HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විස්මිත සොයා ගැනීමක්! මරණාසන්න මොහොතේ මොළයට සිදුවන්නේ කුමක් ද?

මිනිසකු මරණයට පත්වන අවස්ථාවේ දී මොළය තුළ සිදුවන්නේ කුමක් ද යන්න ගැන සියවස් ගානක් තිස්සේ විද්‍යාඥයන්ට ප්‍රහේළිකාවක්ව තිබුණා. ස්නායු විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් මිය යන මොළයක් තුළ, ඒ තත්පර ගණනාව ඇතුළත, සිදුවන ක්‍රියාවලිය ප්‍රථම වතාවට පටිගත කර ගෙන තියෙනවා. ඒ මොහොතේ ජීවිතය දෙස ‘පසුවිපරමක්’ සිදුවන බවයි, ඒ අත්දැකීම අනුව කියන්නේ. 

ජීවිතයේ මරණාසන්න අත්දැකීම් කියන අය, ඒ කියන්නේ සැත්කමකදී මරණයට පත්ව එසැණ යළි සිහිගන්වනු ලැබූ අයගේ කතා අප කොතෙකුත් අසා තියෙනවා. බොහෝ විට ඔවුන් කියන්නේ සිය මුළු ජීවිතයේම සිදුවූ දේවල් ක්ෂණිකව වේගයෙන් චිත්‍රපටයක් වාගේ පෙනී ගිය බවයි. 


විද්‍යාඥයන් විසින් මරණයෙන් පසු සිදුවන දේ පිළිබඳ 
නව හෝඩුවාවන් කිහිපයක් සොයා ගෙන ඇත.

පසුගිය දා 87 හැවිරිදි වියේ පසුවූ අපස්මාර රෝගියකුට ප්‍රතිකාර කරද්දී තමයි, මේ විස්මයජනක පටිගත කිරීම සිදුකර තිබෙන්නේ. ඒ අවස්ථාවේ රෝගියා හෘද කන්තුක අකරණයකින් හදිසියේ මිය ගොස් තියෙනවා. ඒ මොහොතේ වෛද්‍යවරුන් විසින් ඔහුගේ මොළයේ ක්‍රියාකාරිත්වය ආවේක්ෂණය කිරීමට රෝගියාගේ හිසට උපකරණයක් සවි කරලයි, තිබුණේ. ඒ මොහොතේ හදිසියේ හෘදය වස්තුවේ ඇති වූ කන්තුක අකරණයකින් ඒ රෝගියා මියගොස් තිබෙනවා. 

කෙසේවෙතත්, ඒ රෝගියාගේ මොළයේ ක්‍රියාකාරිත්වයෙන් තත්පර 900ක් පටිගත කර ගන්නට මේ ස්නායු විද්‍යාඥ පිරිසට හැකිවී තියෙනවා. එයට ඒ රෝගියාගේ මරණාසන්න මොහොතේ හා මරණින් මතු, එනම් ඔහුගේ හද ගැස්ම නතර වූ පසු, තත්පර කීපය ඇතුළු තත්පර 30ත් මේ පටිගත කිරීමට ඇතුළත් වෙලා තියෙනවා. 

මිය යන ආසන්න මොහොතේ හා මියගිය පසු තත්පර කීපය තුළ මොළයේ තරංග විහිදුණු අන්දම දැක්වෙන කොටස්වලින් පෙනී යනවා, මතකයන් හා සිහිපත් කිරීම් ඒ අවස්ථාවේ දී සිදු වන බව. 


ඇමරිකා එක්සත් ජනපදයේ කෙන්ටුකිහී ලුවර්වල් විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාඥ 
ආචාර්ය අජ්මාල් සෙමර්, මැරෙන මොහොතේ මොළය ක්‍රියා කරන හැටි පළමුවරට 
විද්යුත් රේඛනය මගින් සටහන් කර ගෙන තියෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ කෙන්ටුකිහී ලුවර්වල් (Louisville) විශ්ව විද්‍යාලයේ ආචාර්ය අජ්මාල් සෙමර් (Ajmal Zemmar) මේ පිළිබඳව අදහස් දක්වමින් කියන්නේ, “අපි කාලාන්තරයක් තිස්සේ විශ්වාස කළ දෙයක් තමයි, අපි මැරෙන මොහොතේ, අපට ජීවිතය පුරා සිදුවූ දේවල් එක මිටකට ගෙන සිහිපත් වන බව. මරණාසන්න මොහොතේ ලත් අත්දැකීම් ප්‍රකාශ කරන අයත් මේ ගැන කියලා තියෙන බව අපි දන්නවා. ඒ අවස්ථාවේ දී මොළය නිකුත් කරන තරංගවල මානයන් තුළින් ඒ සිදුවන දෝලනය තුළින් අපට ඒ අවස්ථාවේ දී සිදුවන දේ පිළිබඳව අප සිතා ගන්න පුලුවන්.” කියායි. 

“මෙම සොයාගැනීම් ජීවිතය හරියටම අවසන් වන්නේ කවදාද යන්න පිළිබඳ අපගේ අවබෝධයට අභියෝග කරනවා. ඒ වගේ ම ඉන්ද්‍රිය පරිත්‍යාග කිරීමට ඇති කාලය හා සම්බන්ධව වැදගත් ප්‍රශ්න කීපයක් මතු කරනවා.” ඔහු වැඩිදුරටත් කියනවා. 

ආචාර්ය සෙමර් ඇතුළු කණ්ඩායම, මේ පිළිබඳව අධ්‍යයන වාර්තාවක් Frontiers in Aging Neuroscience නම් වූ ස්නායුවිද්‍යා සඟරාවේ පළ කරලා තියෙනවා. ඒ වාර්තාවට අනුව අපස්මාරයට ප්‍රතිකාර කිරීමට ඔවුන් වෙත ගෙනා කැනේඩියානු ජාතිකයකුට ‘මීමැස්මොරය’ ඇති වන අවස්ථාවේ දී මොළයේ තරංග විහිදෙන ආකාරය විද්යුත් විච්ඡේදනය මගින් පරීක්ෂා කිරීම සඳහා EEG උපකරණ සවි කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණා. එහිදී සිදුවන්නේ, ඒ හිසකබලට පිටතින් අමුණන උපකරණයෙන් ලබාගන්න මොළයෙන් නිකුත් කරන තරංග, විද්යුත් සංඥා බවට පත්කොට රැලි සහිත රේඛා ලෙස පෙන්වමින් සටහන් කිරීමක් තමා මෙහිදී සිදු වන්නේ. 

පසුව, රෝගියා මේ යන්ත්‍රයට සවිකර ක්‍රියාත්මක කර තිබියදී ඔහු හදිසි හෘදයාබාධයකින් මිය යනවා. රෝගියා මියගිය පසුත් EEG යන්ත්‍රය දිගට ම සිය ආවේක්ෂණ කාර්යභාරය ඉටු කර ගෙන ගියා. ප්‍රථම වතාවට මරණයට පෙර මෙහොතේ සිදුවන්නේ කුමක් ද යන්නට සාක්ෂි ලබා දුන්නා. 

‘හදවත නතරවන්නට පෙර හා පසු මොහොතේ මොළයේ සිදුවන වෙනස්කම් අපට ස්නායු තරංග දෝලනය වන ආකාරයෙන් දැක ගත හැකි වුණා. අපට පෙනුනා, විශේෂ තීරුවක් වශයෙන් ස්නායු දෝලනයන් විද්යුත් රේඛනවල සටහන් වෙනවා. ඒවා ගැමා කිරණවලින් පටන් ගෙන ඩෙල්ටා, තීටා, ඇල්ෆා, හා බීටා වශයෙන් වෙනස්කම් සහිත තීරුවලින් සටහන් වුණා’ ආචාර්ය සෙමාර් පැවසුවා. 

මොළයේ එක එක ක්‍රියාකාරිත්වයන්ට හා එහි ඇති සංජානයන්ට අනුව එයින් තරංග නිකුත් වීම සාමාන්‍යයෙන් සිදු වන්නක්. ගැමා නිකුත් කෙරෙන්නේ අධි ක්‍රියාකාරිත්වයක් ඇති විටයි. ඒ කියන්නේ අතීතයේ සිදුවීම් සමාලෝචනයක් මොළයෙන් කෙරෙන විටයි, ගැමා කිරණ නිකුත් කෙරෙන්නේ. 


87 හැවිරිදි රෝගියකු මියයන මොහෙතේ තත්පර 30ක් ඇතුළත 
මොළය ක්‍රියා කළ අන්දම මේ මේ විද්යුත් සටහන්වල දැක්වේ.

‘මොළයේ තරංග වැඩියෙන් දෝලනය වීම සිදුවන්නේ මතකාවර්ජනයකදී තමයි. මරෙන්න කලින් ඉතා සුළු කාලයක් තුළ ජීවිතයේ වැදගත් සිදුවීම් මෙනෙහි කර ගැනීමයි තමයි මෙතැනදී සිදු වෙනවා ඇත්තේ. හරියට එලොව ගිහින් මෙලොව ආ අය කියනවා වගේ දෙයක් ‍සිදුවෙනවා ඇත්තේ.’ ආචාර්ය සමර් කියනවා. 

පර්යේෂකයන් යෝජනා කරන්නේ එක වරම මරණයට නොයවා, පුද්ගලයා මරණයට පත්වීමට පෙර, මොළය ඒ සඳහා ජීව විද්‍යානුකූලව සූදානම් කිරීම සුදුසු බවයි; ඒ සඳහා ඔහු වෙනුවෙන් සැකසූ මනෝවිද්‍යාත්මක හා ස්නායු විද්‍යාත්මක වැඩසටහන් පෙළක් ක්‍රියාත්මක කළ හැකි බවයි. 

පාරභෛතික පැත්තෙන් බැලුවොත්, ඔබට මේ වැනි දේ ඇසෙනවා නම්, මතකාවර්ජනය, සිහින දැක්වීම් සහ භාවනා ආදියේ දී සිදුවන මොළයේ ක්‍රියාකලාප රටා ආදිය අප මරණයට මුහුණ දෙන අවස්ථාවේ දී ඔවුන්ගෙන් ඇ‍සෙනවා කියලා කීවෙත් ඒක කුතුහලය දනවනසුලුයි," කියා සෙමර් පවසනවා. 

"ඒ නිසා, ඔහු මැරෙන අවසන් තත්පරවල ජීවිතයේ, ප්‍රත්‍යාවලෝකනයක් ලබා ගන්නවා විය හැකිය. ආධ්‍යාත්මක අතින් බැලුවොත්, එය සන්සුන් වීමට අදාළයි කියලා මම හිතනවා. මම මේවාට මුහුණ දෙනවා, ඔබට මරණයට ළං වූ රෝගීන් සිටින විට ඔවුන්ගේ පවුල්වලට කථා කිරීමට සිදුවුවහොත් ඔබ ඔවුන් වෙත නරක ආරංචි ගේන පුද්ගලයා වීමට සිදුවෙනවා. 

"දැන් මෙතෙක්, මරණයට පත් වෙමින් සිටින, ඔවුන්ගේ ආදරණීයයාගේ මොළය ඇතුළේ සිදුවන්නේ හරියට ම කුමක් දැයි යන්න ගැන අප කිසිවක් දන්නේ නැහැ. ඒත් ඔවුන්ගේ මොළය තුළ යමක් සිදුවෙනවා, ඔවුන්ගේ සුන්දර මතකයන් සිහිපත් කරගෙන සිටිනවා කියලා අපි දැනගන්නවානම්, ඒක අපට ඒ පවුල්වලට කියන්න පුළුවන්. ඒ මොහොතේ සිතින් කඩා වැටෙන ඔවුන්ට එය සුළු සහනයක් වේවි.” සමර් තවදුරටත් පැහැදිලි කර දෙනවා. 

විද්‍යාඥයන් තවමත් හරියටම දන්නේ නැහැ, ජීවිත සමාලෝචනයක් මරණාසන්න මොහොතේ සිදු වෙනවාද කියා. ඒත් ගැන මත කීපයක් ඔවුන් පළ කරනවා. එකක් නම් ජීවිත තර්ජනයක් ඇති මො‍හොතක දී ඔක්සිජන් හිඟයක් ඇති වුණොත් නියුරෝ සම්ප්‍රේෂණයේ වෙනසක් ඇතිවීමෙන් වේගවත් තරංග නිකුත්වීමක් සිදු වෙන්න පුලුවන්. එවිට සක්‍රියතාව වැඩි වී මතක හා රූප වේගවත්ව පෙනී යන්න පුලුවන්. 

තවත් අදහසක් නම්, විද්‍යාඥයන් විශ්වාස කරන ආකාරයට ආවේගජනක මතකයන් රඳවන තැනක් ලෙස සැලකෙන මොළයේ ඇමිග්දලාව (amygdala) නම කොටසේ ප්‍රචාරයක් නිසා මෙවැන්නක් සිදුවිය හැකි බවයි. හදිසි අනතුරුදායක අවස්ථාවකට මුහුණ දීමට සිදු වුවහොත් සටන් කීරීමට හෝ පලායාමට තීන්දුව දෙන්නේ මේ කොටසෙන්. එහෙයින් අනතුරුදායක තත්වයකට මුහුණ දෙන රෝගියකුට මොළයේ ඒ කොටස සක්‍රිය වීම නිසා මොළයෙන් නිකුත් කෙරෙන තරංග මගින් ඒ මො‍හොතේ සජීවීව මතක විදහා පෑමක් සිදුවිය හැකිය. 

ආචාර්ය සෙමර්ගේ මේ විස්තරයෙහි හෝ වෙනත් තැනක කිසිවක් තහවුරුව පවසා නැති අතර ඒ අවස්ථාවේ සිදුවන දෙයක ප්‍රතිචාර මෙසේ විය හැකිදැයි යෝජනා කරයි. මොළයෙන් නිකුත් කෙරෙන තරංග ඉලෙක්ට්‍රොනිකව සටහන් කිරීමක් තුළින් ඔහු ලත් අත්දැකීම කෙරෙහි අවධානය යොමු කිරීම වටිනවා. 

ඔහුගේ මේ සොයා ගැනීමෙන් අප මියයන වේලාව පිළිබඳ නිශ්චිත අවබෝධයක් ගැනීම සඳහා අපට අභියෝගයක් ඉදිරිපත් කර තියෙනවා. මෙය හරි හැටි දැන ගැනීමෙන් අවයව දයකත්වයේ දී පහසුවක් වෙන්න පුලුවන්. මේ නිසා ම දැනට තදවත නතර වීම දක්වන හෘද කන්තුක රේඛණය අක්‍රිය වීමට වඩා මොළයේ ක්‍රියාත්මක විම දක්වන EEG සටහන් ගැනීමත් අවශ්‍ය බව එයින් පෙන්වා දෙනවා. 

සෙමාර් අවසාන වශයෙන් කියන්නේ, ‘අප නිශ්චිතව ම මිය යන වේලාව සොයා ගතයුතුයි. අනික් අතට විද්‍යාත්මකවම බලන විට, මෙහි දත්ත විශ්ලේෂණය කිරීමද අසීරුය. මන්ද මෙහිදී මොළයේ රුධිරය ගැලීම, ස්නායු කම්පන තරංග නිකුත් කිරීම, අපස්මාර ගැස්ම ඇතිවීම, ප්‍රදාහය වැනි දේ සිදුවිය හැකියි. එපමණක් නොව මෙය තවත් එක් අත්දැකීමක් පමණක් වන නිසා තවත් මෙවැනි පර්යේෂණ කර තවත් සොයා ගැනීම් කරන තුරු තීන්දු තීරණවලට එළඹිය නොහැකියි’ කියායි. 

 - පර්සි ජයමාන්න 

අදහසක් පළ කරන්න

0 Comments