ඒ නිසා එහි කෙටි චලන ඡායාරූප මාලාවක් (telephoto timelapse) ගන්න හිතාගෙන ජගත් කැමරා ශිල්පියකු වූ ඩැනියෙල් ලෝපේස් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ ඔහුගේ කැමරාවත් අරන් එළිමහනට ගියා.
ඔහුගේ කැනන් වර්ගයේ කැමරාව තාරකා ඡායාරූපකරණය සඳහා විශේෂිත වූ එකක්. ඔහුගේ අරමුණ වුණේ ධූමකේතුවේ වඩාත් සවිස්තරාත්මක ඡායාරූප පෙළක් සැකසීමයි. ඒ සඳහා ඔහු සැලසුම් කර තිබුණේ, කැමරාව තත්පර 30ක් බැගින් නිරාවරණය කළ ඡායාරූප මාලාවක් ගැනීමටයි.
ඒත් ඔහු අපේක්ෂා නොකළ දෙයක් සිදුවුණා. ඔහුට චන්ද්‍රිකා ප්‍රහාරයකට මුහුණ දෙන්න සිදු වුණා. ඔහුගේ කැමරාවට හසුවුණු වල්ගාතරුවේ රූප රාමු සියල්ලට ම චන්ද්‍රිකා කඩා වැදුණා. ඔහු ඒවා මග හරින්නට උත්සාහ කළත් ඒක හරි ගියේ නැහැ. ස්පේස් එක්ස් ආයතනය විසින් උඩුගුවනට යවන ලද ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා දහස් ගණනක් විවිධ කාර්යයන් කරමින් උඩුගුවනේ සරනවා. ඒ චන්ද්‍රිකා තමයි, ලෝපස්ගේ තාරකා ඡායාරූප මාලාව විනාශ කළේ.
ඒ සමහර චන්ද්‍රිකා වල්ගා තරුව වැහෙන විධියටත් ගියා. වල්ගා තරුව යන්නේ සූර්යයා වටා ඉතා ඉහළ කක්ෂකයයි. පසුගිය සතියේ තමයි, එය පෘථිවියට හුඟක් ම ළඟින් ගියේ. ඩැනියෙල් ලෝපස්ට තමන්ගෙ හිතේ හැටියට ඒ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න බැරි වුණා. පෘථිවිය වටා කක්ෂවල පහළින් යන කෘත්‍රිම චන්ද්‍රිකා වල්ගාතරුව වසා ගෙනත් ගියා.

ස්පේස් එක්ස් ආයතනය තම චන්ද්‍රිකා නිසා රාත්‍රි අහසට හානි කර තත්වයක් ඇති විය හැකි බව දැන සිටියා. ඔවුන් මේ වසරේ මුලදී ම ඒ චන්ද්‍රිකාවල දීප්තිය අඩු කරන සැලැස්මක් ගැන හෙළි කළේ ඒ නිසයි. චන්ද්‍රිකාවල සූර්යය පැනලවල ආනතිය වෙනස් කිරීමෙන් හා අනාගතයේ යවන චන්ද්‍රිකාවලට අව් ආවරණ යෙදීමෙන්, කෘත්‍රිම චන්ද්‍රිකාවලින් සිදුවන, රාත්‍රි අහසේ ‘ආලෝක දූෂණය’ වැළැක්වීමට ඔවුන් බලාපොරොත්තු වන කියා තිබෙනවා.
රාත්‍රි අහසේ සිදුවන මේ ‘ආලෝක දූෂණය’ නිසා පොළොවේ සිට රාත්‍රි අහස නිරීක්ෂණය කරන අයට ලොකු අසාධාරණයක් සිදු වෙනවා. රාත්‍රි අහස පොළොවේ සිට නිරීක්ෂණය අනාදිමත් කාලයක් තිස්සේ මිනිසාට ඇති අයිතියක්. ඊට බාධා ඇති නොවීම සඳහා අභ්‍යවකාශයට යැවෙන දේ ගැන යම් යම් නීති පැනවීමක් අවශ්‍ය වෙනවා. අභ්‍යවකාශයේ ගොඩ ගැසෙන යානාවල සුන්බුන් ඇතුළු පෘථිවියෙන් යැවෙන දේ නිසා රැස්වෙන අභ්‍යවකාශ කසළවලට යොදන පිළියමක් ගැන පසුගිය ජූනි 28 වැනිදා ‘මල් කැකුළු’වලින් කීවා ඔබට මතක ඇති.
- පර්සි ජයමාන්න
0 Comments