත් විය.) පරීක්ෂණ නියමුවකු ලෙස සේවය කළේය. එහිදී ඔහු නව ගුවන් යානා සහ අභ්යවකාශ යානාවල පරීක්ෂණ පියසැරි සිදු කළේය. 


සඳ ගාමීන් නාසා ආයතනයේ සිට රොකට්ටුවට නැඟීමට පිටත් වූ අයුරු.

1962 වසරේ දී ඔහු නාසා ආයතනයේ දෙවන ගගනගාමී කණ්ඩායමේ සාමාජිකයකු ලෙස තෝරා ගැනීම සිදුවිය. නීල් ආම්ස්ට්‍රෝං සඳ බලා යෑමේ මෙහෙයුමට පුහුණු වූයේ වසර තුනක් තිස්සේය. ශුන්‍ය ගුරුත්වයට හුරු වීමට ඔහුට පැත්තට ඇවිදීමට සිදුවිය. රැහැන්වලින් ඔහුගේ සිරුර එක් පැත්තකට ගැට ගසා, පුහුණු කරවීම සිදුවිය. රැහැන් ආධාරයෙන් බිත්ති දිගේ ඇවිදින්නට පුහුණු විය. ආහාර පාලනය කිරීමට, නින්ද පාලනය කිරීමට මානසිකව මෙන්ම කායිකව පුහුණුවක් ලැබුණි. එදා ගගනගාමීන් පුහුණු කිරීම සිදුවූයේ ඔවුන් කාන්තාරවලට, වනාන්තරවලට, සාගරයට සහ ආක්ටික් කලාපයට රැගෙන යෑමෙනි. නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්රින් සහ මයිකල් කොලින්ස්ට ද එම කටුක පුහුණුවීම් හිමිවිය. 

සඳ ගමනට පෙර, ආම්ස්ට්‍රෝංට පාෂාණ සාම්පල හඳුනා ගැනීමේ විශේෂ පුහුණුවක් ලබා දීම සිදුවිය. මෙය එක්තරා ආකාරයක ආම්ස්ට්‍රෝංට නාසා ආයතනය ලබා දුන් භූගෝල පාඩමකි. ඇමෙරිකාවේ, ඇරිසෝනා ප්රාන්තයේ පිහිටි, ලෝකයේ වඩාත් ආකර්ෂණීය භූගෝලීය ලක්ෂණවලින් සමන්විත ග්‍රෑන්ඩ් කැනියමට ආම්ස්ට්‍රෝං යැවීම සිදුවිය. නෙවාඩා කාන්තාර ප්‍රදේශයේ අක්‍රිය යමහල් පාෂාණ පරීක්ෂා කිරීමටත්, හවායි දූපත්වල විවිධ ප්‍රදේශවල ඇති ලාවා විල්, ලාවා විවර අසලට ගොස් භූමිය පරීක්ෂා කිරීමට ආම්ස්ට්‍රෝංට සිදුවිය. ඒ සඳට ගොස් චන්ද්‍ර පාෂාණ අධ්‍යයනය කරමින් ඒවා හඳුනා ගැනීමට අවශ්‍ය දැනුම අවශ්‍ය බැවිනි. 

සම්පූර්ණ සඳ ගමන සිදුවූ ආකාරය සිත්තරකුගේ ඇසින්.

සඳ ගමනට පෙර, නීල් ආම්ස්ට්‍රෝං, බස් ඕල්ඩ්රින් සහ මයිකල් කොලින්ස්ට නාසා ආයතනය ලබා දුන් කෑම වන්නේ, හරක් මස් (බීෆ් ස්ටේක්), බිත්තර, ටෝස්ට් කරපු පාන්, දොඩම් යුෂ සහ කෝපි ය. ඒ, වෛද්යවරුන්ගේ නිර්දේශ අනුවය. ඇපලෝ රොකට්ටුවේ ආධාරයෙන් සහ චන්ද්ර යානයේ ආධාරයෙන් සඳ බලා යද්දී, වැසිකිළි යෑම අවම කර ගැනීම කළ යුතු විය. 

1969 ජූලි 16 වැනිදා නාසා ආයතනයට අයත් ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්යවකාශ මධ්යස්ථානයෙන් සැටර්න් V (Saturn V) රොකට්ටුව, ගුවන්ගත වුයේ, ඇපලෝ 11 චන්ද්ර යානය ද රැගෙනය. පෘථිවි කක්ෂයේ දී රොකට්ටුවෙන් වෙන්වුණු යානය, පෘථිවියේ සිට කිලෝ මීටර් 386,243 ක දුරක් ගෙවා, පැය 109 ක් සහ මිනිත්තු 42කට පසු සඳ බලා පැමිණියේය. 1969 ජූලි 20 වැනිදා මයිකල් කොලින්ස් ඇපලෝ 11 මවු යානයේ සිටියදී, මවු යානයෙන් වෙන් වුණු ඊගල් (Eagle) නමැති කුඩා යානය, (චන්ද්ර මොඩියුලය) සඳ මත, විද්යාඥයන් විසින් ‘නිසල මුහුද‘ (Sea of Tranquility) යනුවෙන් නම් කළ ස්ථානයට සාර්ථකව ගොඩ බෑවේය. 

“මෙය මිනිසකුගේ එක් කුඩා පියවරක්, ඒත් මෙය මිනිස් සංහතියට එක් යෝධ පිම්මක්’ ("That's one small step for a man, one giant leap for mankind") යනුවෙන් නීල් ආම්ස්ට්රෝං පැවැසුවේ සඳ මත පය තැබූ පළමු මිනිසා වෙමිනි. යානයට සම්බන්ධ කළ කැමරාවලින් සජීවී දසුන් පෘථිවියට ලැබුණු අතර මිලියන ගණනක් ඒවා නරඹන්න වූහ. ආම්ස්ට්රෝං සහ ඕල්ඩ්රින් දෙදෙනා සඳ මත පැය 2.5ක් පමණ ගත කළ අතර, ඔවුහු සඳ මත ඇමෙරිකානු ධජය සිටුවා, විද්යාත්මක උපකරණ ස්ථාපනය කර, සඳ පාෂාණ සහ පස් සාම්පල කිලෝග්රෑම් 21.55ක් පමණ එකතු කර ගත්හ. සඳ මත සිට ආම්ස්ට්රෝං එදා ඇමෙරිකන් ජනාධිපති ලෙස කටයුතු කළ රිචඩ් නික්සන් සමඟ සජීවීව දුරකතනයෙන් කතාබහක් ද සිදුවිය. 

ගගනගාමීන් සාර්ථකව සඳෙන් පිටත්වී, කක්ෂයේ සිටි මයිකල් කොලින්ස් සමඟ නැවත සම්බන්ධ වී, 1969 ජූලි 24 වන දින ආරක්ෂාකාරීව පෘථිවියට (පැසිෆික් සාගරයට) ගොඩ බෑවේය. ඒ පැරෂූට් ආධාරයෙනි. නාසා ආයතනයට සමුදීමෙන් පසු ආම්ස්ට්රෝං විශ්වවිද්යාල මහාචාර්යවරයකු ලෙස රැකියාව කළේය. මියයනතුරු ඔහු ගත කළේ නිහඬ ජීවිතයකි. 2012 අගෝස්තු 25 වන දින නීල් ආම්ස්ට්රෝං අභාවප්රාප්ත විය. ඒ, හෘදයාබාධයකිනි. ඔහුගේ වයස අවුරුදු 82 ක් විය. 

ඇපලෝ 11 මෙහෙයුම යටතේ ආම්ස්ට්රෝංට පසු දෙවැනියට සඳ මතට පය තැබුවේ එඩ්වින් බස් ඕල්ඩ්රින් ය. ඕල්ඩ්රීන් 1930 ජනවාරි 20 වන දින නිව් ජර්සි හි උපත ලැබූ අතර, ඇපලෝ 11 මෙහෙයුමට සම්බන්ධ වූ තිදෙනාගෙන් ජීවතුන් අතර සිටින්නේ මොහු පමණි. ඕල්ඩ්රීන් එක්සත් ජනපද හමුදා ඇකඩමියෙන් (United States Military Academy at West Point) උපාධිය ලබා ගත් අතර, මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයෙන් (MIT) ගගනගාමී විද්යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ද ලබා ගත්තා. ඔහු ආචාර්ය උපාධියක් ලබාගත් පළමු ගගනගාමියා ලෙස සැලකෙයි. ගගනගාමියෙකු වීමට පෙර ඔහු එක්සත් ජනපද ගුවන් හමුදාවේ සටන් නියමුවකු ලෙස සේවය කළ අතර, කොරියානු යුද්ධයට ද සම්බන්ධ විය. 1963 දී නාසා ආයතනයේ තෙවන ගගනගාමී කණ්ඩායමට තෝරා ගැනුණි. ඇපලෝ 11 මෙහෙයුමේදී ඔහු චන්ද්ර මොඩියුලයේ නියමුවා (Lunar Module Pilot) ලෙස කටයුතු කළේ ඕල්ඩ්රීන්ය. සඳ මත දී ආම්ස්ට්රෝංගේ ඡායාරූප ගැනීම සිදු කළේ ඕල්ඩ්රීන්ය. 1971 වසරේ දී නාසා ආයතනයෙන් ඉවත් වූ ඔහු, අභ්යවකාශ ගවේෂණය සහ අධ්යාපනය වෙනුවෙන් දිගින් දිගටම කටයුතු කළේය. ඔහු අභ්යවකාශය පිළිබඳ පොත් කිහිපයක් ද රචනා කර ඇත. 

ඒ ඓතිහාසික හඳ ගමනට සහභාගි වුනත් හඳට ගොඩ බසින්නට නොහැකි වූවේ මයිකල් කොලින්ස්ටය. ඔහුට නීල් හා එඩිවින් හඳට ගොස් එන තෙක් ආපසු ඒමට මව් යානය පදවමින් සඳේ කක්ෂයක රැඳී සිටීමට ඔහුට සිදුවිය. මයිකල් 1930 ඔක්තෝබර් 31 වන දින ඉතාලියේ රෝමයේදී උපත ලැබීය. පියා එක්සත් ජනපද හමුදාවේ නිලධාරියකු ලෙස එහි සේවය කරමින් ඉතාලියේ සේවය කරමින් සිට ඇත. එක්සත් ජනපද හමුදා ඇකඩමියෙන් (United States Military Academy) උපාධිය හිමිකර ගත්තේය. නාසා ආයතනයට එක්වීමට පෙර, ඔහු එක්සත් ජනපද ගුවන් හමුදාවේ පරීක්ෂණ නියමුවෙකු ලෙස කටයුතු කළේය. 1963 දී නාසා ආයතනයේ තෙවන ගගනගාමී කණ්ඩායමට ඔහු තේරී පත් විය. ඇපලෝ 11 මෙහෙයුමේදී ඔහු නියමු මොඩියුලයේ නියමුවා (Command Module Pilot) ලෙස කටයුතු කළේය. 

නීල් ආම්ස්ට්රෝං සහ බස් ඕල්ඩ්රින් සඳ මතට ගොඩබසින විට, මයිකල් කොලින්ස්, කොලොම්බියා (Columbia) නමැති මවු යානය පාලනය කරමින්, සඳ වටා කක්ෂයේ රැඳී සිටියේය. 1970 වසරේ දී නාසා ආයතනයෙන් විශ්රාම ගත් ඔහු, පසුව ජාතික ගුවන් හා අභ්යවකාශ කෞතුකාගාරයේ (National Air and Space Museum) අධ්යක්ෂකවරයා ලෙස කටයුතු කළේය. 2021 අප්රේල් 28 වන දින මයිකල් කොලින්ස් අභාවප්රාප්ත විය. 

ලුසිත ජයමාන්න 

ස්තුතිය - නාසා ආයතනයට 

අදහසක් පළ කරන්න

0 Comments