HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 18,000කට පෙර විසූ ආදී මානවයන් මීනීමස් කෑ බව හෙළි වෙයි!

අද මං කියන්න යන්නෙ මිනී කන මිනිසුන් ගැන කතාවක්. වික්‍රමාන්විත ක්‍රියාවල යෙදෙන අයට වුනත් දරා ගන්න බැරි තරම් අපුල හිතෙන කතාවක්. ඒත් මං ඔබට කියන්න යන්නේ අතීතය සොයා යන පුරාවිද්‍යා රහස් පරීක්ෂකයන්ගේ දක්ෂතා කොයි වගේ ද කියලා පෙන්වන්නත් එක්කයි. 

මීට අවුරුදු 18,000කට ඉස්සර යුරෝපයේ ජීවත්වෙච්ච මිනිසුන් වර්ගයක් මීනි මස් කෑ හැටි හොයා ගත්තු ආකාරය පුදුම හිතෙනවා. මේ මිනිස් වර්ගය ඉතා පුරාණයේ යුරෝපයේ ජීවත්වූ අයයි. එදා ඒ අය මොන නමින් හැඳින්නුව ද දන්නේ නෑ, අද අපි දීලා තියෙන නම මැග්දලේනියන්. ඒ මිනිසුන් මිනීමස් කාලා තියෙන්නෙ වැඩිපුර ම තරහකාරයන්ගෙ, ඒ කියන්නේ සතුරන්ගෙ. ඒ වගේ කතාවක් මං අහලා තියෙනවා, අපේ ආදීවාසීන්ගේ මුතුන්මිත්තන් ගැනත්. ඒක මට කිව්වෙ අපේ භාෂා විශාරදයෙක්. එයා කිව්වා අපේ ජන කියමනක් තියෙනවා, කේන්ති ගියාම කියන ‘මං තොගෙ කැවුතු කනවා’ කියලා. ඒ කියමන ඇවිත් තියෙන්නෙ බොහෝ ඉස්සර උන්නු අපේ ආදිවාසින්ගේ පුරුද්දක් නිසාලු! හතුරකු එක්ක සටන් කරලා ඌ මරා දැම්මොත් ඒ පුද්ගලයාගේ පීකුද්ද වේලලා බුලත් මඩිස්සලේ ති‍යාගෙන බුලත් විට එක්ක කෑවලු! ඒක කටවහරෙන් ආ දෙයක්. දැන් අපි අපේ කතාවට බහිමු. 


අන්තිම හිම යුගයේ අවසානයේ මග්දලේනියන් නම් ප්‍රාග් ඓතිහාසික මානවයින් 
වාසය කළ අන්දම චිත්‍රශිල්පියකු දුටු හැටි.

කටවහරෙන් අවෙත් නැතුව, ජන වහරෙත් නැතුව යුරෝපයේ ආදී මිනිස්සු මීට අවුරුදු 18,000කට ඉස්සර මීනීමස් කෑව කියන එක කොහොමද අද සොයා ගන්නෙ? ඒක තමයි මං පුරාවිද්‍යා රහස් පරීක්ෂකයන්ගේ දක්ෂකමක් කියලා කිව්වෙ. ඔවුන් කියනවා, ඒ මැග්දලේනියන්ලා (Magdalenians) සතුරන් මරා ගෙන ඒ අයගේ මොළේ කාලා තියෙනවා. ඒක කරලා තියෙන්නෙ ඔවුන්ගෙ කන කපලා කනෙන් රිංගලා. මේ බව හෙළිවන්නේ අලුත්ම අධ්‍යයනයකින්. කන කපපු බවට ලකුණුත් ඔවුන් සොයා ගෙන තියෙන්නේ මේ අස්ථිවලින්. මේ අධ්‍යයනය අන්තර් ජාලයේ ඇති Scientific Reports ජර්නලයේ පළ වී තියෙනවා. 


මේ අධ්‍යයනය හා සම්බන්ධ ප්‍රධාන තිදෙනා, (වමේ සිට) - ෆ්‍රැන්සිස්ක් මාජින්ඩාස්, 
ආචාර්ය පැල්මිරා සැලදී හා රොඩ්රිගුස් හයිඩෙල්ගෝ.

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ සිට කි.මී. 20ක් පමණ ඈතින් පිහිටි මැෂ්ශිකා (Maszycka) නම් ගල් ලෙනක තිබුණු මිනිස් අවශේෂ පරීක්ෂා කරලා බලලයි මේ අධ්‍යයනය කරපු වි‍ශේෂඥ පිරිස කියන්නේ. ‘ඒ ගල් ලෙනහි තිබී හමුවූ මිනිස් අස්ථි කොටස් 63ක් හමුවුණා. ඒවා අතර මිනිස් හිස් කබල්, දිගු කලවා ඇට, ආදිය තිබුණා. ඒවායෙන් සියයට 68කම කැපුම් හා සීරීම් තිබුණා. ඒවායින් තමයි, ඒවා මිනිස් පරිභෝජනයට ලක්වූ බව හෙළි වුණේ. ඒවාට ඇලී තිබුණු මාංශ පේශීන් ඉවත්කර ඇති ආකරය, හිස්කබල් කඩා මොළය ඉවත් කර ඇති ආකාරය, අස්ථිවල ඇටමිදුලු ඉවතට ගෙන ඇති ආකාරය, අපට ඒවායේ ඇති කර තිබූ සලකුණුවලින් පැහැදිලිව තේරුම් ගන්න අපට පුළුවන් වුණා’ යැයි ඒ අධ්‍යයනයේ ප්‍රධානියා වූ ෆ්‍රැන්සිස්ක් මාජින්ඩාස් (Francesc Marginedas) කියනවා. ඔහු ස්පාඤ්ඤයේ කැටලාන් ආයතනයේ පර්යේෂකයෙක්. ඒ ආයතනය මානව පොසිල පරිසර විද්‍යාත්මක හා සමාජ පරිණාමයට අදළ පර්යේෂණ සඳහා පිහිටුවන ලද එකක්. 

‘මේ මිනිසුන් මරා දැමූ හෝ මැරුණු පසු, නරක් වෙන්න කලින්, බොහෝ විට ඒ මොහොතේ ම ආහාරයට ගත් බවයි, පෙනෙන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් සතුන්ගේ මස් ආහාරයට ගනිද්දී අස්ථිවල ඇති වන සලකුණුවලට බොහෝ සේ ඒවා තමයි, මේ මිනිස් අස්ථිවලත් තියෙන්නේ. සතුරන්ගේ මෙන් ම තම ගෝත්‍රයේ අය ද මැරුණු පසු මළ සිරුර ඉවත් කිරීමේ ගැටළුවද ඔවුන් විසඳා ගෙන ඇත්තේ මේ විධියටමයි.” ඔහු කියනවා. 


මිනිස් පොසිල හමු වූ පෝලන්තයේ මැෂ්ශිකා ලෙ‍නෙහි මුව විට.

‘ඒ වගේ ම ඇතැම් හිස් කබල්වල ඒවා තැනින් තැන සිදුරු මොළය එළියට ගත් බවටත්, ජංඝාස්ථිවල ඇටි මිදුලු සූරා එළියට ගත් බවටත් සාක්ෂි තියෙනවා. ඒ ඇට මිදුළුවල ඇති පෝෂ්‍යදායක බවත් ඔවුන් දැන සිටින්නට ඇති. සමස්ත විශ්ලේෂණයට අනුව ඒ මානවයන් මුළු සිරුරම පරිභෝජනය කළ බව තහවුරු වෙනවා’ ඔහු වැඩිදුරටත් කියනවා. 

‘පූර්ව ඓතිහාසික තත්වයන් අනුව සලකන විට මැග්දලේනියන්ලා මේ විධියට හැසිරෙන්නට ඇත්තේ ප්‍රධාන වශයෙන් දිවි රැක ගැනීමේ අවශ්‍යතාවට ප්‍රතිචාරයක් වශයෙන් විය යුතුයි. ඔවුන්ගේ විවිධ කණ්ඩායම් අතර ඇති වූ ගැටුම් හා තම වසම් පිළිබඳ ඇති වූ ආරවුල් ඒවාට බලපාන්නට ඇති. ඔවුන් චාරිත්‍රයක් වශයෙනුත් මිනී අනුභව කරන්න ඇති’ මෙසේ කියන්නේ මේ කාර්යයට ප්‍රධාන වශයෙන් සහය වූ කැටලාන් ආයතනයේ පර්යේෂිකාවක වූ ආචාර්ය පැල්මිරා සැලදී (Dr Palmira Saladié) යි. ඇය මේ අධ්‍යයන වාර්තාවෙහි සම-සම්පාදකවරියයි. 

මේ මැග්දලේනියන්ලා බ්‍රිතාන්‍යයට ඇවිත් තියෙන්නේ බෙල්ජියමෙන් හා නෙදර්ලන්තයෙන් කියලයි කියන්නෙ. ඒ මීට වසර 15,000කට පෙර මහා ජලගැල්මෙන් බ්‍රිතාන්‍ය දිවයින් වෙන් වෙන්න කලින්. ඒත් ඒක මැග්දලේනියන් යුගයේ පැවති පොදු දෙයක් නෙවෙයි. සමහර ගෝත්‍ර එහෙම කළේ නැහැ. ඒ වගේ ම මිනීමස් කෑම උතුරු කෙන්යාවේ මිනිස්සු කරලා තියෙනවා, ඒ මීට අවුරුදු මිලියන 1.45කට පමණ පෙරයි. ඒ වගේම පොසිල ලෙස හමුවුණු ඉපැරණි මිනිස් සිරුරවල කලවා පේශිය කපා දමා තිබුණු අවස්ථා හමු වි තියෙනවා. 

නව 

අධ්‍යයනයේ දැක්වෙන මිනිස් සිරුරේ කොටස් ඇතුළත් රූපසටහනක්.

මග්දලේනියන්ලා කියන්නේ මීට වසර 23,000ත් 14,000 අතර කාලයේ යුරෝපයේ විසූ මානව වර්ගයක්. ඒ ගෝත්‍රය ගැන හෙළිදරවු වී ඇති තොරතුරු අනුව ඔවුන් මුලින් වාසය කරන්නට ඇත්තේ ප්‍රංශයේ ඩොඩානේ දිස්ත්‍රික්කයේ ටර්සැක් ජනාවාසවල පැවත වෙසරේ (Vézère) නිම්නයේ ගල්ලෙන් ආශ්‍රිතවයි. එහි ලා මැඩලෙන් (La Madeleine) ගල්ගෙන අසුරු කර ගෙන මේ මානවයාගේ අස්ථි සොයා ගැනීමත් සමග ඒ ලෙනෙහි නම ඇසුරු කර ගෙන ඔවුන් මැග්දලෙන්වරුන් ලෙස හැඳින්වුනා. ඔවුන්ගේ ජීවන රටාව මැග්දලෙන් සංස්කෘතිය ලෙස නම් කෙරුණා. 


මග්දලේනියන්වරුන් විසින් අඳින ලදැයි සැලකෙන ස්පාඤ්ඤයේ ඇල්ටමීරා 
ගල් ලෙනෙහි ඇති සුප්‍රකට බයිසන් චිත්‍රය.

මේ සංස්කෘතිය යුරෝපය පුරා ව්‍යාප්ත වුනා. මැග්දලේනියන්ලා බටහිරෙන් පෘතුගාලයෙනුත් නැගෙනහිරෙන් පෝලන්තයෙනුත් හමුවුණා. රංචු වශයෙන් හැසිරුණු සතුන් වඳ වී යාමත්, ක්‍රිස්තු පුර්ව 10,000 දී තරම සීතල දේශ ගුණය උණුසුම් සමඟ ඔවුන් ද වඳ වී ගියා. පරිසර ප්‍රශ්න නිසා හෝ ජීවත්වීම සඳහා හෝ ආදී මානවයන් මිනීමස් කෑ බව කොච්චර පුරාණයේ සිදුවුණත් අද අපට විද්‍යාත්මකව සොයා ගන්න පුලුවන්. 


මැෂ්ශිකා ලෙනෙන් හමු වූ මිනිස් හක්කක් හා උරපතු ඇටයක්.

අවසාන වශයෙන් මට මෙහිදී තවත් දෙයක් මතක් වුණා. මං නවසිය හැත්තෑවේ මුල හරියේ සිළුමිණ පත්‍රයේ කර්තෘ ඹණ්ඩලයේ වැඩ කරන කාලේ ඒ යුගයේ ම ලෝකයේ සිදුවුණු අනුවේදනීය සත්‍ය කතාවක් සිළුමිණ පත්‍රයට කොටස් වශයෙන් ලිව්වා, ‘හිමගිරක කඳුළු’ යන නමින්. ඒ කාලේ සිළුමිණ කියවූ අයට මතක ඇති. 1972 දී උරුගුවේ රටේ මොන්ටිවිඩියෝවල සිට චිලි රටේ සන්ත්‍යාගෝ නගරයට ගුවනින් ගිය රගර් කණ්ඩයමක් අහස් යානය ඇන්ඩීස් කඳුකරයේ කඩා වැටී මාස එකහමාරකට පසු ඔවුන්ගෙන් 14 දෙනකු දිවිගලවා ගෙන ආ කතාව තමයි, ඒ නමින් මා ලියූවේ. ඒ අය දිවි ගලවාගෙන ආ පසු හෙළිදරවු වුණා, ඔවුන් දිවි ගලවා ගෙන ඇත්තේ තමන්ගේ ම මියගිය මිතුරන්ගේ සිරුරු ආහාරයට ගැනීමෙන් බව. ඒ වගේ දේ වර්තමාන ලෝකයෙත් වෙන්න පුළුවන් කියන එකට හොඳ උදාහරණයක් ඒක. 

- පර්සි ජයමාන්න


අදහසක් පළ කරන්න

0 Comments