HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නස්රුදින් හා බිරිඳ ඔවුන්ගේ බූරුවා සමග ගිය ගමනක්!

දවසක් නස්රුදින් එයාගෙ බිරිඳත් එක්ක ඈත ගමකට යන්න ගියා. බුරුවා ගෙදර දාලා යන එක උගේ ආරක්ෂාවට හොඳ නෑ කියලා හිතලා යන ගමනට බූරුවාත් එකතු කර ගත්තා. 

ටික දුරක් යන කොට බිරිඳ හිනාවෙන්න ගත්තා. 

“ඇයි සුන්දරී ඔයා හිනාවෙන්නෙ, මං මොනවත් කිව්වෙ නෑනෙ.” නස්රුදින් බිරිඳගෙන් ඇහුවා. 

“බූරුවෙකුත් තියාගෙන අපි දෙන්නම මොකට මේ පයින් ගාටනවද? කියලයි මට හිනා ගියේ.” බිරිඳ හිනාව නතර කර ගෙන කිව්වා. 

“ඒකත් ඇත්ත තමයි. ඒත් අපි දෙන්නම නැග්ගොත් බූරුවාට බර වැඩි වේවි, ඒක හින්ද අපි දෙන්නා මාරුවෙන් මාරුවට යමු. ඔයා ඉස්සෙල්ල නඟින්න” කීව නස්රුදින් බිරිඳව බූරුවා පිටට නංවලා ගමන යන්නට පිටත් වුණා. 

මගේ මේ කතාවට කෘත්‍රිම බුද්ධිය ChatGPT ඇඳලා දුන්නු චිත්‍රය

ටික දුරක් යන කොට වෙන ගමකදි එක හන්දියක රැස්වෙලා හිටිය මිනිස්සු පිරිසක් බූරුවා පිට උඩ යන බිරිඳට දොස් කියන්න ගත්තා. ඔවුන් නස්රුදින්ව අඳුනන්නෙ නෑ. 

“බලනවකො ගෑනියකට ගිය කල! ස්වාමිපුරුෂයා බිමින් යද්දී ගෑනියකට වටිනවද ස්වාමිපුරුෂයා වඩා ඉහළින් යන්න. නැහැදිච්ච ගෑනියෙක්! මිනිහත් නෝන්ජලයෙක්, නැත්තන් ඔහොම ගැනුන් උඩ තියන් යනවයැ” කියලා කිව්වා. 

ඒ කතාවට නස්රුදින්ට දුක හිතුණා, ඒත් බිරිඳට තරහ ගියා. 

“මං මොකටද මෙහෙම කතා අහන්නේ. ඔහෙ නඟිනව බූරුවා පිටට. මං පයින් යනවා.” බිරිඳ කිව්වා. 

නස්රුදින් හිනාවෙලා බූරුවා පිටට නැග්ගා. දැන් බිරිඳ පයින් යනවා. නස්රුදින් බූරුවා පිටේ යනවා. 

මේ විධියට යන ඔවුන් තවත් ගමක කඩමණ්ඩියකට ආවා. එතැන හුඟක් සෙනඟ රැස් වෙලා හිටියා. 

මද්දහන වෙලාවේ නස්රුදින්ගේ බිරිඳ දාඩිය දාගෙන පයින් යනවා. නස්රුදින් හොඳට උජාරුවට බූරුවා පිටේ යනවා. මේක දැකපු කඩමණ්ඩියෙ රැස්වෙලා හිටපු මිනිස්සු නස්රුදින්ට දොස් කියන්න පටන් ගත්තා. 

“ඔහේ මොන විදියෙ ස්වාමිපුරුෂයෙක්ද? මේවාගේ ළපටි සියුමැලි කාන්තාවක් මේ මද්දහනේ දාඩිය මුගුරුදාගෙන පයින් යද්දි ඔහොම බූරුවා පිටේ යන්න ඔහේට ලැජ්ජා නැද්ද?” ඔවුන් නස්රුදින්ගෙන් ඇහුවා. 

“ඒක ඇත්ත. සුන්දරී, ඔයා නඟින්න බුරුවගෙ පිටට. මං පයින් එන්නම්” කියලා නස්රුදින් බිමට බැහැල බිරිඳව බූරුවා පිටේ තිබ්බා. “දැන් හරි නේ කාටවත් මොකුත් කියන්න බෑ” 

ඒ එක්කම අවට පිරිසෙන් වැඩිහිටි කෙනෙක් ආයිත් කතා කළා. “ඔය දැරිවි බූරුවට බරක් නෙවෙයි. ඔහෙත් නඟිනව බුරුවා පිටට දරුවගෙ ආරක්ෂාවටත් එක්ක.” ඔහු කිව්වා. 

“ඒකත් හරි!” කියපු නස්රුදිනුත් බූරුවා පිටට නැග්ගා. දැන් දෙන්නා ආයිත් බූරුවා පිටින් ගමන යන්න පටන් ගත්තා. 

ඊළඟ කඩ වීදියෙදි එතැන හිටපු සෙනඟට මේ දෙන්නගෙ ගමන ගැන ප්‍රශ්නයක් ඇති වුණා. 

“මෙන්න බොලේ වැඩක්! පවුලක් ම බූරුවා පිටේ නැඟලා! මේ අසරණ සතාට මොන වදයක් ද ඔය දෙන්නෙ. ඕකද ඔහොලගෙ මනුස්සකම. ඔහොමත් සතකුට වද දෙන්න හොඳ ද?” කියලා ඒ මිනිස්සු මේ දෙන්නට දොස් කියන්න ගත්තා. 

“ඒක ඇත්ත! සමාවෙන්න අපට” කී නස්රුදින් බූරුවා පිටින් බැහැල බිරිඳවත් බැස්සෙව්වා. “දැන් ඉතින් කාටවත් මොකුත් කියන්න බෑ. අපි දෙන්න බූරුවා ඉස්සර කර ගෙන පයින් යමු” නස්රුදින් කිව්වා. 

ඔහොම ගිහින් ඒ දෙන්නා ඊළඟ ගමේ කඩ වීදියට ආවා. වැඩි කතාබහක් නැතිව ඒ දෙන්නා කඩ වීදිය මැදින් යන්න ගියා. 

පිරිස ඔවුන් දිහා බලන් හිටියා. මුලදි කවුරුත් මොකුත් කිව්වෙ නෑ. ඒත් කඩ වීදිය කෙළවර වෙන කොට එක් මිනිසෙක් මෙහෙම කිව්වා: “අන්න බලන්න! මෙහෙමත් මිනිස්සු! බූරුවකුත් ඉස්සර කර ගෙන පයින් ගාටනවා. මොන තරම් මෝඩකමක්ද?” 

නස්රුදින් ආපහු හැරිලා ඒ මනුස්සයා දිහා බැලුවා. තවත් ඉවසන් ඉන්න බැරි තැන කතා කළා. “අනේ මිතුරනේ! මේ එන ගමනෙදි අපි ඔහෙලව සතුටු කරන්න තමයි කරන්න පුලුවන් හැම දෙයක් ම කළේ. ඒත් ඒකෙන් පලක් වුණේ නෑ. ඔහෙලා සතුටුවුණෙත් නෑ. අපටත් දුකක්මයි වුණේ. දැන්වත් අපිට අපේ පාඩුවේ යන්න දෙනවලා.” කියලා කෑ ගහලා කිව්වා. 

එහෙම කියලා, බිරිඳ දිහාට හැරිලා මෙහෙම කිව්වා: “සුන්දරී, කතාවක් තියෙනවා නේ, ‘අනුන් කියන විදියට වැඩ කරන්න ගියොත් බැණුම්ම තමයි අහන්න වෙන්නෙ’ කියලා. ඔන්න ඔහෙ අපි අපට ඕනැ විධියට අපේ පාඩුවෙ යමු.” 

 - පර්සි ජයමාන්න

අදහසක් පළ කරන්න

0 Comments