ඩ්‍රෝන යානා දැන් අපට අලුත් දෙයක් නෙමෙයි. ඒවා දැන් උත්සව ආවරණය කිරීමට, ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරයේ දී වඩා හොඳින් අපූරු කෝණවලින් රූපවාහිනිය ඔස්සේ ඔබට පෙන්වීමටත් යොදා ගන්නවා. ටෙලි නාට්‍යවලදීත්, වෙනත් සුවිශේෂ අවස්ථා ‘උකුසු ඇසින්’ වාර්තා කිරීමටත් භාවිත කරනවා. ඒවාගේ ම නිවසට පාර්සල් බෙදීමටත් ඇමරිකාව වගේ රටවල ඩ්‍රෝන යානා යොදා ගන්නවා. විශාල ගොවිපළවල කෘෂිරසායන හා පොහොර ඉසීමටත්, තවත් විවිධ කටයුතුවලටත් යොදා ගන්නවා. මේ ඩ්‍රෝන යානා යුක්රේන යුද්ධයටත් යොදා ගත්තා, තවමත් යොදා ගන්නවා. ඒ යුද්ධයේ දී සෙබළුන්ට පෙරාතුව යන්නේ ඩ්‍රෝන යානායි. මේ ඩ්‍රෝන යානාවලට පැයට කිලෝමීටර් 60ක පමණ වේගයෙන් යන්න පුලුවන්. මත්ද්‍රව්‍ය සොයා වැටලීම් කරද්දී, නගරය පීරන පොලිස් භටයන්ට අපේ ගුවන් හමුදාව ඔවුන් සතු ඩ්‍රෝන යානා යවා සහය දුන්නා.
ලෝකයේ වැඩිම ඩ්‍රෝන යානා භාවිතයක් ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙයි. හමුදා කටයුතුවලට මේ ඩ්‍රෝන යානා භාවිත කරන්නේ ඇමරිකාවයි. ලෝකයේ ලොකුම ඩ්‍රෝන හමුදාව ඇමරිකාව සතුවයි, තියෙන්නේ. මිනිසුන් රහිත ගුවන් වාහන හෙවත් unmanned aerial vehicles (UAVs) කියා නම් කර ඇති මේවා 13,000ක හමුදාවක් ඇමරිකාව සතුව තියෙනවා. මේවා රහස් ඔත්තු බැලීමට, ගුවන් කලාප නිරීක්ෂණයට, යුද කටයුතුවල දී සතුරු ප්‍රදේශය පූර්ව නිරීක්ෂණ කටයුතුවලටත්, තවත් විවිධ කටයුතුවලටත් යොදා ගන්නවා. විවිධ විශේෂ කාර්යයන් සඳහා සැලසුම් කළ ඩ්‍රෝන යානා තියෙනවා. ඒවා අතර ඇති ප්‍රධාන ඩ්‍රෝන යානා නම්, MQ-9 Reaper, RQ-4 Global Hawk සහ MQ-1 Predator ආදියයි.
2025 වන විට ලෝකයේ හමුදා සතුව ඇති වැඩිම මිලිටරි ඩ්‍රෝන සංඛ්‍යාව ඇති රටවල් 10 මෙසේයි: එක්සත් ජනපදය 13,000, තුර්කිය 1,421, පෝලන්තය 1209, රැසියාව 1050, ජර්මනිය 670, ඉන්දියාව 625, ප්‍රංශය 592, ඕස්ට්‍ර්ලියාව 557ක් ආදී වශයෙන් දක්වා තියෙනවා. මේ හැරෙන්නට ආරක්ෂිත උපක්‍රමයක් ලෙස ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරන, මිලිටරි ඩ්‍රෝන සතු රටවල් 100ක් ලෝකයේ තියෙනවා.
දැන් මේ ඩ්‍රෝන යානා යොදා ගෙන අමෙරිකා යුද දෙපාර්තමේන්තුව වූ පෙන්ටගනය මහා විනාශයක් කළ හැකි යුද උපක්‍රමයක් නිර්මාණය කර තිබෙනවා. ඒ දහස් ගණන් ඩ්‍රෝන යානා යොදාගෙන සතුරු හමුදාවලට පහර එල්ල කරන ක්‍රමයක්. ඒත් විශේෂඥයන් අනතුරු හඟවන්නේ ඒ ක්‍රමය මිනිසාගේ පාලනයෙන් ගිලිහි යා හැකි මහා භයානක එකක් කියලයි.
මේ සඳහා යොදා ගැනෙන්නේ ස්වයංක්‍රීය බහුක්ෂේත්‍ර අනුවර්තී ඩ්‍රෝන යානා පොකුරක්. එය නම් කර ඇත්තේ AMASS (Autonomous Multi-Domain Adaptive Swarms-of-Swarms) කියායි. අමෙරිකානු හමුදාව දැනටමත් ඒ සඳහා ඩොලර් මිලියන 78ක කොන්තරාත්තුවක් සඳහා සැපයුම්කරුවන්ගෙන් ලංසු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා තිබෙනවා. මෙය අධිරහස්‍ය ව්‍යාපෘතියක්. මහා පරිමාණයේ ප්‍රහාර දියත් කළ හැකි ස්වයංක්‍රිය යුද අවි ඇතුළත් වන මෙය තාමත් සැලසුම් මට්ටමේ ඇති එකක්. මේ සඳහා ක්‍රියාත්මකව සිටින්නේ, ඇමෙරිකාවේ දර්පා (DARPA - Defense Advanced Research Project Agency) හෙවත් ආරක්ෂක අධිපර්යේෂක ව්‍යාපෘති ඒජන්සියයි.
ගුවන් ගමන් සඳහා සැලසුම් ඇතුළත් කළ, මග සොයා යා හැකි, පණිවිඩ සන්නිවේදනය කළ හැකි, අවි රැඳවිය හැකි, සතුරු රේඩාර් පද්ධති අවුල් කළ හැකි, දරුණු මාරක ප්‍රහාර එල්ල කළ හැකි, කුඩා ඩ්‍රෝන යානා සැපයීම සඳහා තමයි, ඔවුන් ලංසු කැඳවා ඇත්තේ.
මෙය සරල දෙයක් ලෙස පෙනුනත් ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයට අවතීර්ණ වූ විට මෙහි තත්වය අති භායානක විය හැකියි කියලයි, මේ ක්ෂේත්‍රයේ ඉන්නා විශේෂඥයන් කියන්නේ.
ඇමරිකාවේ වර්ජිනියා ජනපදයේ ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයේ ප්‍රතිපත්ති සම්පාදකයකු වූ සකාරි කැලන්බෝන් කියන්නේ, “මේ පොකුරු අවිවලට යොදා ගන්නා ඩ්‍රෝන යානා එන්න එන්නම විශාලත්වයෙන් වැඩි වන විට මිනිසුන්ට ඒවා මෙහෙයවීම හා පාලනය කිරීම පිළිබඳ තීරණ ගැනීම අසීරු දෙයක් වේවි.” කියායි.
2001 වසරේ සිටයි, ඇමරිකන් හමුදාව මිනිසුන් රහිත ගුවන් යානා යුද පිටියට ගෙනාවේ. එහෙත් ඒවා ඉතා කුඩා යානා වූ අතර ඒවා යොදා ගත්තේ නිහඬව ගොසින්, සතුරු ප්‍රදේශ ආක්‍රමණය කර සතුරු කඳවුරු විනාශ කරන්නට, සතුරු පණිවිඩ මාර්ග අවුල් කරන්නට වැනි දෙයටයි.
ඒත් මේ දර්පාවට අයත් AMASS මගින් පොකුරු යානා, සිය දහස් ගණනක් විවිධ කාර්ය පවරා මෙසේ මුදා හළ විට, ඒවා ක්‍රියා කරන්නේ මිනිස් මැදිහත් වීමෙන් තොරවයි. මේවායේ භාවිතය ගැන පැවති සාකච්ඡාවක දී ඇමරිකන් හමුදා ලුතිනන් කර්නල් පෝල් ලුෂෙන්කෝ කියා ඇත්තේ, “මේ ඩ්‍රෝනවලට යුද බිමට සැපයුම් ගෙනියන්න පුලුවන්, ඔත්තු බලන්න පුලුවන්, ඒ වගේම මිනී මරන්නත් පුලුවන්.” කියායි.
“න්‍යායාත්මකව AMASS පොකුරු යානා සම්පූර්ණයෙන් ම මාරක ඒවා නොවෙයි. ඒ වගේ ම සන්නිවේදනවලට බාධා කිරීම්, චාලක නොවන ප්‍රහාර කිරීම් ආදියත් සිදු කරන්නට බැහැ. ඒත් වෙනත් උපක්‍රම හා උපාය මාර්ග යොදා ගෙනයි එ්වා සතුරු එදිරිවාදුකම් විනාශ කරන්නේ.”යයි කැලන්බෝන් කියනවා.
මේ ව්‍යාපෘතිය සම්බන්ධව, ඩ්‍රෝන රැසක් යොදවමින්, තථ්‍ය හා අතථ්‍ය දෙයාකාරයෙන්ම අත්හදා බැලීම් කෙරෙනවා. එය ක්‍රම ක්‍රමයෙන්, ප්‍රමාණයන් හා සංඛ්‍යාවන් වැඩි කරමින්, ඒ වාගේම ඒවායේ සංකීර්ණත්වය වැඩි කරමින්, අත්හදා බැලීම් සිදු කෙරෙනවා. මෙහිදී ඒවා අණ පරිදි නිසි ලෙස ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ හැකියාවත්, විවිධ කටයුතුවලට යොදා ගන්නා ස්වයංක්‍රීය ඩ්‍රෝන එකම පරිගණක බසකින් හැසිරවීමේ හැකියාවත් වැඩි කිරීම ගැන සොයා බලනවා.
මේ පොකුරු ඩ්‍රෝන මෙහෙයුමක දී උපරිම ආකාරයට එහි අරමුණු ඉටු කර ගැනීමටත්, ප්‍රමුඛතා අනුව ක්‍රියාත්මක වීමටත්, අවදානම්වලට මුහුණ දීමේ හැකියාව වැඩි කිරීමටත්, නිශ්චිත කාලයක් තුළ වේගයෙන් කටයුතු කිරීමට මේ ස්වයංක්‍රීය ඩ්‍රෝන සූදානම් කිරීමත් දැන් ලහිලහියේ සිදු කෙරෙනවා.
“යම් අවස්ථාවක දී සන්නිවේදනය බිඳ වැටුණු විටෙක මිනිස් පාලනයට නතු කර ගත හැකි ආකාරයට මේවා සැකැසෙන නිසා අපේ පාලනයෙන් ගිලිහීමක් කිසි විටෙක සිදුවන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන අනියත බියක් ඇති කර ගතයුතු නැතැ”යි හමුදා ප්‍රකාශකයකු කියනවා.
“යුද කටයුතුවල දී ක්‍රියාත්මක වන විට ස්වයංක්‍රීය හා අර්ධ-ස්වයංක්‍රීය අවි පද්ධති සැලසුම් කරන්නේ හමුදාවේ අණ දෙන නිලධාරින්ගේ අණසකට යටත්ව කටයුතු කිරීමටයි. එසේ නොමැතිව ඒවා ක්‍රියාත්මක වන්නේ නැහැ.” ඒ ප්‍රකාශකයා තවදුරටත් කියනවා.
එහෙත් කැලන්බෝන් කියන්නේ, “මේ පොකුරු ඩ්‍රෝන ප්‍රමාණයෙන් විශාල වන විට ඒවා පාලනය කිරීම මිනිසාට අපහසු විය හැකි බවයි. ඒ මට්ටමේ දී ඒවා පාලනය කළ යුත්තේ ස්වයංක්‍රීයව හෝ කෘත්‍රිම බුද්ධිය හෝ යොදා ගෙනයි.” කියායි.
මේ ඇමරිකන් හමුදාව පොකුරු ඩ්‍රෝන භාවිත කරන පළමු වතාව නෙමෙයි. ඔවුන් වසර කීපයක් තිස්සේම පොකුරු ඩ්‍රෝන 250ක් යොදා ගෙන ව්‍යාපෘතියක් කරනවා. ඒවා හමුදාවේ යුද නොවන මෙහෙයුම්වලට යොදා ගන්නවා. 2001 දී ඊශ්‍රායලය තමයි, මුල්වරට යුද කටයුතුවලට පොකුරු ඩ්‍රෝන යොදා ගත්තේ. ඒ ගාසා තීරයේ හමාස් ත්‍රස්තවාදීන් මැඬලන්නයි. ඒත් මේ නව ඇමරිකන් AMASS ව්‍යාපෘතිය ඊට වඩා ප්‍රබල සංකීර්ණ එකක්.
0 Comments