එච්. ආර්. ජෝතිපාල දිවංගත වී මේ වන විට වසර 30ක් ගතවෙලා ඉවරයි. ඒත් අදත් වැඩිපුර සවනත වැකෙන්නේ ඔහුගේ ගීතයි. එක්කෝ ඔහුගේම කටහඩිනි. නැත්නම් අනුකාරකයකුගේ හඬිනි. කොහොම ගැයුනත් අපට ඇහෙන්නේ ජෝතිගේ හඬයි. ඒ කටහඬින් මුලින්ම අප ඇසුවේ එකම එක වචනයකි. ඒ ‘තොටියෝ’ යන පදයයි. ඒ ඔහු 1952 දී වසන්තා සන්දනායකගේ ‘මහවැලි නදියේ අසබඩ සැදියේ මහිංගන තූපේ’ යන ගීතයට අත්වැල් අල්ලමින් කළ ගායනයයි. ඒ එකල මහත්සේ ජනප්‍රිය වූ ‘බයිජු බව්රා’ චිත්‍රපටයේ ආ ජනප්‍රිය ගීතයක් වූ නෞෂාඩ් සංගීතවත් කළ ‘ඕ ගංගාකී නාම්’ ගීතයේ තනුව යොදා ගෙන ලියූ අනුකාරක ගීයකි. ඔහුට ගයන්න තිබුණේ ‘හෝජියෝ’ යන්න ඇහෙන තැනට ‘තොටියෝ’ යන්න කීම පමණි. ඒත් ඔහු ඒ ගැන කතා කළේ මහත් ආඩම්බරයෙනි.
අපට ඊළඟට ජෝතිගේ කටහඬ අසන්නට ලැබුණේ 1953 දී ඔහුට අතදීමට ඉදිරිපත් වූ ගායිකා ජී. එස්. බී. රාණිගේ සහාය ගායකයා ලෙසයි. ඒ ගීය අදත් අපේ හිතේ නොමැකෙන ලෙස ඇඳුණු එකකි. ඒ ‘ලැබේ යැයි සිතාලාද ආසා කළේ’ යන ඒ ගියයි. ඒ ගීයෙන් පසු ඔහුගේ කටහඬ තනිව අසන්නට ලැබුණේ ශබ්ද පරිපාලක ස්ටැන්ලි ඔමාර්ගේ උපකාරයෙන් 1953 දී පටි ගත කළ ඒකල ගායනයෙනුයි. ඒ ගීතය ‘මගේ රන් රාජිනි’යි. ඊළඟට චිත්‍රපටයකින් ජෝතිගේ කටහඬ අසන්නට ලැබුණේ ‘සුරතලී’ චිත්‍රපටයෙනි. ඒ 1956 දීය. ‘සිරියාමේ සාරා’ නමින් පනහේ දසකයේ වඩාත් ජනප්‍රිය ගීතය වූයේ එයයි. ඒ ගායනය සඳහා චිත්‍රපටයේ රඟපෑවේ නවක නළුවකු වූ ආනන්ද ජයරත්නයි. ඔහුගේ රූප සෝබාවත් ජෝතිගේ තරුණ කටහඬත් එක්වීමත් ඊට ඒ කාලේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයකින් ඉන්දියාව පමණක් නොව ලොව පුරා හින්දි සිනමා රසිකයන් පිනවූ ගීයක අනුකාරයක් වීමත් ඒ ගීය ජනප්‍රිය වීමට හේකු වන්නට ඇති. ඒ ගීය අප පිනවූයේ පාසල් යන අවධියේයි. ඒ මීට වසර 69කට පෙරයි.
එදා සිට ඔහු 1987 දී මිය යන තෙක්ම සිනමාවේ ගායන කිරුළ පැලඳ සිටියා. ඔහුගේ මරණයෙන් පසුත් මේ වන තෙක් ම ඔහු පසුබිම් ගී ගැයූ චිත්‍රපට ප්‍රදර්ශනය වෙනවා. තවත් චිත්‍රපට කීපයක් එන්නටත් තියෙනවා.
‘සුරතලී’ චිත්‍රපටයේ ඒ අනුකාරක ගීතයෙන් පසු ඔහුගේ අනුකාරක ගී රැල්ලක් ආවා. හින්දි හෝ දෙමළ චිත්‍රපටවල ජනප්‍රිය වූ ගීතවල අනුකාරක ගී සිංහලෙන් ආවා. චිත්‍රපට ඒ කාලේ ජනප්‍රිය වුණේ ඒවායේ ආ රසවත් ගී නිසයි. ඒ කාලේ චිත්‍රපට නිපදවද්දී නිෂ්පාදකවරුන් ඒ සඳහා මුදල් යෙදෙව්වේ බොහෝ විට පාඩුවේවිදෝ යන සැකයෙනුයි. ඔවුන් බොහෝ දෙනා ඒ හින්දි අනුකාරක ගී වැලේ එල්ලුණේ ඒ චකිතය නිසයි. ඒ වගේම ශබ්ද විකාශන බැඳගෙන චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු කිරීමේ දී ඒ ගී වාදනය කිරීමෙන් චිත්‍රපටය බලන්නට සිනමාහල් වෙතට ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීමට ඒ ගී ලොකු රුකුලක් වුණා. ලෙස්ටර් ජේම්ස් පීරිස් පවා ඔහුගේ මුල් චිත්‍රපට දෙක වූ ‘රේඛාව’ටත්, ‘සංදේශය’ටත් ගී පොකුරක් යොදා ගත්තේ ඒ නිසයි. පසුව ඔහු හදාගත් ප්‍රේක්ෂක පිරිසක් සිටිය නිසා ඔහු බය නැතිව සිංහල සිනමාවේ ගීත එකක්වත් නැති ප්‍රථම චිත්‍රපටය වූ ‘ගම්පෙරළිය’ තනන්න අත ගැසුවා.
ඒත් සිංහල සිනමාවෙන් චිත්‍රපටයට ඇතුළත් ගීත ගණන අඩුවුණාට ගීතය ඈත් වුණේ නෑ. ඒකට එක හේතුවක් ජෝති. ජෝති නිසා ගීතයත්, සිනමාවත්, බැබලුණා. ගීතයක් කියන්නේ කෙටි කාලයක් තුළ රසවිඳිය හැකි දෙයක්. එයින් ජීවිතයට ලැබෙන උත්තේජනය දිගු කලක් පවතිනවා. ජෝති නිසා ඒ උත්තේජනය තරාතිරම නොබලා අපේ රටේ සෑම කෙනකුටම ලැබුණා. ජීවිතයේ එන විඩාව එක ජෝතිගේ එක ගීතයකින් නැතිවෙලා යනවා විතරක් නෙවෙයි, නැවත ජීවිතය ඉදිරියට ගෙනි යන්න ප්‍රබෝධයකුත් ලැබුණා. ඒ ගීයක් වරක් ඇහුණාම බොහෝ විට අපේ මතකයේ එය රැඳෙනවා. ඒවගේම මුමුනලා හරි ගීය කියන්න හිතෙනවා. ජෝතිගේ ගායන කුසලතාව එහෙමයි. අදත් රියැලිටි ෂෝ එකක ජෝතිගේ ගීයක් වරදින්නේ නැ. ඒ එන තරුණ ළමයි තමන්ගෙ කුසලතාව පෙන්වන්න පෙන්වන්න යොදා ගන්නෙත් ජෝතිගෙ කුසලතාවයි.
අපි අද කතා කරන්නේ ජෝති ගැනයි, ජෝතිගෙ ගී ගැනයි. ඒ ඔහුගේ 89 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන්. ඔහු උපන්නේ 1936 බෙරවාරි 12 වැනිදායි. ඔහු මිය ගියේ 1987 ජූලි 7 වැනිදා, වයස අවුරුදු 51 දියි. මිය ගිහින් වසර 38ක් ගෙවිලත් ඔහුගේ කටහඬට තවමත් ආදරේ කරන එක නතර වෙලා නෑ. ඔහු ගැයූ ගීත ගණන හරියටම කියන්න අමාරුයි. ගණන් කළොත් සමහර විට එය 3500 ඉක්මවා යන්නට ඉඩ තියෙනවා.
හින්දි අනුකාරක ගී ඇරුනාම ඔහු මෙරට සංගීත අධ්‍යක්ෂවරුන්ගේ ස්වතන්ත්‍ර තනුවලටත් බොහෝ ගීත ගයා තියෙනවා. එයින් වඩාත් ජනප්‍රිය ගීත කිහිපයක් මෙසේයි. මෙහි වරහන් ඇතුළේ දක්වා ඇත්තේ ඒවා ඇතුළත් වූ චිත්‍රපටයි.
ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයට ජෝති ගැයූ ගීත අතර, ‘කැකුළු මලක පෙති’ (ලොකුම හිනාව), ‘ආදර මල් පවනේ’ (දුලීකා), ‘මා ප්‍රාර්ථනා ආශාවෝ’ (ළසඳා), ‘ගෙදර හිටිය රෝස කැකුළ රෝසා’ (ළසඳා), ‘ඔබ ළඟ ඉන්න, ළඟ ඉන්න, මට වාසනා’ (වාසනා), ‘සීත මෝසම් ගීත නාදෙන්’ (ජනක සහ මංජු), ‘මනහාරයි, මනමාලයි’ (හිඟන කොල්ලා), ෂෙල්ටන් ප්‍රේමරත්නගේ සංගීතයට ජෝති ගැයූ ගීත අතර, ‘ආලේ මිහිර පෙන්නා සියොතුන් නාද දෙන්නා’ (ගැහැනු ගැට), සරත් දසනායකගේ සංගීතයට ජෝති ගැයූ ගී අතර, ‘අමර පෙම් ලතාවේ’ (සදහටම ඔබ මගේ), ‘වාසනාව දොර ඇරලා බලනවා’ (සදහටම ඔබ මගේ), ‘දෑස මාගෙ සැතපෙනා’ (සදහටම ඔබ මගේ), ‘පාට පොදක් තිලක ලා’ (කස්තුරි සුවඳ), ‘ලස්සන ලෝකෙක ඉපදීලා’ (කස්තුරි සුවඳ), ‘සල් සපු නා’ (සංගීතා), ‘ඉර සඳ වැඳලා’ (සංගීතා), ‘මී පිරුණු සුවඳ මල් වනේ’ (සංගීතා), ‘බඹරා වගේ ඇත තවම විසේ’ (චණ්ඩි පුතා), ‘සිහින අහසේ වසන්තේ’ (නැවත හමුවෙමු), ‘සිතූ දේ පැතූ දේ’ (යකඩයා), වික්ටර් රත්නායකගේ සංගීතයට ජෝති ගැයූ ගිත අතර, ‘රාජ කිරුළු පලන්දාපු රජ්ජුරුවෝ’ (අනූපමා), ‘සිහින විලේ නිලුපුලී’ (අනූපමා), ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීතයට ජෝති ගැයූ ගීත අතර, ‘සොඳුරු ලොවට මල් වැහැලා’ (අපේක්ෂා), ‘මල්සර හදකට’ (සිකුරුලියා) (මේ ගීත හැම එකක් ම අන්තර්ජාලයෙන් ඔබට අසන්න පුලුවන්.)
ඒ විතරක් නෙවෙයි, ජෝතිව අනුකාරකර හින්දි දෙමළ ගීවලට ගීයන්න යොදා ගත් සංගීතඥයින් පවා ජෝතිට ඉතා මිහිරි ස්වතන්ත්‍ර තනු ලබා දී තියෙනවා. එයින් කීපයක් මෙහෙමයි.
ආර්. මුත්තුසාමිගේ තනුවකට ජෝති ගැයූ ‘පැණි වෑහෙන කතා, මතකද කී ගොතා’ (නළඟන), එම්.කේ. රොක්සාමිගේ තනුවකට ගැයූ ‘සිනාවෙන්නේ ඇයි මේ’ (සංසාරේ), පී. එල්. ඒ. සෝමපාලගේ තනුවලට ගැයූ, ‘අඬන්නෙපා සුදු මැණිකේ’ හා ‘දැසෙ විමන් දොරින්’ (ආදරේ හිතෙනව දැක්කම), මොහොමඩ් සාලිගේ තනුවලට ගැයූ ‘ඇස් දෙක වාගෙ හිටිය දෙන්නට මේ මොකද වුණේ’, රන් ඇට පොට රිදී හවඩි’, ‘මුලදි බැන්ද ආදරයක මිහිර දැන්’ ඉන් කීපයකි.
0 Comments