HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

සුබ සහ යස බැබිලෝනියාවෙන් මතු වූ හැටි!

ඉතිහාසය පුනරූපණය වෙනවා කියලා කතාවක් තියෙනවා. සමහර විට ඔබ අහලත් ඇති. ‘සුබ සහ යස‘ කියන්නේ අද ජීවතුන් අතර නැති සයිමන් නවගත්තේගමගේ ඓතිහාසික නාට්‍යයක්. ඔහු ඒ නාට්‍යය ලියුවේ මහාවංශයේ සඳහන් වන අපේ රජ කෙනකුගේ කතාවක් ඇසුරෙන්. ඒ තමා යසලාලක තිස්ස කියන රජතුමා. එතුමා මෙරට රජකම් කළේ මීට අවුරදු 1973කට ඉස්සරයි. ඒ ක්‍රිස්තු වර්ෂ 52 දී විතරයි. මහාවංශයේ ගුණපාල වීරසේකර සූරීන්ගේ සංස්කරණයේ ඒ සිද්ධිය පළ වී තියෙන්නේ මෙහෙමයි: 


සයිමන් නවගත්තේගමගේ ‘සුබ සහ යස‘ නාට්‍යයේ ජවනිකාවක්.

චන්ද්‍රමුඛසිව හෙවත් සඳමුහුණු රජුගේ බාල සහෝදර යසලාලක තිස්ස කුමරා තිසා වැවේ දිය කෙළියේ දී රජු මරා රාජ්‍යය ගෙන හත් අවුරුදු අටමසක් රාජ්‍යය කළේය. යසලාලක තිස්ස රජහට දන්ත නම් දොරටුපාලයෙක් සිටියේය. ඔහුගේ පුත්‍රයා රූපයෙන් රජට සමාන විය. එහෙයින් ම ශුභ යන නමින් ප්‍රසිද්ධ විය. ශුභ ද රජුගේම දොරටුපාලයා විය, යසලාලක තිස්ස රජතුමා තමාගේ ඇඳුම් ශුභයාට අන්දා සිංහාසනයේ වැඩි කරවා ඔහුගේ ඇඳුම් තමා ඇඳ ගෙන සරයටියද අතින් ගෙන දොරටුපාල වෙස් ගනිමින් කවටකමත් කරන්නට පුරුදු වී සිටියේය. ඇමතිවරුන් අවුත් සිංහාසනයේ සිටින දොරටුපාලයාට වඳින විට දොරටුපාල වෙස් ගෙන සිටින රජු සිනාසෙයි. 

මේ කවට කම කීපවරක් සිදු විය. ශුභ බලතා අවස්ථාවෙන් ප්‍රයෝජනය ලබන්නට කල්පනා කර ගත්තේය. දිනෙක සිංහාසනයෙහි සිටි ශුභ බලතා දොරටුපාල වෙසින් සිටි රජු ඇමතිවරුන් දොරටුපාලයාට වඳින අතර සිනාසෙනු බලා “මේ දොරටුපාලයා මා ඉදිරියේ සිනාසෙන්නේ කවර හෙයින් දැ“යි කෝපයෙන් කියා රජු මරවා රාජ්‍යය ගෙන ශුභ රජ නමින් ප්‍රසිද්ධ ව සාවුරුද්දක් රාජ්‍යය කළේය. (මහාවංශය - ගුණපාල වීරසේකර සංස්කරණය පිටු 268-269) 

සයිමන් නවගත්තේගම ඒ කතාව ඇසුරෙන් ප්‍රහසනයක් ‘සුබ සහ යස‘ නමින් වේදිකාවට ගෙනාවේය. ඔහු ඒ නාට්‍යයට පාදක කර ගත් ඒ ඓතිහාසික සිද්ධිය මීට අවුරුදු ගණනකට පෙර ඊට සමාන අයුරින් සිදු වී තිබීම මට කියවන්නට ලැබීමෙන් මම මවිතයට පත්වීමි. ඒ කතාව මා කියෙව්වේ විශ්ව කීර්තියට පත් ලේඛකයකු වූ ඉෂාක් ඇසිමොව් (Isaac Asimov) විසින් සංස්කරණය කළ ‘ද ජයන්ට් බුක් ඔෆ් ෆැක්ට්ස් ඇන් ට්‍රීවියා‘ (The Giant Book of Facts & Trivia) නම් ඉංග්‍රීසි ග්‍රන්ථයෙනි. එහි මෙසේ සඳහන් විය: 

“ඉතා ඈත අතීතයේ බැබිලෝනියාවේ එරා එමිටි (Erra-Imitti) නම් රජෙක් සිටියේය. ඔහුට උද්‍යාන පාලකයෙක් ද සිටියේය. ඔහු නමින් ‘එන්ලිල් බානි‘(Enlil-Bani) විය. ඒ ප්‍රවාදයට අනුව රජතුමා අවුරුදු දාට පෙරදා උද්‍යාන පාලකයා කැඳවා නියෝගයක් දුන්නේය. ඒ නව අවුරුදු දා දවස පුරා රටේ රජකම දරන්නට ය. එකල සිරිත වූයේ ‘දවසේ රජු‘ එදවස අවසානයේ දී දෙවියන්ට බිලි දීමය. රාජනියෝගයෙන් ගැලවිය නොහැකි විය. රජ බලෙන් ඔහුව රාජ ඇඳුම් අන්දවා සිහසුණේ හිඳවීය. එන්ලිල් බානි ජීවිත ආශාව අත්හැර දවසේ රජකම බාර ගත්තේය. දවස අවසානයේ දී සිදුවන දේ අමතක කර දවසක් රජකම් කරන්න ඉටා ගත්තේය. 

කෙසේ වෙතත්, සැබෑ රජු වූ එරා එමිටි රජතුමා උත්සව දිනය අවසන් වීමට පෙර හදිසියේ ම මරණයට පත් විය. ඒ නිසා උද්‍යාන පාලකයා වූ එන්ලිල් බානිට සිය දිවිගලවා ගැනීමටත් දිගටම රජ පදවියේ රැඳී සිටීමට හැකි විය. එතැන් සිට ඔහු වසර 24ක් බැබිලෝනියාවේ රජකම් කළ බව සඳහන්ය. 

මේ කතාවේ හැටියට මේ රජවරුන් දෙදෙනා රජකම් කර ඇත්තේ මින් වසර 3900කට පමණ පෙර බැබිලෝනියානු අධිරාජ්‍යයට අයත් රාජධානියකය. ඔබට තවදුරටත් ඒ ගැන විස්තර සොයා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉංග්‍රීසියෙන් ටයිප් කර අන්තර් ජාලය ඔස්සේ විමසුම් කළ හැකිය. 

- පර්සි ජයමාන්න 

අදහසක් පළ කරන්න

2 Comments