“ආචාර්ය ස්මිත්, ඊයේ මට හරිම අපූරු විධියේ මාළුවෙක් දකින්න ලැබුණා. ඒ මාළුවා අල්ලා ගැනීමට හැකි වී තිබුණේ කුල්මන් අවට මුහුදෙන්. මාළුවාගේ සිරුර පුරාම ඝන කොරපොතු තියෙනවා. ඒක හරියට සන්නාහයකින් සැරසිලා වගෙයි. වරල් ගාත්රා වගෙයි. වරල් වගේ නොවේ” - මේ ලිපිය ලිව්වේ, 1938 වසරේ දෙසැම්බර් 23 වැනිදා, එවකට දකුණු අප්‍රිකාවේ ස්ථාපිත කර තිබුණු නැගෙනහිර ලන්ඩන් කෞතුකාගාරයට අයත් ශාඛාවේ, සේවය කළ එකම සංරක්ෂකවරියයි. මාජරී කෝට්නි ලැටිමෝර් නම් ඇය ඒ ලියුම යැව්වේ ආචාර්ය ජේම්ස් ලෙනාඞ් ස්මිත්ටයි. ආචාර්ය ස්මිත්, රෝඩ්ස් විශ්ව විද්‍යාලයයේ රසායන විද්‍යා කථිකාචාර්ය වරයකු වගේම මත්ස්‍යයන් පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයෙක් ද වුණා.
මේ අපූරු සොයා ගැනීම නිසා ආචාර්ය ස්මිත්ට මේ අමුතු අපූරු මාළුවාගේ අබිරහස විසඳීමට හැකි වුණා පමණක් නොව සමත් වූවා පමණක් නොව, ඔහු එක රැයින් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුණා. 20 වැනි සියවසේ වැදගත්ම ජෛව විද්‍යාත්මක සොයා ගැනීම ලෙස එම මාළුවා සැලකෙනවා. මේ අපූරු සත්ත්වයා හැඳින්වෙන්නේ සීලාකාන්ත් (Coelacanth) කියායි. ආචාර්ය ස්මිත්, සීලකාන්ත් ගැන ලොවට හෙළි කිරීමට පෙර, වසර මිලියන 60 කට පෙර ජීවත්වූ සීලකාන්ත් නම් මේ මත්ස්‍යයා වඳ වී ගිය සත්ත්වයෙක් ලෙසයි, විද්‍යාඥයන් විශ්වාස කළේ. ඒ වන තෙක්ම නූතන විද්‍යාව, මේ මාළුවා ගැන දැන සිටියේ පොසිල සාක්ෂිවලින් පමණයි. ධීවරයන් කණ්ඩායමකට මුහුදේ ජීවත් වූ සීලාකාන්ත් මාළුවකු හමුවීම නිධානයක් හමුවූවාටත් වඩා වටින දෙයක් වුණා. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ සීලාකාන්ත්, ඩයිනසෝරයන්ටත් පෙර ජීවත් වූ බවයි. ආචාර්ය ස්මිත්ගේ තහවුරු කිරීමත් සමඟ සීලාකාන්ත්, මත්ස්‍යයන්ගේ ‘අහිමි පුරුක’ ලෙස නම් කෙරුණා. මත්ස්‍යයන් පරිණාමය වී, පසුකාලීනව ගොඩබිම ඇවිදීමට පටන් ගත්තේ සීලාකාන්ත් වැනි මත්ස්‍යයන් ගෙන් යැයි විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.
සීලාකාන්ත්ගේ ශක්තිමත් වරල් තමයි, පසුකාලීනව ගොඩබිම ඇවිද ගිය සත්ත්වයන්ගේ අත් පා ලෙස පරිණාමය වුණේ. දෙවැනි ලෝක යුද්ධය අවහිරයක් වුනත් ස්මිත් වසර ගණනක්ම තවත් සීලාකාන්ත් මාළුවෙකු සිටීදැයි සොයන්න වුණා. සීලාකාන්ත්ගේ වැදගත්කම පෙන්වා දෙමින් පෝස්ටර් සහ පත්‍රිකා බෙදා හරිමින් ස්මිත් දකුණු අප්‍රිකානු ධීවරයින්ව හොඳින් දැනුම්වත් කළා. ස්මිත්ගේ උත්සාහය අපතේ ගියේ නැත. 1952 වසරේදී ධීවරයන් පිරිසකට දකුණු අප්‍රිකාවේ මොසැම්බික් රාජ්‍යය අසල කොමරෝස් දූපත් අවට ඉන්දියන් සාගරයෙන් දෙවැනි සීලාකාන්ත් මත්ස්‍යයා සොයා ගන්න හැකිවුණා. ඊට පසු වසර කීපයකදීම තවත් සීලාකාන්ත් මසුන් කීප දෙනෙකුම හමුවුණා. සාගරජීව විද්‍යාඥයන් හිතුවේ මේ දුර්ලභ ‘පොසිල මත්ස්‍යයා’ දකුණු අප්‍රිකාව අවට මුහුදට පමණක් සීමා වුණා කියායි.
1997 වසරේ දී ඒ නිගමනය බොරු බව හෙළිවුණා. ඇමෙරිකා සාගරජීව විද්‍යාඥ මාක් අර්ඩ්මන් සහ ඔහුගේ අලුත් බිරිඳ අර්නාස් මේතාට ඉන්දුනීසියාවේ සුලවේසී දූපතේ මාළු වෙළෙඳ පොළක යද්දී මාළු කරත්තයක සීලාකාන්ත් මාළුවෙකු දකින්නට ලැබුණා. ස්මිත් අවුරුදු 50 ක් තිස්සේ කළා වගේම සීලාකාන්ත් මත්ස්‍යයන් සොයමින් ගවේෂණයක් දියත් කෙරුණා. අර්ඩ්මන්ට සීලාකාන්ත් මත්ස්‍ය විශේෂ කීපයක්ම සොයා ගන්න හැකිවුණා.. මේ ‘පණ ඇති පොසිල’ මත්ස්‍යයාගේ දකුණු අප්‍රිකානු මූදට පමණක් සීමා වී නැති බව එයින් හෙළි වුණා.
සීලාකාන්ත් ප්‍රමාණයෙන් විශාල මත්ස්‍යයෙක්. හොඳින් වැඩුණු සීලාකාන්ත් මත්ස්‍යයකුගේ දිග අඩි 5 ක් පමණ වන අතර බර රාත්තල් 200 ක් පමණ වෙනවා. යමහල්වලින් නිර්මාණය වූ දූපත් අසළ මූදු පතුළේ ගල්පර ආසන්නයේ ඒ මසුන් ජීවත් වූ බව පැවැසෙනවා. රාත්‍රී කාලයේ ආහාර සොයමින් අඩි 475 ක් තරම් මූදු පතුළට උන් ගමන් කරන බවට ද විශ්වාස කෙරෙනවා.
සීලාකාන්ත් අයත් වන මත්ස්‍ය ගෝත්‍රයට තවත් මත්ස්‍ය වර්ග තුනක් අයත් වෙනවා. මොවුන් පෘථිවියේ බහුල ව ජීවත් වූයේ ඩෙවෝනියානු යුගයේ යැයි පැවැසෙනවා. (මිලියන 400 ක් ඈත අතීතයේ) මේ මත්ස්‍යයන් නම් කර ඇත්තේ ‘ලෝබ් ෆින් ෆිෂ්’ හෙවත් ‘බෙඳුණු වරල් ඇති මසුන්’ කියායි. ඔවුන් සාගරයේ සිට ගොඩබිමට පැමිණ බිම දිගේ ඇවිද ගෙන ගිය සත්ත්වයන් බවට පරිණාමය වුණා කියලයි විද්‍යාඥයන් පැහැදිලි කරන්නේ. අනතුරක් නොවුණොත් මේ මත්ස්‍යයකු වසර 100ක් විතර ජීවත් වෙනවා. සාගරයේ ජීවත් වන සීලාකාන්ත් මත්ස්‍ය ගහණය හේතු ගණනාවක් නිසා ශීඝ්‍රයෙන් අඩුවේ ගෙන යනවා. නීති විරෝධීව සීලාකාන්ත් මසුන් ඇල්ලීම හා විකිණීම ඒ අතරින් ප්‍රධාන වෙනවා. සීලාකාන්ත් මසුන්ගේ යුෂ හොඳ ඔසුවක් ලෙස සාම්ප්‍රදායික ආසියානුවන් අතරේ ප්රකටයි.
මීට සිව් වසරකට පෙර, යළිත් වරක් සීලාකාන්ත් මාළුවකු ගැන තොරතුරු හෙළි වුණා. මේ මාළුවා සොයා ගනු ලැබුවේ ජපන් සාගර විද්‍යාඥ කණ්ඩායමක් විසිනුයි. ඔවුන්ට මාළුවා හමුවූයේ ඉන්දුනීසියාව අසළ ගැඹුරු මූදු පතුළෙනුයි. ඒ විද්‍යාඥයන් සාගරය යට මාළුවාගේ දසුන් රූගත කළා පමණක් නොව පසුව ඒවා මාධ්‍ය හරහා විකාශය කිරීමට ද පියවර ගත්තා. ඒ අනුව, ‘පොසිල මාළුවා’ ගේ දෙවැනි පුනරාගමනය ලෙස මෙම පුවත ප්‍රසිද්ධියට පත් වුණා. අලුතින් සොයා ගත් සීලාකාන්ත් මාළුවා ජීවත් වන්නේ අඩි 528 ක් (මීටර 161 ක්) සුලවේසී දූපත අසළ මනාඩෝ බොක්කට ඔබ්බෙන් ගැඹුරු මුහුදු පතුළෙයි. අර්ඩ්මන් ඇතුළු කණ්ඩායමටත් මුලින්ම සීලාකාන්ත් මාළුවකු හමුවුණේ ද මේ මුහුදු කලාපයේ දී යැයි ජපන් සාගර ජීව විද්‍යාඥයෝ මතක් කර දෙනවා. ඒ රූගත කිරීම් මිනිසාට කිමිදී කළ නොහැකියි. ඒ සාගර පත්ලේ ඇති අධි පීඩන තත්වය නිසයි. ඒ නිසා රූ ගත කිරීම් සිදු කර ඇත්තේ, ස්වයංක්‍රීයව පාලනය කළ රොබෝ කැමරාවක උදව්වෙනුයි.
රූගත කළ වීඩියෝ දසුන් අනුව මේ අලුත උපන් සීලාකාන්ත් මාළුවාගේ දිග සෙන්ටි මීටර 31.5 කි. අළු පැහැ සිරුරේ නිල් සහ සුදුපාට ලප තිබෙනවා. විනාඩි 20 ක් පුරා රූගත කෙරුණු වීඩියෝ දසුන් පෙළේ මේ මත්ස්‍යයා සාගර පතුළේ ගල්පර අතරින් පිහිනා යනු දැක ගත හැකිවුණා.
“අප දන්නා තරමින් තරුණ සීලකාන්ත් මත්ස්‍යයෙකු මූදේ ජීවත් වන ආකාරය වීඩියෝ කැමරාවකට හසු කර ගැනුණු පළමු අවස්ථාව මෙයයි. මේ සත්ත්වයා ගැන අපි කොතරම් දේවල් දැන සිටියත් තවමත් ඌ අපට අබිරහසක්” යැයි ජපානයේ ෆුකුෂියා මින්මැඳුරේ, පර්යේෂක මසාමිත්සූ අවාටා කියනවා. මේ නව සොයා ගැනීමත් සමඟ, සීලාකාන්ක් මාළුන්ගේ ජීවන රටාව, පැටවුන් බෝ කිරීම සහ ජීවත්වන පරිසරය ගැන අවබෝධයක් ලබා ගන්න හැකි වූ බව ද වාර්තා වෙනවා. විද්‍යාඥයන් අනුමාන කරන්නේ, සීලාකාන්ත් මත්ස්‍ය බිත්තර මවගේ කුස තුළදීම පුපුරා ගොස්, පැටවුන් වැඩුණු පසු එළියට පැමිණෙන බවයි.
- ලුසිත ජයමාන්න
0 Comments