දෙවන එලිසැබත් රැජින උපත ලැබුවේ රජ මාලිගාවක නොවේ. ඇය උපදින විට එංගලන්තයේ සිටි කිසිවකු ඇය රාජ්‍යත්වයට පත්වේයැයි කිසිවකු සිතුවේ ද නැත. නමුත් ඇගේ දෛවය විස්මයජනක ලෙස ඇය එතැනට කැන්දා ගෙන ආවේය. 1926 වසරේ අප්‍රේල් 21 වැනි දා, ලන්ඩනයේ මේෆෙයාහි බෲටන් මාවතේ අංක 17 ස්ථානයේ දී දෙවන එලිසැබත් රැජින උපත ලැබුවා ය. එය මාළිගාවක් හෝ, විශාල වතුයායක් හෝ, රෝහලක්වත් නොව, ලන්ඩනයේ ජනාකීර්ණ වීථියක පිහිටි නාගරික තට්ටු නිවාසයකි.
මේ තට්ටු නිවාසයේ පදිංචිය සඳහා ඇගේ දෙමාපියන් පැමිණියේ ඇය ඉපදීමට සති කීපයකට පෙරයි. මේ නිවාසය අයත් වූයේ, ඇගේ මුත්තණුවන් වූ ස්කොට්ලන්තයේ ස්ට්‍රැත්මෝර්හි ආදිපාදවරයා හා එම දේවියටයි. ඒ කාලේ කුමරියගේ මාපියන්ට අතමිට සරු නොවූ නිසා මෙසේ මුත්තණුවන්ට අයත් තට්ටු නිවාසයට පදිංචියට ඒමට සිදු විය. එකල බ්‍රිතාන්‍ය කිරුළ දරා සිටි රජුගේ දෙවැනි පුතාගේ දියණිය වූ නිසා ඇයට රජකම හිමිවෙතැයි ලොව කිසිවකු සිතුවේ නැත.
ඒ නිසා දෙවන එලිසැබත් රැජින උපන් නිවස රැක ගන්නට අවශ්‍යතාවක් ඒ කාලයේ කිසිවකුටත් අවශ්‍ය නොවීය. දැන් ඒ උපන් තැන විවිධ මත පළවෙන්නට පටන් අරන් තිබේ. ඒ ස්ථානයේ දැන් හකාසන් නම් චීන අවන්හලක් ඇති බව එක මතයකි. එහි ලිපිනය වන්නේ බෲටන් වීථියේ අංක 17 යි. ඒ අංකයම ඇති කාර්යාල සංකීර්ණයක් එහි තිබේ. ඊට යාබදව, ආයතනික පරිශ්‍රයකට සම්බ්න්ධ ඉදිරිපස වීදුරුවලින් තැනුනු පිවිසුමක් ද, පිළිගැනීමේ ශාලාවක් ද ඇත. ඒවාට අයත් වන්නේ ද එම අංකයමයි.
අන්තර්ජාලයේ ඇති අනෙක් මතය වන්නේ දෙවන ලෝක සමයේ සිදු වූ ගුවන් ප්‍රහාර නිසා එය විනාස වූ බවයි. ඒ පිළිබඳ ව විකිපිඩියාවෙහි දැක්වෙන්නේ වූ ගුවන් ප්‍රහාරවලින් නිවාසයට හානි වූ අතර පසුව එය කඩා ඉවත් කර ඇති බවයි.
එහෙත් බ්‍රිතාන්‍ය පුස්තකාලයේත්, තවත් ලේඛනාගාරවලත් ඇති ලියකියවිලිවල දක්වා ඇත්තේ 18 වැනි සියවසේ ඉදිකරන ලද එම නිවෙස විනාශයට පත් වූයේ දෙවන ලෝක යුද්ධය ඇරඹීමට ද පෙර දී බව යි. ඒ අනුව දැන් පිළිගනු ලබන්නේ දේපළ සංවර්ධකයන් මේ නිවාසයේ විනාශයට වගකිවයුතු බවයි.
දෙවන ලෝකයට පෙර, එනම් 1937 දී, උස් තොප්පියකින් හා දිගු ලෝගුවකින් සැරසුණු මිනිසෙකු බෲටන් වීථියේ 17 වැනි නිවෙසත්, ඒ අසල බර්ක්ලි චතුරස්‍රය තෙක් විහිදුණු ගොඩනැගිලි බොහොමයක් කඩා බිඳ දැමීම පටන් ගෙන තිබුණි.
මුල දී එම බිම්කඩෙහි කැනේඩියානු පැසිෆික් දුම්රිය සමාගම සඳහා හෝටලයක් ඉදිකිරීමට සැලසුම්කර තිබුණ ද, පසුව එහි ඉදිකෙරුණේ විශාල කාර්යාලයක් සහ වෙළඳ සංකීර්ණයකි. එකල වාස්තුවිද්‍යාත්මක උරුමය පිළිබඳව සංවේදී බවක් පෙන්වූ යුගයක් නොවූ නිසා, 'ලන්ඩනයේ වඩාත් ඓතිහාසික වශයෙන් වටිනාකමක් ඇති නිවාස 20' යනුවෙන් එකල වාර්තාවකින් විස්තර කෙරුණු ඒ ස්ථානය, ගොඩනැගිලි විනාශ කරන්නන් විසින් නිර්දය ලෙස බිමට සමතලා කෙරිණි.
දියසායම් චිත්‍ර ශිල්පියෙකු වූ ශ්‍රීමත් මියර්හෙඩ් ඇඳි සිතුවමක, අලංකාර පැරණි ගොඩනැගිලි ඉදිරිපස කම්කරුවන් ඒවා කඩා බිඳ දමන අයුරු සිත් කාවදින ලෙස චිත්‍රණය කර තිබේ.
මේ කරුණු තවදුරටත් තහවුරු කෙරෙන ලේඛනයක් ලන්ඩන් මහනගර ලේඛනාගාරයේ ඇත. 1939 මැයි මාසයේ දී මිනින්දෝරුවෙකු තබන ලද එම සටහනෙන්, දක්වා ඇත්තේ 'බෲටන් වීථියේ අංක 17හි පිහිටි පැරණි නිවස කඩා ඉවත්කර, එය පැවැති භූමියෙන් කොටසක් 'බර්ක්ලි චතුරශ්‍ර නිවාස' ගොඩනැගිල්ල ඉදිකිරීමට ලබා දී ඇතැ"යි යන්න තහවුරු කරමින් ඒ ලිපිගොනුව වසා තිබේ.
වර්තමානයේ බර්ක්ලි චතුරශ්‍ර නිවාස ගොඩනැගිල්ල පිහිටි භූමිය පවත්වාගෙන යන ඇස්ට්‍රියා සමාගම කියන්නේ, දෙවන ලෝක යුද්ධයට ආසන්න කාලයේ දී ගුවන් අමාත්‍යංශය විසින් එම ස්ථානයේ පිහිටි නව ගොඩනැගිල්ලක් අත්පත්කර ගත් බවයි.
වෙස්ට්මිනිස්ටර් නගර සභාව විසින් තහවුරු කර ගෙන ඇති පරිදි චීන අවන්හලේ එක් කෙළවරක් මුල් නිවසටත්, වීදුරුවලින් නිමවා ඇති දොර සහිත අසල්වැසි ආයතනය නිවසේ අනික් කොටසටත් ඇතුළත් ව තිබෙන්නට ඇති බවයි. මෙහි බිත්තියක රැජින උපන් ස්ථානය සලකුණු කරමින් පිහිටවූ ඵලකයන් දෙකක් සවිකර තිබේ. මින් එක් ඵලකයක් වෙස්ට්මිනිස්ටර් නගර සභාවෙන් සවිකරන ලද්දකි.
රැජිනගේ මවගේ දෙමාපියන්ට අයත්ව. තිබූ බෲටන් වීථියේ අංක 17 ස්ථානයට සුප්‍රසිද්ධ වැදගත් පුද්ගලයන්ට සම්බන්ධ ඓතිහාසික ස්ථාන විශේෂයෙන් සලකුණු කරන අලංකාර නිල් ඵලකයක් ලබා දී නැත. එවැන්නක් තීරණය කරන ලබා දෙන 'ඉංග්‍රීසි උරුමය' පිළිබඳ ආයතනයේ මාධ්‍ය ප්‍රකාශිකාව කියන්නේ මුල් ගොඩනැගිල්ල මේ වන විට දක්නට නැති නිසා නිල් ඵලකයක් නොදුන් බවයි.
1926 දී අනාගත රැජින ඉපදුණු විට, ඇගේ රාජකීය මිත්තණිය සහ මුත්තණුවන් පළමු දිනයේ දීම ඇය දකින්නට පැමිණි ඇත. සිය මිණිපිරිය, "අලංකාර සමකින් ද, පැහැපත් කදිම කෙස් කළඹකින් ද යුත් පුංචි සුන්දරියක්යැ" යි මේරි රැජින සිය දිනපොතෙහි සටහන්කර ඇත.
එකල ස්වදේශ කටයුතු ලේකම් විලියම් ජොයින්සන්-හික්ස්ට හදිසියෙන්ම පැමිණෙන්නට සිදුවූ ස්ථානය ද එය යි. මන්ද, එවන් රාජකීය උපතක් සඳහා ස්වදේශ කටයුතු ලේකම්වරයා ද සහභාගී වීම එකල ක්‍රියා පිළිවෙළ විය.
රැජිනගේ මව වූ එලිසැබත් බෝව්ස් ලයන් 1923 වසරේ අප්‍රේල් මාසයේ යෙදුණු ඇගේ විවාහ මංගල දිනයේ දී, ඈ විවාහ ගිවිස සිටි 'ගොතගහන' ලැජ්ජාශීලී තරුණයා වූ එකල යෝක්හි ආදිපාදවරයා වෙත යෑමට පිටත්වූයේ මෙම නිවෙසේ සිටය. ඉන් හරියටම තෙවසරකට පමණ පසු, සිය පළමු දරුවාගේ උත්පත්තිය සඳහා යුවළ නැවතත් එම නිවසට පැමිණියහ.
හාර්ලි වීථියේ, භාෂණ චිකිත්සක ලයනල් ලෝග්ගේ පුද්ගලික චිකිත්සකාගාරය පිහිටා තිබුණේ ද මෙම නිවෙසේ සිට ඇවිද යන දුරකිනි. 1926 වසරේ සිට අනාගත රජුගේ ගොත ගැහීමට ප්‍රතිකාර කළේ ඔහුය.
එම වසරේ දීම රැජිනත්, ඇගේ දෙමාපියනුත් පිකැඩිලියේ පිහිටි වඩාත් විශාල නිවෙසක පදිංචියට ගියහ. "පළමු තට්ටුවේ පිහිටි, පුංචි කුමරිය ඉපදුණු කාමරය, සියලු කාමර අතරින් අවම අලංකාරයෙන් යුත් කාමරයක් වුනත් හිරු එළියෙන් පිරී ඉතිරී ගිය තැනක්," යැයි එකල ලියැවුණු පුවත්පත් වර්තාවක සඳහන් විය.
එය අද එවන් ඓතිහාසික ස්ථානයක් සඳහා නොගැළපෙන තරමට අප්‍රසිද්ධව පවතියි. අනාගත රජෙකුට සහ රාජිණියන් දෙදෙනෙකුට පවුලේ නිවහන වූ මෙවැනි පුද්ගලික නිවෙස් ලන්ඩනයේ ඇත්නම් ඒ ඉතාමත් අල්පයකි.
මෙය තවමත් රාජකීය දේපළක කොටසක් වන නමුත් මේ වන විට එය අයත් වන්නේ අබුඩාබි රාජකීය පවුලටය. ලන්ඩනයේ මෙම කොටසේ දේපොළ සම්බන්ධ ලේඛනයක දැක්වෙන්නේ එය පවුම් බිලියන 5ක් පමණ වටිනා බවය.
එලිසැබත් කුමරිය රැජන කළ දෛවෝපගත සිදුවීම
පුංචි එලිසැබත් කුමරිය විසූ නිවසෙන් යන්නට ඇගේ දෛවය ඉඩ සැලසුවේ 1931 දී සිදුවූ අදෘශ්‍යමාන සිදුවීමක් නිසාය. 1931 දී එඩ්වඩ් කුමාරයාට දෙවරක් දික්කසාද වූ වොලීස් සිප්ම්සන් නම් ඇමරිකානු කාන්තාව මුණ ගැසී රහසේ මිතුරුකමක් පටන් ගැනීම ඒ සිදුවීමය. ඒ වන විට ඇය අර්නස්ට් සිම්ප්සන් නම් ඇමරිකානුවකු හා දෙවන වරට විවාහව සිටියාය.
එඩ්වඩ් කුමරු බලා සිටියේ එංගලන්තයේ ඊළඟ රජු වීමටය. ඒ නිසා ඔටුන්න හිමි කුමරුගේ හා සිම්ප්සන් නෝනා අතර සම්බන්ධය ගැන රජ වාසල තුළ කසුකුසු ඇති විය. ඒ 1934 දීය. පියා වූ පස් වැනි ජෝර්ජ් රජතුමා ඒ සම්බන්ධය ගැන තදින් උදහස්ව සිටියේය. ඒත් ඒ අවස්ථාවේ එඩ්වඩ් කුමරු එය ප්‍රතික්ෂේප කළ නිසා සිද්ධිය යටපත් විය.
ඒ අතර 1936 ජනවාරි 20 වැනිදා පස් වැනි ජෝර්ජ් රජු මිය යාමත් සමඟ එඩ්වඩ් කුමාරයා අට වැනි එඩ්වඩ් රජු ලෙස පත් කෙරිණි. ඔහුගේ ඔටුනු පැලඳවීමේ මෞලිමංගල්‍යය නියමිතව තිබුණේ වසරකට පසුවය. ඒ වන විට ඔහු 42 හැවිරිදි විය. ඔහුගේ රහසේ පැවති ආදරයට පණ ආවේ ඉන්පසුවය. ඒ අනුව ඔහු ඒ අදහස බ්‍රිතාන්‍ය අගමතිවරයාට කීවේය. රාජ්‍යත්වය පිළිබඳ අර්බූදය ආරම්භ වූයේ ඉන් පසුවය. ඒ අදහස නිසා එංගලන්තයේ ක්‍රිස්තියානි සභාවත් බ්‍රිතාන්‍යයේ හා පොදුරාජ්‍ය මණ්ඩයට අයත් රටවල් ගිනි ගත්තේය. එයින් කිරුළට අපකීර්තියක්, අගෞරවයක් අත්වන්නේ යැයි ඒ හැම දෙනාගේ ම මතය විය.
ඒ අතර සිම්ප්සන් නෝනා තමා ළඟදීම බ්‍රිතාන්‍ය රැජින වන්නේ යැයි ඇමරිකන් පුවත්පතකට කියා තිබුණි. එයින් ඒ වන විට ඇය සිය දෙවැනි සැමියාගෙන් දික්කසාද වීමට උසාවියේ නඩුවක් පවරා තිබුණි. ඒ අනුව සිම්ප්සන් නෝනාට 1936 දී දෙවන විවාහයෙන් ද දික්කසාද වීමට උසාවියෙන් අවසර ලැබිණ
එංගලන්තයේ ක්‍රිස්තියානි සභාවට අනුව දික්කසාද වූ කාන්තාවකට ඒ සැමියා ජීවතුන් අතර සිටී නම් නැවත විවාහයකට යාම පාප කර්මයකි. ඒ අනුව සිම්සන් නෝනාගේ විවාහයේ සැමියන් දෙදෙනා ම ජීවතුන් අතර සිටියහ. මේ නිසා බ්‍රිතාන්‍ය ජනමතය පමණක් නොව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව වැනි ඉංග්‍රීසි කොඩිය යටතේ ඇති පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන රටවල් ඔටුනු පලඳින්නට පෙර ඇති මේ අර්බූදය නිසා එඩ්වඩ් රජුගේ අදහස අනුමත කළේ නැත.
අන්තිමේ දී එඩ්වඩ් රජු හිත හදා ගත්තේය. සිම්සන් නෝනාට ඇති ආදරය නිසා රජකමට ඇති ආදරය අත්හරින්නට තීරණය කළේය. ඒ අනුව 1936 දෙසැම්බර් 11 වැනිදා සිහසුනෙන් බැස්සේය. එලිසැබත් කුමරියට සහ ඇගේ දෙමාපියන්ට බකිංහැම් මාලිගයේ ස්ථිර පදිංචියට යාමට සිදු වූයේ මේ අනපේක්ෂිත සිදුවීම නිසාය. 1936 වසරේ දී සිහසුන අත්හැරීමෙන් ඇතිවූ අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස, සොහොයුරු වූ එලිසැබත් කුමරියගේ පියා හයවැනි ජෝර්ජ් රජු ලෙස සිහසුනට පත් විය. හයවැනි ජෝර්ජ් රජතුමා ඒ පදවියට පත් වූ වහාම පළමු රාජකාරිය වශයෙන් කළේ හිටපු රජු වින්ඩ්සර් ආදිපාදවරයා ලෙස නම් කිරීමයි.
එලිසැබත් කුමරියගේ දෛවය එතැනින් නතර වූයේ නැත. ඇගේ පියා රජකමට පත් වූයේ 1936 දීය. යම්හෙයකින් අට වැනි එඩ්වඩ් රජු සිම්සන් නෝනා අත්හැර සිහසුන අත් නොහැර බාර ගත්තේ නම් ඔහුගේ අභාවයෙන් පසු 1972 දී රජකම හිමි වීමට උරුමය තිබුණේ ද එලිසැබත් කුමරියටමය. ඇගේ පියා වූ හය වැනි ජෝර්ජ් රජතුමා පිළිකා රෝගයකින් හදිසියේ 1952 පෙබරවාරි 6 වැනිදා දිවංගත වූයෙන් ඇයට අවුරුදු 26 දී ම රජකමට පත් වීමට අවස්ථාව උදා විය. ඒ නිසා අද ඇය ලෝකයේ වැඩි ම කාලයක් කිරුළ දැරූ රාජකීයයා විය. එපමණක් නොව යුද හමුදා නිත්‍ය සේවයේ සාමාජිකාවක් ලෙස කටයුතු කළ එකම රාජකීයයාද ඇය වන්නීය.
රාජකීය නිවසක නැතිව සාමාන්‍ය තට්ටු නිවාසයක ඉපිද, අනුප්‍රාප්තික රාජාවලියට නිතරඟයෙන් ම පත් වී, වයස සම්පූර්ණ වන මොහොතේ සිහසුනට පත් වී, තවමත් කිරුළ දරමින් ප්ලැටිනම් ජුබිලියක් සමරන පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා ද වන දෙවන එලිසබත් රැජින ලොව දීර්ඝ කාලයක් රාජ්‍යත්වයේ රැඳී සිටින රාජ්‍ය නායිකාවයි. එතුමිය තවමත් රජකම අත්හැර නැති නිසා ඇගේ මේ ලෝක වාර්තාව තවමත් අවසාන නැහැ.
- පර්සි ජයමාන්න
0 Comments