HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මට අදට හරියටම අවුරුදු 80යි, 'මල් කැකුළු'වලට අවුරුදු 14යි.

මට අදට හරියටම අවුරුදු 80යි. මම අවුරුදු 19 දි පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ සරසවියට නොගිහින් ලේක්හවුසියේ ‘සරසවිය’ පත්තරේ වැඩට ආවේ පත්තරවල වැඩ කරන්න තිබුණු ආසාව හින්දමයි. ඒ ‘සරසවිය’ පත්තරේ පටන් ගත්තු කාලේ. ඒක දැන් වගේ සිනමා පත්තරයක් නෙවෙයි. සාහිත්‍යය හා කලාවන් සඳහා වෙන්වුණු පත්තරයක්. එහි ආරම්භක කර්තෘ මීමන ප්‍රේමතිලක කියන සාහිත්‍යධරයා. එතුමාගේ දෙවැනියා ව සිටි විමලසිරි පෙරේරා මහත්තයා තමයි, මට කතා කළේ එයත් එක්ක වැඩ කරන්න එන්න කියලා. මම නිදහස් ලේඛකයෙකු හැටියට 1964 අග හරියේ එහි යන කොට උප කතුවරයා වශයෙන් වැඩ කළේ ලක්ෂ්මන් වික්‍රමසිංහයි. මගේ ම වයසෙ යාළුවෙක්. එයා තමයි මට හුඟක් වැඩ කියලා දුන්නෙ. එයා පසුව යුනිසෙෆ් එකට බැඳිලා, උසස්වීම් ලබලා චීනයේ යුනිසෙෆ් තානාපතිවරයා වශයෙන් සේවය කරලා පසුව විශ්‍රාම අර ගෙන දැන් තවමත් ජාතික වැඩ සටහන්වලට සහභාගි වෙනවා. තව විශේෂාංග කතුවරයෙක් හිටියා ආර්. ඩී. ගුණරත්න කියලා. එයා පසුව මහාචාර්ය වරයෙක් වශයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවය කරලා දැන් විශ්‍රාම අරන් මහනුවර ජීවත් වෙනවා. 


කතුවරයා සිය 80 වැනි උපන්දිනය සැමරූ අවස්ථාව.

මං ලේක්හවුස් එකට මුල්ම දවසෙ මට කොරිඩෝවෙදි හමු වී මිතුරු වුණු එඩ්වින් ආරියදාස මහත්තයා තමා මට උපකාර කළ අනෙක් පත්‍රකලාවේදියා. එතුමා අත්වැලක් වගේ මුළු ජීවිතකාලය පුරා ම මා සමග සිටියා. අද ජීවතුන් අතර නැහැ. ඔය අය තමයි මට මුලින් ම උපදෙස් දුන් සුමිතුරන්. තව හුඟක් දෙනා ඉන්නවා ඒ වුණාට මේ අය තමයි මුලින් උදව් කළේ. ඒ නිසා මගේ මතකයට ආ මේ නම් මට නොකියා ම බැහැ. සිළුමිණ පත්තරේ මා වැඩ කරද්දී මට මගේ දැනුම වැඩුම විශේෂාංගය වූ ‘සිළුමිණ ඥානකෝෂය’ කරන්නට මා උනන්දු කළ එවකට එහි කර්තෘවරයාව සිටි ඇස්. සුබසිංහ මහතාත් මට අමතක කරන්න බැහැ. ඔහුත් අද ජීවතුන් අතර නැහැ. 

මං පත්තර කලාව රස්සාවක් වශයෙන් තෝරා ගත්ත දා ඉඳලා උත්සාහ ගත්තේ පාඨකයන් දැනුමෙන් පොහොසත් අය කරවන්නයි. ඒ නිසා ලෝකය පුරා සොයලා දැනුම සොයා ගෙන හැකිතාක් රසවත් විධියට පත්තරෙන් ඉදිරිපත් කිරීම තමයි මං කළේ. අද තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාවට ලබා දෙන පනතක් පවා ඇවිත් තියෙනවා. ඊට වසර 60කට විතර ඉස්සරින් මා ජනතාව දැනුවත් කිරීම ඇරඹුවේ. 'සිළුමිණ' ඉරිදා පුවත්පතේ ඥානකෝෂයෙන්, නවයුගයෙන් විශ්ව දැනුම, විජය පත්‍රයෙන් ඥානකෝෂයෙන් මං කළෙත් ඒකමයි. පත්තර කලාවේ වසර 60ක කාලය තුළ පුවත්පත් තුළින් දැනුම වැඩුම අතින් වැඩි ම සේවයක් ජනතාව වෙනුවෙන් කළ පුද්ගලයා හැටියට මං සතුටු වෙනවා. ඒ කාලේ දැන් වගේ නෙමෙයි, අන්තර්ජාලය, ගූගල් වැනි සෙවුම් යන්ත්‍ර තිබුණෙ නෑ. ඒ නිසා තමයි, වරක් ප්‍රවීණ විද්‍යා දේශක නාලක ගුණවර්ධන පුස්තකාල විඥාපකයන්ගේ පුහුණු වැඩ මුළුවකදී කීවේ, ‘ඒ කාලෙ අපට සෙවුම් යන්ත්‍ර වුණේ එඩ්වින් ආරියදාසයි, පර්සි ජයමාන්නයි’ කියලා අපට ගෞරව දැක්වුවේ. පත්තර කලාවෙන් විශ්‍රාම ගත්තු මම ජනතාව දැනුවත් කිරීමේ ගරු රාජකාරිය අත ඇරියේ නෑ. අන්තර්ජාලය පටන් ගත්තට පස්සෙ මගේ ම බ්ලොග් එකක් දියත් කළේ ‘මල් කැකුළු’ කියලා. 

අද ‘මල් කැකුළු’වලට අවුරුදු 14යි. මං මේ බ්ලොග් එක අවුරුදු 14කට පෙර පටන් ගත්තේ මගේ ම ස්වේච්ඡාවෙන් කරන සමාජ සත්කාරයක් හැටියටයි, කිසිම ප්‍රතිලාභයක් බලාගෙන නෙවෙයි. මේ වන විට ‘මල් කැකුළු’ නරඹා ඇති සංඛ්‍යාව මිලියන තුන (3,210,000) ඉක්මවා තිබීම ගැන මගේ සතුට ප්‍රකාශ කරන්න කැමැතියි. මගේ වෙහෙස අපතේ නොගිය බව එයින් පෙනෙවා. මගේ ‘මල් කැකුළු’ පාඨකයන් සියලු දෙනාටම මගේ හදවතින් ම තුති පුදන්නට මෙය අවස්ථාවක් ගන්නවා. මම මේ වන විට විවිධ මාතෘකා යටතේ ලිපි 1695ක් ලියා තියෙනවා. ඒවා අතරින් වැඩියෙන් ම කියවා ඇති විශේෂාංගය ‘සතුන්ට කියන සිංහල හා ඉංග්‍රීසි නම්වල අපූරු වෙනස්කම්’ ය. (කියවූ සංඛ්‍යාව 42,100). ඊළඟට එන්නේ ‘වත්මන් ළමා ගී පරපුරේ - ශ්‍රී රූපදේව කවීන්ද්‍ර ආනන්ද රාජකරුණා’ ය. (කියවූ සංඛ්‍යාව 30,700). තුන්වැනි ගන්නේ, ‘පෘථිවියේ උපත, ලෝකයේ ආදිතම ජීවියා සහ ජීවයේ ආරම්භය: පරිණාමයේ කතාව’ (කියවූ සංඛ්‍යාව 27,100) ආදී වශයෙන් මේ ලැයිස්තුව අනවශ්‍ය ලෙස දිග්ගැස්සෙන නිසා පළමු තැන් තුනෙන් නවතිමි. 

අනෙක් ජනප්‍රිය ලිපි අතර, ‘ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල නවකතාව කුමක් ද?, සිංහල සිනමාව හා බැඳුණු විස්මිත තොරතුරු, මානව පරිණාමයේ කතාව, පැරණිම අම්මා හා ශ්‍රී ලංකාවේ ආදි මානවයා, සොබාදහමේ සුන්දර මර උගුල්, දුර්ලභ ගණයේ සේයා රුවක්! නවසීලන්තයේ ධීවරයකුගේ නවතම ගොදුරක්!, මහගම සේකර දුටු සිංහල අවුරුද්ද, ඉන්දු ගඟ අශ්‍රිතව බිහි වූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, හඳ ගැන ඔබ මෙතෙක් කිසිදාක නෑසූ පුදුමාකාර රහසක්!, ඉතාලියෙන් ස්විට්සර්ලන්තයට පාවී ගිය අවන්හල, සංචාරක සාහිත්‍යයට එක් වූ විස්මිත කෘතියක් - චීනයේ සැරිසර වරුණ, ආදිය පළ කළා ඔබට මතක ඇති. 

වැඩි ම දෙනකු අතර ජනප්‍රිය ‘නව නිපැයුම් හා ගවේෂණ’ යන තේමාව යටතේ ‘ටෙලිසිහිනය සැබෑකරමින්, මේ බැක්ටීරියාව එයිද?, එවරස්ට් කන්දට වඩා සිය ගුණයක් උස කඳු දෙකක්!, නාසා ආයතනය සොයා යන යුරේනස් රහස්, ඔබේ සිරුරේ සැඟවී සිටින අලුත් ජීවියෙක්!, විස්මයජනක ලෙස හමුවූ ක්ෂීරපායී මීමුත්තා! ලොව වෙනස් කළ විස්මිත සොයා ගැනීම්, ඩයිනොසෝර කුරුල්ලෙක්!, පණපිටින් හමු වූ ගල් යුගයේ මාළුවා, වසර 17,000ක් අතීතයට ගිය ළමයි, අනාගතයේ නිපදවෙන බැක්ටීරියා ලාම්පු, ගූගල් සිතියමෙන් සොයා ගත් ඩයිනොසෝරයා!’ ආදිය පළ වූ බව ඔබට අමතක වෙන්න විධියක් නැහැ. 

ඒ වගේ ම, ‘දැනමුතු’ යටතේ, ‘සිංහල අවුරුද්දේ මෙතෙක් ඔබ නුදුටු පැත්තක්, මෙලොව කොහේවත් නැති විස්මිත සත්තු, ලෝක ජනගහනය බිලියන අටක් කළ විනිස්, එලිසැබත් මහ රැජිනගේ අබිරහස් ලිපියක් ඕස්ට්‍රේලියාවේ, ඉන්ටර්නෙට් ගැන මේ විස්මිත තොරතුරු ඔබත් දන්නවද?, නොබෙල් ත්‍යාගය දී දිවි ගලවා ගත් විද්‍යාඥයා, රබර් සෝඩා වෙයි!, මිනිසා නිර්මාණය කළ අශ්වයා, නුදුටු පාලමක් ඉදි කළ රෝබ්ලින්, නොගිලෙන මුහුදේ පා වෙවී ඉන්න කැමතිද? යන සිරස්තලවලින් ලිපි පළ වුණා. 

ඒ වගේ ම, ‘කතුවැකි’ යටතේ අපේ ලෝක ළමා දිනය වෙනස් කරමුද?, ආදි මානවයාගේ ගින්දර පාලනය පිළිබඳ විස්මිත නව අදහස, වසර 49කට පෙර කිරිබත වෙනුවට මළබත කෑ අවුරුද්දක්, ඇමරිකාවේ පොඩි ළමයා හා තඩි ළමයා කළ මහ හදිය, අන්තර්ජාතික භාෂා දිනයක ඇති වැදගත්කම කුමක් ද? කැලැන්ඩරේ කතන්දරේ’ වැනි ඒවා පළ වුණා. 

ඒ විතරක් නෙමෙයි, ‘විශිෂ්ටතම චරිත’ යටතේ අපේ රටේ ලස්සන අපට කලින් දුටු කේව්, ළමා පරපුරට රස බෙදූ ‘ටයි’ මාමා, හාවකු පස්සේ ගොස් යළි පාසල් ගිය හෙන්රි, ලොව කෙටි ම ලියුම් ගනුදෙනුව කළ වික්ටර් හියුගෝ, වන දිවියට දිවි කැප කළ ජෝයි ඇඩම්සන්, අනාගතය වසර 100කින් අපට ළං කළ ඉසිවරයා, පොල් ගසෙන් උපන් නවකතාකරුවා, සිය ප්‍රබන්ධ තුළින් විස්මිත ලෙස අනාගතය දුටු දිවැසිවරයා, ළමා කල මාපියන් මියගියත් ඉගෙනීම අත් නොහළ පැරකුම් දෙණියේ ප්‍රාඥයා’ ඇතුළු තවත් දෙස් විදෙස් බොහෝ අය ගැන මා ලිපි සැපයුවා. 

‘පුරාවිද්‍යාව හා ඉතිහාසය’ යන තේමාව යටතේ, වසර 42,000ක් පැරණි , මිනිස් ගතිගුණ දෙවියන්ට ආරූඪ කළ ප්‍රතිමා, මේ අකුරු කියෙව්වොත් රුපියල් කෝටි 30ක් දිනා ගන්න පුලුවන්, වසර 8,300කට පෙර විසූවිස්ටෙගටන් දැන් දැක ගන්න පුලුවන්, ශ්‍රී ලංකාවේ නිත්තෑවුන්ගේ අබිරහස කුමක්ද?, පිරමීඩ හදන්න කියා දුන්නේ පිටසක්වළින් ආ ජීවීන් ද? පාස්කු දූවේ මෝයි පිළිම අභිරහස, පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි’ වැනි ලිපි රැසක් පළ වුණා. 

තවත් තේමා වූ ‘භාෂාව හා සාහිත්‍යය’, ‘රස කතා’, ‘විනෝදයට ගැටලු’, ‘සිනමාව’, ‘ලෝකයේ නොවිසඳුණු අබිරහස්’, ‘සෞඛ්‍යය’, ‘සත්ව ලෝකය’, ‘සූෆි උපමා කතා’, ‘නස්රුදින්ගේ කතා’, ‘ක්‍රීඩා’, ‘සංචාරක ඇස ගිය තැන්’යටතේත් ලිපි පළවුණා. 

'නුවණ, දැනුම, විනෝදය' මගේ ‍තේමා පාඨයයි. එය ‘නවයුගය’ කාලේ ඉඳලාම යොදා ගත්තක්. ඒ අනුව පසුගිය කාලය තුළ විවිධ විෂයයන් යටතේ දෙස් විදෙස් කාලීන වැදගත් තොරතුරු රැසත් ඔබ වෙත ගෙනාවා. ඉදිරියටත් මා කැමති දේ මෙන් ම ඔබ කැමති දේත් ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මට ඔබේ අදහස් අවශ්‍යයි. සිංහල භාෂාවෙන් ලොව පුරා සිටින අයට, විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන්ට කතා කිරීමට මා උත්සාහ ගන්නේ හෙළ බස අමතක වීම වැළක්වීමටයි. අරමුණ සිංහල බස භාවිතයෙන් ඉවත්වීමට නොදී රැක ගැනීමයි. 

‘සිංහලය මනරම් බසකි.’ බුද්ධඝෝෂ මාහිමියන් කියූවේ මීට වසර 1500ට පෙරයි. ඒ සිංහල අටුවා පාලි බසට නඟන්නට ඉන්දියාවේ සිට මෙහි පැමිණ හෙළ අටුවා හදාරද්දීයි. උපතින් දෙමළ ජාතිකයකු වූ උන්වහන්සේ බුදුසමය වැළඳ ගෙන පැවිදි බිමට ඇතුළත් වන විට දෙමළ භාෂාව පිළිබඳ විශාරදයකු ද වුණා. සිංහල බස උන්වහන්සේට ශ්‍රී ලංකාවේදී ඉගෙන ගන්නට සිදුවුයේ බුදුදහමෙහි අටුවා ලියා තිබුණේ සිංහලෙන් වීම නිසයි. හෙළ බසෙහි වටිනාකම උන්වහන්සේ දුටු ආකාරයට ම ලොව පුරා විසිර සිටින සිංහලයන්ට පසක් කරවන්නටයි, ‘මල් කැකුළු’ උත්සාහ කරන්නේ. 

‘මල් කැකුළු’වලට ඒ නම තබමින්, එය ඔබ වෙත ඉදිරිපත් කරන්නට මා දිරිමත් කරමින්, මට මග පෙන්වූයේ නවසීලන්තයේ වාසය කරන මගේ පොඩි පුතු වජිර ජයමාන්න හා ඔහුගේ පිය'ඹ අවන්තියි. ‘මල් කැකුළු’ 14 වැනි සංවත්සරයත්, මගේ 80 වැනි උපන්දිනයත් එක විට ඔවුන් සමඟ සමරන්නට ලැබීම මගේ වාසනාවකි. 

- පර්සි ජයමාන්න 

අදහසක් පළ කරන්න

7 Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඔබතුමන් තවමත් නිර්මාණාත්මක ලේඛනයෙහි නිරතව සිටිනු දැකීම සතුටක්. නිරෝගී සුව ලැබ තවදුරටත් නිර්මාණකරණයෙහි යෙදෙන්නට වාසනාව ලැබේවා යි පතමි.

    ReplyDelete
    Replies
    1. ඔබතුමන්ගේ ආශිර්වාදය මට ඉමහත් ධෛර්යයක්. ඔබට බොහෝ පිං!

      Delete
  3. ඔබතුමාට සුබ උපන් දිනයක් වගේම මල් කැකුළු වලට සුබ උපන් දිනයකුත් ප්‍රාර්ථනා කරනවා. නවයුගය සහ සිළුමිණ අතීත සම්පත් ගැන අසා තිබුණත්, ඉන්ටනෙට් නැති කාලෙ විජය පත්තරෙන් දුන්නු ඥානකෝෂයෙන් අපි බොහෝ දැනුමක් ප්‍රයෝගිකව ලබා තිබෙන බව ලියන්නේ සතුටින් . එය ඔබතුමා ශ්‍රී ලාංකික හැමට කල මහා පිනක් වගේම විශාල සේවයක්. ඒ වගේම මල් කැකුළු හරහා ඔබ ඩිජිටල් ගත කල දැනුම් සම්භාරය සිංහල භාෂාවෙන් කල සුවිසල් එකතුවක්. ඔබතුමාට නිරෝගීමත් ඉදිරි කාලයකට පැතුම් එක් කරන අතරේ මල් කැකුළු ගමනට ජය පතනවා. පුළුවන් තරම් ලියන්න. ඔබේ සටහන් එකක් නෑර බලන්න ආසාවෙන් බලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔබතුමන්ගේ සුබ පැතුම මටත් මල් කැකුළුවලටත් ආශිර්වාදයක්! ඉදිරියටත් මේ කටයුතු මෙයටත් වඩා හොඳින් කරන්න බලාබොරොත්තු වෙනවා

      Delete
  4. සිළුමිණ ඥාන කෝෂය අපි ඒ දවස් වල එකතු කරලත් තිබුනා. සිළුමිණ පත්තරේම රස සාගරයක් වුනා ඒ දවස් වල. ඉතින් ඔබතුමාලට පිං සිදු වෙනවා ඒ කැප කිරීමට. සුබ උපන් දිනයක්ම වේවා

    ReplyDelete
  5. ඔබතුමන්ගේ සුබ පැතුම මට ආශිර්වාදයක් ඒ වගේ ම ධෛර්යයක්ග ඔබට පිං

    ReplyDelete