HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

දින 8කට මාස 9ක් උඩුගුවනේ සිර සිටි ගගනගාමිහූ ආපසු එති

නව ගගන කැප්සියුලයක් අත්හදා බලමින්, දින 8 ක අභ්‍යවකාශ මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස්, ආපසු පෘථිවියට පැමිණීමට නොහැකිව, මාස 9 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටීමට සිදුවුණු නාසා ගගනගාමීන් දෙදෙනා වන සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් පසුගියදා (19) යළි පෘථිවියට පැමිණියහ. 

ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකන් ගගනගාමිනියක වන සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යන දෙදෙනා අන්තර්ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පිටත් වූයේ පසුගිය වසරේ ජූනි මාසයේදීය. ඒ, බෝයිං සමාගමේ ‘ස්ටාර්ලයිනර්’ ගගන කැප්සියුලය අත්හදා බලමිනි. බෝයිං සමාගම ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ ගුවන් යානා නිෂ්පාදන සමාගමකි. ගුවන් යානා නිෂ්පාදනයට පෙර සිටම, බෝයිං නාසා ආයතනය හා සම්බන්ධ වී ගගන කැප්සියුල සහ රොකට් යානා නිපදවීමට දායක විය. ‘ස්ටාර්ලයිනර්’ යනු බෝයිං සමාගම විසින්, අභ්‍යවකාශයට ගගනගාමීන් රැගෙන යෑමටත්, ඔවුන් නිරුපද්‍රිතව ආපසු රැගෙන ඒමටත් නිපදවූ ගගන කැප්සියුලයයි.


සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යන නාසා ගගනගාමීන් දෙදෙනා

‘ස්ටාර්ලයිනර්’ කැප්සියුලයේ නැගී, අන්තර්ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය විලියම්ස් සහ විල්මෝර් දෙදෙනාට, අභ්‍යවකාශ ගමන් බිමන් සහ අන්තර්ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළ අලුත් දෙයක් නොවීය. දෙදෙනාම නාසා ආයතනයේ පළපුරුදු ගගනගාමීහූ වෙති. බෝයිං සමාගම, ඔවුන්ගේ නවතම කැප්සියුලය නම් කර ඇත්තේ ‘බෝයිං ස්ටාර්ලයිනර්’ යනුවෙනි. එසේ වුවත්, ගගනගාමීනී සුනීතා විලියම්ස්, මෙම කැප්සියුලයට වෙනත් නමක් යොදා ඇත. ඒ ‘කැලිස්ටෝ’ය. ප්‍රංශ ජාතික සමුද්‍රගවේෂක යාකුස් කුස්ටෝව්ගේ යාත්‍රාව සිහි කරමින් තමන් බෝයිං කැප්සියලය ‘කැලිස්ටෝ’ යනුවෙන් නම් කරන බව සුනීතා විලියම්ස් පැවසුවේ, ඇගේ එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය. 

ජූනි 14 ‘ස්ටාර්ලයිනර්’ කැප්සියුලයෙන් ආපසු පෘථිවියට පැමිණීමට ඔවුන් සූදානම් වුවත්, එය දිනෙන් දින කල් දැමුණි. ඒ, කැප්සියුලයේ පැවති හීලියම් කාන්දුවක් නිසාය. කැප්සියුලයට තෙරපුම් පද්ධති 28 ක් සම්බන්ධ වෙයි. හීලියම් කාන්දුව නිසා ක්‍රියාත්මක වූයේ පද්ධති 27 ක් පමණි. විල්මෝර් සහ විලියම්ස් දෙදෙනා එම කැප්සියුලයෙන් ආපසු ගෙන්වා ගැනීම ඔවුන්ගේ ජීවිත අනතුරේ දැමීමක් බව බෝයිං සමාගමත් නාසා ආයතනයත් තීරණය කළේය. ඒ අනුව, දින 8 ක මෙහෙයුමකට අභ්‍යවකාශ නැවතුම්පොළට ගිය විලියම්ස් සහ විල්මෝර් දෙදෙනාට මාස 9 ක් එහි රැඳී සිටීමට සිදුවිය. 

බෝයිං සමාගම, විලියම්ස් සහ විල්මෝර් නොමැතිව පසුගිය වසරේ සැප්තැම්බරයේ කැප්සියුලය ආපසු ගෙන්වා ගත්තේය. සැප්තැම්බර් 6 වැනිදා සවස 6 ට අන්තර්ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළෙන් වෙන්වුණු ‘කැලිස්ටෝ’ පැය 6 ක කාලයක් තිස්සේ පෘථිවි වායු ගෝලයට ඇතුළු වී වේගයෙන් ඇදී ආවේය. ‘කැලිස්ටෝ’ යානය පහළට ආ වේගය පැයට කිලෝ මීටර් 27,400 කි. පෘථිවි වායුගෝලයට ඇතුළු වුණු ‘කැලිස්ටෝ’ ගිනිගෙන දැවෙන්නට වූයේ සෙල්සියස් අංශක 1,649 ක උෂ්ණත්වයකිනි. පහළට පැමිණෙද්දී කැප්සියුලයේ යෝධ පැරෂූට් දිග හැරුණි. ඒ අනුව වේගය අඩාල වී සෙමින් සෙමින් කැප්සියුලය බිමට පතිත විය. 

සාමාන්‍යයෙන් මිනිසා අතින් නිර්මාණය කර ඇති සියලුම ගගන කැප්සියුල ආපසු පැමිණ පැරෂූට් ආධාරයෙන් ගොඩබෑම සිදු කරන්නේ සාගරයටය. ඉන්පසු නාවික හමුදාවේ ද සහාය ඇතිව කැප්සියුලය ගොඩ ගැනීම සිදුවෙයි. සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් අභ්‍යවකාශයට ගියේ ඔවුන්ගේ අවසන් අභ්‍යවකාශ මෙහෙයුම ආරම්භ කරමිනි. දින 8 ක මෙහෙයුම, මාස 9 ක් වේවි යැයි ඔවුන් සිහිනෙකින්වත් සිතුවේ නැත. 

පසුගිය 19 වැනිදා විලියම්ස් සහ විල්මෝර් යළි පැමිණියේ නාසා ආයතනය සමඟ සම්බන්ධ වී සිටින, ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක්ගේ 'ස්පේස් එක්ස්' සමාගමේ 'ඩ්‍රැගන්' ගගන කැප්සියුලයේ ආධාරයෙනි. ඉලොන් මස්ක්, වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන උපදේශකවරයෙකු ලෙස ද සේවය කරයි. විලියම්ස් සහ විල්මෝර් දෙදෙනා ආපසු ගෙන්වා ගැනීමට මස්ක් සහ ට්‍රම්ප් දෙදෙනා මැදිහත් වී කටයුතු කළ බව පැවැසෙයි. විලියම්ස් සහ විල්මෝර් ආපසු ගෙන්වා ගැනීම ඒ අනුව දේශපාලනීකරණයට ද ලක් විය. විලියම්ස් සහ විල්මෝර් අභ්‍යවකාශ නැවතුම්පොළට යද්දී ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ජෝ බයිඩන්ය. විලියම්ස් සහ විල්මෝර් ආපසු ගෙන්වා ගැනීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බයිඩන් පරිපාලනය දැඩි ලෙස විවේචනය කර ඇත. 

ඩ්‍රැගන් කැප්සියුලය ද මුහුදට පතිත කිරීමට නිර්මාණය කර ඇති එකකි. බෝයිං සමාගම ඔවුන්ගේ මෙම ‘ස්ටාර්ලයිනර්’ කැප්සියුලය නිර්මාණය කර ඇත්තේ, ගොඩබිමට පතිත කළ හැකි ආකාරයටය. ඒ අනුව ගොඩබිමට පතිත කළ හැකි පළමු ගගන කැප්සියුලය වන්නේ මෙයයි. ‘ස්ටාර්ලයිනර්’ කැප්සියුලය පෙර සැලැසුම් කර තිබුණු ආකාරයට ගොඩබෑවේ නිව් මෙක්සිකෝවේ ‘වයිට් සෑන්ඩ්ස්’ තැනිතලා භූමියටය. 

විලියම්ස්, විල්මෝර් පමණක් නොව, ඒ වන විට උඩු ගුවනට ගොස් සිටි ඇමෙරිකන් සහ රුසියන් ගගනගාමීහු දෙදෙනෙක් ද 'ඩ්‍රැගන්' කැප්සියුලයෙන් ආපසු පැමිණියහ. කැප්සියුලය ඇමෙරිකාවේ වේලාවෙන් සවස 5.57 ට පැරෂූට් ආධාරයෙන් ෆ්ලොරීඩාවට ඔබ්බෙන් මුහුදට පතිත කෙරුණි. 'ඩ්‍රැගන්' කැප්සියුලයේ ඉඩ පහසුකම් ඇත්තේ ගගනගාමීන් සිවු දෙනකුට පමණි. ඒ අනුව, විලියම් සහ විල්මෝර්ගේ අවසන් ගගන මෙහෙයුම දින 268 කට පසු අවසන් විය. 

සාමාන්‍යයෙන් ගගනගාමීන් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙද්දී, ඔවුන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරේ. පලපුරුදු ගගනගාමීන් වුවත්, 59 හැවිරිදි සුනීතා විලියම්ස් සහ 62 හැවිරිදි බුච් විල්මෝර්, ආපසු ආ සැණින් වෛද්‍යවරුන්ගේ අවධානයට ලක්වූහ. ඔවුන් දෙදෙනා, හූස්ටන්හි පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇති වෛද්‍යායතනයට යොමු කෙරුණු ලැබූ අතර තව ටික දිනක් එහි වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රැඳී සිටිනු ඇත. 

ඔවුහු දින 268ක් උඩු ගුවනේ රැඳී සිටියහ. අන්තර්ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළ රඳවා ඇත්තේ පොළොවේ සිට කිලෝ මීටර් 460 ක් පමණ ඉහළිනි. එය එක්තරා ආකාරයකට දැවැන්ත අභ්‍යවකාශ පර්යේෂණාගාරයකි. ඒ නැවැතුම්පොළ ඉදි කිරීමට මුල් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයත්, රුසියාවත්ය. පසුව, අභ්‍යවකාශ කටයුතුවලට සම්බන්ධ ලොව ප්‍රධාන පෙළේ රටවල් කීපයක් ද ඒ සඳහා දායක විය. මෙය අන්තර්ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළ ලෙස නම් කර ඇත්තේ එබැවිනි. 

ඒ නැවතුම්පොළ එක් දැවැන්ත පර්යේෂණාගාරයක් වුවත්, එහි ගගනගාමීන්ට අවශ්‍ය සියලු පහසුකම් ඇත. සූර්ය බලයෙන් විදුලිය ලැබෙයි. අභ්‍යවකාශයට, ශුන්‍ය ගුරුත්වයටත් ගැළපෙන ආකාරයේ ආහාර පාන නැවැතුම්පොළේ අඩංගු වෙයි. වැසිකිළි පහසුකම් ද ඇත. සියලු අපද්‍රව්‍ය මුදා හැරෙන්නේ පෘථිවියේ පහළ කක්ෂයටය. ඒවා දැවී විනාශ වෙයි. අන්තර්ජාතික අභ්‍යවකා යානයේ රුසියානුවන්ට අයත් කොටසක් සහ ඇමෙරිකානුවන්ට අයත් කොටසක් ද ඇත. මාස හයෙන් හයට ගගනගාමීහු මාරුවෙමින්, නැවතුම්පොළෙහි රැඳී සිටිමින් විවිධාකාරයේ පර්යේෂණ කටයුතුවල නියැළෙති. 

අන්තර්ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළේ වැඩිම දින ගණනක් ගත කළ ගගනගාමියා ලෙස සැලකෙන්නේ නාසා ගගනගාමී ෆ්රෑන්ක් රූබියෝය. ඔහු වසරකට වැඩි කාලයක් අභ්‍යවකාශ නැවතුම්පොළේ ගත කළේය. අන්තර්ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කිරීමට පෙර, සෝවියට් රුසියානුවන්ගේ අභ්‍යවකාශ නැවැතුම්පොළ ලෙස පැවැතියේ ‘මීර්’ නැවතුම්පොළය. එහි වැඩිම දින ගණනක් ගත කළ සෝවියට් ගගනගාමියා ලෙස සැලකෙන්නේ වැලේරි පොල්යාකෝව් ය. මොහු දින 437 ක් ‘මීර්’ අභ්‍යවකාශ නැවැතුම්පොළේ ගත කළේය. 

පෘථිවි ගුරුත්වයෙන් මිදී, අභ්‍යවකාශ නැවතුම්පොළේ ගත කිරීම ගගනගාමීන්ට අභියෝගයකි. ගගනගාමීහු කායික මෙන්ම මානසික වශයෙන් ද ගැටලුවලට මුහුණ දෙති. ගගනගාමීන් වැඩි වැඩියෙන් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටීමේ දී ඔවුන්ගේ මුහු‍ණේ පේශී ක්ෂවී දිගටි වෙයි: ඉදිමෙයි; පාදවල මාංශපේෂී දුර්වල වෙයි, සිරුර තරමක් උස යයි; කෙට්ටු වෙයි; කකුල් කුඩා ළමයකුගේ මෙන් වෙයි; පාදයේ කෙණ්ඩා ඉදිමෙයි; ඇස් පෙනීම දුබල වෙයි. ආපසු පෘථිවියට පැමිණි පසුද විලියම්ස් සහ විල්මෝර් දෙදෙනාට ආපසු පොළොවේ ගුරුත්වයට අනුව හැඩගැසීමට සිදු වෙයි. එහෙයින්, පෘථිවි ගුරුත්ව බලයට අනුව, ඔවුන් වෛද්‍ය අධීක්ෂණය යටතේ දින 45 ක පුනරුත්ථාපන වැඩසටහනකට යොමු කෙරෙනු ඇත. 

ලුසිත ජයමාන්න

ඩේලිමේල් ඇසුරිනි 

අදහසක් පළ කරන්න

0 Comments