වසර මිලියන 65 කට පෙර, පෘථිවියේ රජ කළ ඩයිනසෝරයන්ට පණ දෙන අයුරු අපට දකින්න ලැබුණේ ‘ජුරාසික් පාක්’ චිත්‍රපටයෙනි. ‘ජුරාසික් පාක්’ චිත්‍රපටයට අනුව, ඩයිනසෝරයන්ගේ ලේ උරා බීපු මදුරුවන්, ගස්වල මැලියම් තුළ සිර වී, ඒ මැලියම් පොසිලකරණයට ලක් වෙයි. අවුරුදු මිලියන ගණනකට පසු, පොසිල විද්‍යාඥයෝ එම මදුරුවන්ගේ සිරුරු සොයාගෙන, ඒවායේ ලේවලින්, ඩයිනසෝර ඩී.එන්.ඒ. ව්‍යුහයන් වෙන් කර ගනිති. ඒවා ගෙම්බන්ගේ ඩී.එන්.ඒ. සමඟ බද්ධ කර, ඩයිනසෝරයන්ට පණ දීම සිදු කරයි. ‘ජුරාසික් පාක්’ විද්‍යා ප්‍රබන්ධයකි. සාමාන්‍යයෙන් පොසිල ගතව තිබුණු කොටස්වලින් ඩයිනසෝරයන්ට පණ දීම කළ නොහැකිය.
වසර මිලියන 5 කට පමණ පෙර ප්ලියොසීන යුගයේ සිට වසර 4,000 කට පමණ පෙර හොලොසීන යුගය දක්වා කාලයේ ජීවත් වුණු ලෝම පිරිණු මැමත් සතකුට පණ දීම කෙරෙහි මේ වනවිට විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇත. මෙය කළ හැකි දෙයකි. අලියකුට සමාන සතකු වන මැමතකුට පණ දීමේ ක්‍රියාවලිය සිදුවනු ඇත්තේ, විද්‍යාඥයන්ට වසර දහස් ගණනක් තිස්සේ ඉතා සුරක්ෂිතව තිබී හමුවූ සම්පූර්ණ මැමත් සිරුරු කීපයක් නිසාය. අයිස්වලින් මිදුණු මෙම සිරුරු හමුවී ඇත්තේ සයිබීරියාවේ හිම තට්ටු යටිනි. විද්‍යාඥයන්ට මැමත් සිරුරුවලින් අවශ්‍ය ප්‍රමාණයට මැමත් ඩී.එන්.ඒ. ලබා ගැනීමට හැකි වී ඇත.
දූරාතීතයේ වඳ වී ගිය සතුන්ට යළි පණ දීමට සැරසෙන්නේ ඇමෙරිකාවේ ඩලාස් හි පිහිටි ජාන ඉන්ජිනේරු සමාගමක් වන කොලෝසල් බයෝසයන්ස් සමාගමය. මෙම සමාගම ආරම්භ කෙරුණේ 2021 වසරේදීය. ඒ, බෙන් ලෑම් සහ ජෝර්ජ් චර්ච් නමැති විද්‍යාඥයන් දෙපළ එක් වෙමිනි. ඔවුන් ඔවුන්ගේ පර්යේෂණ සඳහා අනුග්‍රහය වශයෙන් මේ වන විට එකතු කරගෙන ඇති මුදල් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 435 කි.
කොලෝසල් බයෝසයන්ස් සමාගම යළි පණ දීමට සූදානම් වන්නේ මැමතකුට පමණක් නොවෙයි; පියාඹන්න බැරි ඩෝඩෝ නමැති කුරුල්ලා සහ ඕස්ට්‍රේලියාවේත් තස්මේනියාවේත් ජීවත් වී අප ඇස් පනාපිට ම වඳ වී ගිය තස්මේනියානු ව්‍යාඝ්‍රයාටත් යළි පණ දෙන්නත් එහි විද්‍යාඥයෝ සූදානමින් සිටිති.
කොලෝසල් බයෝසයන්ස් සමාගම මැමතකුට පණ දීමට සූදානම් වන්නේ 2028 වසරේ දී වුවත්, ඔවුන් මේ වනවිට වඳ වී ගිය තවත් සතකුට පණ දී අවසන්ය. මෙය මේ වන විට මුළු ලොවම කැලැඹූ පුවතක් බවට පත් වී තිබේ. කොලෝසල් බයෝසයන්ස් විද්‍යාඥයන් පණ දී ඇත්තේ, මිහිමතින් වඳ වී ගිය, ‘ඩයර් වුල්ෆ්’ යන නමින් හැඳින්වෙන වෘකයකුටය. මේ වන විට වෘක පැටවු තිදෙනෙක් කොලෝසල් බයෝසයන්ස් විද්‍යාඥයන් සතුව සිටිති. රොමියුලස්, රීමස් සහ කලීසී යන නම්වලින් මෙම පැටවුන් නම් කර ඇත. ඔබ ‘ගේම් ඔෆ් ත්‍රෝං’ රූපවාහිනී කතාමාලාවේ රසිකයකු නම්, ‘ඩයර් වුල්ෆ්’ වෘකයන් ගැන ඔබ නොදන්නවා නොවන්න පුළුවනි.
විද්‍යාඥයන්ට අනුව, මීට වසර 13,000 කට පමණ පෙර ප්ලයිස්ටොසීන යුගයේ අවසානයේ දී ‘ඩයර් වුල්ෆ්’ වෘකයන් මිහිමතින් වඳවී ගොස් ඇත. මොවුන්ගේ විද්‍යාත්මක නාමය කැනිස් ඩයරස් යන්නය. සාමාන්‍ය වෘකයෙකුට වඩා විශාල සිරුරක් ඇති මෙම වෘකයන්ගේ හිස සහ හකු ඉතා ශක්තිමත්ය. සාමාන්‍ය වෘකයන්ගේ දත්වලට වඩා මොවුන්ගේ දත් ඉතා විශාලය; ශක්තිමත්ය. ඔවුන් ඔවුන්ට වඩා විශාල සතුන් විද්‍යාඥයෝ විශ්වාස කරති. මොවුන්ගේ පාද ද සාමාන්‍ය වෘකයන්ට වඩා ශක්තිමත්ය. අතීතයේ, මොවුහු උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව පුරා ජීවත් වූහ. විවිධ පරිසර පද්ධතිවල, තණබිම්, වනාන්තර සහ කඳුකර ප්‍රදේශවල ජීවත් වූහ. ‘ඩයර් වුල්ෆ්’ වෘකයන් වඳ වී ගියේ යැයි පැවසෙන්නේ, දේශගුණික විපර්යාස නිසා යැයි අනුමාන කෙරේ. ‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ගේ දත්, අස්ථි කොටස් ආදිය විද්‍යාඥයන්ට හමුවී ඇති අතර, කොලෝසල් බයෝසයන්ස් සමාගම ‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ට පණ දුන්නේ ඒ අනුවය. මිහිමතින් වඳ වී ගිය සතකුට මේ අයුරින් පණ දුන් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
‘ඩයර් වුල්ෆ්’ යන්නෙහි අරුත බිහිසුණු වෘකයා යන්නය. ‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ට යළි පණ දීම සිදු කළේ ද ඔවුන්ගේ ජාන ව්‍යුහය හඳුනා ගනිමිනි. විද්‍යාඥයන්ට මේ සඳහා වසර 13,000 ක් පැරණි ‘ඩයර් වුල්ෆ්’ දතකින් සහ වසර 72.000 ක් පැරණි හිස් කබලකින් ඩී.එන්.ඒ. ලබා ගැනීමට හැකිවී ඇත. ඒ අනුව, විද්‍යාඥයෝ වර්තමානයේ දකින්න ලැබෙන අළු වෘක ධේනුවකගේ බීජාණු සෛලවල ඩී.එන්.ඒ. අඩංගු න්‍යෂ්ටි කොටස ඉවත් කරමින්, ‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ගේ ජානමය ව්‍යුහයට අනුව එය යළි නිර්මාණය කළහ. අළු වෘකයන්ගේ ඩී.එන්.ඒ. සියයට 99.5 ක් ‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ට සමාන බැවින්, ‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ගේ ජානමය ව්‍යුහයට අනුව සකස් කළ එම බීජාණු, සුරතල් බැල්ලකගේ ගර්භාෂයේ තැන්පත් කර, පසුව පැටවුන් ලබා ගැනීම සිදුවිය. ඒ අනුව, සුදෝ සුදු පැටවුන් තිදෙනකු ලොවට බිහිවීම සිදුවිය. දැන් මෙම පැටවුන් තිදෙනාට මාස 7 කි. රොමියුලස් සහ රීමස් පිරිමි වෘක පැටවුන් වන අතර කලීසී ගැහැනු පැටවෙකි.
විද්‍යාඥයන් වද වී ගිය සතුන්ට පණ දෙන්නේ, එම සතුන්ට කිට්ටුවෙන්ම නෑකම් කියන, සතුන් සම්බන්ධ කර ගනිමිනි. ‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ට පණ දීම කළේ අළු වෘකයන් සහ බැල්ලක යොදා ගනිමිනි. 2028 වසරේ දී, විද්‍යාඥයන් මැමතකු නිර්මාණය කිරීමට සැරසෙන්නේ, ඇතින්නියකගේ ගර්භාෂයක කෘත්‍රිම සංසේචනයක් කරමින්, අලි පැටවකුගේ ජාන වෙනස් කර මැමතකුගේ ජාන ඇතුළත් කරමිනි. මෙය සංකීර්ණ ක්‍රියාවලියක් බව අමුතුවෙන් කිව යුතු නැත.
ලුසිත ජයමාන්න
ලයිව් සයන්ස් ඇසුරිනි
0 Comments