HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

කීරි සම්බා පෙරළියට මුල පිරූ බතලෙගොඩ විද්‍යාඥයා



හැත්තෑව දශකයේදී බතලගොඩ වී පර්යේෂණායතනයට සිය මූලික උපාධි පාඨමාලාව යටතේ ව්‍යාපෘති අධ්‍යයනයක්‌ සඳහා පැමිණි තරුණ උපාධි අපේක්‌ෂකයෙකි. ඔහු නමින් තිස්‌ස රාජපක්‌ෂ විය. එවකට පර්යේෂණ ස්‌ථානයේ ප්‍රධානියා වූයේ දිවයිනේ නමක්‌ දිනූ වී ප්‍රභේදයක්‌ වන එච්-4 නිපදවීමේ ගෞරවය හිමිකරගෙන සිටි ආචාර්ය හෙක්‌ටර් වීරරත්නයි. ඉහත කී උපාධි අපේක්‌ෂකයා ව්‍යාපෘති අධ්‍යයනය සිදුකළේ ආචාර්ය වීරරත්න යටතේය. මෙම තරුණයාගේ හැසිරීම, විෂය කරුණු හැදෑරීමේ උනන්දුව, කැපවීම සහ තීක්‌ෂණ බුද්ධිය ගැන ඉව ඇල්ලීමට ආචාර්ය වීරරත්න පසුබට වුයේ නැත. ඒ ඔහුගේ සිරිතයි. උපාධිය සමත් වී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරියෙකු ලෙස පත්වීම් ලබද්දී මෙම තරුණයාව බතලගොඩ වී පර්යේෂණ ස්‌ථානයට අනුයුක්‌ත කර ගැනීමට ආචාර්ය වීරරත්න පෞද්ගලිකවම මැදිහත් වූයේ ඉහත කී ඉව ඇල්ලීමේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. එවකට සිටි කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ආචාර්ය අර්නස්‌ට්‌ අබේරත්න වෙතින් කළ මෙම පෞද්ගලික ඉල්ලීම නිසාම තිස්‌ස රාජපක්‌ෂට පළමු පත්වීම ලැබුණේ බතලගොඩටයි. එය ශ්‍රී ලංකාවේ සහල් සංස්‌කෘතියේ අනාගත පෙරළියක්‌ ඇති කෙරෙන පත්වීමක්‌ බව එකල මෙයට මැදිහත්වූවන් කිසිවකුත් නොසිතන්නට ඇත. 

ආචාර්ය වීරරත්නයන් යටතේ රාජකාරි කිරීම යනු එසේ මෙසේ කටයුත්තක්‌ නොවන බව එකල එහි රාජකාරි කළ සැවොම දැනසිටි කරුණකි. එවකට ප්‍රධාන කෘෂිකර්ම මධ්‍යස්‌ථාන වූ බතලගොඩ හා මහඉලුප්පල්ලම වැනි පර්යේෂණ ස්‌ථානවල සේවය කරන නිලධාරීන්ට සීමාවූ සුවිශේෂ උප සංස්‌කෘතියක්‌ තිබිණ. ඒ අනුව නිලධාරීන් ලෙස කාර්යාල කාලසටහන්වලට අනුගතව ක්‍රියා කරනු වෙනුවට, ඔවුන් තමන්ට පැවරෙන බෝග වර්ගවල ජීවන චක්‍රයට සමපාත වෙමින් දිවා රෑ නොබලා පර්යේෂණ කටයුතුවල නිරත වීම එම උප සංස්‌කෘතියේ ප්‍රධාන ලක්‌ෂණය විය. එකල සිටි ආයතන ප්‍රධානීන්ද, තමන් යටතේ සේවයට පැමිණෙන තරුණ නිලධාරීන් පුහුණු කරවනු ලැබුවේ මෙම සිරිත් විරිත් අනුවය. 

ආචාර්ය වීරරත්නයන් යටතේ දැඩි ආචාර ධර්මයන්ට යටත්ව තම රාජකාරි ඇරඹු තිස්‌ස, ආචාර්ය වීරරත්නයන්ගේ අවසාන ගෝලයා ද විය. තමාට ලැබෙන අභියෝගයන්ට නොසැලී මුහුණ දීම තිස්‌ස සතු සුවිශේෂී හැකියාවක් විය. ඔහු කිසිවිටෙක නින්දා, අවලාද හමුවේ කම්පා නොවූවා සේ ම ප්‍රශංසා, සම්මාන හමුවේ උදම් ඇනුවේද නැත. ඔහු දෙපාර්තමේන්තුව තුළත්, ජන සමාජයේත් අප්‍රසිද්ධ චරිතයක්‌ බවට පත්වූයේ ද මේ නිසාමය. 

තිස්‌ස උපන්නේ දැරණියගල, හපුදෙනිය ගමේ මවගේ මහගෙදරයි. ඔහුගේ පියා විදුහල්පතිවරයෙකු වූ අතර ගමේ නැවුම් පහස විඳිමින් මූලික අධ්‍යාපනය ලැබූ තිස්‌ස පසුව කෑගලු විද්‍යාලයට ඇතුළුව සරසවි පිවිසුම තෙක්‌ම එහි ශිල්ප හැදෑරීය. පිරිමි හතරක්‌ සහ ගැහැනු දෙකක්‌ වූ දරු කැලක තිස්‌ස දෙවැනි පිරිමි දරුවා විය. ඔහුගේ වැඩිමහල් සොයුරාද මහනුවර ප්‍රදේශයේ ප්‍රකට දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකි. 

බතලෙගොඩ වී පර්යේෂණායතනයට බැඳී වී අභිජනනයට අදාළ පර්යේෂණ සිදු කරමින් සිදුකරමින් නව වී ප්‍රභේද බිහිකිරීමෙහි ලා පර්යේෂණ පැවැත්වූ තිස්‌ස පශ්චාද් උපාධිය හැදෑරුවේ පිලිපීනයේ ලොස්‌ බානියෝස්‌හි විශ්වවිද්‍යාලයෙනි. එහිදී ඔහු ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය හා අනුබද්ධව පර්යේෂණ කරමින් ලෝ සුපතල වී පර්යේෂකයෙකු වූ ආචාර්ය කුෂ් යටතේ කළ හැදෑරීම් වෙනුවෙන් පශ්චාද් උපාධිය දිනාගන්නා ලදී. අනතුරුව ඔහුගේ ආචාර්ය උපාධියද එක්‌සත් රාජධානියෙන් ලබාගත් අතර ඊට අදාළ පර්යේෂණයන්ද ඔහු සිදුකළේ පිලිපීනයේදීය. 

මේ සෑම අධ්‍යයනයක්‌ සඳහාම වසර ගණන් විදේශ ගතවී සිටියත්, දිවයිනට ආ සැණින් බතලගොඩට යන ඔහු ඇඟට දැනෙන වී ප්‍රභේදයක්‌ බිහිකිරීමේ සිහිනය මල්පල ගැන්වීමට අනවරතව වෙහෙසුණේය. එවැනි නව වී ප්‍රභේදයක්‌ නිපදවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා සමාජයේ විවිධ ස්‌තරවල සිටින පාරිභෝගිකයන් තෘප්තිමත් කළ යුතුය. පළමුව ගොවියාය. ලෙඩ රෝග අවමයෙන් යුතුව, සාධාරණ කාල පරාසයක්‌ තුළ, සැලකිය යුතු අස්‌වැන්නක්‌ ලබාගැනීම ගොවි මහතාගේ අරමුණයි. දෙවනුව, අස්‌වැන්න සකසන මෝල් හිමියාය. කැබලිවීම වැනි හානියකින් තොරව ගුණාත්මක සහලක්‌ නිපදවිය හැකි වී වර්ගයක් ඔහුගේ අභිප්‍රාය වේ. ඊළඟට පාරිභෝගිකයන්ය. එයට හෝටල් හිමියන්ද අයත්වේ. ඔවුන් සොයන්නේ ෆ්‍රයිඩ් රයිස්‌, බුරියානි වැනි විශේෂ පිළියෙල කිරීම්වල සිට සරල බත්/පොල්සම්බෝල දක්‌වා පරාසයක්‌ සැකසීමට සුදුසු සහලකි. ඇලීමෙන්, බෙරිවීමෙන් තොරව පිස ගත හැකි සහලක්‌ ඇත්නම් ඔහු තෘප්තිමත්ය. එයින් සාමාන්‍ය ගෘහ පාරිභෝගිකයා ගතහොත් ඔහුගේ පැතුම වනුයේ ව්‍යංජන යොදා හොඳට ඇනූ රසවත් බත් කටකි. කම්මැලිකමකින් හෝ වෙහෙසකින් තොරව බත් පංගුව හමාර කරන්නට ලැබුනොත් ඔහුගේ ගත මෙන්ම හිතද පිබිදී යයි. 

තෙරක්‌ නොපෙනෙන මේ අභියෝග සියල්ල ජයගැනීමේ අරමුණු හිසෙහි දරාගත් තිස්‌ස, දිවා රෑ වෙහෙසෙමින් වී අභිජනනයේ නියැළීමේ ප්‍රතිඵලය කලඑළි බැස්‌සේ බතලේගොඩ 360 හෙවත් බී.ජී. 360 නමැති වී ප්‍රභේදය ඔහු විසින් රටට හඳුන්වා දීමත් සමඟය. සාමාන්‍ය ව්‍යවහාරයේ දී ‘කීරිසම්බා‘ ලෙස හැඳින්වුණි. මේ ගැන බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ හිටපු ප්‍රධානියෙකු වූ ආචාර්ය එම්. පී. ධනපාල මහතා මෙසේ සඳහන් කරයි: 

“කීරිසම්බා කියන නම දාගත්තේ සමාජය විසිනුයි. ඒක අපිවත්, තිස්‌සවත් හඳුන්වා දුන් නමක්‌ නෙවෙයි. සාමාන්‍යයෙන් හාල් ඇටයක්‌ ඉදෙන විට මැදින් මහත් වෙනවා. ඒත් තිස්සගේ නව සහල් ප්‍රභේදය බත ඉදෙන විට මහත් වීම වෙනුවට වැඩිපුර දික් වීමක් සිදුවෙනවා. කීරක්‌ වගේ දෙපැත්තට දික්‌වෙන මේ ලක්ෂණය හින්දයි ඔය නම වැටුණේ”. ධනපාල මහතා පැහැදිලි කළේය. 

ඒ කාලයේ සියලු දෙනා අතර වඩාත් ජනප්‍රියව පැවතියේ සම්බා වර්ගයි. මේ සම්බා සහල් වර්ගත් සමග නව සහලත් සම්බා විශේෂයක් ලෙසට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබීය. ජනතාව ඊට ‘කීරි සම්බා‘යැයි කීහ. එය ඉතා ඉක්මනින් ජනතාව අතර ජනප්‍රිය වන්නට පටන් ගත්තා පමණක් නොව සම්බා සහලට වඩා හැම විටම ඉදිරියෙන් සිටියේය. මෙය බිහි කිරීම තිස්‌සගේ සුවිශේෂී ජයග්‍රහණයක්‌ වගේම ඔහුගේ වෙහෙසට ලැබුණු මහඟු, ත්‍යාගයක්‌. 

දැනටත් ලංකාවේ 50% කටත් වඩා වවන්නේ මාස තුන හමාරේ වයස්‌ කාණ්‌ඩයේ වී. කීරිසම්බා වැටෙන්නෙත් ඒ වයස්‌ කාණ්‌ඩයට. අභිජනන වැඩසටහන් හරහා ගුණාත්මක බව වැඩිකරන විට ඊට වන්දියක්‌ වශයෙන් අස්‌වැන්න අඩුවීම විද්‍යාවේ මූලධර්මයක්‌. ඒ උනත් කීරිසම්බාවලට ඒ සඳහා ගෙවූ වන්දිය බොහොම අල්පය. ඒ නිසා ගොවියාට සාධාරණ අස්‌වැන්නකුත් කීරිසම්බා වගාවෙන් ලබා ගත හැකි විය. 

1999 සහ 2004 වසර දෙකෙහිදීම කෘෂිකාර්මික විශිෂ්ටත්වය වෙනුවෙන් වූ ජාතික සම්මානයෙන් ඔහු ජනපති වෙතින් පිදුම් ලැබීය. 2000 වසරේදී පිලිපීනයේ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය විසින් පිරිනමන සේනාධීර අනුස්‌මරණ වී පර්යේෂණ සම්මානයද ඔහු විසින් දිනා ගන්නා ලදී. තමාට ලැබෙන සම්මාන, පදක්‌කම් ආදිය නිවසේ අල්මාරියක්‌ තුළ සැඟවූ තිස්‌ස ඉතා අප්‍රසිද්ධව තම කටයුතු සිදුකරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම යනවිට කීරිසම්බාවලට අමතරව තවත් ජනප්‍රිය වී ප්‍රභේදයක්‌ වන බී.ජී. 357 ද රටට හඳුන්වා දී තිබිණ. තවත් නිර්දේශිත වී ප්‍රභේද රැසකට ඔහුගේ දායකත්වය ලබා දී තිබේ. 

මීට වසර කීපයකට පෙර රටේ නමගිය පුද්ගලයින්ට ජනාධිපතිතුමා විසින් කරන ලද සම්මාන ප්‍රදානෝත්සවයක්‌ රූපවාහිනියෙන් නරඹමින් සිටි මෙම ලියුම්කරු දුටුවේ තිස්‌ස රාජපක්‌ෂ තම නම කියවෙනවාත් සමඟම සන්සුන්ව ඉදිරියට ඇදී ගොස්‌ සම්මානයත් රැගෙන ආපසු අසුන් ගතවෙන අයුරුයි. ඒ වන විට ඔහු විශ්‍රාම ලබා වසර කීපයක්‌ද ගතවී තිබුණි. හරියටම ඊට දින දෙකකට පසු මහා දවාලේ කුඩයකුත් ඉහලාගෙන මහනුවර නගරයේ වීදියක්‌ ඔස්‌සේ ඇවිද යන ඔහු මුණගැසුණි. 

සම්මානය ගැන ලැබුනේ කදිම සාධාරණ පිළිතුරකි. “අනේ ඔව්, මට කතා කරලා එන්නම කිව්වා. මට නම් එච්චර උනන්දුවක්‌ තිබුනෙත් නෑ. ඒ උනත් නොගිහිනුත් හොඳ නැනේ. මම ගැන හිතලානේ එන්න කියල තියෙන්නේ”. 

ඔහු සම්මානය පිළිගන්නට ගොස්‌ ඇත්තේ එසේය. 

හදිසි අනතුරකට ලක්‌ව රෝහල් ගතව අසාධ්‍ය තත්ත්වයේ සිටියදී වුවද තමා බැලීමට එන හිතවතුන්ට සිනාමුසු මුහුණින් ඔහු කතාකළේ ජීවිතය පිළිබඳව කිසිදු කම්පාවක්‌ නැති පරිද්දෙනි. ඒ ඔහුගේ හැටිය. 

විදේශ විනිමය වැයකර ගෙන්වන බාස්‌මති සහලින් කෙරෙන බොහෝ ආහාර වට්‌ටෝරු සඳහා අද කීරිසම්බා ආදේශ කිරීමට ආපනශාලා පියවර ගනිමින් සිටී. ඒ අතින් සිදුවී ඇත්තේ විදේශ විනිමය ඉතිරියකි. ලාංකික වෙළඳපොළෙහි මිල අධිකම දේශීය සහල් විශේෂය වන්නේද කීරිසම්බාය. එහෙත් මේ සඳහා මෙවැනි ඉහළ මිලක්‌ නියම වීම ගැන නම් තිස්‌ස සිටියේ එතරම් ප්‍රසාදයකින් නොවේ. 

තිස්‌ස ගැන ලියන්නට අප සිතා සිටියේ කාලෙක පටන්ය. වෙනත් දේශයක මෙවන් විද්වතෙකු සිටියා නම් ඔහු ලබන සුවිසල් ප්‍රසිද්ධිය සහ වරප්‍රසාද දැක ඇති බැවින් ඒවා නැතත්, බත්කන මිනිසුන්ට තිස්‌සව හඳුන්වා දෙන්නට අප හට මහත් ඕනෑකමක්‌ තිබිණ. එහෙත් මෙතරම් කලින් නික්‌මයාමක්‌ කිසිවිටක නොපැතූ නිසා ලිපිය පමාවීම නිවැරදි කළ නොහැකි වරදක්‌ බවට පත්වී තිබේ. 

තිස්‌සගේ අවසන් කටයුතු සිදුකරන දින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අධ්‍යක්ෂවරයෙකු වූ ජේ.ඒ.ටී.පී. ගුණවර්ධන මහතා විසින් ලියා අප අතට පත්කළ පැදි පෙළකින් තිස්‌සට සමුදෙමි. 

කැලේ විකසිත විය – එහිම මුකුලිත විය 
නමුත් දසතම – සුවඳ විහිදින 
ලොවේ සැමදන සුවඳ වින්දහ – සොම්නසින් 
සිත් සතන් සැනහින සුවඳ විඳිමුත් 
නොදත්තෝ ඒ සුවඳ විහිදූ මල කුමක්‌දැයි සොයුර…..!!! 

රසාංග ජයසූරිය විසිනි. 


(පසුසටහන: මෙම ලිපිය රසංග ජයසුන්දර ලේඛකයා විසින් ඔහුගේ ෆේස් බුක් පිටුවේ තබන ලද සටහනකින් උපුටා ගන්නා ලද්දකි. Rasanga Jayasundara නමින් යුත් ෆේස් බුක් පිටුවට ඔහු විසින් කාලීන මාතෘකා යටතේ බුද්ධිමත් පාඨකයන් වෙනුවෙන් ලියැවුණු මෙවැනි වැදගත් සටහන් රැසක් එක්කර තිබේ. ඔහුගේ ෆේස් බුක් පිටුවට ගොස් ඒවා ද කියවන ලෙස ‘මල් කැකුළු‘ ඔබට යෝජනා කරයි.)

අදහසක් පළ කරන්න

0 Comments