HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සිංහල සිනමාවේ සුමිතුරිය දිවිසැරියට සමු දෙයි.

අද සිංහල සිනමාව 76 වසක් සපුරයි. ඒ නිමිත්තෙන් සිනමා දර්ශන, සැමරුම් ආදිය පැවැත්වීමට නියමිතය. ඒ සමඟම සිංහල සිනමාවේ ජනකාන්ත කාන්තාව, සිංහල සිනමාවේ සුමිතුරිය, සුමිත්‍රා අද අවසන් ගමන් යන බව සටහන් කිරීමට අපට සිදු වී තිබේ. සිංහල සිනමාවේ 76 වසර තුළ ඇය ලබා දුන් දායකත්වය දැවැන්තය. අධ්‍යක්ෂවරියක ලෙස ඇය සිනමාවට දායාද කළ චිත්‍රපට ගණන නවයකි. සංස්කාරකවරියක වශයෙන් සිංහල සිනමාවේ විශිෂ්ට චිත්‍රපට රැසකට ඇය සිය ශ්‍රමය කැප කළාය. 

ආචාර්ය සුමිත්‍රා පීරිස්

සුමිත්‍රා පීරිස් වසර 88ක් ආයු වළඳා 2023 ජනවාරි 19 වැනිදා දිවිසැරියට සමු දුන්නාය. ඇය, ශ්‍රී ලාංකික සිනමාවේ මහා යුග පුරුෂයා, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ භාර්යාව වුවද ඇයට සිංහල සිනමාවේ හිමි වූයේ වෙනම භූමිකාවකි. ඇය සිංහල සිනමාවේ සුවිශේෂ ‘ස්ත්‍රී සලකුණ’යි. තිස්ස අබේසේකර ඇයව හැඳින්වූයේ ‘සිංහල සිනමාවේ කිවිඳිය’ ලෙසයි. ඇය ලෙස්ටර් ගිය පාරේ ගියේ නැත. ඇය සිංහල සිනමාව තුළ වෙනම ගමනක් ගියාය. ඒ ගමන යන අතර ලෙස්ටර්ගේ නිර්මාණ කාර්යයට පමණක් නොව ලෙස්ටර්ගේ ජීවිතයට නොමඳ සහයක්ද දුන්නාය. ලෙස්ටර්ට අවුරුදු 99ක් වැනි දිගු කලක් ජීවත්වෙමින් වෘත්තාන්ත චිත්‍රපට 28ක් නිර්මාණය කිරීමට හැකි වූයේ සුමිත්‍රාගේ ඒ කැපවීම නිසාය. 

සුමිත්‍රාගේ පියා නීතිඥ හෙන්රි (හැරී) ගුණවර්ධනය. ඔහු ‘බොරලුගොඩ සිංහයා’ ලෙස විරුදාවලිලත් දොන් ජාකෝලිස් රූපසිංහ ගුණවර්ධන ‘බොරලුගොඩ රාළහාමි’ගේ වැඩිමහල් පුතාය. රාළහාමිගේ අනෙක් දූපුතුන් වූයේ ඇන්ජලිකා ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන හා රොබට් ගුණවර්ධනය. පුතුන් දෙපළ යටත්විජිත ලංකාවේ සුදු අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව නිදහස පතා කැරලි ගැසූ සමසමාජ පක්ෂයට නායකත්වය දුන් මාක්ස්වාදයට නැඹුරු චරිත දෙකක් වූහ. (අද අපේ අග්‍රාමාත්‍ය පදවිය හොබවන්නේ පිලිප් ගුණවර්ධන ගේ බාල පුත්‍රයාය. සුමිත්‍රාගේ අභාවය පාර්ලිමේන්තුවට දන්වා මුලින් ම ශෝකය පළ කළේ ඔහුය.) මාමලා නිසාත්, ලොකු නැන්දා වූ ඇන්ජලිකාගේ දියණිය, විවියන් (විවියන් ගුණවර්ධන) නිසාත් සුමිත්‍රාට ද වාමාංශික නැඹුරුවක් ඇතිව විප්ලකාරී අදහස් සහිත පරිසරයක හැදී වැඩෙන්නට ඉඩ සැලසුණේය. 

සුමිත්‍රා උපන්නේ 1935 මාර්තු 24 වන දාය. ඇයගේ මව හැරියට් වික්‍රමසිංහය. සුමිත්‍රාට සහෝදර සහෝදරියන් තුන් දෙනෙකි. පවුලේ වැඩිමලා වූ අයියා ගාමිණීය. අක්කා චන්ද්‍රලතාය. මල්ලී රංජිත්ය. සුමිත්‍රාගේ මව මිය ගියේ ඇය 14 වන වියේ පසුවෙද්දීය. ඇය කුඩා කල මුලින් ම ඉගෙන ගන්නට ගියේ අවිස්සාවේල්ලේ ශාන්ත මේරි විදුහලටය. පසුව කොළඹ විශාඛා විද්‍යාලයට ගියාය. ඇය ලන්ඩන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූයේ කොළඹ ඇක්වයිනාස් විද්‍යාලයෙනි.

ඇය ලෝකයේ සම්භාව්‍ය චිත්‍රපට නරඹන්නට පුරුදු වූයේ 1953 දී තරම ය. ඒ ඇගේ ගාමිණී අයියා ඇය කැටුව කොම්පඤ්ඤ වීදියේ නිපොන් සිනමාහලට නිතර ගිය නිසාය. එහි ප්‍රදර්ශනය කෙරුණේ මි.මී. 16 ප්‍රමාණයෙනි. එහි ප්‍රදර්ශනය කෙරුණු ලෝකයේ විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ කෘති නරඹා රස විඳින්නට පුරුදු කළේ ඔහුය. චිත්‍රපට රසවිඳින්න පමණක් නොව චිත්‍ර අඳින්නත් අයියා ඇයට හුරු කරවීය. සුමිත්‍රා මේ විස්තර මා සමඟ කීවේ ‘සරසවිය’ පුවත්පතට ලෙස්ටර්ගේ අදහස් මත සිංහල සිනමාවේ නළුනිළියන් ගැන ලිපි පෙළක් සකස් කරන්නට ගිය අතර ඉඩක් ලද අවස්ථාවේ දීය. 

“ඒ කාලේ මගේ ජීවිතේ වුණේ අයියා. එයා සතු හැම දේම අපට ලියලා දී අයියා හිටපු ගමන් අතුරුදන් වුණා. පස්සේ ආරංචි වුණා, දකුණු ප්‍රංශයේ ඉන්නවා කියලා. එයා ප්‍රංශ සිත්තරකු සමග යොට් යාත්‍රාවක ජීවත්වන බව මට දැන ගන්න ලැබුණා. ඒ වන විට මං මුදල් ටිකක් ඉතුරු කර ගෙන තිබුණා. ඒ නිසා තනිවම එයා හොයා ගෙන ප්‍රංශයට යන්න මං තීරණය කළා. මට එතකොට වයස අවුරුදු 20ක් විතර ඇති. අයියා‍ ගැන විස්තර හොයා ගෙන ඔහු සොයා යන්නට ගත් තීරණය ගැන අහලා පවුලේ අය ඇඬුවා. ඒත් මම ඒ ගමන ගියා. පුංචි කාලේ මං හරිම හිතුවක්කාරයි; එඩිතරයි; විප්ලවකාරියි. ඒ නිසා හිතූ දේ කළා. මට අයියා හම්බ වුණේ ඉතාලියේ නේපල්ස් ගුවන්තොටුපොළේදියි.” සුමිත්‍රා කීවාය. ඉන්පසු ඔහු සමඟ ප්‍රංශයට ගිය ඇය එරට ජීවත්වීමට තීරණය කළාය. 

එංගලන්තයට ගිය සුමිත්‍රා

ඇය ප්‍රංශයේ දී, ප්‍රංශ භාෂාව හදාරන්නට ආ ලතින් ඇමරිකානු තරුණයකු කෙරෙහි ආකර්ෂණය වූවාය. ඔහු සුන්දර තරුණයකු විය. කවියකු වූ ඔහු චිත්‍රපට ලෝලියකුද විය. සමාන අදහස් ඇති නිසා නිතර හමුවූ ඔවුන්ගේ ඇසුර ප්‍රේමයකට හැරුණත් වැඩි කලක් එය පැවතුණේ නැත. ඔහු පිළිකා රෝගයෙන් මිය ගියේය. ඇයට ඒ නිසා ජීවිතයම එපා විය. එහෙත් ඇය එයින් සැලුණේ නැත. එහිදී සැනසීමට හිටියේ අයියාය. 

ඇයට මුලින් ම ලෙස්ටර් හමු වුණේ ප්‍රංශයේ දීය. 1957 දී ලෙස්ටර් ‍ප්‍රංශයට කෑන්ස් අන්තර්ජාතික චිත්‍රපට උළෙලට සහභාවීමටය. ඔහු සමඟ ටයිටස් (තොටවත්ත)ද සිටියේය. එම උළෙල නියෝජනය කළේ ඔහුගේ මුල්ම චිත්‍රපටය වූ ‘රේඛාව’යි. සිංහල චිත්‍රපටයක් එතෙර සිනමා උළෙලකට ඉදිරිපත් කෙරුනු ප්‍රථම වතාව එය විය. ඇයට ලෙස්ටර් හමුවුණේ ඔවුන් වෙනුවෙන් එවකට ප්‍රංශයේ ලංකා තානාපතිව සිටි වර්නන් මෙන්දිස්ගේ නිවසේ දී පැවති රාත්‍රි භෝජන සංග්‍රහයකදීය. තානාපතිවරයා ඇගේ ඥාතියකු විය. ඇය එහි ගියේ ලංකාවෙන් ඇයට එවනු ලබන මුදල් ගැන සොයා බලන්නටය. 

“එදා ලෙස්ටර් මට අතට අත දී ආචාර කරද්දී මට ඒ අත සදහට ගන්නට වේවි යැයි හීනෙකින්වත් හිතුවේ නැහැ. ඒත් මම ඔහුට කිව්වා, මට චිත්‍රපට කලාව ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්නා බව කීවා.” සුමිත්‍රා ඒ අවස්ථාව සිහිපත් කරමින් කීවාය.‍ 

“එහෙනම් ඔයා යන්න ඕනෑ එංගලන්තයටයි” ලෙස්ටර් ගත් කටට ම කීවේය. 

“අධිරාජ්‍යවාදී රටකට යන්න මගේ කැමැතක් නෑ.” ඇයට ඉබේට ම කියවුණි. 

“සුමිත්‍රා මේක අපේ අන්තිම හමු වීම නොවෙයි නේද?” ලෙස්ටර් සමුගනිද්දී ඇසුවේය. 

“බාග විට” ඇය කීවාය.’ 

ඇය ලෙස්ටර්ගේ මේ හමුවීම ගැන අයියාට කීවාය. අයියා ලෙස්ටර් ගැන පැහැදීමෙන් සිටි මිතුරකු වූ නිසා ඇට කීවේ ලෙස්ටර්ගේ උපදෙස් පිළිපදින ලෙසයි. ඒ අනුව ඇය එංගලන්තයට ගොස් ‘ලන්ඩන් ස්කූල් ඔෆ් ෆිල්ම්ටෙක්නික්’ ආයාතනයට බැඳුණාය. එහි බැඳුණු එකම ශිෂ්‍යයාව ඇය වූවාය. 


සුමිත්‍රා ගුණවර්ධන සිනමාවට එක් වූ මුල් අවධියේ...

චිත්‍රපට තාක්ෂණයෙන් ඩිප්ලෝමාවක් ලබා ගෙන ලංකාවට එන ඇය කෙළින්ම ගියේ ලෙස්ටර් ඒ‍ වන විට බෙලිහුල් ඔයදී චිත්‍රපටයට නඟමින් සිටි ‘සංදේශය’ හා එක්වන්නටය. ඇයට එහිදී ලැබුණේ ‘දර්ශන සම්බන්ධතා සහාය අධ්‍යක්ෂ’ (assistant director continuity) තනතුරය. කැමරාවක් එල්ලා ගෙන දර්ශනයෙන් දර්ශනය නිසල රූ ගනිමින් සටහන් තබා ගනිමින් එය අකුරට ඉටු කළාය. එයින් පසු ඇය ලෙස්ටර්ගේ හැම චිත්‍රපටයකටම කීප අතකින්ම දායක වූවාය. එයින් වඩාත් කැපී පෙනේනේ ඇය සංස්කරණයෙන් දුන් දායකත්වයය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ විශිෂ්ටත්වයේ ලා සැලකෙන සිනමා නිර්මාණ වැඩි සංඛ්‍යාවක සංස්කාරකවරිය ලෙස කටයුතු කළේ සුමිත්‍රා පීරිස් ය. ඊට දෙලොවක් අතර (1967), ගම්පෙරළිය (1968), ගොළු හදවත (1969), මඩොල් දූව (1976), අහසින් පොළොවට (1978) ඇතුළත් විය. ඒ සඳහා ඇය අවස්ථා රැසකදී සම්මානයට ද පාත්‍රවූවාය. 

සුමිත්‍රා පීරිස් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසුණේ, චිත්‍රපට සංස්කරණය ගැන පරිචයක්, සමඟ විශිෂ්ට කාර්මික දැනුමක් ඇතිව පමණක් නොවේ. සිංහල සිනමාව නව මඟකට යොමු කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමග ඔහුගේ දෙවන නිර්මාණය වූ ‘සංදේශය’ චිත්‍රපටයේ සිට ම ඔහු සමඟ එක්වී වසර ගණනාවක් ඔහුට නන් අයුරින් සහය දෙමින් ලබා ගත් අත්දැකීම් සම්භාරයක් ද සමගයි. 

සුමිත්‍රාගේ අධ්‍යක්ෂණයෙන් බිහි වූ නිර්මාණ අතර කැපී පෙනෙන චිත්‍රපට ලෙස ගැහැනු ළමයි (1978), ගඟ අද්දර (1980), යහළු යෙහෙළි (1982), මායා (1984), සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා (1988), ලොකු දුව (1996), දුවට මවක මිස (1997), සක්මන් මළුව (2003), යහළුවෝ (2009) සහ වෛෂ්ණාවි (2018) දැක්විය හැකියි. ඒ නිර්මාණ අතරින් ගඟ අද්දර (ජනාධිපති හා සරසවිය සම්මාන), යහළු යෙහෙළි (ජනාධිපති හා ඕ.සී.අයි.සී. සම්මාන), ලොකු දුව (ජනාධිපති සම්මාන), දුවට මවක මිස (ජනාධිපති සම්මාන), මායා (සරසවිය සම්මාන), සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා (සරසවිය හා ඕ.සී.අයි.සී. සම්මාන), ගැහැනු ළමයි (ඕ.සී.අයි.සී. සම්මාන) යන චිත්‍රපට විශේෂ වෙයි.

 

වසන්ති චතුරානි රූපණවේදිණිය ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයේ කුසුම් ලෙසින්..

ඊට අමතරව, 'ගැහැනු ළමයි' චිත්‍රපටය Carthage International Film Festival හිදී සහ London Film Festival හිදී සම්මානයට පාත්‍ර වූ අතර ඇගේ තවත් චිත්‍රපට රැසක් ජපානය, ජර්මනිය, රුසියාව ඇතුලු රටවල් රැසක පැවති ජාත්‍යන්තර සිනමා උළෙලවලදී සම්මානයට පාත්‍ර විය. 

සිනමාවට කළ මෙහෙයට අමතරව ඇය ප්‍රංශය හා ස්පාඤ්ඤය හා එක්සත් ජාතීන්ගේ තනාපතිවරියක ලෙසද ශ්‍රී ලංකාව නියෝජනය කළාය. ඇය සිනමාවට දුන් දායකත්වය වෙනුවෙන් සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියකින් ද, කලාකිර්ති නම් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවාය. 

ලොව පුරා ම චිත්‍රපට නිර්මාණයට එක් වන බොහොමයක් දෙනා ඊට එක් වන්නේ මුදල් හම්බකරන්නටය. ඒත් සුමිත්‍රා සහ ලෙස්ටර් අතින් සිදුවුණේ එහි අනික් පැත්තය. ඔවුන් තමන්ගේ දේපළ විකුණලා චිත්‍රපට නිර්මාණය කළා. සුමිත්‍රා තමන් සතු එකම ඉඩම විකුණලා ‘ගම්පෙරළිය’ තනන්නට සල්ලි දුන්නා. ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත් කර දුන්නද අවසානයේ ඔවුන්ට ම කියලා නිවසක් හෝ වාහනයක් හෝ තිබුණේ නෑ. ඔවුන් ජාත්‍යන්තර කීර්තියක් අපට ගෙනත් දුන් චිත්‍රපට රැසක් නිර්මාණයට උර දුන් ඔවුන් දිගුකලක් පදිංචිව සිටි නිවස රජයට පවරාගෙන එය කෞතුකාගාරයක් කරන බවට ඔවුන් ජීවත්ව සිටිය දී නොයෙක් විට පොරොන්දු වුවත් රාජ්‍ය නායකයන් ඒවා ඉටු කිරීමට තරම් කෘතවේදීත්වයක් දැක්වූයේ නැහැ. 

සුමිත්‍රා සිංහල සිනමාවේ සුවිශේෂ ‘ස්ත්‍රී සලකුණ’යි; සිංහල සිනමාවේ සුමිතුරියයි! සුමිත්‍රා ඔබට නිවන් සුව! 

 - පර්සි ජයමාන්න 


 

Post a Comment

2 Comments

  1. මා කියවා තිබෙනවා වරක් ලෙස්ටර් තමාට උපහාර දැක්වූ අවස්ථාවක "මට කළහැකි එකම උපහාරය සිනමා සංරක්ෂණාගාරයක් පිහිටුවා සිනමාපට ආරක්ෂා කිරීමට පියවර ගැනීමයි." යනුවෙන් පැවසූ බව. එයත් අද වන තෙක් ඉටු වී නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත! ඒකත් පාලකයන් දුන් බොරු පොරොන්දුවක්. අපේ සිනමාව පටන් ගත්තේ 'කඩවුණු පොරොන්දුව'කින් නෙ.

      Delete