හිම තට්ටු යට සැඟවී වෙසෙන ධ‍්‍රැව වලසුන්ගේ පටන් කිඹුල් පැටවුන්ගෙන් ඔටුන්නක් තනා කැමරාවට මුහුණ දුන් කිඹුල් අම්මා කෙනකු දක්වා ලොව පුරා රටවල් 96ක වන දිවිය දැක්වෙන ඡායාරූප 43,000ක් මෙම අන්තර්ජාතික වනජීවී ඡායාරූප තරගයට ඇතුළත් වුණා.
2013 වසරේ ඡායාරූප 43,000ක් අතරින් ‘2013 වසරේ හොඳම ඡායාරූපය’ ලෙස තෝරා ගනු ලැබුවේ දකුණු අපි‍්‍රකානු කැමරාශිල්පියකු වූ ග්‍රෙග් ඩූ ටොයිට් (Greg du Toit)ගේ සුවිශේෂ ඡායාරූපයක්. එම උළෙලේ කිරුළ ඔහුට හිමිකර දුන් ඡායාරූපය බොට්ස්වානා රාජ්‍යයේ උතුරුදිග තුලි වන රක්ෂිතයේ දී ගන්නා ලද්දක්. අලි ඇතුන්ගේ හැසීරීම් රටා දක්වන මේ ඡායාරූපය බිම් මට්ටමේ ආවරණිත කුටියක් තුළ සැඟවී සිට අඩු ශටර වේගයකින් ගත් එකක්. එහි දිය කඩිත්තක අලි ඇතුන්ගේ ඡායාරූප ගනිමින් සිටියදී හදිසියේම කුඩා ඇත් පැටියකු ඔහුගේ කැමරාව ආසන්නයෙන් ම දිව ගියා. ඔහු වහා කි‍්‍රයාත්මක වුණා. ඒ ඡායාරූපය තමයි, ඔහුට ජය ගෙන දුන්නේ.

මෙවර වනජීවී ඡායාරූප විනිශ්චය කළ කණ්ඩායමේ නායක ජිම් බ‍්‍රැන්ඩන්බර්ග් කීවේ, ”ග්‍රෙග්ගේ අලි ඇතුන් දැක්වෙන සේයා රුව කෙනකුට ජීවිතකාලයට ම ගන්නට ලැබෙන දුර්ලභ ගණයේ අවස්ථාවක්. එය කලාත්මක හා තාක්ෂණික අතින් අති උසස් නිර්මාණයක්” කියායි.
ග්‍රෙග් ඉතා කුඩා කාලයේ සිට අලි ඇතුන්ගේ ඡායාරූප ගන්නට පුරුදුව සිටි අයෙක්. ඔහුගේ කැමරාව අලින්ගෙන් පිට වෙනත් කිසිම දෙයකට හැරවුණේ නැහැ. අද ඔහුගේ උත්සාහය ඵල දරා තියෙනවා.
ඇත්තෙන්ම මේ වගේ පින්තූරයක් ගන්න සුවිශේෂ දක්ෂතාවක් තියෙන්න ඕනෑ. ඒ වගේ ම තමා අසලින් දඟකාර ඇත් පැටියෙක් දිව යන්න තරම් වාසනාවක් තියෙන්නත් ඕනෑ. ඒ දෙක ම ග්‍රෙග්ට ලැබුණු නිසයි අපට වාසනාව ලැබුණේ ඒ අවස්ථාව මේ විදියට දැක ගන්න.
2013 වසරේ යොවුන් වනජීවී ඡායාරූප ශිල්පියා ලෙස සම්මාන ලැබුවේ 14 හැවිරිදි දරුවෙක්. ඔහු ඉදිරිපත් කළ ඡායාරූපය ගාරියල් කිඹුල් මවක හා ඇගේ පැටවුන් සමග ගෙඟ් පිහිනන අයුරු දැක්වෙන එකක්. පැටවුන් හිස මත ඔටුන්නක් සේ තබා ගෙන ඉන්නා ඒ කිඹුල් මව කාගේත් සිත් ඇද ගන්නවා නිසැකයි.
පාන්දර එළිවෙන්න ඉස්සරින් ඔහු කැමරා ආම්පන්නත් අරන් බඩ ගා ගෙන, ඒ පැටවු හිටිය ගල් අතරට ගිහින් ඔවුන්ට නොදැනෙන්න හැංගිලා හිටියා. ”මට ඔවුන් එක එක පුංචි සද්ද කරන හඬ හොඳට ඇහුණා.” ඔහු ඒ අත්දැකීම විස්තර කළා. ”වැඩිවේලාවක් ගියේ නෑ. එළිය වැටෙන කොටම මා දුටුවා ලොකු කිඹුලියකගේ හිසක් වතුරෙන් මතු වෙනවා. එක පාරටම මට පේන හරියෙ හිටපු පුංචි පැටවුන්ගෙන් කීප දෙනෙක් පිහිනා ගෙන ඒ දෙසට ගියා. ගිහින් කෙළින් ම ඇගේ හිස මතට නැග්ගා. ඒ පුංචි ඈයො හිතන්න ඇති ඔවුන්ට වඩාත් ආරක්ෂාව ඇති තැන එතැනයි කියලා.” ඔහු කියනවා.
බලපුවාම ඒ කිඹුලියන්ගෙ නායිකාවයි. ඇය තමයි පැටවුන් ඔක්කොම බලා ගත්තෙ. මේ ගාරියල් කිඹුලන් ඉස්සර ඉන්දියාවෙ හැම ගංගාවක ම විසිර හිටියා. ඒත් අද ඒ ගණන 200කට අඩු වෙලා.
”දැන් මේ ගාරියල් කිඹුලන් දැක ගන්න ඇති හොඳම තැන මේ චම්බාල් ගංගාවයි. ඒත් අනවසර වැලි ගොඩ දැමීම් හා තහනම් මසුන් මැරීමේ ක‍්‍රම නිසාත් ඔවුන්ට මරණීය තර්ජන එල්ල වෙලා.” ඔහු වැඩි දුරටත් කියනවා.

2013 වසරේ ඡායාරූප 43,000ක් අතරින් ‘2013 වසරේ හොඳම ඡායාරූපය’ ලෙස තෝරා ගනු ලැබුවේ මෙයයි. ලෝකයේ රටවල් 96කින් ඉදිරිපත් කළ විවිධ ඡායාරූප අතරින් දකුණු අපි‍්‍රකානු කැමරාශිල්පියකු වූ ග්‍රෙග් ඩූ ටොයිට් (Greg du Toit)ට කිරුළ හිමිකර දුන් මේ ඡායාරූපය බොට්ස්වානා රාජ්‍යයේ උතුරුදිග තුලි වන රක්ෂිතයේ දී ගන්නා ලද්දකි. අලි ඇතුන්ගේ හැසීරීම් රටා දක්වන මේ ඡායාරූපය බිම් මට්ටමේ ආවරණිත කුටියක් තුළ සැඟවී සිට අඩු ශටර වේගයකින් ගන්නා ලද්දකි. එහි දිය කඩිත්තක අලි ඇතුන්ගේ ඡායාරූප ගනිමින් සිටියදී හදිසියේම කුඩා ඇත් පැටියකු ඔහුගේ කැමරාව ආසන්නයෙන් ම දිව ගියා. ඔහු වහා කි‍්‍රයාත්මක වුණා. ඒ ඡායාරූපය තමයි, මේ.
අවසාන වටයට ආ අනෙක් පින්තූර අතර ආදර සටනට පෙර ජගුවර ජෝඩුවක් කරන සටනක්, ජපානයේ හිම ගසා දමන මැකේ වඳුරෙක් ඔබට දැක ගන්න පුළුවන්.
ඒ වගේ ම මෙහි තියෙනවා දිය යට දී හමු වූ කැස්බෑවෙක්. මකුළු දැලක පැටළුණු මුහුදු ලිහිණියෙක් හා දිවි පරදුවට තියා ගිනිකන්දක් ළඟට ගිය කැමරා ශිල්පියකුගේ හපන්කම් ඔබට දැක ගන්න පුළුවන්.
මෙවර ජයග‍්‍රාහකයන් ප‍්‍රකාශයට පත් කරනු ලැබුවේ මේ ඡායාරූප දැක්ම ඔක්තෝබර් 18 වැනි දා ලන්ඩනයේ ජාතික ඓතිහාසික කෞතුකාගාර ශාලාවේ දී ආරම්භ වූ අවස්ථාවේදීය.
මේ මංගල දැක්මෙන් පසු මේ ඡායාරූප ප‍්‍රදර්ශනය ලොව පුරා ගෙන යන්නයි මේ සංවිධායකයන් බලාපොරොත්තුව සිටින්නේ.

අම්මලාට දරුවන් රත්තරන් වගේ වටිනවා. මේ කිඹුල් අම්මටත් එහෙමයි. ඉන්දියාවේ සිට 14 හැවිරිදි උදයන් රාවෝ පවර් ඉදිරිපත් කළ මේ ඡායාරූපයේ ඉන්නේ ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ්හී චම්බාල් ගෙඟ් ඉවුර අසල දී හමුවූ ගාරියල් කිඹුල් වර්ගයට අයත් දරුපවුලකි. මෙහි ඡායාරූප ශිල්පියාට 2013 වසරේ හොඳම යොවුන් වනජීවී ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය හිමි විය.

මේ හිම වැටෙන මොහොතක් ඡායාරූපයට නැඟුවේ ජපානයේ ජැස්පර් ඩෙයිස්ට්. ජිගෝකුඩානි උණු දිය උල්පත්වලදී ගන්නා ලද්දක්. එහි ජලයේ උණුසුම විඳින මැකේ වඳුරන්ගේ පින්තූර ගන්නට එහි ගිය ඔහුට සීත සුළං හා හිමපතනය ලොකු බාධාවක් වුණා. ඒත් ඔහු අධෛර්මත් වුණේ නැහැ. ඉවසීමෙන් බලා හිටියා අවස්ථාව එනතුරු. හිම වැස්සක් වැටුණා. තමන්ගේ ඇඟට වැටුණු හිම ගසා දාල බලන කොට ලොකු මැකේ වඳුරෙකුත් උගේ ඇඟට වැටුණු හිම ගසා දාල එහි වූ උස් ගලක් මතට පැන්නා. ඔහු වහා කි‍්‍රයාත්මක වුණා. හිම පියළි විසිරුණු පසුබිමක මේ චිත්තාකර්ෂණීය ඡායාරූපය එහි ප‍්‍රතිඵලයයි.

ධ‍්‍රැව වලසුන්ගේ ඡායාරූප දකින හැම වෙලාවක ම ඒවා තුළින් පෙනෙන්නේ වලසාගේ හැසිරීමට වඩා ඒ ඡායාරූප ගන්න ශිල්පීන් වෙහෙසුණු ආකාරයයි. ඡායාරූප ශිල්පී සෝඩර්ස්ට මේ වැලහින්නිය හමු වුණේ කැනඩාවේ හඞ්සන් බොක්කේ දී සැතැපුම් 30ක් පමණ වෙරළින් එපිට මුහුදේදියි. ”මං ඇයට හෙමිහිට කිට්ටුවෙලා බෝට්ටුව නවත්තලා පාවෙන්න ඇරියා. ඇය හුස්ම ගන්නා හඬ පවා මට ඇසුණා. දකුණේ ලැව් ගිනිවලින් ඇති වුණු දුමාරය තුළින් මට පෙනුණා, මහ රෑ උත්තර ධ‍්‍රැවයට හිරු පායා තිබුණු හැටි.” ඔහු සිය අත්දැකීම විස්තර කරනවා.

මේ තමයි, වනජීවී ඡායාරූප දැක්මට ඉදිරිපත් වූ ඡායාරූප අතරින් සතුන් ඇතුළත් නොවූ එකම ඡායාරූපය. ඡායාරූප ශිල්පී සර්ජි ගෝෂ්කෝට 2012 නොවැම්බර් 29 වැනිදා ආරංචියක් ආවා, රුසියාවේ ටොල්බැක්නික් යමහල් සානුවේ පිහිටි ගිනිකඳු දෙකෙන් එකක් වූ ප්ලොස්කි ටොල්බැක්නික් විදාරණය වෙන්න ආසන්නයි, කියා. ඔහු හෙලිකොප්ටරයකින් එහි ගියා. හෙලිකොප්ටරයේ ඇරුණු දොරට පටි දාලා සිරුර බැඳගෙන යමහලෙන් විදින ගිනි රස්නය විඳිමින් තමයි, මේ ඡායාරූපය ඔහු ගත්තේ.


මේ ප‍්‍රදර්ශනයට බ‍්‍රසීලයෙන් එක් වූ දුර්ලභ ඡායාරූපයක්. මේ ජගුවරයා ළං වෙන කොට ජගුවරිය එක් වරම පහර දෙන්නට අර අඳිනවා. ඔහු ඇගේ නිය පහරෙන් බේරුණේ අමාරුවෙන්. මේ සටනකට සූදානම් වෙනවා නොවෙයි, එකිනෙකා හඳුනා ගන්න මොහොතක්. ඊළඟ මොහොතේ ඔවුන් දෙදෙනා එක්ව ආදර හමුවකට කැලෑ වදිනවා.

බොහොම දුර ඉඳලා මේ මුහුදු ලිහිණියා සීෂෙල්ස්වල කුෂීන් දූපතට ආවේ බිත්තර දමන්නයි. ගමන් වෙහෙසත් එක්කම ඌ යෝධ මකුළු දැලක පැටළුණා. දැල අයිතිකාර මකුළුදෙන අල්ලක් විතර ලොකු එකෙක්. ඌ වියන මකුළු දැලත් පොඩි පහේ එකක් නෙවෙයි. එහි විෂ්කම්භය මීටර එක හමාරක් විතර ඇති. ඡායාරූප ශිල්පී පි‍්‍රටෝරියස් කුරුල්ලාට වෙච්ච අකරතැබ්බය දැකලා දැල කඩලා ඌව බේරලා ඇරියා. මේ විතර දැල් බැඳලා කුරුල්ලන් අල්ලගන්න හැකියාව මකුළුවන් ඉන්නවා කිව්වාම විශ්වාස කරන්නත් බැරි තරම්. ඒ කියන්නේ මේ වගේ යෝධ මකුළුදැල්වල පැටළෙන කුරුල්ලනුත් ඉන්නවා.

වාසනාවන්ත පිම්මක්! අමෙරිකාවේ යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානයේ දී ගත් ඡායාරූපයක්. මේ නරියා පිම්මක් පැන්නේ මීයකු අල්ලා ගන්නයි. ඌ කුරුමානම් අල්ලපු පුංචි තත්පර කීපය තමයි කැමරා ශිල්පියාටත් ඔහුගේ කුරුමානමටත් ඉතිරිව තිබුණේ. වැඬේ හරි ගියා. කැමරාශිල්පී කොනර්ට ඔහු ගොදුර අහු වුණා. ඊළඟ මොහොතේ නරියාටත් ඔහුගේ ගොදුර ලැබුණා. ඒත් ඒ පින්තූරය ගන්න වෙලාවක් තිබුණේ නෑ.

පියසැරි මඟ සොයා ගෙන මහත් ඉවසීමකින් බලාහිටියොත් තමයි, මේ වගේ ඡායාරූපයක් ගන්න හැකියාව ලැබෙන්නෙ. ස්ටෙෆ්නිසන් කියන කැමරා ශිල්පියා මේ අටු බැස්සියගේ මග හොඳට නිරීක්ෂණය කරලා තේරුම් අර ගෙන ඒ එන මග කණුවක් හදල මළ මීයකු රඳවල ඒ එල්ලයට කැමරාව සකස් කරල තිබ්බා. ”මං හිතුව විදියට ම ඇය ආවා. මීයා ඩැහැගෙන ආපසු තමන් ලගින තැනට ගිහින් බස්සාට අඬ ගෑවා. වනාන්තරයකදී අසන්නට ලැබෙන සිත් ඇද ගන්නාසුලූ හඬක් ඒක.”ඔහු පවසනවා.
3 Comments
Niyamai , Supiri !! :D
ReplyDeleteGodak Sthuthi , mewa gana Kiyanawata.
පසුබිම් විස්තරත් එක්ක ඡායාරුප පෙන්නපු එක වටිනවා. හැබැයි මාතෘකාවේ පොඩි ඇඳයක් තියෙනවා නේද? 2013 විය යුතුයි නේද?
ReplyDeleteඇඳය හැදුවා :) :) ස්තුති බුද්ධි!
ReplyDelete