හෘදයාබාධයකින් පෙළුණු ඕස්ට්‍රේලියානු වැසියෙකු මුළුමනින්ම කෘත්‍රිම හෘදයක් සහිතව රෝහලෙන් පිටව යාමට හැකි වූ ලෝකයේ ප්‍රථම පුද්ගලයා බවට පත්වෙයි. මේ බව ඕස්ට්‍රේලියානු වෛද්‍ය පර්යේෂකයන් සහ වෛද්‍යවරුන් පිරිසක් පසුගිය බදාදා දින නිවේදනය කළහ. මොහුට කෘත්‍රිම හෘදයක් සවි කළේ හදවත් සැත්කම සඳහා දායක හදවතක් ලැබෙනතුරුය. මේ මාර්තු මස මුල් දිනවල දායක හෘදයක් ලබා සැත්කමක් කර ඒ හෘදය බද්ධ කර ගැනීමට පෙර, කෘත්‍රිම හෘදය සමඟ දින 100කට වැඩි කාලයක් සාර්ථකව ජීවත් වූ නිසා මෙය "ඒකාන්තයෙන් ම වෛද්‍ය විද්‍යාවේ ජයග්‍රහණයක්" බව ඔවුන්ගේ නිවේදනයේ සඳහන් විය.
බයිවැකෝර් (BiVACOR) යනුවෙන් හැඳින්වෙන මේ කෘත්‍රිම හෘදය නිර්මාණය කිරීමට මුල් වූයේ ක්වීන්ස්ලන්ඩ්හි උපන් වෛද්‍යවරයකු වූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩැනියල් ටිම්ස් ය. මෙම කෘත්‍රිම හෘදය මිනිස් හදවත වෙනුවට බද්ධ කළ හැකිවන සේ නිර්මාණය කළ එකකි. එයට රෝටරි රුධිර පොම්පයක් ඇතුළත්ය. චුම්බක බලයෙන් ක්‍රියාකරන යාන්ත්‍රික තාක්ෂණයක් ඊට උපයෝගි කරගන ඇති අතර මිනිසකුට සවි කළ විට සාමාන්‍ය හෘදයක් මෙන් රුධිර සංසරණය සිදුවන ආකාරයට එය සිදු කිරිමට හැකි ලොව පළමු කෘත්‍රිම හෘදය ලෙස සැලකිය හැකිය
මෙම කෘත්‍රිම හෘදය තවමත් වෛද්‍ය පරීක්ෂණ මට්ටමේ පවතින්නකි. එහෙත්, ද්විතුන්දික කපාට අකර්මන්‍ය වීමේ හෘදයාබාධයෙන් පෙළෙන රෝගීන් සඳහා නිර්මාණය කර ඇති එකකි. එසේ වුවද මෙය සාමාන්‍යයෙන් හෘද අකරණය වැනි හෘද රෝගවලට වගේ ම, ප්‍රධාන වශයෙන් දියවැඩියාව වැනි පරිහානික රෝග හේතුවෙන් දුර්වල වන හෘදයෙහි රුධිර සංසරණය නිසි පරිදි කර ගෙන යාම සඳහා උපයෝගී කර ගත හැකි උපකරණයකි.
ලෝකය පුරා වසරකට මිලියන 23කට වැඩි පිරිසක් හෘදයාබාධවලින් පෙළෙති. එහෙත් ඔවුන්ගෙන් එක් අවුරුද්දකට දායක හෘදය ලබාගන්නට හැකි වී ඇත්තේ 6,000 කට පමණකැයි ඔස්ට්‍රේලියානු රජය පවසයි. මෙම බැයිවැකෝර් හෘද උපාංගය නිෂ්පාදනය කිරීම සහ වෙළඳපොළට ගෙනයාම සඳහා ඔස්ට්‍රේලියානු රජය මිලියන 50ක ($50m) ආධාරයක් ද ලබාදී ඇත.
මෙම උපාංගය, දායක හෘදයක් ලැබෙන තුරු රෝගියාගේ ජීවිතය පවත්වාගෙන යාමට උදව් කිරීමේ පරිදි නිර්මාණය කර ඇති නමුත්, මේ නිෂ්පාදකයාගේ අපේක්ෂාව වන්නේ දායක හෘදයක් නොමැතිව වුවද පසුව මෙය භාවිතයෙන් ජීවත්විය හැකි ආකාරයකට වැඩිදියුණු කිරීමයි.
මෙම උපාංගය ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවේ ලබාගත් පුද්ගලයා වූයේ නව දකුණු වේල්ස් ප්‍රාන්තයේ සිටි 40 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු දැඩි හෘදයාබාධයකින් පෙළුණු නිසා මෙය ලබා ගැනීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ඇත. ඔහු මෙවැනි කෘත්‍රිම හදවතක් බද්ධ කරනු ලැබූ ලෝකයේ හය වැනි තැනැත්තාය. කෘත්‍රිම හෘදයක් සවි කළ මුල් අවස්ථා පහම සිදු වූයේ ඇමරිකාවේ දීය; ඒ පසුගිය වසරේ දීය. ඔවුන් සියලු දෙනාම හදවත් බද්ධයකට මිනිස් හදවතක් ලැබෙන්නට කලින් මිය යාමට සිදු විය. කෘත්‍රිම හෘදයක් සවි කිරීමෙන් පසු හදවත් රෝගියකු ජීවත් වූ වැඩිම කාලය දින 27කි.
මෙම ඓතිහාසික සැත්කමට ලක් වූ ඕස්ට්‍රේලියානු ජාතිකයාට ඒ කෘත්‍රිම හෘදය 2024 නොවැම්බර් 22 වනදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ සැන්ට් වින්සන්ට් (St Vincent’s) රෝහලේ උරස්-කන්තුක ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය පෝල් ජැන්ස් (Paul Jansz) විසින් පැය 6ක ශල්‍යකර්මයකින් පසු සාර්ථකව සවි කරනු ලැබීය. වෛද්‍ය වරුන්ගේ නිරීක්ෂණය මත දින ගණනාවක් රෝහල් ගත ව සිටි ඔහුට ඉන් පිට යාමට හැකි වූයේ 2025 පෙබරවාරි මාසයේ දීය. මාර්තු මාසයේ දී ඔහුට දායකත්ව හෘදයක් ලැබුණේය. ඒ වන විට ඔහු දින 100ට වැඩි කාලයක් කෘත්‍රිම හෘදයෙන් ජීවත්වෙමින් ලෝක වාර්තාවක් පිහිටු වීමට දායක වීය.
උරස්-කන්තුක ශල්‍ය වෛද්‍ය පෝල් ජැන්ස් පවසන්නේ, "අපි හැම දෙනාම ඉතාමත් සතුටු වෙනවා, මෙවැනි ඉතිහාසගත ශල්‍ය වෛද්‍ය කාර්යයක කොටස්කරුවන් වීමට ලැබීම ගැන. මේ සඳහා අපි වසර ගණනාවක් තිස්සේ සුදානම් වුණා. මෙවැන්නකට අත ගැසූ ප්‍රථම ඕස්ට්‍රෙලියානු වෛද්‍ය කණ්ඩායම හැටියට අපි අතිශයින් ම සතුටු වෙනවා." කියාය.
මේ ඓතිහාසික කටයුත්තට එක් වු වෛද්‍ය නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා වූ සැන්ට් වින්සන්ට් රෝහලේ කන්තුක හෘද වෛද්‍ය විද්‍යාඥ මහාචාර්ය ක්‍රිස් හේවුඩ් පවසන්නේ මේ බයිවැකෝර් කෘත්‍රිම හෘදය ජාත්‍යන්තර හෘද රෝග ප්‍රතිකාර ක්‍රමය සම්පූර්ණ වෙනස් කිරීමට හේතුවනු නියත බවයි.
මේ නව බයිවැකෝර් (BiVACOR) කෘත්‍රිම හෘදය නිර්මාණය කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බර්නින්ස්වල උපන් නව නිපැයුම්කරුවකු අතිනි. ඔහු වෛද්‍ය ඩැනියල් ටිම්ස් ය. එය ඔහු සිය මුළු ජීවිතකාලය පුරා ම වෙහෙස මහන්සි වී උදා කර ගත් ප්රතිඵලයකි.
ටිම්ස්ගේ පියා පයිප්ප වැද්දුම්කරුවෙකි. ඔහු වතුර පොම්ප අලුත් වැඩි කරන හැටි බහතෝරණ අවධියේ සිටම ටිම්ස් දැක තිබුණි. පසුව ඒවා අලුතින් හදන්නත්, අලුත් වැඩියා කරන්නත් ඔහු පියාට උදවු වුණේය. ඉගෙන ගන්නට ඔහු උපන් නගරයෙන් පිට වුවද හැම සති අන්තයේ ම ඔහු පියා සොයා ගොස් ඔහුට අත්උදවු දුන්නේය. ඔහුත් පියාත් අතර බෙදාගත් ඉලක්කයක් විය. ඒ බර්නින්වල වැඩිම ඉඩම් ප්‍රමාණයක් අත්පත් කර ගැනීමය. ඔවුහූ ඒ අරමුණට යන්නට හැකිතාක් ඉඩම් මිලදී ගත්හ.
මේ අතර ඔහුට වෛද්‍ය විද්‍යාලයට යාමට හැකි විය. වෛද්‍යවරයකු ලෙසින් සේවය කරද්දී ඔහුගේ පියා හදිසියේ හෘදයාබාධයකින් මිය ගියේය. කෘත්‍රිම හදවතක් නිර්මාණය කිරිමට ඔහුගේ හිත දැඩි ලෙස ඇදී ගියේ එයින් පසුවය. ඔහු ඒ අතින් විවිධ අත්හදා බැලීම් කළේය. පියා මෙන් පීඩාවට පත් ඕස්ට්‍රේලියානු රෝගීනට සහනයක් සැලසීම එකම අරමුණ විය. හෘද රෝගවලින් පීඩා විඳින බොහෝ අයට බද්ධ කරන්නට දායක හෘදයක් ලැබෙනතුරු බලා සිටින්නට නොහැකි වෙයි. එයට හේතුව දායක හෘදයක් කවදා ලැබේදැයි නිශ්චිතව කිව නොහැකි නිසාය. හදිසි අනතුරකින් හෝ වෙනත් පීඩාවකින් දිවි ගලවා ගන්නට නොහැකි වන අයකුගේ හෘදයක් ලැබෙනතුරු බලා සිටිද්දී බොහෝ හෘද රෝගීහූ මරණයට පත් වෙති. ඔහුට අවශ්‍ය වුණේ එවැනි අය හදවත් බද්ධ කිරීමට මිනිස් හදවතක් ලැබෙනතුරු ජීවත්කර වීමටය. ඒ අයට සහනයක් සලසන්නට කෘත්‍රිම හෘදයක් නිර්මාණය කරන්නට ඔහු වෙහෙසුණේ ඒ නිසාය.
“ඕස්ට්‍රේලියාවේ බොහෝ නව නිපැයුම් සිදු කෙරනවා. එහෙත් ඒවා ඵලප්රයෝජන ගන්නේ වෙනත් ධනවත් රටවල අයයි. ඒ නිසා මම මේ නව නිපැයුම මගේ අතින්ම නිම කරන්නට අදහස් කළා. මා තැනූ මේ නව කෘත්‍රිම හදවත බාර ගන්නට ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් හී හදවත් රෝගියකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. ඔහු අසාධ්‍ය තත්වයක හිටියේ. ඔහුට බද්ධ කරන්න සුදුසු හදවතක් ලැබී තිබුණේ නෑ. ඔහුට වැසිකිළියට යාමටවත් ශක්තියක් තිබුණේ නෑ. හදවතක් ලැබෙනතුරු ජීවත් නොවෙතැයි වෛද්‍යවරුන් විශ්වාස කළා. ඒ අතරතුරයි මම මගේ නිර්මාණය ගැන ඔහු කීවේ. ඔහු ස්වේච්ඡාවෙන් ඊට සහභාගි වෙන්න එකඟ වුණා.” වෛද්‍ය ටිම්ස් පවසයි.
මීට කලින් ලොව ප්‍රථම වරට මිනිසකුට බද්ධ කළ කෘත්‍රිම හෘදය ජාවික් -7 විය. ඒ නිර්මාණයෙහි ගෞරවය හිමි වන්නේ වෛද්‍ය රොබට් ජාවික්ටය. ටයිටේනියම් හා ප්ලාස්ටික් යොදා ගෙන නිර්මාණය කළ ඒ හදවත බද්ධ කළේ බානි ක්ලාක් නම් 61 හැවිරිදි දන්ත වෛද්‍යවරයකුටය. 1982 දෙසැම්බර් 2 වැනිදා ඇමරිකාවේ ඌටා විශ්ව විද්‍යාලානුබද්ධ වෛද්‍ය විද්‍යාලයේ දිය. සැත්කම සිදු කළේ හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍ය විලියම් ඩිවිරීස් විසිනි. රෝගියා ජීවත් වූයේ දින 112ක් පමණි. ඔහුට පෝෂණය දුන්නේ පිටතින් යෙදූ බටවලිනි. කෘත්‍රිම හදවත ක්‍රියා කළේ විදුලි බලයෙනි. ඔහුට මිය යනතුරුම රෝහලෙන් පිටවී යාමට නොහැකි විය. කෙසේ වෙතත් මෙයින් කෘත්‍රිම හෘද තැනීමේ මහා පෙරළියකට මග පෑදුවේය.
වර්තමානයේ හදවත් සැත්කම් සඳහා ලබා ගත හැකි කෘත්‍රිම හෘද දෙකක් තිබේ. ඉන් එකක් දැනට වෛද්‍ය විද්‍යාත්මකව අනුමත කර ඇති සින්කාඩියා ටීඒඑච් (SynCardia TAH) නම් කෘත්‍රිම හෘදයයි. එය තනා ඇත්තේ පොලියුරෙතින් හා ටයිනේනියම් නම් ලෝහ යොදා ගෙනය. අනෙක් සම්පූර්ණ කෘත්‍රිම හෘදය ප්‍රංශයේ නිපදවා ඇති කාමැට් ටීඒඑච් (CARMAT TAH) නම් වෙයි. මේ නිර්මාණ අතරට එක්වූ අලුත්ම එක බයිවැකෝර් (BiVACOR) කෘත්‍රිම හෘදය වේ. ඉහත සඳහන් කෘත්‍රිම හෘද බද්ධ කරනු ලබන්නේ මිනිස් හදවතක් බද්ධ කරන්නට ලැබෙනතුරු රෝගියා ජීවත් කර වන්නටය. මේවා අතරින් බයිවැකෝර් කෘත්‍රිම හෘදය හැර අනෙක් සියල්ලම ක්‍රියා කරන්නේ විදුලි බලය මගිනි. එහෙත් බයිවැකෝර් කෘත්‍රිම හෘදය ක්‍රියා කරන්නේ චුම්බක ශක්තියෙනි.
‘චුම්බක ශක්තිය භාවිතයෙන් පාලනය කෙරෙන විශේෂ රොටර යාන්ත්‍රණයක් මගින් සිරුර පුරා රුධිර සංසරණය සිදු කරන අතර එහි කොටස් අතර ඝර්ෂණයක් ඇති නොකරන නිසා කොටස් ගෙවී යාමක් සිදු නොකරයි.’ වෛද්‍ය ටිම්ස් පවසයි. ඔහු බලාපොරොත්තු වන්නේ මේ ආකාරයේ කෘත්‍රිම හෘදයන් තවදුරටත් නිපදවන්නටය. “වසර දෙක තුනක් යන විට මෙයින් බොහෝ දෙනකුට සහනයක් ලබා දිය හැකි වේවි.” ඔහු තවදුරටත් කියයි.
ඔහුගේ මේ නිර්මාණය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත හෘද රෝගීන්ට සැනසීමක් ගෙන දෙන්නකි. ශල්‍ය වෛද්‍යවරුන් සූදානම්ව සිටියත් දායකත්ව මිනිස් හෘදයක් ලැබෙනතුරු ජීවත් වීමට නොහැකි වන ලොව රෝගීන් ගේ ගණන අති විශාලය. ඔවුන්ට මේ නව කෘත්‍රිම හෘදය නිසා ලැබෙන්නේ ඉමහත් ජීවිත දානයකි. ඉදිරියේ දී මෙය තවදුරටත් දියුණු කර ජීවිතය පුරාම වුවත් මේ කෘත්‍රිම හෘදයෙන් ජීවත්වීමට හැකි ආකාරයේ නිමැවුමක් කිරීම දැන් වෛද්‍ය ඩැනියල් ටිම්ස් ගේ අභිලාෂයයි.
0 Comments