පෙර කතාව: මට හිතුනා, අද මේ විශේෂාංගය ලියන්න අමුත්තෙකුත් එකතු කර ගන්න. ඒ තමා ChatGPT කියන කෘත්‍රිම බුද්ධිය. එයා මට සිංහලෙන් දුන් විස්තරයට එයා භාවිත කළ සිංහල භාෂාව මට ටිකක් අවුල්. ඒ නිසා මම ඒ විස්තරය මගේ සුපුරුදු සිංහලෙන් ලිව්වා. හැබැයි එයා මගේ ඉල්ලීම මත ඇඳලා දුන්න චිත්‍ර දෙක නම් කදිමයි. ඒවා මේ සමග ඒ විධියට ම පළ වෙනවා. මේ ගැන ඔබේ අදහස් කියන්න.
චීනය ලෝකයට ගෙන ගිය, ලෝකය චීනයට ගෙනාව, සේද මාර්ගයට මඟ පෑදුණු හැටි
චීනයට හා ඒ ශිෂ්ටාචාරයට අදාළව එකහෙළාම පිළිගත හැකි කරුණු තුනක් තිබේ. ඒවා නම්: එහි හුදෙකලා වූ සංස්කෘතිය, දැවැන්ත භූමි ප්‍රමාණය, සහ විශාල ජනගහනයයි. මෙම කරුණු තුනම චීන ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳ දැනුම ලොව පුරා පැතිරීමට විශාල බාධාවක් වූ බැව් කියැවේ. චීනය සමාජය එකල සංවෘත වූ එකකි. එහි සංකේතයක් ලෙස ‘තහනම් නගරය’ හෙවත් Forbidden City දැක්විය හැකිය. එය 1420 දී පමණ ආරම්භ කළ මින් සහ චිං රාජවංශයන් රාජකීය මාලිගා සංකීර්ණයයි. (අය දැනට සංචාරක නගරයකි.) මුල දී එහි පිවිසිය හැකි වූයේ රාජවංශිකයින්ට සහ ඔවුන්ගේ විශේෂ ආරාධිතයින්ට පමණකි. විශාල ලෙස ව්‍යාප්ත වූ නිවාස පද්ධතියක් මේ තහනම් නගරයට අයත් විය. එහි වාසය කළේ අධිරාජයා හා ආධිරාජයාට නෑකම් කියන වංශවත් පිරිසක් පමණි. සාමාන්‍ය චීන ජනතාවට එහි පිවිසීමට වරම් තිබුණේ නැත.

අනික් අතට අතීත චීන අධිරාජයන් ලෝකය දෙස බැලුවේ මෙවන් වූ හුදෙකලා වූ පරිසරයක සිටය. ඒ නිසා ඔවුන් සැලකුවේ අධිරාජයා ලෝකයේ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රය ලෙසත් ලෝකයේ සෙසු ජනයා, ප්‍රවේණී දාසයන් හා ම්ලේච්ඡ ආක්‍රමණකාරි දාමරිකයන් පිරිසක් ලෙසයි. ඔවුන් දාමරිකයන් ලෙස සැලකුවේ උතුරෙන් ආ නොමැඩ් ආක්‍රමණිකයන් ය. අතීත චීන ජනතාව වසර 1000 පමණ කාලයක් තිස්සේ දැවැන්ත චීන මහා ප්‍රාකාරය ඉදි කළේ උතුරින් ආ නොමැඩ් ආක්‍රමණිකයන් අස්වැන්න හා සම්පත් කොල්ලාකන්න එන එකෙන් බේරෙන්නයි. තැනින් ගොඩ නඟා තිබුණු මේ පවුරෙ කොටස් යා කරලා මහ පවුරක් කළේ ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දී චීනය එක්සේසත් කළ ප්‍රථම අධිරාජයා වු ක්වින් ෂී හුවාන් විසිනුයි. මේවා නිසා චීනයේ සිදුවන දේ සෙසු ලෝකයාට රහසක්ව පැවතියා.
එසේ වුවත්, හෑන් රාජවංශයේ හෑන් වූඩි නම් අධිරාජයා (ක්‍රිස්තු පූර්ව 141-87 අතර) සෙසු ආසියාතික රටවල් හා සම්බන්ධතා පැවැත්වීමේ අරමුණෙන් චාංන් කියෑන් (Zhang Qian) නම් තම හිතව්ත්ම දූතයා යැවීමට තීරණය කළේය. ඒ අනුව මුලින් ම මධ්‍යම ආසියාවේ පුරාණ ඉන්දු-යුරෝපීය ගෝත්‍රයක් වූ යුවේශි (Yuezhi) ජනයා සමග ආරක්ෂක සම්මුතියක් ඇති කර ගැනීම පිණිස යැවීය. ප්‍රධාන වශයෙන් එයට හේතු වූයේ ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ පටන් නැගෙනහිර ආසියාවේ විසූ හුන් ගෝත්‍රිකයන් ඇතුළු නෝමැඩික් ජනතාවගේ හවුලෙන් සැදුණු සටන්කාමී සියොන්නූ (Xiongnu) නම් වූ ජනයාගෙන් වූ හිරිහැරවලින් ආරක්ෂා වීම පිණිසය. මේ දූත මෙහෙවරෙහි යෙදෙන අතරමඟදී චාංන් කියෑන් දූතයා හුන් ගෝත්‍රියන් විසින් පැහැරගෙන යනු ලැබීය. වසර දහයක් ඔවුන්ගේ අත්අඩංගුවේ පසු වූ ඔහු කෙසේ හෝ ඔවුන්ගෙන් ගැලවී ගෝබි කාන්තාරය හා පාමීර් කඳු හරහා ගොස් තම අරමුණ කරා ගිය ද දෙරට අතර ඇති දුර ඉතා වැඩි බැවින් එවැනි ආරක්ෂක සම්මුතියක් ඇති කර ගැනීමෙන් පලක් නැතැයි ඔවුන් ඊට එකඟ වූයේ නැත.
ආපහු එන දුර ගමනේ දී යළිත් වරක් චාංන් කියෑන්ව දාමරික හුන් ගෝත්‍රිකයන් විසින් සිර භාරයට ගනු ලැබුවා. ඒ වතාවේ ඔහුට අවුරුද්දක් පමණ ඔවුන්ගේ සිරභාරයේ සිටින්න සිදු වුනා. ඒ කාලය තුළ ඒ භූමිය ගැන හා එහි සිටි ගෝත්‍රිකයන් හා ඔවුන්ගේ සංස්කෘතීන් ගැන ඉගෙන ගත්තා. වසරකට පසුව නිදහස් ව ආ ඔහු ඒ රටවල පිළිබඳ ඔහු ඉගෙන ගත් දේ අධිරාජයාට වාර්තා කළා. අධිරාජයාගේ අණ පරිදි යළිත් දේශ සංචාරයේ යෙදුනු ඔහු බටහිර කලාපයේ ඈත රටවලට දූත මෙහෙවරෙහි යෙදුණා. ඔහුගේ මුල් දූත මෙහෙවර අසාර්ථක වුවද පසුව ගිය ගමන් නිසා මධ්‍යම ආසියාව සමග චීනයට ව්‍යාපාර මාර්ග විවෘත කර ගත හැකි වුණා. ඔහුගේ මේ ගමන්වලින් චීනයට අශ්වයන්, නව කෘෂිකාර්මික බීජ, අත්කම්, ධාන්‍ය වර්ග, රත්තරන්, සාම්ප්‍රදායික ආහාර වර්ග, කෘෂිකාර්මික ක්‍රමවේද ආදිය ලැබුණා. ලෝකයට දීමට සේද රෙදි, සෙරමික් භාණ්ඩ, ලෝහ උපකරණ ඇතුළු තවත් නොයෙක් දේ ඔහු ගෙන ගියා. ඒ ගමන් මග ‘සේද මාර්ගය’ ලෙස සැලකෙන්නේ සිල්ක් හෙවත් සේද රෙදි ගෙන ගිය නිසයි.
අද වගේ ගමන් පහසුකම් ඇති කාලෙක නෙමෙයි, මීට අවුරුදු 2200කට විතර ඉස්සර, චාං කියෑන් රාජ දූතයා චීනයේ ඉඳලා ලොව ප්‍රථම වරට, ආසියාතික රටවල් හරහා දූත මෙහෙවරක යෙදුනේ. දැනට වාර්තා වෙන අන්දමට ලොව පැරණිම දේශ ගවේෂකයා ඔහුයි. අද යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැලකෙන ‘සේද මාර්ගය’ (Silk Road) පාදා ගැනීමට පූර්ණ දායකත්වය ලැබුණේ ඔහුගෙන්. චීනය සලකන්නේ චාංන් කියෑන් ලෝකයට ගිය ලොකුම වීරයා ලෙසයි.
මේ ගමන්වලින් චිනයෙන් එළියට ආ තවත් වැදගත්ම දෙයක් තමා චීන ජනප්‍රවාද හා ජනකතා. ඒ කතා අතර සුවිශේෂ වැදගත්මක් ගන්නා කතාවක් තියෙනවා. ඒ ලෝකය මැවුණු හැටි ගැන කියන අපූරු කතාවක්.
ලෝකයට පණ දුන් පෙරදිග ආසියාවේ මුල්ම යෝධයා
චීන ජනප්‍රවාදයේ ඉහළින් ම කියැවෙන කතාවත් පන්ගු නම් යෝධයකු ගැනයි. ඒ ප්‍රවාදයට අනුව අනාදිමත් කාලයකට පෙර ලෝකය කියා කිසිවක් තිබුණේ නැත. පන්ගු හිටියේ යෝධ කොස්මික් බිත්තරයක් ඇතුළේ ය. ඒ තුළ අන්ධකාරයෙන් පිරී තිබුණේය. ඒ තුළ ‘යීන්’ හා ‘යෑන්’ කියා මූලික බල ශක්ති ප්‍රභවයන් දෙකක් වසර 18,000ක් තිස්සේ එකට කැලතෙමින් තිබුණේය. ඒ කැලතීම එක්වර ම නතර විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මහා ගිගුරුමකින් පසුව ඒ බිත්තරයෙන් යෝධ ශරීරයක් ඇති මිනිසකු ඉපදුණේ ය. ඒ පන්ගු ය. අවට ඝන අන්ධකාරය පැතිර තිබුණත් තමා ඒ තුළ සිරවී ඇති බව ඔහුට අවබෝධ විය. ඔහු සිය අතේ තිබූ අවියකින් ඒ බිත්තරය දෙපළු කළේය. එවිට ඒ බිත්තර තුළ තිබූ ‘යීන්’ හා ‘යෑන්’ කියන මූලික බල ශක්ති දෙපලු විය.
බිත්තරයේ සැහැල්ලු හා පිවිතුරු කොටස වූ ‘යීන්’ ඉහළටත්, බරින් වැඩි දැඩි කොටස වූ ‘යෑන්’ පහළටත් තල්ලු විය. ඒවාට යළිත් එක් නොවීමට ඉඩ නොතැබූ පන්ගු ඒ කොටස් දෙක දෙපසට තල්ලු කර ගෙන සිටියේය. පන්ගු මෙසේ ඉහළ කොටස හිසෙන් ඉහළටත් පහළ කොටස දෙපයින් පහළටත් තල්ලු කර ගෙන සිටි නිසා ඔහු එන්න එන්න ම උස යන්නට විය. මේ උස යාම දිනකට අඩි 10ක් බැගින් විය. මෙසේ තවත් අවුරුදු 18,000ක් ගිය පසු මේවා යළි එක් නොවන තැනට පත් වුණේය. ඉහළට ගිය කොටස ස්වර්ගය විය. පහළට ගිය කොටස පොළොව විය. මේ කටයුත්ත සම්පූර්ණ වූ පසු පන්ගු ටිකෙන් ටික දුර්වල වී මිය ගියේය. ඔහු සිරුර නිකම්ම අතුරුදන් වූයේ නැත.

ඔහුගේ සිරුරේ විවිධ කොටස්වලින් ලෝකය නිර්මාණය විය. ඔහුගේ හුස්මෙන් සුළඟ හා වලාකුළු බිහි විය. දකුණු ඇස සූර්යයා බවටත් වම් ඇස චන්ද්‍රයා බවටත් පත් විය. කෙස් හා රැවුලෙන් තරු හා මන්දාකිණි බිහි විය. ඔහුගේ කයෙන් පොළොවේ කඳු වැටි හා නිම්නයන් ඇති විය. රුධිරය සාගර, මුහුදු හා ගංගා බවටත් පත් විය. සිරුරේ අස්ථිවලින් ඛනිජ ද්‍රව්‍ය හා මැණික් බිහි විය. දහඩියවලින් වැසි ඇති විය. සිරුරේ සිටි මැක්කන් හා උකුණන් ආදීන්ගෙන් මිනිසුන් හා සතුන් බිහි විය.
ඇතැම් තැනකදී මේ කතාවේ වෙනස්කම් සහිතව කියන අවස්ථා ද තිබේ. ඒ එක් එක් තැන පන්ගු සිටියේ තනිවම නොවේය. පන්ගු සමග කැස්බෑවකු, ක්වින්ලින් නම් අං සහිත මෘගයකුද, මකරකු ද, ෆිනික්ස් කුරුල්ලා ද ලෝකය මැවීමේ දී පන්ගුට සහය වූ බව කියැවෙයි.
0 Comments