අද අපි අපේ ජනතාවගේ සැබෑ නිදහස් දිනය සමරමු! අපේ රට යටත් විජිතයක් වශයෙන් සිට නිදහස් රටක් ලෙස ප්‍රකාශයට පත් කොට අදට වසර 77කි. එදා අපට ලැබුණු නිදහස ගැන සඳහන් කරමින් අපේ ප්‍රථම අගමැති ඩී. ඇස්. සේනානායක කීවේ ‘එක ලේ බිඳුවකුද නොහෙළා නිදහස ලබා ගත්’ බවය. එහෙත් එය සැබෑවක් ම නොවේ. මේ නිදහස සඳහා අපේ රට යුරෝපීය ජාතීන්ගේ සපත්තුවට පෑගුණ දා සිට පමණක් නොව, ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් වූ දා සිට ම අපි සටන් කෙළෙමු; මුලින් ම අපි වසර 450ක් තිස්සේ පරංගින්, ලන්දේසින් සමඟ සටන් කෙළෙමු: ඒ හැම විට ම මේ සිංහල ද්වීපයේ දහස් ගණන් වීරෝධාර ජනයාගේ රුධිරය ගලා ගියේය. එහෙත් අපේ ධෛර්යය ඉදිරියේ අපේ සම්පත් කොල්ලකන්න ආ ඒ පරංගින් හා ලන්දේසින්ට අපේ රට ඔවුන්ගේ යටත් විජිතයක් කර ගන්නට නොහැකි විය. අන්තිමේ දී ඉංග්‍රීසින් ආයේය. ලන්දේසින් පලවා හැර රට මුදා ගන්නට උදවු කරන මුවාවෙන් අපට ළං වූ ඔවුහූ අපේ සිංහල නායකයන් රවටා බොරු ගිවිසුම් ගසා 1815 දී අපේ රට ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කර ගත්හ.
එතැන් සිට නිදහස සටන අලුත් විය. එහි දී කෙතරම් ප්‍රමාණයක් ලේ හැලුවේ ද යන්න දන්නේ ඒ සඳහා සටන් කළ වීර කැප්පෙටිපොළ, ගොන්ගාලේ ගොඩබංඩා, වීරපුරන් අප්පු ඇතුළු රණවිරුවන් මිස, අපට මේ ඊනියා නිදහස ලබා ගන්නා විට මෙහි සුදු ජාතිකයන් හා හවුල් පාලනයක් ගෙන ගිය, ඉංග්‍රීසින්ගේ කිතුනු පාසල්වලින් ඉංග්‍රීසීන්ගේ ඉතිහාසය ඉගෙන ගත් කළු සුද්දන් නොවේ. 1948 අපට නිදහස දෙන කාලයේ ඔවුන්ට ලේ හලන්නට දෙයක් තිබුණේ නැත. ඉංග්‍රීසින්ට හිතවත් පක්ෂපාත පාලනයකට ඔවුන් සහය දෙමින් සිටියහ. අනෙක් අතට ඉන්දියාවට නිදහස් දෙන්න තීරණය කළ පසු ලංකාව විතරක් තබා ගැනීමෙන් අනවශ්‍ය හිරිහැරයක් බව තේරුම් ගත් ඉංග්‍රීසින් කළේ රට ඔවුන්ට සමග වැඩ කරන ඔවුන්ගේ අනුකාරක පිරිසට බාර දී අත සෝදා ගැනීමය. එය සැබෑ නිදහසක් වන්නේ කෙසේද? ඔවුන් විසින් තනා දුන් ව්‍යවස්ථාවක්, ව්‍යවස්ථා සභාවක්, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් හා ජනතාව දුප්පත්ව, සන්සුන්ව, තබා ගැනීම සඳහා සුබසාධන වැඩපිළිවෙළක් සමග රට කර ගෙන යාමට බාර ගත්තේ රටේ වැඩි ජනතාවගේ භාෂාව තේරුම් ගන්නට, එය හරි හැටි කතා කරන්නට බැරි කළු සුද්දන් පිරිසකි. එයට රට නිදහස් වීමක් යැයි කියන්නේ කෙසේද?
අනෙක් බොහෝ යටත් විජිතවලට කලින් සර්වජන ඡන්ද බලය අපට ලැබුණත්, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් අපට ලැබුණත්, සර්ව ජන නියෝජනයක් සිදුවූයේ නැත. පොදු ජනතාවගේ සිතුම් පැතුම් දන්නා අය ව්‍යාවස්ථා සභාවට ආවේ නැත. රටේ අවශ්‍යතා සපුරා ලන සාධාරණ පාලන ක්‍රමයක් කෙබඳු එකක්දැයි කියන්නට ඔවුන් දැන සිටියේ නැත. ජනතාවට ඉහළින් සිටිමින්, ජනතාවට සේවය සලසන සුද්දන්ගේ පරිපාලන ක්‍රමයම එසේම ගෙනයාම සිදු විය. වරින් වර ආ නායකයෝ නිදහස උදෙසාය කියා ඔවුන් සිතූ දේ කළහ. ජාතික ඇඳුම ඇන්දාම හරි යාවි කියා එය ඇන්දත් එයින් ඔවුන් හරි ගියත් ජනතාවට වෙනසක් වුණේ නැත කටුනායක තිබූ ඉංග්‍රීසින්ගේ රාජකීය ගුවන් හමුදාව යැවූ පසු නිදහස සම්පූර්ණ වන බව කියා එය ඉවත් කළ ද අපේ ජනයාගේ ප්‍රශ්න විසඳුණේ නැත. තෙල් ජනසතුව, පාසල් ජනසතුව, බස් ජනසතුව, නැව් ජනසතුව, වරාය ජනසතුව, වතු ජනසතුව ආදී වශයෙන් එකින් එක ජනසතු කරමින් ප්‍රශ්න විසඳන්න එක එක කාලවල නායකයන් උත්සාහ ගත්තත්, රට ගියේ තව තවත් අවුලටය.
ඉන්පසු ඡන්දය ඉල්ලන්න ආ නායකයන් කීවේ නිදහස සම්පූර්ණ වෙන්න නම් නව ව්‍යවස්ථාවක් සහිත ජනරජයක් පිහිටුවිය යුතු බවයි. රටකට ව්‍යවස්ථාවක් හැදිය යුත්තේ ජනතාවගේ අදහස් විමසා අවංකව ම සකල ජනතාවගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව සැලසෙන, නීතිය කාටත් සාධාරණ වන ආකාරයට, නිදහසේ අදහස් ප්‍රකාශ කළ හැකි, ශිෂ්ට සම්පන්න ඉහළින්ම පවත්වා ගෙන යාහැකි ආකාරයටය. එසේ නොමැතිව රටේ ඉහළම ඇවරියේ අයට අවශ්‍ය ආකාරයට සකසා බොරුවට ජනතා අදහස් විමසා ව්‍යවස්ථා සභාවේ හෙන්චයියලාගේ පිහිටෙන් සම්මත කිරීමෙන් නිදහස තහවුරු නොවේ. ව්‍යවස්ථාවේ අඩුපාඩු ඇතැයි කියා තම පුද්ගලික ඕනෑඑපාකම්වලට වාසි වන ආකාරයට පනත් සංශෝධන ගෙන ඒමෙන් නොවේ. මෙතෙක් කල් ගෙන ගියේ රටේ පාලනයේ ඉහළම ඇවරියට අයත් අයගේ නිදහස පමණක් තහවුරු වන ආකාරයේ පාලන ක්‍රමයකි.
නිදහස ලැබුවා යැයි කී දා සිට මේ වන තෙක් වසර 77ක් තිස්සේ නිදහසේ නාමයෙන් රට අවුලට ගෙන ගියා මිස යහපත් දෙයක් සිදු වූයේ නැත. මේ කාලය තිස්සේ උතුරේ හා දකුණේ තරුණයන් රටේ පැවති අසාධාරණ, අයුක්ති සහගත පාලන ක්‍රමයට එරෙහිව කැරලි ගැසූහ. එයින් දහස් ගණනන් තරුණයන්ට ජීවිත පරිත්‍යාග කරන්නට සිදු විය. ජාතිබේද අවුස්සා, කුලබේද අවුස්සා, 2023 දී අල්ලස් හා දූෂණය අතින් ශ්‍රී ලංකාවේ සිටියේ 115 වැනි තැනය. ඒ රටවල් 120ක් අතරිනි. රාජ්‍ය මුදල් අවභාවිතය හා නාස්තිය අතින් ද ඉතා ඉහළ මට්ටමකින් පවතියි. ඒ නිසා ‘වෙනසක් ඉල්ලා’ ජනතාව පාර බැස අරගල කළහ. අන්තිමේ දී තක්කඩි දේශපාලනඥයෝ අරගලයත් කොල්ල කෑවෝය.
වසර 76කට පසු ජනාධිපතිවරණයක් ආවේය. දිගටම බලයේ සිටින අදහසින් පෙර පරිදි ම ඡන්දය ගන්නට දේශපාලන සුත්තරකාරයෝ අල්ලස් දෙන්නට පටන් ගත්හ; නොමිලේ හාල් දුන්හ; ජනතාව පදිංචිව සිටි ඉඩම්වලට හා ගෙවල්වලට සින්නක්කර ඔප්පු දුන්හ. රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන්නට පොරොන්දු දුන්හ. idම්ප්‍රදායික දේශපාලන තුනක නායකයන් වෙන වෙනම තරඟ කළත් ඔවුන් ප්‍රතිවාදියා ලෙස සැලකුවේ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ය.
‘වැටී සිටින රට ගොඩදාන්න නම් පළපුරුද්ද තියෙන අයට බලය දෙන්න’ කියා කීවේ රනිල් වික්‍රමසිංහය. ඔහු ජනාධිපති තරඟයට ආවේ අගමැතිකම හය වතාවක් හා ජනාධිපතිකම එක්වතාවක් කළ හතළිස් අවුරුද්දක පළපුරුද්ද ඇතිවය. සජිත්ටත් නාමල්ටත් පියවරුන්ගේ පළපුරුද්දත් එකතු විය. අනුරට තිබුණේ පාර්ලිමේන්තුවේ වසර 25ක සාමාන්‍ය මන්ත්‍රීවරයකුගේ පළපුරුද්ද පමණය. අනුරට තවත් අවාසියක් තිබුණේය. අනෙක් අපේක්ෂකයන් තිදෙනා ම ආවේ ලංකාවේ ඉහළ පන්තියේ ලොකුම විදුහල් දෙක වූ රාජකීය හා සැන් තෝමස් විදුහල් වලිනි. ඒවා වසර 77ක දේශපාලනය එතෙක් පිළිගත් සුදුසුකම් ය. එහෙත් අනුරට ඒ කිසිවක් තිබුණේය.
අනුර ආවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම මහා මධ්‍ය මහා විද්‍යාලයෙනි. ඔහුගේ උපත සිදුවූයේ 1968 දී ගලේවෙල මකුළුගස් වෙල රජයේ මාතෘ නිවාසයේය. දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා ඔහුගේ පියා ය; මව සීලවතීය. ඔහු හැදුණේ වැඩුණේ නල්ලච්චිය ගමේය. ගණිතයට දක්ෂ ඔහු ඒ අංශයෙන් කැලණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේය. අනුර වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නිර්ධන පන්තියෙන් ආ අයෙකි. ප්‍රතිවාදී අපේක්ෂකයන් මුදලින්, වස්තුවලින්, ඉඩම්වලින් ඡන්ද අල්ලස් ලබා දෙද්දී, පාසල්වලට බස් රථ සුහුරු පන්ති කාමර දෙද්දී අනුර ඒ කිසිවක් නුදුන්නේය. ඔහු පොරෙන්දු වුණේ ශිෂ්ඨසම්පන්න, ශීලාචාර, නීති ගරුක, නාස්තියෙන්, අල්ලස හා දූෂණයෙන් තොර, දිලිඳු බවින් මිදුණු, සියලු ජාතීනට සමව සලකන, ලස්සන රටක් ලබා දෙන්නටය. ඒ ඔහුගේ එකම අවංක චේතනාව බව ඔහු පුන පුනා රටපුරා යමින් කීවේය. මුළු රටේම ජනතාව එකහෙළා එය පිළිගත්හ. අන්තිමේ දී කිසිම බේදයකින් තොරව මුළු රටේ ම ජනතාව, ‘ජනතාවගේ කතාව තේරෙන, තේරෙන විධියට ජනතාවට කතා කරන’ අනුර දිසානායක ජනාධිපති පුටුවට ඔසවා තැබීය. ඉන්පසු. පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාළිමා ලාංචනයෙන් තරඟ වැදුනු ජේවීපී-ජාජබලවේග සුසංයෝගය වාර්තා පිට වාර්තා තබමින් ආසන 159 ක් තමන් සතු කරගෙන අති විශිෂ්ඨ ජයග්‍රණයක් ලැබීය.
ජයග්‍රහණයෙන් පසු අනුර සිය ෆේස් බුක් ගිණුමේ මෙසේ සටහනක් තැබුවේය: “සියල්ල අවසානයේ සැබෑ වෙමින් ඇත්තේ සියවස් ගණනක් අප දුටු සිහිනයයි. මේ සිහිනය සැබෑ කරගනු පිණිස ඉමහත් දුෂ්කරතා මැද ලක්ෂ සංඛ්‍යාත ඔබ සැම පසුගිය කාලය පුරා දැරූ ප්‍රයත්නය සඵල වී තිබේ. ඒ වෙනුවෙන් මට ඔබට තුති පිදිය නොහැකිය. ඒ, මෙය මගේ නොව අපේ සාමූහික කටයුත්තක් වන නිසාය. මේ ජය අප සැමගේය.
අප පමණක් නොව මේ ජයග්‍රහණය වෙනුවෙන් දස දහස් සංඛ්‍යාත මිනිස්සු තමන්ගේ ලේ, කඳුළු, දහදිය මතු නොව ජීවිත පවා කැප කළහ. අපට පෙර පරම්පරාවෙන් අප අතට පත් වූ යෂ්ටිය තුළ ගැබ්ව ඇත්තේ අපතේ ගොස් නැති ඔවුන්ගේ නිමක් නැති කැපකිරීම්ය. එහි බර අපි හොඳින්ම දනිමු. දශ ලක්ෂ සංඛ්‍යාත ඔබගේ අපේක්ෂාභරිත දෑස් අප දිරිගන්වාලයි. ශ්‍රී ලාංකේය ඉතිහාසය අලුතින් ලිවිය යුතු බවට ඇරයුම් කරයි.
සිහිනය මුළුමනින්ම යථාර්ථයක් බවට පත්කරනු පිණිස මේ බිමට නැවුම් ඇරඹුමක් අවැසිය. සිහල, දමිළ, මුසල්මානු අප සියලු දෙනාගේ එක්රැස් වූ සවිය, ඇරඹෙන යුගයේ මුල් ගලය. නව පුනරුද යුගය ගොඩනැගෙන්නේ ඒ මතය. එන්න අපි ඒ වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමු!”
අද අපි අපේ ජනතාවගේ සැබෑ නිදහස් දිනය සමරමු! අපි මෙසේ කීවේ අපේ රටේ පොදු ජනතාව අතරින් ආ, දිලිඳු ජනතාවගේ ප්‍රශ්න අතැඹුලක් සේ දන්නා, නායකයකු යටතේ මෙවර නිදහස සමරන්නට අපට අවස්ථාව සැලසුණ නිසාය. ඒ වගේම ඔහුටත් ඔහුගේ කණ්ඩායමටත් සහය දී මෙතෙක් වසර 77ක් තිස්සේ අපට ලබා ගත නොහැකි සැබෑ නිදහස උදා කර ගන්නට ඔහු වටා රොද බඳිමු.
0 Comments