HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඉතා වටිනා කළුවර ගසක් සිටුවා ඒ ශාකය වඳවී යාමෙන් බේරා ගන්න

ශ්‍රී ලංකාවේ මා ජීවත්වන ගෙවත්තේ ශාක රාශියක් වවා තියෙනවා. ඒ අතර කළුවර ශාකයට හිමි වන්නේ සුවිශේෂ තැනක්. කළුවර (Ceylon Ebony) ගස් දෙකකුත්, කළුමැදිරිය හෙවත් ඉංග්‍රීසියෙන් (calamander) කැලමැන්ඩර් (Diospyros quaesita) ගසකුත් ගෙවත්තේ ආරක්ෂා සහිතව වැවෙනවා. කළුවර අපේ රටට ආවේණික දේශීය ශාකයක්. එය Diospyros Ebenum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කළුවර ගස එබනාසියේ කුලයට අයත් වෙනවා. කළුවර ශාකයට මුලින්ම උද්භිද විද්‍යාත්මක නාමයක් ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දී වීම සුවිශේෂී දෙයක්. ඒ වර්ෂ 1776 දී කෝනිග් විසිනුයි. කළුවර ශාකය අයත්වන Diospyros ගණයේ තවත් ශාක 22ක් පමණ ශ්‍රී ලංකාවේ දී හඳුනා ගෙන තිබෙනවා. මෙම කුලයේ ශාක ගස් හෝ පඳුරු හෝ වශයෙන් වැවෙනවා. උල්මැදිරිය, කළුහබරලිය, කළුමැදිරිය, තිඹිරි, වල්මැදිරිය, කඩුම්බේරිය, ගිනිබුළු, කළු කඩුම්බේරිය, කුණුමැල්ල, කහකෑල, රිටිකුඩුම්බේරිය, හෝමැදිරිය කළුවර කුලයට අයත් තවත් ශාක කිහිපයක්. ඉංග්‍රීසියෙන් ‘සිලෝන් එබනි’ ලෙස හඳුන්වන කළුවර ගසට දෙමළෙන් කරුන්කාලී, කක්කග්වලී කියා කියනවා. 


කළුවර මලක්

කළුවර ගස මීටර 20-25ක් දක්වා උසට ඉතා සෙමින් වර්ධනය වෙනවා. මෙහි පත්‍ර අඟල් 5-8ක් පමණ දිගට වැඩෙනවා. පැරණි ගස්වල අතු පළල්ව වටකුරුව උඩට විහිදෙනවා. කඳෙහි පොත්ත කළු පැහැයේ සිට අළු පැහැය දක්වා වෙනස් වෙනවා. සුදු පැහැයේ සිට කහ පැහැය දක්වා මල් හටගන්නවා. එකම ගසෙහි පූමාංගී සහ ඡායාංගී මල් දෙවර්ගය ම නිපදවනවා. මල් ඉතා සුවඳ යි. මෙහි අරටුව කළු සිට දුඹුරු පාට දක්වා වෙනස් වෙනවා. අරටුව කළුපාට නිසා තමයි මේ ගසට කළුවර කියා කියන්නේ. මෙය ඉතා ශක්තිමත් දැව වර්ගයක්. වාර්ෂික වර්ෂාපතනය මි. මී. 1500-2500 දක්වා පවතින මුහුදු මට්ටමේ සිට අඩි 1800ක උස් මට්ටමක් දක්වා කලාපවල එය සාර්ථකව වැවෙනවා. 

මෙය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ඉන්දියානු කලාපයේ සීමිත රටවල් ගණනක දක්නට ලැබෙන ශාකයක්. සයරේ, නයිජීරියාව යන අප්‍රිකානු රටවලත්, ඉන්දුනීසියාවෙත් මේ ගස සීමිතව තිබෙනවා. ඉන්දියාවේ පැතිර තිබෙන්නේ තමිල්නාඩුව සහ කර්ණාටක ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශවල පිහිටි වනාන්තරවලයි. බටහිර ඝාට්ස් කඳුවැටියේ නැගෙනහිර බෑවුම්වලත්, ආන්ද්‍රා ප්‍රදේශ්වලත් එය සීමිතව වැවෙනවා. 

ශ්‍රී ලංකාවේ පහතරට වියළි කලාපයේත්, අතරමැදි කලාපීය මෝසම් දේශගුණික තත්ව යටතේත් වැවෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයක් ලෙස කළුවර දැක්විය හැකියි. අප රටේ වියළි කලාපයේ පිහිටි ජාතික වනෝද්‍යානවල තවමත් කළුවර ගස් සීමිතව දැකගත හැකියි. නීතිවිරෝධී දැව ජාවාරම්කරුවන්ගෙන් නිතරම මේ ගසට තර්ජන එල්ල වෙනවා. ශ්‍රී ලංකාව යටත්විජිතයක්ව පැවති සමයේ දී කළුවර දැව විශාල ලෙස අපේ රටේ වනාන්තරවලින් කපා විදේශවලට ගෙන ගොස් තිබෙනවා. වර්ෂ 1910 දී පමණක් කළුවර ටොන් 2635ක් විදේශිකයන්ට වෙන්දේසි කළ බව සඳහන් වෙනවා. 

කළුවර ලීය මැදගත් විට දීප්තිමක් කළු පැහැයක් ගන්නවා. ඉතා ශක්තිමත් දැඩි ලීයක් ලෙස සැලකෙන අතර කෘමි උවදුරුවලින් තොර යි. කළුවර ගස් කැපීම තහනම්. නමුත් විශේෂ තත්ව යටතේ සීමිත දැව කපා හෙළීමේ බලපත්‍ර නිකුත් කෙරෙනවා. කැටයම් කැපීමට, ලියවන පට්ටල් වැඩට, සුඛෝපභෝගී ලීබඩු තැනීමට, පියානෝ යතුරු සඳහා ද, චෙස් ඉත්තන් කැපීමට ද කළුවර යොදාගන්නවා. අද සීමිතව කැටයම් හා ප්‍රතිමා ආදිය තැනුවත්, ගෘහභාණ්ඩ තැනීමට නම් මේ දැව සපයා ගැනීමට නීතියෙන් නම් ඉඩක් නැහැ. මේ ශාක දැව ශ්‍රී ලංකාවේ වගේම ඉන්දියාවෙත් අපනයන වෙළෙඳාම තහනම් කර තිබෙනවා. 

අතීතයේ සිට සිදුවූ අසීමිත දැව කැපීම නිසා අද වන විට මේ වටිනා ශාකය විනාශයේ අභිමුවට පැමිණ තිබීම කනගාටුවට කරුණක්. කළුවර සඳහා ප්‍රවාහන බලපත්‍ර ලබාදීමෙි බලධරයා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. ඒත් දැනට කළුවර කඳන් සහ ඉරූ දැව අපනයන ද තහනම් කර තිබෙනවා. රාජ්‍ය දැව සංස්ථ වර්ගීකරණය අනුව කළුවර අධි සුඛෝපභෝගී දැව වර්ගයක් වන අතර, වියළි දැව ඝන මීටරයක් කි. ග්‍රෑ. 1190ක් පමණ බර යි. 

කළුවර දැව ඝන මීටරයක් රු. 123,228ක් පමණ වෙනවා. 2007 වර්ෂයේ ප්‍රකාශයට පතකර ඇති රතු දත්ත පොතට අනුව ශ්‍රී ලංකාවේ වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති, ශාක වර්ගීකරණයේ අන්තරායට ලක්වූ ශාක විශේෂයක් ලෙසට කළුවර නම් කර තිබෙනවා. 

මෙම ශාකයේ වැදගත්කම සැලකිල්ලට ගෙන, රාජ්‍ය දැව සංස්ථාවේ පර්යේෂණ අංශය පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය හා එක්ව මින්නේරිය රාජ්‍ය දැව සංස්ථා භූමියෙහි කළුවර ශාක සංරක්ෂණය සඳහා ජෛව විවිධත්ව උද්‍යානයක් ද පිහිටුවා තිබෙනවා. 

දැව වර්ගයක් ලෙස මිනිසා කළුවර භාවිතයට ගෙන මීට වසර 4500කට වැඩියි. ඒ මිසරයේයි. (අද ඊජිප්තුව). ඉන්පසු රෝම අධිරාජ්‍යය තුළ මේ දැව සඳහා ලොකු ඉල්ලුමක් පැවතියා. එය රෝමයට ගෙන ගොස් ඇත්තේ මීට වසර 2000කට පමණ පෙර යි. යුරෝපයට කළුවර ‍හඳුන්වා දුන්නේ මීට වසර 400කට පෙර පුනරුද සමයේයි. ඉන්දියාව බ්‍රිතාන්‍යය යටත් විජිතයක් වූ පසු කළුවර ගස් මහා පරිමාණයෙන් කපා නැව්ගත කිරීම එකල සුදු පාලකයන් කටයුතු කළා. ශ්‍රී ලංකාවේ වනාන්තරවල සුලබව තිබූ කළුවර ගසටත් සුද්දන්ගෙන් අත්වුණේ ඒ ඉරණමම යි. 

කළුවර ගස ජර්මනියට ගෙන ගොස් ඇත්තේ 14-15 සියවස්වල දී යි. ඒ, වැනිසිය හරහා තිබෙන වෙළෙඳ මාර්ගය ඔස්සේ යි. එහි සිට නෙදර්ලන්තය හරහා උතුරු මුහුද දක්වාම කළුවර ලීයට ලොකු ඉල්ලුමක් ඇති වුණා. එම ඉල්ලුම සපුරා ඇත්තේ ඉන්දියානු වනාන්තරවල කළුවර ගස් කැපීමෙන්. කළුවර වෙළෙඳාම එකල ඉන්දියාවට ලොකු ආදායමක් ලබා දුන් දෙයක්. 

රෝගවල ප්‍රතිකාර කිරීමේ දී ඒ ශාකයෙහි පොතු, කොළ, මල්, සහ ගෙඩි ආයුර්වේද ඔසු සඳහා බහුලව භාවිත කරනවා. අඟල් 2ක් පමණ විෂ්කම්භයෙන් යුත් එහි ඵලය ගෝලාකාර යි. එම ගෙඩි තුවාල සුව කිරීමට යොදා ගන්නවා. ඉදුණු ගෙඩි පාචනයට සහ අතීසාරය සඳහා ප්‍රතිකාරවලට යොදා ගන්නවා. කැඩුම් බිඳුම් චිකිත්සාවේ දී සහ සන්ධි රෝග චිකිත්සාවේදී ත් මෙහි කොටස් යොදා ගන්නවා. බීජවලින් ලබාගන්නා තෙල් ද ඖෂධ ලෙස යොදා ගන්නවා. පුරාණයේ මසුන් මැරීමට දියපහරවලට යොදන විෂක් ලෙසත් කළුවර ගෙඩි භාවිතකර තිබෙනවා. 

- පර්සි ජයමාන්න 

අදහසක් පළ කරන්න

0 Comments