මෙරට වෙසෙන ජ්‍යේෂ්ඨතම පුවත්පත් කලාවේදියා වන ‘ එඩ්මන්ඩ් රණසිංහ සූරීන්ට උපහාර පිදීමේ උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (03.10.2023) ප.ව 3.00ට පැවැත්වේ.
පුවත්පත් කලාවට සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට ජාතියේ උපහාර පිදීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගේ සංකල්පයට අනුව දියත් කෙරෙන වැඩසටහනක සමාරම්භය ලෙස මෙය හැඳින්වෙයි.
එඩ්මන්ඩ් රණසිංහ මහතා ලේක්හවුස් ආයතනයේ දිනමිණ සහ සිළුමිණ පුවත්පත්වල ප්‍රධාන කර්තෘ ධුරයන් දැරූ අතර, දිවයින පුවත්පතේ සමාරම්භක කර්තෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ද විය.
මේ වන විට සිය දිවි ගමනේ 93 වැනි වියේ පසුවන රණසිංහ මහතාගේ දශක හතක මාධ්‍ය මෙහෙවර අගයමින් සම්පාදිත ‘එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය’ කෘතිය දොරට වැඩීමද මේ හා සමගාමීව සිදු කෙරේ.
මෙම උපහාර උළෙලෙහි ප්‍රධාන දේශනය දැනට අමෙරිකාවේ වෙසෙන ‘දිවයින’ හා ‘රිවිර’ පුවත්පත්වල හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතා විසින් සිදු කෙරෙනු ඇත.
1952 වසරේදී ලේක්හවුස් ආයතනයේ ‘ඩේලිනිව්ස්’ පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ඇරඹූ එඩ්මන්ඩ් රණසිංහ මහතා දිනමිණ නියෝජ්‍ය පදවියද දරමින් සිටියදී 1973දී ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමට විරෝධය පාමින් සේවයෙන් ඉල්ලා අස් විය.
පසුව 1977දී යළිත් ලේක්හවුස් නව පාලන අධිකාරියේ ඇරැයුමින් ‘දිනමිණ’ කර්තෘ පදවිය භාරගත් රණසිංහ මහතා පසුව ‘සිළුමිණ’ කර්තෘවරයා ලෙස ද පත් කෙරුණු අතර ‘දිවයින’ පුවත්පත් ආරම්භ කිරීම පිණිස 1980 දී ඉල්ලා අස් විය.
1981වසරේදී ‘දිවයින’ පුවත්පත ආරම්භ කරද්දී එහි ප්‍රධාන කර්තෘවරයා ලෙස වැඩ භාරගෙන කෙටි කලක් තුළ එහි සියලු කටයුතු සංවිධානය කළ රණසිංහ මහතා එමගින් මෙරට පුවත්පත් කලාව නව මඟකට ගෙනාවේය. පසුව එහි මුල්ම කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයාද විය.
2016 වසරේදී නැවතත් ‘සිළුමිණ’ උපදේශක කර්තෘ පදවිය බාර ගත්තේය. ඒ වන ඒ මහතා 86 හැවිරිදි වියේ පසු විය.
0 Comments