HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

පෘථිවියෙන් පසු අපේ මීළඟ නවාතැන යුරෝපාද?

මනුෂ්‍ය අපේ මීළඟ නවාතැන අඟහරු ග්‍රහලෝකය යැයි බොහෝ දෙනාගේ පිළිගැනීමයි. අඟහරු හෙවත් රතු ග්‍රහයා ගවේෂණයට රොබෝ ගවේෂණ යානා යැවීමට හැකි වුවත්, අඟහරු මතට ගගනගාමීන් යැවීමට තවමත් හැකි වී නැත. එහෙත් ඒ සඳහා බලාපොරාත්තු ඇත. එමෙන්ම, ඉදිරි දශකයේ සඳට ගගනගාමීන් යැවීමට පමණක් නොව, සඳ මත ජනපද පිහිටුවීමට ඇමෙරිකාව, චීනය පවා මේ වන විට ලහිලහියේ සුදානම් වෙනවා. ඒත් මිනිසාගේ මීළඟ නවාතැන වන්නේ අඟහරුද? නැතිනම් අප පෘථිවියේ උප ග්‍රහයා වන සඳුද? 

දැන් දැන් විද්‍යාඥයන්ගේ අලුත් ම මතය වී ඇත්තේ අඟහරු හෝ සඳ හෝ මනුෂ්‍ය වාසයට සුදුසු නැති බවයි. ප්‍රධාන වශයෙන්, මනුෂ්‍ය අපට අත්‍යවශ්‍යම සාධකය වන ඔක්සිජන්, අඟහරු මත හෝ අප සඳ මත හෝ ඇත්තේ නැහැ. එහෙයින්, තව වසර බිලියන ගණනක් ගත වෙද්දී, මිනිස් ජීවය කෙබඳු වේවිද? මනුෂ්‍ය වර්ගයාගේ මීළඟ නවාතැන්පොළ අඟහරු වේවිද? චන්ද්‍රයා වේවිද? නැතිනම් අප සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් අභ්‍යවකාශ වස්තුවක් වේවිද? 

අප සෞරග්‍රහ මණ්ඩලයේ හිරුට ආසන්න මුලින්ම ඇත්තේ පාෂාණමය ග්‍රහලෝක 4 කි. බුද, සිකුරු, පෘථිවිය සහ අඟහරු හෙවත් රතු ග්‍රහයා යනු එම පාෂාණමය ග්‍රහවස්තූන් 4 යි. එම පාෂාණමය ග්‍රහවස්තූන් 4 පසු කළ විට, ග්‍රහක පටිය හමුවෙනවා. ග්‍රහක පටියෙන් ඔබ්බට යද්දී, අපට හමුවන්නේ වායුමය ග්‍රහ වස්තූන්. අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බෘහස්පති, ලස්සනම ග්‍රහයා ලෙස සැලකෙන සෙනසුරු, ඉන්පසු යුරේනස් සහ ප්ලූටෝ ආදී ග්‍රහවස්තූන් ද ඇත්තේ ඉන්පසුවයි. මෙම වායුමය ග්‍රහවස්තූන් 4 දෙනාගෙන් පසු කයිපර් පටිය සහ ඌට් වළාව පිහිටයි. මුළු සෞරග්‍රහ මණ්ඩලයේ සැකැස්ම වන්නේ මෙයයි. හිරුට‍ ඉතාමත් ආසන්නයේ ඇත්තේ, බුද සහ සිකුරු ග්‍රහයන්ය. ඒවායේ උෂ්ණත්වය අධික බැවින්, ජීවයක් බිහිවීමට හෝ පැවැතීමට සුදුසු පරිසරයක් බුද හෝ සිකුරු ග්‍රහයන්ගේ ඇත්තේ නැත. 

බෘහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා

හිරුට ඉතා ආසන්නව පිහිටන බැවින් ජලය ද්‍රව මට්ටමෙන් පවතින්නේ නැත. ජල අංශු තිබුණත්, හිරුගේ උෂ්ණත්වය නිසා සැණින් වාෂ්ප වෙයි. අඟහරුවලින් ඔබ්බට යද්දී හිරුගේ උණුසුම නැති කලාපයේ ඇති ග්‍රහලෝක අධික සිසිලසකින් යුක්තයි. එහෙයින් ජීවය බිහිවීමට හෝ පැවැතීමට හෝ අවශ්‍ය සාධක නැත. හිරු එළිය මෙම ග්‍රහවස්තූන්ට ලැබෙන්නේ ඉතා අඩුවෙනුයි. මෙම ග්‍රහ වස්තූන්ගේ ජලය පවතින්නේ මිදුණු අයිස් ලෙසයි. හිරු එළිය අඩුත් නැතිව, වැඩිත් නැතිව ලැබෙන කලාපයේ ඇත්තේ අපේ පෘථිවිය සහ අඟහරු ග්‍රහයා පමණයි. මෙම කලාපය ජීවයට සුදුසු කලාපය නැතිනම් ‘හැබිටබල් සෝන්‘ ලෙස සැලකෙයි. ඒ අනුව ගලා යන ජලය පවතී. අධික උෂ්ණත්වයක් නොමැති නිසා ජලය වාෂ්ප වීමක් සිදුවන්නේ නැත. උෂ්ණත්වය අඩු නිසා ජලය මිදී අයිස් වීමක් සිදුවන්නේ ද නැත. ඒ අනුව, ජීවයට සුදුසුම කලාපය මෙයයි. ඒත් අඟහරු ග්‍රහයාගෙන් ගලා යන ජලය මෙතෙක් හමුවී නැත. අතීතයේ අඟහරු මත විල් සහ සාගර තිබෙන්න ඇතැයි පැහැදිලි සාක්ෂි නම් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. 

බොහෝ විද්‍යාඥයන්ට අනුව, අප සෞරග්‍රහ මණ්ඩලය සෑදෙද්දී, මුලින්ම ජීවය බිහිවන්නට ඇත්තේ අඟහරු ග්‍රහයා මතයි. වසර මිලියන ගණකක් ඈත අතීතයේ අඟහරු ජීවයෙන් පිරුණු සශ්‍රීක තැනක් වන්නට ඇති. නමුත් අඟහරු යම් ආකාරයකට මුළුමනින් ම විනාශ වී ගියා. අද එය ජීවයෙන් තොර කටුක තැනක්. අඟහරු මත වූ ජීවය, පෘථිවියට පැමිණි බවත්, පසුව පෘථිවිය ජීවයෙන් පිරුණු බවටත් අදහසක් පවතිනවා. හැබිටබල් සෝන්, සදාකාලික නැත. එය නිරන්තරයෙන්, ටිකෙන් ටික වෙනස්කම්වලට ලක්වෙයි. එය සිදුවන්නේ අප හිරු වයසට යද්දීයි. මේ වන විට අපේ හිරු පවතින්නේ තරුණ අවදියේයි. මේ වන විට, හිරුගේ වයස අවුරුදු බිලියන 4.5 කි. 

හිරුගේ වයස ටිකෙන් ටික වැඩි වෙද්දී, හිරු මතුපිට හයිඩ්‍රජන්, හීලියම් බවට පත්වීමේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව සෙමින් සෙමින් අවසන් වීමට පටන් ගනී. ඒ අනුව අදින් වසර බිලියන පහක පමණ කාලයක් ගිය පසු හිරුගේ හයිඩ්‍රජන් ප්‍රමාණය නිරන්තරයෙන් අඩුවීමක් සිදුවෙයි. හිරුගේ හයිඩ්‍රජන් ප්‍රමාණය අඩු වෙද්දී, හිරු ටිකෙන් ටික ප්‍රමාණයෙන් විශාල වෙයි. ඒ, රතු යෝධයකු බවට පත් වෙමිනි. හිරු මෙසේ රතු යෝධයකු වූ පසු, හැබිටබල් සෝන් වෙනස් වෙයි. හිරු රතු යෝධයකු වූ විට, එහි ප්‍රමාණය අඟහරු ග්‍රහයා පිහිටන ස්ථානය දක්වා විශාල වෙයි. එවිට පෘථිවිය විනාශ වනු ඇත. අප පෘථිවිය හිරු විසින් ගිලිනු ලබනු ඇත. 

තව වසර බිලියන පහක් පමණ යද්දී, මිනිසා අභ්‍යවකාශ තරණයේ ලොකු දියුණුවක් ලබා තිබෙන්න පුළුවනි. අභ්‍යවකාශ ගමන් බිමන් සාමාන්‍ය එදිනෙදා ගමන් බිමන් වී තිබෙන්න ද පුළුවනි. එහෙයින්, සූර්යයා විශාල වී, අඟහරුගේ කක්ෂය ආසන්නයට පැමිණෙද්දී, එනම් පෘථිවිය විනාශ වෙද්දී මනුෂ්‍යයා ඔහු නව නවාතැන ලෙස, නව හැබිටබල් කලාපයේ ස්ථානයක් තෝරා ගෙන අභ්‍යවකාශ යානාවලින් එහි යනු ඇත. හිරු රතු යෝධයකු ලෙස ප්‍රසාරණය වෙද්දී, නව හැබිටබල් කලාපය වනු ඇත්තේ, බෘහස්පති සහ සෙනසුරු අයත් වන කලාපයයි. බෘහස්පති සහ සෙනසුරු උෂ්ණත්වය අඩුත් නැති වැඩිත් නැති ග්‍රහයන් බවට පත් වෙයි. 

යුරෝපා චන්ද්‍රයාගේ සිට බලන විට බෘහස්පති පායන අයුරු

මෙම කලාපයේ ග්‍රහවස්තුන්ගේ ඇති ජලය (අයිස්) ද්‍රව මට්ටමට පත් වෙනවා. බෘහස්පති අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකයයි. බෘහස්පති වටා භ්‍රමණය වන උප ග්‍රහයන් හෙවත් චන්ද්‍රයන් බොහොමයකි. ඒ අතරින් ද ප්‍රධාන චන්ද්‍රයන් කීප දෙනෙකු සිටිනවා. ඒ අතරින් තාරකා විද්‍යාඥයන්ගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ යුරෝපා චන්ද්‍රයා වෙතටයි. යුරෝපා චන්ද්‍රයාගේ විශේෂත්වයක් තියෙනවා. ඒ, යුරෝපා චන්ද්‍රයා සතුව වැසුණු සාගරයක් තිබීමයි. වැසුණු සාගරය ඇත්තේ අයිස්වලිනුයි. යුරෝපා චන්ද්‍රයා ද හැබිටබල් සෝන් කලාපයට අයත් වෙද්දී, අයිස් වැස්ම සෙමින් සෙමින් ඉවත් වී දියවී යයි. එවිට පහළින් ඇති සාගර මතුවීම සිදුවෙයි. මේ වෙද්දී, මිනිස් වාසයට සුදුසු පරිසරයක් යුරෝපා ග්‍රහලොව මත නිම වී තිබෙනු ඇත. 

අවසානයේ, හිරුගේ ප්‍රසාරණයත් සමඟ පෘථිවිය විනාශ වෙද්දී, මිනිසාගේ නව නවාතැන වීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ බෘහස්පතිගේ යුරෝපා චන්ද්‍රයායි. යුරෝපා යනු බ්‍රහස්පතිගේ විශාලතම චන්ද්‍රයන් හතරෙන් එකක් වන අතර එය 1610 වසරේ දී ගැලීලියෝ ගැලීලි විසින් සොයා ගනු ලැබුවා. එය පෘථිවි චන්ද්‍රයාට වඩා තරමක් කුඩායි. විෂ්කම්භය කි.මී. 3,130 ක් පමණයි. සාගරවලට අමතරව, යුරෝපා චන්ද්‍රයා ප්‍රධාන වශයෙන් පාෂාණවලින් සමන්විත වීම ද විශේෂත්වයකි. 

ලුසිත ජයමාන්න 

බීබීසී ප්ලැනට්ස් ඇසුරිනි

අදහසක් පළ කරන්න

0 Comments