HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

තව අවුරුදු 800 කින් මිනිසාගේ හැඩය කොයි වගේ වේවිද?

වසර 3000කින් මිනිසාගේ පෙනුම කොයි වාගේ වේවිද? අප මේ වන විට ලබා ඇති තාක්ෂණ දියුණුවත් සමඟ අපට ඔහුගේ ශරීර ලක්ෂණ කෙබඳුදැයි නිගමනය කරන්න විතරක් න‍ෙවෙයි, ඒවා පරිගණක ආශ්‍රිතව නිර්මාණය කරන්නත් හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව පරිගණකය නිර්මණය කළ ආදර්ශ චරිතය විද්‍යාඥයන් නම් කර ඇත්තේ ‘මින්ඩි’ (Mindy) කියලයි. 3000 වසරේදී අපට දක්නට ලැබෙන මිනිසා ‘මින්ඩි’ වගේ කියලයි ඔවුන් කියන්නෙ.

අවුරුදු 800කින් අපට වෙන දේ තමයි, මේ ‘මින්ඩි’ ගෙන් අප දකින්නේ. මේ විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිඵලයක්.

ඒ කාලය වෙනකං අපි අපේ ස්මාර්ට් ෆෝන් දිහා ඒ වගේ ම කොම්පියුටර දිහා හිස පහතට හරවා ගෙන බලන් ඉඳලා, අපේ අනාගත මිනිසාගේ කොන්ද පොඩ්ඩක් කුදු වෙලා යාවි කියලයි, ඔවුන් හිතන්නෙ. ඒ විතරක් නොවෙයි, ස්මාර්ට් ෆෝන් එක අල්ලන් ඉඳලා අපේ අත්වල ඇඟිලිවල පිහිටීමත් විකෘති හැඩයක් ගන්නා බවයි, ඔවුන් කියන්නෙ. වසර 800ක් විතර කාලයක් තුළ තමයි, මේ වෙනස් වීම සිදු වෙන්නෙ. 

තව අවුරුදු 800කින් මිනිසාට වෙන දේ මේ විදියට හෙළිදරවු කර ගෙන තියෙන්නේ, ටෝල් ෆ්‍රී ෆෝවර්ඩින් (Toll Free Forwarding) නම් ආයතනය විසින් කළ විද්‍යාත්මක විමර්ශනයකින් පසුවයි. ස්මාර්ට් දුරකථන හා ලැප්ටොප් - ටැබ්ලට් පරිගණක නිරන්තරව භාවිත කිරීම නිසා මිනිස් සිරුරේ සිදුවිය හැකි මෙම වෙනස්කම්වලට අදාළ විද්‍යාත්මක පර්යේෂණ මාලාවකින් හා විෂයාන්තික දැනුම ඇති විශේෂඥ උපදෙස් සැලකිල්ලට ගෙන අවසානයේ දී ඒ තොරතුරු ත්‍රිමාන සැලැසුම්කරුවකුට බාර දී ඒ අනුව කළ නිර්මාණයක් ලෙසයි, ඔවුන් මේ ‘මින්ඩි’ හඳුන්වා දෙන්නේ. 


‘කශේරුකාවේ කුදු වීමක්, ඝන හිස් කබලක්, කුඩා මොළයක්, දෙවැනි ඇස් පිල්ලම් යුගලක් ඇති වීමටත් ඉඩ තියෙනවා’ ආචාර්ය කේ. ඩැනියෙල් රීව් කියනවා.

ටෝල් ෆ්‍රී ෆෝවර්ඩින් ඇමතූ මෙඩි අලර්ට් හෙල්ප් ආයතනයේ ආචාර්ය නිකෝලා ජෝර්ජෙවිච් (Nikola Djordjevic) පැවසුවේ, “අපි අපේ ෆෝන් අල්ලන විදිය අනුව අපේ අතේ යම්යම් තැන්වලට පීඩාවක් එල්ල වෙනවා. ඒ අනුව ඇඟිලිවල විකෘතියක් වෙන්න පුලුවන්. ස්මාර්ට් ෆෝනය නිසා ඔබේ වැලමිට අංශක 90 කෝනයකට නැමී තිබීම ස්ථිර විය හැකියි. එහි ක්‍රියාකාරිත්වය දකුණු අතේ ඇඟිලි නිතරම පා‍විච්චි කිරීම නිසා ඒවායේත් විකෘතියක් ඇති විය හැකියි.” කියායි. 

මේ ආකාරයට අපි ස්මාර්ට් ෆෝනය දිහා බලා ඉඳීමෙන් කශේරුකාවේ කුදු වීමක් විතරක් නොවෙයි, දිගු, ලොකු බෙල්ලක් ඔබට ලැබෙන්නටත් ඉඩ තියෙනවා. මෙහි පළවෙන මෙන්ඩි මොඩලය දැක්කාම ඔබට ඒ බව හිතා ගන්න අමාරු වෙන එකක් නැහැ. 

“මෙසේ පහතට හිස හරවාගෙන පැය ගණන් ස්මාර්ට් ෆෝනය හෝ පරිගණකය දිහා බලාගෙන සිටීම නිසා, හිස එසවීමේ දී බෙල්ල පසුපස ඇති පේශීන්ට මහත් වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා.” යැයි නිව්යෝක් ප්‍රෙස්බිටේරියන් ඕච් ස්පයින් රෝහලේ ආචාර්ය කේ. ඩැනියෙල් රීව් කියනවා. “මේ පේශීන් පමණ ඉක්මවා වෙහෙසීම නිසා විකෘති වීම් ඇති වෙන්න පුලුවන්. ඒ වගේ ම ඒ විකෘති වීම් නිසා ඝනකම් හිස් කබලක්, කුඩා මොළයක්, විතරක් නෙවෙයි, දෙවැනි ඇස් පිල්ලම් යුගලක් ඇති වීමටත් ඉඩ තියෙනවා.” කියා ඔහු වැඩිදුරටත් කියනවා. 

ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ පිහිටි ටොලේඩෝ පර්යේෂණ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කටයුතුවල නිරතව සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වූ ආචාර්ය කසුන් රත්නායක මේ ඇහිපිල්ලම් ඇති වීම ගැන අදහස් දක්වමින් කියා ඇත්තේ මෙහෙම දෙයක්: “නිතරම අධික ලෙස ආලෝකයට ඇස් නිරාවරණය වීම නිසා ‍ඊට පිළියමක් වශයෙන් කල්යාමේදී මිනිසාගේ ඇස්වල ලොකු ඇස් පිල්ලම් දෙකක් අතිරේකව ඇස්වල ඇතුළෙන් අලුතින් නිර්මාණය වීමට ඉඩ තියෙනවා. එසේ වන්නේ ඇස තුළට එන නිල් පැහැ ආලෝකය වළක්වන්නයි. එයින් කොළ, කහ සහ රතු වැනි අධිතරංග ආයාම ඇස තුළට ඒම වැළැක්වෙන්නේ නැහැ.” 

මේ වගේ ව්‍යාපෘතියක් 2019 දී ‘එමා’ (Emma) නමින් ක්‍රියාත්මක කෙරුණා. එයින් අපේක්ෂා කෙරුණේ අනාගතයේ එන වැඩපළ සහකරුවන් කෙතරම් අලස අය වේවිද කියා සොයා බලන්නයි. ‍වැඩ කරන සගයන් වෙනුවෙන් හොඳ වැඩ පරිසරයක් ඇති කර ගැනීමේ වැදගත් කම ගැන සොයා බලන්නයි, ‍ඒ ව්‍යාපෘතිය දියත් කළේ. ඒ පර්යේෂකයන් කණ්ඩායම සේවකයන් 3,000ක් දෙනා සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්තුවා. ඒ ඔවුන්ගේ සෞඛ්‍ය ගැටලු, රැකියාව ගැන, රැකියාව කරන පරිසරය ගැන ආදිය ගැන විමසීම් කළා. එයින් ලැබුණු තොරතුරු මත තමයි, ‘එමා’ කියන සේවක නිදර්ශනය නිර්මාණය කළේ. 

ඇයත් මේ වගේ ම දිනපතා පැය ගණනක් එක දිගට ඇගේ මේසයේ වාඩි වී පරිගණකයට නැඹුරු වී ගත කළ නිසා ‍සිරුරේ කුදු හැඩයක් ගත් අයෙක්. එසේ ම ඇගේ ඇස් වියළී රත්පැහැ ගැන්වී තිබුණා. ඒ ඇය පැය ගණනක් එක දිගට පරිගණකය දෙස බලා සිටින නිසයි. ඒ වගේ ම කෘත්‍රිම දීප්තිමත් ආලෝකයක් යට වසර ගණනාවක් ගත කිරීම නිසා ඇගේ සම පාණ්ඩු පැහැයක් ගත්තා. 

මටත් මෙහිදී කිවයුත්තක් තියෙනවා. ‍’මින්ඩි’ නිර්මාණය කළ පර්යේෂකයන් මේ කටයුත්තෙහි යෙදුණේ පරිගණකයත්, ස්මාර්ට් ෆෝනයත් දිගටම අවුරුදු 800ක් නො වෙනස්ව එකම තැන එකම විදියට ම තියෙයි කියලා හිතාගෙනයි. එහෙම වෙන්න විදියක් නැහැ. ස්මාර්ට් ෆෝනය අතෙන් ඉවත්ව ඔබේ උපැස් යුවළට එක්වෙන්න බැරිද? පරිගණකයත් තවත් ඉසියුම් වෙමින් උපැස් යුවළට එසේ එක් වී ඔබේ ඇස් ඉදිරිපිට මැවුණු තිරයක දර්ශනය වෙන්න බැරිද? ඔබ යතුරුලියනය නොකර ඔබ කියන දෙය ඔබේ හඬ මගින් පාලනය වෙන්නට ඉඩක් නැද්ද? එහෙම වුනොත් හිස කඩා ගෙන පහත් වී පැය ගණන් පරිගණකයේ වැඩ කිරීමත් ඇඟිලි විකෘති කර ගෙන ස්මාර්ට් ෆෝනය පාවිච්චි කිරීමත් නතර වේවි නේද? එහෙම වුනොත් කොහොමද ‘මින්ඩි’ වගේ මිනිසකු බිහි වෙන්නේ? ඔබට මොකද හිතෙන්නේ? 

- පර්සි ජයමාන්න 


Post a Comment

2 Comments

  1. ඔබ හරියටම හරි, ෆෝන් එක වෙනස් වෙනවා, පරිගණකයත් අඩුම තරමින් ටේබල් ටොප් තත්වයටවත් එයි, එවිට ඔය ආකෘතිය වෙනස් වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒක ඒ අයට හිතුනෙ නැති එක හරි පුදුමයි නේද?

      Delete