දවසක් නගරාධිපති තුමා නස්රුදින්ට කතා කර අලුත් ආරංචියක් දුන්නා.
“නස්රුදින් ඔහෙට පරිස්සමෙන් කරන්න වැඩක් තියෙනවා. මගේ ළඟ වැඩ කරමින් සිටියදී ශෂීනා රහමන් නෝනාගෙ සැමියා හදිස්සියේ මැරුණා. මං කැමති නෑ, මේ බව එක පාරටම කියලා එයාට කම්පනයක් ඇති කරන්න, එයා හරිම සියුමැලි කාන්තාවක් නිසා. ඒ හින්දා සේවකයෙක් අතේ මේ පණිවුඩය යවන්න මං කැමති නෑ. නස්රුදින්, ඔහෙට පුලුවන් ද ගිහින් මේක කෙළින්ම නොකියා එයාගේ හිත කම්පනයට පත් නොවෙන විදියට ඒ සියුමැලි කාන්තාවට මේ ආරංචිය දෙන්න” නගරාධිපතිතුමා කිව්වා.
“නගරාධිපතිතුමා, මට තේරුණා, මං ඒ සියුමැලි නෝනාගෙ සැමියා මළ බව කෙළින් ම නොකියා හිත කලබල නොවෙන විදියට කියන්නම්. ඒ ගැන සැකයක් තියා ගන්න එපා!” කියලා නස්රුදින් කෙළින් ම ශෂීනා රහමන්ගේ නිවස සොයා ගෙන ගියා. ගිහින් හෙමිහිට දොරට තට්ටු කළා.
ඒ සියුමැලි කාන්තාව ඇවිත් දොර ඇරියා.
නස්රුදින් යටහත් පහත්ව මෙහෙම ඇහුවා:
“මේ ශෂීනා කියන වැන්දඹු නෝනාගේ ගෙදර ද?”
“මම ශෂීනා තමයි, ඒත් ඔහෙට කියන්න, මං වැන්දඹුවක් නම් නොවෙයි” ඇය සන්සුන් හඬකින් කීවා.
“ඒත් නෝනාට කියන්න, මට ඕන්නම් එහෙමයි කියලා රන්කාසි සීයක් ඔට්ටු අල්ලන්නත් පුලුවන්” නස්රුදින් කිව්වා. “ඒ ආරංචිය දෙන්න තමයි මං මේ ආවෙ.” කියලා හෙමිහිට කිව්වා.
(පර්සි ජයමාන්නගේ නස්රුදින් කතා පොත් පෙළේ අලුත් ම අංකය වූ ‘නස්රුදින්ගේ අමුතු කතා’ කෘතියෙන්.)
0 Comments