මේ බැක්පැක් එක තුළ මාර්ග සංඥා, මගීන් පාර හරහා යන තැන්, වංගු හා බාධක ආදිය ඇතුළු මගතොට දී පොදුවේ මුහුණ පාන්නට වන විවිධ බාධක හඳුනා ගැනීමටත් හැකි උපකරණ කට්ටලයක් තැන්පත් කර තියෙනවා. ඒකට සම්බන්ධ කළ කැමරාවක්, බැක්පැක් එක එල්ලා ගෙන යන්නාගේ ඇඳුමේ ඉදිරි සාක්කුවක දමා ගෙන යා හැකියි.
මෙය භාවිත කරන්නන්ට බ්ලූ ටූත් තාක්ෂණයෙන් ශ්‍රවණාධාරයක් හරහා අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම් සියල්ල ඉටු කරනවා. ඒවා ක්‍රියාත්මක කිරීමට බලය සැපයෙන්නේ එක දිගට පැය අටක් පාවිච්චි කළ හැකි බැටරියකින්.
මෙහි පරිගණක සැකැසුම කර ඇත්තේ ඉන්ටෙල් (Intel) මගින්. මෙය මේ වර්ගයේ අධිතාක්ෂණික දෘශ්‍ය සහයක මෙවලම්වලට වඩා සුපිරි එකක්. දැනට පවත්නා ඒවායේ ස්වාධීනව මග සොයා ගෙන යාමට අවශ්‍ය ගැඹුර දැන ගැනීමේ හැකියාව නැහැ.
ජගදීශ් මහේන්ද්‍රන් තමයි මේ සඳහා මුල් වූ නිමැවුම්කරුවා. ඔහු ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ කෘත්‍රිම බුද්ධි පර්යේෂණ අංශයේ කෘත්‍රිම බුද්ධි නිමැවුම්තරුවෙක්. ඔහු මේ වගේ අපූරු නිර්මාණයක් කරන්න පෙලඹුණේ දෘෂ්‍ය ආබාධයකින් පෙළුණු මිතුරියකට උදව්වක් කරන්න හිතාගෙනයි.
‘මගේ හිත ඇදිලා ගියා මගේ මිතුරියකගේ අවාසනාව ගැන. මම මෙහේ රොබොට්ටන්ට පෙනී ලබා දෙන්න වෙහෙසෙනවා, ඇයි මගේ මිතුරිය වගේ ඇස් පේන්නැති අයට උදව් කරන්න මොකුත් කරන්නෙ නැත්තේ කියලා මට හිතුනා. ඒක මගේ හිතට වධයක් වුණා.’ ඔහු කියනවා.
ඔහු ඕපන්සෝස් සීවී (OpenCV) වැඩසටහනෙහි කෘත්‍රිම බුද්ධි කට්ටලය යොදා ගෙන ක්‍රමලේඛයක් සකස් කළා කුඩා මල්ලක දමාගෙන යා හැකි, ජංගම පරිගණකයකට සරිලන විදියට. එය යා කළා ජැකට් සාක්කුවේ දමාගෙන ගිය හැකි කෘත්‍රිම බුද්ධි නිර්මාණ සඳහා භාවිත කරන විශේෂ කැමරාවකට. Luxonis OAK-D spatial AI cameras නම් ඒ කැමරා කට්ටලයට ඉදිරියේ ඇති බාධක හා ගැඹුර හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා.
මහේන්ද්‍රන් හා ඔහුගේ කණ්ඩායම කෘත්‍රිම බුද්ධිකාරක යන්ත්‍රවල ඉදිරියේ ඇති විවිධ බාධක හඳුනාගෙන ඉදිරියට යන ආකාරය පුහුණු කරවනවා. එහි දී පදික වේදිකා, තණ පිටි, සමතලා නැති බිම්, යාන වාහන, කාර්, බයිසිකල් හා මාර්ග සලකුණු පමණක් නොව පහතට එල්ලෙන අතු ආදිය හඳුනා ගෙන නිවැරදිව මඟ සොයා යන හැටි කියා දෙනවා.
මග සොයා යන්නාට අවශ්‍ය තොරතුරු හා දැනුම බ්ලූ ටූත් එකක් මගින් ශ්‍රවනාධාරයකින් හෙවත් කන්යොමුවකින් ඇසෙන්න සලස්වනවා. වෙනත් උපදෙස් මයික්‍රෝෆෝනයකින් දෙනවා.
‘මේ උපකරණ සියල්ල ඇතුළත් කට්ටලය විශාල එකක් විය නොහැකියි. ඒ නිසා එය කුඩා කිරීම ගැන විශේෂ අවධානයක් යොමු කළා.’ යැයි මහේන්ද්‍රන් කියනවා.
මහේන්ද්‍රන්ගේ මේ නව නිපැයුමට 2020 ඉන්ටෙල් මෙහෙයවූ පරිගණක නිමැවුම් තරඟයෙන් (OpenCV Spatial AI competition) ප්‍රථම ස්ථානය හිමි වුණා.
‘ඇත්තෙන්ම අදහන්නත් බැරි තරම් දෙයක්, මේ ඉන්ටෙල් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගෙන තමන්ගේ යාළුවෙකුගේ ජීවිතය පහසු කරවන්න විසඳුමක් දෙන්න මේ තරම් ඉක්මනින් මේ වගේ දෙයක් නිර්මාණය කිරීම’ ඉන්ටෙල් AI4Good program වැඩසටහනේ අධ්‍යක්ෂ හේමා චාම්රාජ් පවසනවා.
‘දැන් තාක්ෂණය තියෙනවා, ඒවායින් වැඩ ගත හැකි මේ වගේ නිර්මාණශීලීන් තමයි අවශ්‍ය වන්නේ’ චාම්රාජ් වැඩිදුරටත් කියනවා.
පහත වීඩියෝවෙන් ක්‍රියාකරන හැටි නරඹන්න!
මේ උපකරණය තවම හැමෝට ම භාවිතයට ගන්න නිෂ්පාදනයක් බවට පත්වෙලා වෙළඳපොළට ඇවිත් නැහැ. ඒත් මෙයින් එකක් සති කීපයකට උඩ දී මහේන්ද්‍රන් විසින් ඔහුගේ මිතුරිය වෙත යැව්වා. ඇය මෙය භාවිත කොට දක්වන ප්‍රතිචාර අනුව තව අවශ්‍ය වැඩි දියුණු කිරීම් කරන්නත් ඔහු බලාපොරොත්තු වෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට ලෝකයේ අන්ධභාවයෙන් පෙළෙන අය මිලියන 285ක් එනම් 28 කෝටි පනස් ලක්ෂයක් ඉන්නවා. ඔවුන්ට උදවු කළ හැකි මෙවලම් හා උපකරණ තනන්න ලොව පුරා ආයතන ගණනාවක් දැන් පර්යේෂණ කරනවා.
ගූගල් ආයතනයත් Project Guideline නම් නව ඇප් එකක් දැන් අත්හදා බලමින් ඉන්නවා. මග පෙන්වන සුනඛයකු හෝ මිනිස් මග පෙන්වන්නකු හෝ නැතිව අන්ධ අයකුට මඟ සොයා ගෙන යා හැකි විදියේ එකක්. ස්මාර්ට් ෆෝනයේ කැමරාව උපයෝගී කර ගෙන විශේෂ කන්යොමුවක් මගින් උපදෙස් දීමක් තමයි එහිදී සිදු වන්නේ.
- පර්සි ජයමාන්න
0 Comments