HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

කූඩුවේ කුරුල්ලාට අසන්ට ලැබුණු අසුබ ආරංචිය!

එක්තරා වෙළෙන්දෙක් කුරුල්ලෙකු කූඩුවක දමා ගෙන ඇති කළා. වෙ‍ෙළන්දාට වෙළඳ කටයුත්තකට ඉන්දියාවට යාමට සිදු වුණා. ඒ කුරුල්ලා ඔහු ගෙනාවේ ඉන්දියාවෙන්. ඒ නිසා ඔහු කුරුල්ලාට කීවා තමන් ඉන්දියාවට යන බව.

කුරුල්ලා ඉල්ලා සිටියා යන්න කලින් තමන්ව නිදහස් කරන්නැයි කියා. ඒත් ඒකට වෙළෙන්දා කැමති වුනේ නැහැ. ඒ නිසා කුරුල්ලා ඉල්ලා හිටියා, වෙළෙන්දාගෙන් ඉන්දියාවේ එක්තරා කැලයකට ගිහින් එහි නිදහසේ උන් තමන්ගේ වරිගයාට කියන්න තමා අල්ලා‍ ගෙන කූඩුවක දමා ගෙන ඉන්නා බව. 

වෙළෙන්දා කුරුල්ලා කී ලෙස ම කළා. ඔහු එසේ කියනවාත් සමග ම ඔහු කූඩුවේ දමා ගෙන සිටි කුරුල්ලා වගේ ම කුරුල්ලකු සිහිසුන්ව ඒ ගසෙන් බිමට ඇද වැටුණා. 

වෙළෙන්දා හිතුවා ඒ කූඩුවේ දමා ගෙන සිටි කුරුල්ලාගේ නෑයකු වෙන්න ඇති කියා. ඒ කුරුල්ලා ශෝකය නිසා ම මැරී වැටෙන්නට ඇතැයි වෙළෙන්දා සිතුවා. ඔහුටත් දුක හිතුනා. 

වෙළෙන්දා ආපසු ගෙදර ගිය ගමන් කූඩුවේ උන් කුරුල්ලා සොයා ගියා. ‘ඔබ මට සුබ ආරංචියක් ගෙනාවාද?’ කුරුල්ලා වෙළ‍ෙන්දාගෙන් ඇහුවා. 

‘නැහැ.’වෙළෙන්දා කීවා. ‘මට කියන්න තියෙන්නේ දුක හිතෙන අසුබ ආරංදියක්’ යයි කී ඔහු, ‘මං ගිහින් ඔයා කියන්න කියපු විදියට කීවා ම ඔයා වගේ ම කුරුල්ලෙක් එක පාරට ම ගහ උඩ ඉඳලා සිහි නැතිව බිමට ඇද ගෙන වැටුණා. මැරිලා වෙන්න ඇති මං හිතන්නෙ.’නෙළෙන්දා දුක්බරව කිව්වා. 

ඒක අහපු ගමන් ම කූඩුවෙ කුරුල්ලාත් එක පාරටම ඇද ගෙන වැටුණා, කූඩුවෙ පතුලටම. වෙළෙන්දා හිතුවා කැලේ ඥාතියාට වූ දේ අහලා මේ කුරුල්ලත් දුක දරා ගන්න බැරුව මැරිලා වැටුණා කියලා හිතලා දුකට පත් වෙළෙන්දා මැරුණු කුරුල්ලා කූඩුවෙන් එළියට අරන් ජනෙල් පඩිය උඩ තිබ්බා. 

කුරුල්ලා එක්වරම පියාඹලා ගිහින් අසල ගහක වැහුවා. වහලා මෙහෙම කිව්වා. ‘දැන් දැන ගන්න! ඔබ අසුබ ආරංචියක් කියලා කිව්වට ඒක මට සුබ ආරංචියක්. ඒක තමයි මේකෙන් නිදහස්‍ වෙන්න මං යොදන්න ඕනෑ උපාය මොකක්ද කියලා, මා අල්ලා ගෙන උන්නු කෙනා අතේ ම මට කැලෙන් එවපු පණිවිඩය’ කියලා ඒ කුරුල්ලත් නිදහසේ ඉගිලිලා යන්න ගියා. 

(මේක ජලාල්දීන් රූමි කියන සූෆි පූජකවරයාගේ උපමා කතාවක්. නස්රුදින් මුල්ලා කියන්නෙත් සූෆි වරයෙක්. වක්‍රව ඉගෙනුම ලබන හැටි සූෆි දහම අනුව අපට මේ කතාවෙන් කියා දෙනවා.)

- පර්සි ජයමාන්න

අදහසක් පළ කරන්න

0 Comments