HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

අවුරුදු 50,000ක් වයසැති මැමත් බබකුගේ සිරුරක් සොයා ගනිති!

සයිබේරියාවේ සදා තුහින ප්‍රදේශයෙන් සොයාගත් අවුරුදු 50,000 ක් වයසැති මැමත් බබාගේ සිරුර විද්‍යාඥයින් විසින් ශව පරීක්ෂාවකට ලක් කර තියෙනවා. රුසියාවට අයත් සයිබීරියාවේ හිම බිමෙහි සැඟවී තිබුණු මැමත් පැටවුන් ගේ සිරුරු හතකින් වඩාත් සුරක්ෂිතව හමු වූ පුර්ණ සිරුර මෙයයි. මේ මැමත් පැටවා විද්‍යාඥයන් විසින් නම් කර ඇත්තේ ‘යානා’ කියායි. යානා ගැහැනු සතෙක්. 

විද්‍යාඥ කණ්ඩායම වසර 50,000 ක් පැරණි මැමත් බබාගේ සිරුර පරීක්ෂා කරමින්

වසර පුරාම හිමෙන් වැසී ඇති සයිබීරියාවේ යකුටියා ප්‍රදේශයේ ඇති දේශගුණික තත්වය නිසා යානාගේ සිරුර මෙතරම් කාලයක් සුරැකිව තිබෙන්නට හේතුවන්නට ඇති. යකුට්ස්ක් හි පිහිටි නෝත් ඊස්ටර්න් ෆෙඩරල් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින්, මෙම ප්‍රාග් ඓතිහාසික මැමත් බබාගේ සිරුර පරීක්ෂණයකට ලක් කළා. ඔවුන්ගේ උත්සාහය මේ ප්‍රාග් ඓතිහාසික සතුන් කෙසේ ජීවත් වූයේද, ආහාරයට ගත්තේ මොනවාද, මියගියේ කුමන හේතුවක් නිසා ද කියා විමසා බැලීමයි. 

යානා ගේ බර කිලෝග්‍රෑම් 180 (රාත්තල් 397)ක්. උස සෙන්ටිමීටර් 120 (අඩි 4)ක්. දිග සෙන්ටිමීටර් 200 ක්. පර්යේෂකයින් මෙතෙක් ඔවුන්ගේ අධ්‍යයනය ප්‍රකාශයට පත් කර නොමැති නමුත්, අයිස් යුගයෙන් පෙර කාලයට අයත් මේ අධ්‍යයනවලින් මෙම සාම්පලයේ ආහාර සැලසුම සහ නූතන වර්ගවලට තිබෙන සබඳතාව ගැන තොරතුරු ලබා ගෙන තියෙනවා. 


රුසියාවේ සදා හිමතුහින ප්‍රදේශයෙන් මැමත් සිරුර මතු වූ අන්දම

2024දී යානා සොයාගත් අවස්ථාවේ, පර්යේෂකයින් පැවසූයේ ඒ මැමත් බිලිඳිය මියගිය නිශ්චිත වයස තීරණය කිරීම සඳහා තවත් අධ්‍යයන සිදු කරන බවයි. කලින්, එය "වසරක් හෝ ටිකක් වැඩි" ලෙස අනාවරණය කළ නමුත්, මෙම ශව පරීක්ෂණයෙන් වැඩි විස්තර ප්‍රකාශයට පත් විය හැකියි. යානා මැමත් බබා හැරුණු විට තවත් එවැනි මැමත් සිරුරු හයක් හමුවී තියෙනවා. එයින් පහක්ම හමුවුණේ රුසියාවෙන්. අනෙක කැනඩාවෙනුයි සොයා ගත්තේ‍. 

මෙහිදී යානා මැමත් බබා සුවිශේෂී වන්නේ වසර 50,000කට පසුවත් ඉතා සුරක්ෂිතව තිබීමයි. නමුත් යානා වඩාත් විශේෂී වන්නේ ඇයගේ අතිවිශිෂ්ට සංරක්ෂණ තත්වයයි. සාමාන්‍යයෙන්, ශීත හිම බිමේ හිම දිය වී මියගිය සතුන් මතු වීමට පටන් ගත් විට මාංශ භක්ෂකයන් ඒවා බුදින්නට පටන් ගන්නවා. ඒත් යානාගේ පසුපස පාදවල ක්ෂය වීමේ ලක්ෂණ පෙන්වූවත්, සිරුරේ අනෙක් කොටස් බොහොමයක් අඩුපාඩු නොමැතිව තිබුණා. 

යානා සොයාගත් පසු මැමත් කෞතුකාගාරයේ පර්යේෂණ අංශයේ ප්‍රධානියා වන මැක්සිම් චෙප්‍රසොව් පැවසූවේ: “පරීක්ෂණයෙන් හෙළිවූයේ හිස ඉතා හොඳින්ම සුරැකිව ඇති බවයි. අනෙක් සියලුම අංග ද තවමත් සුරැකිව තිබේ. අපි දැනටමත් දැක තිබෙන්නේ අතේ කොටස් කුඩා සතුන් විසින් භක්ෂණය කර ඇති බව පමණයි” 

අවුරුදු 44,000 ක් පමණ ප්‍රචණ්ඩ ශීත කාලය තුළ හොඳින් සුරැකුණු හිම වෘකයෙකු ගැන කලින් කළ අධ්‍යයනයකදී, පර්යේෂකයන්ට වෘකයාගේ ආහාර වේල හඳුනා ගැනීමට සහ නූතන වෘක වර්ගවලට ඇති සබඳතා මොනවද යන්න තීරණය කිරීමට හැකි වුණා. මේ මැමත් බිලිඳියගේ ආමාශය තවමත් විනාශ නොවී ඇත්නම්, පර්යේෂකයන්ට ඇයගේ ආහාර සැලැස්ම හඳුනා ගැනීමටත්, ඇය භක්ෂණය කළ ශාක වර්ගවල ජාන මාලාව අනාවරණය කිරීමටත් හැකිවිය හැකියි. 


අතීතයේ දැවැන්ත මැමතකු හිම බිමෙහි 
ඇවිද ගෙන යන අයුරු චිත්‍රයක්

යානා සොයාගන්නා ලද්දේ 2023 ගිම්හානයේදී, "නරකයේ මුඛය" ලෙසද හැඳින්වෙන බටාගයිකා නම් ආවාටය අසලදියි. මෙය ලෝකයේ විශාලතම සදා හිමතුහින (permafrost) ප්‍රදේශයයි අවසන් අයිස් යුගයේදී ගිම්හානයේදී වියළී නොයන බිම දැන් විශාල, පහළ මට්ටමකට ගිලී යමින් පවතිනවා. 1960 දශකයේ සිට මේ ප්‍රමාණය ඉතා වේගයෙන් වැඩි වී තියෙනවා. කෙසේවෙතත්, මෙම පහළ මට්ටමේ බෑවුම් කඩා වැටීමත් සමඟ, වසර දහස් ගණනක් බිම යටවී සිටි ශීත මත ආවරණය වූ සත්ත්වයන් කිහිපයක්ද අනාවරණය වී ඇත. 

විද්‍යාඥයන් පසුගිය කාලයේදී මේ ප්‍රදේශයේදී ආදිකාලීන අශ්වයකු, බයිසන් සතුන් හා ලෙමිං සතුන් සොයාගෙන තියෙනවා. යානා සොයාගෙන ඇත්තේ, මේ ආවාටය ගවේෂණය කළ ගම්වැසියන්ගේ කණ්ඩායමක් විසිනුයි. 

- පර්සි ජයමාන්න 


 

අදහසක් පළ කරන්න

1 Comments