HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

🐝 මී පැණි ගැන මී පැණිවලටත් වඩා රස රහසක්!

මේ දිනවල මා නවසීලන්තයේ සංචාරයක යෙදී සිටිනවා. දින කීපයකට පෙර මට නවසීලන්තයේ ‘මී පැණි කේන්ද්‍රය’ (Honey Centre) නමින් හැඳින්වූ අපූරු තැනකට යාමට ලැබුණා. එය මී පැණි මෙන් මිහිරි තැනක්. පුද්ගලික සමාගමකින් පවත්වා ගෙන යන මේ මධ්‍යස්ථානය මගේ කනට කර, මී බිඳුවක් තරම් කුඩා ව්‍යාපාරයක් ගැන ලොකු කතාවක් කීවා. ඒ කතාව කියන්න ඉස්සරින් ඒ මධ්‍යස්ථානය නරඹමු. 


නවසීලන්තයේ වර්ක්වර්ත්වල තියෙන මී පැණි කේන්ද්‍රය.

ලස්සන ගෙවුයනකින් සැදි අලංකාර ගොඩනැඟිල්ලක තමයි, පැණි කේන්ද්‍රය පිහිටා තිබුණේ. ඒ ගොඩනැඟිල්ල නිමවා තිබුණේ මී වදයක හැඩයකටයි. ජනෙල් කවුළුවලට යොදා තිබුණේ මී වදයක කවුළුවල ඇති හයපැති හැඩයයි. නවසීලන්තයේ වර්ක්වර්ත්හී පෙරී පාරේ අංක 7හි පිහිටි මෙය ඉතා හුරුබුහුටි තැනක්. මෙහි මී පැණි කෞතුකාගාරයක් හා අධ්‍යාපනික මධ්‍යස්ථානයක් තියෙනවා. එහි මී පැණි ගැන හැම තොරතුරක් ම තියෙනවා. අතීතයේ මී පැණි හදපු හැටි, ඒ උපකරණ, ඒ සඳහා ගන්නා විශේෂ ඇඳුම් පැලඳුම් ආදිය තියෙනවා. නලියන මී මැස්සන් අතගා බලන්න පුලුවන් ‘මී මැසි පවුරක්’ (Honey Bee Wall) පවා තියෙනවා. අපේ රටේ නම් පුද්ගලික ව්‍යාපාරිකයන් කරන්නේ කවුරු හරි ගෙනත් දෙන මී පැණි රාක්කවල තියා ගෙන විකුණන එක විතරයි, ඒත් නවසීලන්තයේ අය එහෙම නෑ. 

අලිගැටපේර, මැකාචිනෝ, ඩියර් වෙල්වට්, පොහොටුකාවා, ස්ට්‍රෝබෙරි, ක්‍රෑන්බෙරි ආදි වශයෙන් විවිධ මල්වර්ගවල පැණිවලින් මී මැස්සන් එක් රැස් කළ මී පැණි වෙන වෙන ම නම් කර බෝතල්වල දමා තිබෙනවා. මේ මී පැණි කේන්ද්‍රයේ දී ඔබ කැමති නම් මීපැණි කෝපි බොන්න පුලුවන්. එසේ නැත්නම් මී පැණි කේක් කන්න පුලුවන්. ඒ වගේම විවිධ රස මුසු කළ මී පැණි, කුරුඳු, ස්ට්‍රෝබෙරි, කිවිෆෘට්, හනී මිල්ක්ෂේක් වගේ දේත් තියෙනවා. ඒ හැරෙන්නට මී පැණි යොදා තැනූ චර්මාලේප රාශියක් තියෙනවා. එච්චර ද මී පැණි සබන්, මී ඉටිපන්දන් එහෙමත් තියෙනවා. ඒ අසල ඔබට කෑම ගැනීමට අවන්හලක්, අවට සිසිල ගතට ගේන ජලාශයක් එහෙමත් තියෙනවා. 


විවිධ මී පැණි වර්ග අසුරා තිබෙන හැටි.

‘මී මැස්සන් ලෝකයෙන් නැතිවී ගිය පසු මිනිසාට මෙලොව ජීවත්වීමට වාසනාව ඇත්තේ තවත් දින කීපයක් පමණයි’ කියා ලෝ පතල කියමනක් තියෙනවා. ඒ ඇයි කියා දැන ගන්න මී මැස්සන් ගැන විස්තර ටිකක් සොයා බලන්න වෙනවා. 

🐝මී මැස්සන් (Honey Bees) යනු සමාජශීලී කෘමි විශේෂයක්. ජනපද වශයෙන් ජීවත්වන ඔවුන් අපට ලොව වෙනත් කිසිම සතකු නොදෙන විශේෂ නිෂ්පාදනයක් ලබා දෙනවා. ඒ තමා මී පැණි. ඒ මී පැණි නිෂ්පාදනය කිරීම සහ ගසින් ගසට, මලින් මලට ගොස් පරාග එකතු කළ යුතුය. මී මැස්සා සිය ජනපද වාසීන්ගේ ආහාර සඳහා කරන මේ ක්‍රියාව ඔස්සේ ‘පරාගපෝෂණය’ (pollination) කියා හැඳින්වෙන ක්‍රියාවලියකුත් සිදු වෙනවා. 

මී මැස්සන් වර්ග විවිධ; ගණ විශේෂ රැසක් තියෙනවා. ඒ අතර ප්‍රධාන වන්නේ සත්ව විද්‍යා නාමයෙන් අප හඳුන්වන Apis mellifera (Western honey bee) යන විශේෂයයි. විශාල වශයෙන් අතීතයේ සිට මී මැසි පාලනය හෙවත් වගාව සඳහා බහුලව යොදා ගන්නේ ඒ වර්ගයයි. සාමාන්‍ය ව්‍යවහාරයේ දී මී මැසි වගාව ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Beekeeping කියායි. එහෙත් ඒ සඳහා යොදන විදුහුරු වදනක් තියෙනවා. ඒ Apiculture යන්නයි. ඒ නම මී මැස්සා ලතින් බසින් හඳුන්වන Apis යන්නෙන් බිඳී ආවක්. 


මී මැස්සාට මලක් පෙනෙන හැටි දකුණේ, ඒ මල ම අපට පෙනෙන හැටි වමේ.

මී මැසි වදයක, එනම් ගහනයක හෙවත් ජනපදයක, ඉන්නේ එකම එක රජ මීමැස්සියක් (Queen Bee) විතරයි. අනෙක් වැඩි දෙනා ගැහැනු සතුන් වන අතර ඔවුන් හඳුන්වන්නේ කම්කරු හෙවත් සේවක මී මැස්සන් (Worker Bees) කියායි. ගහනයක වැඩිපුර සිටින්නේ ඔවුන් තමයි. මී වදය ආරක්ෂා කිරිම, පරාග එකතු කිරීම, පැණි හා රෝයල් ජෙලි සෑදීම ඇතුළු සියලු කටයුතු ඉටුවන්‍නේ ඔවුන්ගෙනුයි. අනෙක් කොටස පිරිමි මී මැස්සන් (Drone Bees) වන අතර ඔවුන් රැජිනගේ වල්ලභ පිරිසයි. රැජින හා එක්වීමෙන් ඔවුන් මියයන අතර ඉන්පසු රැජින කාලයක් සේවක මී මැස්සන් සාදා දෙන කෝෂවල බිත්තර දමමින් සිටිනවා. රැජිනට බිත්තර දැමීමේ හැකියාව නැති වූ විට රෝයල් ජෙලී සපයා හදා ගන්නා වෙනත් රජ මී මැස්සියක් තෝරා ගෙන රැජින මී වදයෙන් ඉවතට දමනවා. එයින් රැජින මිය යන අතර අලුත් රැජින සමඟ දිගට ම සමාජය පවත්වා ගෙන යනවා. මී වද කෝෂයක් තුළ තවත් රජ මැස්සියක් හැදුනොත් ඇය මී මැස්සන් පිරිසක් සමඟ ඉන් පිටත්ව ගොස් වෙනත් මී වදයක් තනා ගන්නවා. 

🐝මී මැස්සන් තරම් සොබාදහමට විශාල මෙහෙයක් කරන තවත් සතෙක් නැති තරම්. පරාගපෝෂණය ඉන් ප්‍රධානයි. ගස් වැල් මල් පල දරන්නේ ඒ නිසයි. අපට මී මැස්සන්ගෙන් ලැබෙන දේ අතර, මී පැණි, මී ඉටි, රාජ ජල්ලි (රෝයල් ජෙලි) හා ප්‍රෝපොලිස් (propolis) වැනි නිෂ්පාදන වේ. ප්‍රෝපොලිස් යනු මී මැස්සන් විසින් සාදන ස්වාභාවික, කොළ හා ලාටු වැනි ද්‍රව්‍යයක්. මෙය ඔවුන් විසින් ගස්වලින්, මල්වලින් සහ වෙනත් ශාකවලින් රසායනික ද්‍රව්‍ය එකතු කරමින් නිෂ්පාදනය කරන්නක්. මී මැස්සන් මේවා තනන්නේ බැක්ටීරියා, වෛරස වැනි ක්ෂුද්‍රජීවීන්ගෙන් ආරක්ෂාවීමටයි. අප ඒවා ලබා ගන්නේ විවිධ ඖෂධ වර්ග හා රූපලාවන්‍ය ආලේප තැනීමටයි. 

මී මැස්සන්ට ජීවිත තර්ජනයක් එල්ල වන්නේ වාරෝවා කීඩෑවා වැනි පරපෝෂිතයන්ගෙන් හා නොසේමා වැනි රෝගවලින්. එසේ ම කෘෂි රසායන, පරිසර දූෂණය, සහ වායු පරිවර්තන වෙනස්කම් වලින් මී මැස්සන්ගේ ජීවිතවලට හානි සිදු වෙනවා. මී මැස්සන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ ජීවන පද්ධතියේ ඇති වැදගත්කම තේරුම් ගැනීම අපගේ පරිසරය සහ ආහාර ආරක්ෂාව සුරැකීම සඳහා ඉතාමත් අත්‍යවශ්‍යයි. 


මී මැස්සාගේ ‘අටේ නැටුම’

🐝 මී මැස්සන් (Honey Bees) පාර සොයා ගෙන යාම සඳහා විශිෂ්ට සහ විද්‍යාත්මක යාන්ත්‍රණයක් භාවිතා කරනවා. ඔවුන්ගේ මග සොයා යාමේ ක්‍රමය (navigation system) ඉතා සංකීර්ණයි; එවගේම ඉතාමත් කාර්යක්ෂමයි. එය පරිසරය, සූර්යාලෝකය, සුවඳ, අන්තර් සන්නිවේදනය යන මේ සියල්ල ආශ්‍රිතව ක්‍රියා කරන්නක්. මී මැස්සන් යායුතු දිසාව සොයා ගන්නේ සූර්යාලෝකය භාවිතා කරමිනුයි. ඔවුන්ට හිරු එළියේ තත්ත්වය සහ කෝණය අනුව තමන් සිටින ස්ථානය සහ යායුතු තැන අතර දිශාව වටහා ගන්නට හැකියාව තියෙනවා. වලාකුළින් හිරු එළිය වැසී ගියත් හිරු එළිය වර්තනය වී යන ආකාරය අනුව හිරු ඇත්තේ කොතැනදැයි සොයා ගැනීමට ඔවුනට පුලුවන්. ඒ සඳහා මී මැස්සන්ගේ මොළය තුළ සංජානන සිතියමක් (cognitive map) වැනි ක්‍රමයක් තියෙනවා. ඒ මගින් ඔවුන් ගමන් කළ දුර, දිශාව සහ වේගය මත පදනම්ව තමන්ගේ ආපසු මාර්ගය මතක තබා ගන්නත් පුලුවන්. 

මී මැස්සන්ට සුවඳ හඳුනා ගැනීමේ ඉතා සියුම් හැකියාවක් තියෙනවා. අපට නොදැනුනත්, ගස්වල මල් සුවඳ වගේ ම ඒවායේ තෙල් සුවඳත් පරිසරයේ තියෙනවා. ඒ සුවඳ හඳුනාගෙන ඒ මල් සොයා යාමේ පුදුම හැකියාවක් මී මැස්සාට තියෙනවා. මී මැස්සන්ට පෘථිවි චුම්බක ක්ෂේත්‍රය හඳුනා ගැනීමේ හැකියාවක් ද තියෙනවා. දුර ගමන්වලදී ගමන් මග සොයා ගැනීමට ඔවුන්ට උපකාර වන්නේ මේ චුම්බක ක්ෂේත්‍රයට ඇති ඉවයි. 


මී මැස්සාගේ ‘වටේ නැටුම’

මී මැස්සන් ආහාර මූලාශ්‍රයක් (food source) සොයා ගත්තාට පසු ඒ බව අනෙක් මැස්සන්ට දැනුම් දෙන්නේ විශේෂ නැටුමකින්. එය ‘නර්තන සන්නිවේදනය’ කියා හැඳින්වෙනවා. මෙය තොරතුරු එකිනෙකාට දැනුම් දෙන විස්මයජනක ප්‍රශස්ත ක්‍රමයකි. මේ නැටුම දෙයාකාරයි. ආහාරය ළඟ නම්, (මීටර 50කට අඩු දුරකින් නම්) නටන්නේ ‘වටේ නැටුම’ (Round Dance) යි. මෙය රවුමේ වටයක් යමින් කරන නැටුමකි. ආහාරය ඇත්තේ මීටර 50කට වඩා වැඩි දුරක නම් නටන්නේ ‘අටේ නැටුම’යි. මෙය නටන්නේ අටේ ඉලක්කමේ හැඩයටයි. මෙය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ ‘වැගල් නර්තනය’ (Waggle dance) කියායි. මෙහි දී මී මැස්සා අටේ හැඩයක් නටා එහි මැද රේඛාවේ දී තත්පර කීපයක් සිරුර වෙව්ලමින් ගස්සනවා. මේ වෙව්ලීමේ කාලය අනුවයි, ඌ ආහාරය වෙතට ඇති දුර කියන්නේ. වෙව්ලීම කෙටි නම් ආහාරය ඇත්තේ ළඟයි; දිග නම් ආහාර ඇත්තේ දුරයි; වෙව්ලීම ඍජුව ඉහළට කරන්නේ නම් ආහාරය ඇත්තේ හිරු සිටින දිසාවේයි; වෙව්ලීම අංශක 60ක් වමට නම් ආහාරය ඇත්තේ හිරුට අංශක 60ක් වමට වෙන්නටයි; වෙව්ලීම ඉතා වේගවත් නම් ආහාරය ඉතා ප්‍රණීතයි. 

සාමාන්‍යයෙන් මී මැස්සකු කිලෝමීටර 3-5 අතර දුරක් රොන් සොයා යනවා. ඒ හැරෙන්නට ආහාර හිඟ නම් කිලෝමීර 8-10ක් තරම් දුර යන අවස්ථාත් තියෙනවා. මී මැස්සකු ආහාර සෙවීමේදී විශාල වපසරියක්, එනම් වර්ග කිලෝමීටර 28ක් පමණ ප්‍රමාණයක් ආවරණය කරනවා. එහිදී ඔවුන් පැණි, රොන්, පරාග, ජලය, සහ ප්‍රෝපොලිස් ආදිය සෙවීම සඳහා ක්‍රියාත්මක වෙනවා. 

🐝මී මැස්සන් යනු පරිසරය, කෘෂිකාර්මික ක්ෂේත්‍රය, සහ මනුෂ්‍ය ජීවිතය සඳහා මූලික වැදගත්කමක් ඇති සුවිශේෂ සත්ත්ව කොට්ඨාසයක්. ඔවුන්ගේ සමාජ සංවිධානය, ආහාර සෙවීම, සහ ජීවිත රටාව අතිශය රසවත් සහ විද්‍යාත්මක වැදගත් කරුණු රැසකින් යුක්ත වෙනවා. මී මැස්සන් පෘථිවියේ ආහාර නිෂ්පාදනයෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් සපයන ‍ගස්වැල් ඇතුළු ශාකවල පරාගපෝෂණයට සෘජු දායකත්වයක් සපයනවා. 

මී මැස්සන් කිලෝ ග්රෑම් එකක (1 kg) මී පැණි ප්‍රමාණයක් නිපදවීමට මල් ලක්ෂ 20ක පමණ රොන් ගන්න සිදු වෙනවා. එහෙත් එක මී මැස්සකු ජීවිත කාලය පුරා රැස් කරන රොන්වලින් නිපදවෙන්නේ එක ම එක මී පැණි බිංදුවක් පමණයි. ඔබට මී පැණි බෝතලයක් දෙන්න කොපමණ මී මැස්සන් ප්‍රමාණයක් අපමණ වෙහෙසක් ගන්නවාද යන්න ඉන් තේරුම් ගත හැකියි. එසේ ම සිය මී වදය තුළ අවශ්‍ය උෂ්ණත්වය පවත්වා ගෙන යාමටත් ඔවුන් දක්ෂයි. බිත්තර පුපුරා මී මැස්සන් එළියට කාලයේ දී එහි උෂ්ණත්වය 34–36°C අතර පවත්වා ගෙන යාමට සේවක මී මැස්සන් වග බලා ගන්නවා. උෂ්ණත්ව වැඩි වුණොත් අඩු වන තෙක් මී වදයට ආසන්නව හිඳිමින් පියාපත්වලින් පවන් සලනවා. උෂ්ණත්වය අඩුවී නම්, මී මැස්සන් සිරුරු මී වදයට තවත් ළං කොට වෙව්ලමින් එහි උෂ්ණත්වය වැඩි කරනවා. 

මී මැස්සන්ට පැති 5ක් දැකිය හැකි සංකීර්ණ ඇස් යුගලයක් (compound eyes) හා ක්ෂුද්‍ර ඇස් (ocelli) තුනක් තියෙනවා. ඒ නිසා ඔවුනට ඒවායින් පාරජම්බුල කිරණ ද හසු කර ගන්න පුලුවන්. ඒවා මල්වල රොන් හා පරාග හඳුනා ගැනීමට උදවු කරනවා. මී මැස්සාගේ සුවඳ විශේෂ හඳුනා ගැනීමට ඇති ශක්තිය විස්මයජනකයි. විවිධ මල්වල සුවඳ 50,000ක් වෙන් කර හඳුනා ගැනීමට පුලුවන්. 

🐝මී මැස්සන්ට ගස් වර්ග තෝරාගෙන ඒ ගස්වල මල්වලින් පමණක් රොන් ගැනීමේ හැකියාවක් තියෙනවා. එසේ නිශ්චිත මලකට හුරු වීම නිසා පරාග පෝෂණ ක්‍රියාවලිය කර්යක්ෂම වෙනවා. එයින් පලදාවේ වැඩි වර්ධනයක් ද සිදු වෙනවා. ඒ අනුව තනි මල් වර්ගයකින් (Monofloral) සහ වෙනස් වර්ගවල මල්වලින් (Polyfloral) මී පැණි නිෂ්පදවන මී මැස්සන් වර්ග කිරීමක් කළ හැකියි. Apis cerana මී මැසි වර්ගය ආසියාතික රටවල වැවෙන ගස්වල හා කුඩා මල්වල රොන් ගැනීමට දක්ෂයි. සාමාන්‍යයෙන්, Apis mellifera වැනි මී මැස්සන් විවිධ මල් වර්ගවල රොන් සොයා යාමේ හැකියාව තියෙනවා. Apis dorsata (Giant Honey Bee) නම් මී මැසි වර්ගය විශාල මල්වලින් රොන් සෙවීමට දක්ෂයි. Meliponini (Stingless Bees) විශේෂ වනාන්තර හා වගාවන් ආශ්‍රිතව ජීවත්වන අතර අඹ, කෙසෙල්, පේර, ජම්බු, දෙහි, කොස්, නා, කුඹුක් ආදි ගස් ආශ්‍රිතව ආහාර සෙවීමට වඩාත් කැමතියි. 

මී මැස්සන්, විශේෂිත මල් වර්ගවල රොන් එකතු කරන නිසා තමයි, එක් වර්ගයකට සීමා වූ මී පැණි වර්ග තියෙන්නේ. නිදසුන් වශයෙන් නවසීලන්තයේ සුප්‍රකට මනුකා (Manuka) මී පැණි නිපදවෙන්නේ මනුකා (Leptospermum scoparium) ගසේ මල්වලින්. මේ මී පැණි කේන්ද්‍රයේ තියෙනවා එවැනි මී පැණි වර්ග 25ක්. ඒවායේ රස එකිනෙකට වෙනස් ඔබට එහි දී ඒ රස නොමිලේ දිව ගා බලන්නත් පුලුවන්. ඒ පැණිවල රසය වෙනස් වගේ ම සුවඳත්, පැහැයත් වෙනස්; ඒ වගේ ම ඒවා ආහාරයට ගැනීමෙන් සිරුරට ලැබෙන සෞඛ්‍යාරක්ෂක ගුණාංගත් වෙනස්. 

මිනිසා මී පැණි භාවිතයට ගත්තේ කුමන කාලයේ දැයි නිශ්චිතව කිව නොහැකි නමුත් වසර 8,000 කටත් වැඩි අතීතයක් මිනිසා මී පැණි පාවිච්චියට ගත් බවට පුරාවිද්‍යාත්මක සාධක හමු වී තියෙනවා. ලොව පුරා මිනිසුන් මී පැණි පාවිච්චියට ගන්නවා. ඒත් නවසීලන්තය තරම් මේ තරමට මී පැණිවලට, මී මැස්සන්ට සලකන රටක් තවත් නැතිව ඇති. 

නවසීලන්තයේ මී පැණි කේන්ද්‍රයේ දී මට කනට කොඳුරා කී කතාව මා දැන් කියන්නම්. ඇයි ශ්‍රී ලංකාවේ අපට මී පැණිවලින් මීට වඩා ප්‍රයෝජනයක් ගන්න බැරි ? අපේ මල් පිපෙන ගස් ඕන තරම් තියෙනවා. මී මැස්සන් විශේෂ ගණනාවක් ඉන්නවා. මී මැස්සන්ට පඩි, අතිකාල දීමනා, බෝනස් ආදී කිසිවක් ගෙවන්න ඕනෑ වෙන්නේ නෑ. ඔවුන් නොමිලයේ ම දිවා රෑ වෙහෙසිලා නිෂ්පාදනය කරලා දෙනවා. ඔවුන්ට නවාතැන් දෙන්න විතරයි. වෙන වියදමක් නෑ. ඔයාලට නිදහසේ වැඩ කර ගෙන ඉන්න පුළුවන්. අමතරව ලොකු ආදායමක් මී මැස්සන් ගෙනත් දේවී. මී මැස්සෙක් අසල්වැසියා කර ගත්තොත් නරක ද? කියලා තමයි මට කනට කොඳුරනවා ඇහුණේ. 

රජයට වුනත් වැඩි උනන්දුවක් යොමු කරලා, වැඩි වියදමක් නැතුව, ‘ඔවුන්ට’ නොමිලේ නිවාස හදලා දීලා, අපේ පුරවැසි පරපුර ම මේ කටයුත්තට යොමු කළොත් මී මැස්සා විදේශ විනිමය උපයන උල්පතක් කර ගන්නත් බැරි නෑ කියලා මට එතැනදි හිතුණා. 

 - පර්සි ජයමාන්න 


අදහසක් පළ කරන්න

0 Comments