HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපට ප්‍රේමයේ මහිම කියා දෙන ‘රටක් ඇතු‍ළේ නගරයක් - නගරයක් ඇතුළේ රටක්’

අපි කුඩා කාලේ තේරවිල්ලක් තිබුණා. ‍’ගහක් උඩ ගෙඩියක් - ගෙඩියක් උඩ ගහක්’ කියලා. අපි පැනලා උත්තර දුන්නෙ ‘අන්නාසි ගෙඩිය’ කියලා. ඒ තේරවිල්ල මං මේ විදියට වෙනස් කරලා කීවොත් ඔබ දෙන උත්තරේ මොකක් ද? ‘රටක් ඇතු‍ළෙ නගරයක් - නගරයක් ඇතුළේ රටක්’ කියලා කීවොත් ඔබ වැඩි දෙනකුට කලින් තේරවිල්ලට වගේ පැනලා දෙන්න බැරි වේව්. ඔබ ටිකක් කලපනා කරලා දෙන උත්තරේ හරි නම් ඒක වතිකානුව වෙන්න ඕනෑ. 


ලොව කුඩාම රාජ්‍යය - වතිකානුව

අද මං කතා කරන්න යන්නෙ වතිකානු පුරවරය (Vatican City) ගැනයි. ඒකට පුරවරය කීවාට ඒක වෙනම රටක්. ලෝකයේ ඇති පුංචි ම නිදහස් රාජ්‍යය එයයි. ඒ පුංචි රට පිහිටා ඇත්තේ රෝමය කියන මහනගරය ඇතුළෙයි. රෝමය තමා ඉතාලියේ වර්තමාන අගනුවර. වතිකානුව කියන පුංචි රටේ ඉන්නේ ඒකාධිපතියෙක්. එතුමාගේ මතය හා තීරණය එහි නීතියයි. ඒත් ඒ ඒකාධිපතියා ජනපීඩකයෙක් නෙවෙයි. මුළු ලෝකයේ සිටින සියලුම මනුෂ්‍යයන්ට ප්‍රේම කරන, එකිනෙකාට ප්‍රේම කරන්න උගන්වන ප්‍රේමණීය පුද්ගලයෙක්. ඒ තමා පාප් වහන්සේ. උන්වහන්සේ ලොව පුරා විසිරී සිටින බිලියන 1.39ක් වන කතෝලික ප්‍රජාවගේ ආධ්‍යාත්මික නායකයායි. අද වතිකානුවේ නායකයා ප්‍රැන්සිස් පාප්තුමායි. 

වතිකානුවේ පිහිටීම දැක්වීමේ සිතියම

වතිකානුවේ විශාලත්වය හෙක්ටයාර 44කි. ජනගහනය 825කි. ලෝකයේ ඇති රටවල් අතුරින් පැයක් පමණ කාලයකින් මුළු රට පුරාම පා ගමනින් යා හැක එකම රට වතිකානුවයි. එසේම මෙය ලෝකයේ සිරගෙයක් නැති එකම රට ද වෙයි. වැරදි කරන්නන්ට නඩු අසා දඬුවම් පැමිණ වීමට පෙර රඳවා තැබීමට සිරකාමර කීපයක් ඇතත් ඔවුනට සිරදඬුවම් විඳින්නට සිදු වන්නේ ඉතාලියේ සිරගෙවල්වලයි. ඒ සඳහා බරපැන වතිකානුව දරනවා.

වතිකානුවේ නිල වශයෙන් පදිංචිකරුවන් 1000කටත් අඩු නමුදු ලෝකයේ වෙනත් කිසිම රටක නැති දළ ඒක පුද්ගල අපරාධ සංඛ්‍යාවක් වාර්තා වෙනවා. මේ අපරාධ සිදුකරන්නේ එහි රට වැසියන් නොවෙයි. වතිකානුව නරඹන්න දිනපතා ගලා එන මිලියන ගණනක් වූ සංචාරකයන් තමයි, මේ අපරාධ සිදු කරන්නේ. වැඩියෙන් ම සිදුවන අපරාධ වන්නේ, සාප්පුවලින් බඩු ඉස්සීම, එහි එන්නා වූ සංචාරකයන්ගේ අත් බෑග් සොරකම් කිරීම, පික් පොකට් ගැසීම ආදියයි. මේ බව වතිකානුවේ වෙබ් අඩවියෙහි මෙන් ම තැනින් තැන සවි කර ඇති නාමපුවරු ආදිය මගින් සංචාරකයන් අතර ගැවසෙන සොරුන්ගෙන් පරිස්සම් වන ලෙස දක්වා තිබීමෙන් පැහැදිලි වෙයි. 

ලෝකයේ වැඩි ම එක පුද්ගල වයින් පරිභෝජනය කරන්නන් සිටින්නේත් වතිකානුවෙයි. ලොව වැඩි ම වයින් බොන රටවල් වන ප්‍රංශය හා ම යන රටවලට වඩා දෙගුණයක් එනම් වසරකට ලීටර 74ක් මෙරට වැසියන් වයින් පානය කරනවා. 


මයිකල් ඇන්ජිලෝ නිමවූ කිරිගරුඬ ප්‍රතිමා රැසක් මෙහි ඇත. මේ ඉන් එකකි.

ලොව ක‍ෙටිම දුම්රිය මාර්ගය ඇත්තේත් වතිකානු පුරයේයි. ඒ වතිකානුවේ දොරටුව අභියස සිට වතිකානු දුම්රිය පොළ තෙක් දිව යන එහි සිට මීටර් 300කි. මෙම දුම්රිය මාර්ගය හා ස්ටේසම ඉදිකරවන ලද්දේ XI වන පියුස් පාප්තුමන්ගේ කාලයේයි. මගී දූම්රිය මෙහි නොයන අතර යන්නේ වතිකානුවට බඩු ගෙනයන දුම්රියක් පමණයි. 

පාප් වහන්සේගේ ආරක්ෂාවට මෙහි සිටින්නේ ස්විට්සර්ලන්ත ජාතික ආරක්ෂක භටයන් 135 දෙනෙකු පමණයි. ඔවුන් හඳුන්වනු ලබන්නේ පාප්තුමාගේ ස්විස් ආරක්ෂක බලකාය (Pontifical Swiss Gaurd) ලෙසයි. මේ ආරක්ෂක බලකාය ආරම්භ වුණේ 1506 දියි. ඒ II වන ජුලියස් පාප්තුමා තමයි, මෙය ආරම්භ කළේ. 

වතිකානු පුරයේ ස්ථිර පුරවැසි භාවයක් ඇති කිසිවකුත් නැත. මෙහි රෝහල් නැත. මාතෘ නිවාස නැත. ඒ නිසා මේ පුරයේ කිසිවකු උපදින්නේ ද නැත. ඒ නිසා උත්පත්තියෙන් පුරවැසි භාවය හිමිවන කිසිවකුත් නැත. මෙහි ඇත්තේ පාප්තුමාට හෝ එතුමාගේ සභාවට සේවය පිණිස කැඳවනු ලබන අය පමණයි. ඒ අයගේ පවුල්වල අයට ඔවුන්ගේ රැකියාව අනුව තාවකාලික පුරවැසි භාවයක් හිමි වන අතර රැකියාව අවසන් වීමෙන් ඒ සියල්ල අහෝසි වී යන නිසා ඔවුන් සියලු දෙනාම පිටවී යායුතුයි. 


මයිකල් ඇන්ජිලෝගේ සිතුවම් ඇතුළත් සිස්ටීන් චැපල්හී සිවිලිමෙන් කොටසක්.

පාප්තුමා සතුව අති නවීන ප්‍රබල දුරේක්ෂයක් තියෙනවා. එය ඇත්තේ වතිකානුවේ නොවෙයි. ඒක තියෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේයි. ලෝකයේ ඇති විශාල දුරදක්න අතර එයට හිමිවන්නේ සුවිශේෂ තැනක්. එය හැඳින්වෙන්නේ වතිකානු උසස් තාක්ෂණික දුරේක්ෂය (Vatican Advanced Technology Telescope) කියායි. මෙය පිහිටුවා ඇත්තේ අග්නිදිග ඇරිසෝනාවේ ග්‍රැහැම් කන්දේයි. වතිකානුවට අවශ්‍ය තාරකා විද්‍යාත්මක පර්යේෂණ සියල්ල සිදු කරන්නේ ඒ මගිනුයි. 

වතිකානුව නරඹන්න එන අයට ලෝකයේ විශිෂ්ට කලාකරුවන්ගේ නිර්මාණ දැක බලා ගන්න පුලුවන්. එයින් මයිකල් ඇන්ජිලෝගේ චිත්‍ර හා මූර්ති ප්‍රධානයි. අද වතිකානුව ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කරනු ලැබූවක්. ලෝක උරුමයක් ලෙස මුළු රටක් ම ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1984දියි. ඒ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ ලොව එකම රාජ්‍යය ද වෙනවා. මේ ලෝක උරුමයට වතිකානුවත් රෝම නගරයත් අතර පිහිටා ඇති සාන්ත පීතර බැසිලිකාවත්, වතිකානුවෙන් පිටත රෝම නගරයේ පිහිටි මේරි මේජර් දේවස්ථානයත් අයත් වෙනවා. 

     - පර්සි ජයමාන්න 

අදහසක් පළ කරන්න

0 Comments