HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

බුදුන් පුදන්නටවත් කඩන්න තහනම් මලක්!

අපේ රටේ ඇති ජනප්‍රවාදයකට අනුව බුදුරජාණන් වහන්සේ සිරිලකට වඩැම කළ අවස්ථාවේ ‍සුමන සමන් දෙවියන් විසින් සිරිපා අඩවියේ වැවෙන අලංකාර රත්දෝතළු මලක් කඩා ගෙනවුත් පූජා කළ බවත් ඒ මොහොතේ බුද්ධානුභාවයෙන් ඒ දෝතළු මල රන්පැහැ ගැන්වුනු බවත්, එදා පටන් එය රන්දෝතළු ලෙස හැඳින්වුණු බවත් කියැවේ. එදා සුමන සමන් දෙවියන් මේ මලෙන් බුදුන් පිදුවත් අද මේ මලක් කඩා බුදුන් පිදීම නීතියෙන් කළ නොහැකිය. 


රන්දෝතළු මල රතු, සුදු හා කහ මල් වශයෙන් දැකිය හැකිය.

අපේ රටට පමණක් ආවේණික ‍රන්දෝතළු ශාකයට මෙසේ තහනමක් පනවා ඇත්තේ ‍මේ දෝතළු ශාකය වඳ වී යාමේ තර්ජනයට තදින්ම ලක්ව ඇති නිසාය. 2009 අංක 22 දරණ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) ආඥ‍ා පනත මගින් VIII උපලේඛනය යටතේ ආරක්ෂිත ශාක නාම ලේඛනයට ඇතුළත් කර ඇත. ඒ අනුව, මෙම ශාකය හෝ ශාකයේ කොටසකට හානියක් කිරීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශන කිරීම සම්පුර්ණයෙන් ම තහනම් ක්‍රියාවක් වන අතර එම වරදවල් කරන තැනැත්තෙකු වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාවද පවතී. 

ආගමික විශ්වාස, මිථ්‍යා අදහස් සහ සාම්ප්‍රදායික චාරිත්‍ර හේතුවෙන් රන් දෝතළු මල්වලට විශාල ඉල්ලුමක් පවතින අතර එම මල් පුජා කටයුතු සඳහා ද යොදා ගනු ලබයි. රන් දෝතළු මල පූජනීය වස්තුවක් ලෙස පැරැන්නන් විසින් සලකනු ලැබීය. සිරිපා වන්දනා කිරීමට යන කෝඩුකාරයන් රන් දෝතළු මල් ගෙන ගොස් පූජා කිරීම චාරිත්‍රයක්ව තිබුණි. එසේම රන්වැලි මහා සෑ වන්දනාවට රන් දෝතළු මල් පූජා කිරීම ඉතා අනුහස් සහිත දෙයක් යැයි බෞද්ධයන් අතර විශ්වාසයක් පවතී‍. සබරගමු පළාතේ පහතරට ශාන්ති කර්මවලටද රන් දෝතළු මල් යොදා ගන්නා බව පොතපතෙහි සඳහන් වෙයි. 

තාල වර්ගයට අයත් රන්දෝතළු ශාකය ලොක්සෝකොකුස් රුපිකෝලා (Loxococcus rupicola) නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි. මුළු ලෝකයටම ඇත්තේ එක ශාක ගණයක් නිසා එය ඒකස්ථානික ගණයක් (monotypic genus) ලෙස හැඳින්වෙයි. මේ ශාකය වැවෙන්නේ ඉතා සීමිත ප්‍රදේශයක් තුළ පමණයි. නිශ්චිතව කීවොත් මෙය වැවෙන්නේ ශ්‍රී ලංකාවේ නිරිත දිග තෙත් කලාපය, නකල්ස් කඳු පන්තිය සහ ශ්‍රී පාද අඩවිය ඇතුළු කඳුකර, උප කඳුකර ප්‍රදේශවල සහ මීටර් 300-1500 අතර නිවර්තන වැසි වනාන්තර ආශ්‍රිත ශීඝ්‍ර බෑවුම් සහිත ප්‍රදේශවල. ගොන්ගල, දෝතළුගල, ශ්‍රී පාදය ආශ්‍රිත ප්‍රදේශවල පමණක් වන අතර මෙම ශාකය බීජ මගින් ප්‍රචාරණය නැත්නම් බෝ වීම සිදුවන්නේ ඉතා අඩු ප්‍රතිශතයකින් පමණය. 

මේ ශාකය නාමකරණය කර පේරාදෙණියේ උද්භිද උද්‍යානයේ ඇති ජාතික ශාකාගාරයේ මුලින්ම නිදර්ශක තැන්පත් කර ඇත්තේ යටත් විජිත යුගයේ දී බ්‍රිතාන්‍ය ජාතික උද්භිද විද්‍යාඥ එච්. කේ. ත්වේට්ස් (H. K.Thwaites) විසිනි. ඒ 1864 දීය. මේ ශාකය වඳවී යාමට හේතුවී ඇත්තේ එහි ස්වාභාවික වාසස්ථාන අහිමි වීම, ජාන කිටුව පටුවීම හා වැදගත්ම හේතුව වී ඇත්තේ මේ මලට පූජනීය වැදගත්කමක් ලබා දීමයි. අපල උපද්‍රවවලට සහනයක් ලබා දීමට මේ මලෙහි පුෂ්ප මංජරිය පිටින්ම කපා භාවිතයට ගැනීම මේ ශාකයෙහි ව්‍යාප්තියට එල්ල වී ඇති ලොකුම තර්ජනයයි. එය විශේෂයෙන් බුදුදහමේ එන්නක් නොවේ. 

මල් පහන් පිදීමේ චාරිත්‍රය බුදුන් වහන්සේ අනුදැන වදාළ දෙයක් නොවේ. උන්වහන්සේ මල යොදා ගත්තේ අනිත්‍යය පැහැදිලි කිරීමටය. මලක් පරවී යන්නාක් මෙන් ජීවිතයද මැලවී යන බව කියන්නටය. ඒ බව මල්පූජා කරන ගාථාවේ සිංහලාර්ථයෙන් ම පෙනේ. එයින් කියැවෙන්නේ මේ මල් පරවී යන්නාක් මෙන් මගේ ජීවිතයත් වියැකී යන බවයි. ඒ නිසා මේ රන් දෝතළු ශාකය රැක ගන්න නම් කළ යුත්තේ ඒවා පූජාවට එක්කර නො‍ගෙන වෙනත් මල්වලින් බෞද්ධයන්ගේ අවශ්‍යතාව සපුරා ගැනීමයි. එයින් ‍බොදුනුවන්ගේ මල් පහන්පීදීමේ කිසිම අඩුපාඩුවක් සිදු නොවේ. ඒ මගින් රන්දෝතළු ශාක රැක ගැනීමේ පිංකමට ඔබටත් එක්විය හැකිය. 

අපල උපද්‍රවවලට මේ මල් පූජා කිරීමේ මිථ්‍යාවට ඔබ හසුවී ඇත්නම් ඊට කළ යුත්තේ රන්දෝතළු මල් ගසේ තිබිය දීම එය සිහි කර පූජාව ඉටු කිරීමෙන් ඒ කුසලයම ලබා ගත හැකි බවට ඕනෑ තරම් උදාහරණ බුදුදුහමෙන් ම ගෙනහැර දැක්විය හැකිය. ඒ සඳහා දක්වා ඇති ගාථාවක් මෙසේය: “කිංසුකං පුප්ඵිතං දිස්වා, පග්ගහෙත්වාන අඤ්ජලිං; බුද්ධසෙට්ඨං සරිත්වාන, ආකාසෙ අභිපූජයිං” මලක් ගසක පිපී තිබෙනු දැක එය ගසෙහි තිබිය දීම ඉහත දැක්වූ ගාථාව කියා පූජා කිරීම, තමාට දිව්‍ය සම්පත් ලබන්නට එකම හේතුව වූ බව කියමින් තමා කර ගත් කුසලය ගැන උදාන වාක්‍යයක් කියූ දේවතාවකු ගැන එක් සඳහනකින් කියැවේ. 

මුළු ලෝකයෙන් ම ශ්‍රී ලංකාවේ පමණක් වැවෙන අති දුර්ලභ ශාක ප්‍රභේදයක් බව සඳහන් කරමින් මේ ශාකයෙහි ඇති සුවිශේෂ වැදගත්කම කියන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අධ්‍යන අංශයේ ආචාර්ය ඉසුරු කාරියවසම් සඳහන් කරන්නේ මේ ශාකය ආරක්ෂා කර ගැනීමට අප විසින් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි. ආචාර්ය ඉසුරු කාරියවසම් ප්‍රමුඛ ආචාර්ය හිමේෂ් ජයසිංහ, චම්පික බණ්ඩාර, අනූෂ අත්තනගොඩ ඇතුළු පර්යේෂකයන් පිරිසක් මේ රන්දෝතළු ශාකය පිළිබඳ විශේෂ පර්යේෂණයක නිරත වී සිටිති. මේ ශාකයේ පුෂ්ප මංජරී රතු, කහ සහ සුදු පැහැයන්ගෙන් විවිධ පරිසරවල හට ගන්නා බව ඔවුන් විසින් හඳුනා ගෙන ඇත. 

- පර්සි ජයමාන්න 

අදහසක් පළ කරන්න

0 Comments