HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

චිත්‍රපට කැමර‍ාවෙන් විස්කම් පෑ ‘කරූ’ දිවියෙන් සමු ගනියි

සිංහල සිනමාවට විශාල මෙහෙයක් කළ ඩොනල්ඩ් කරුණාරත්න පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර දී මිය ගියා. මියයන විට ඔහු 77 හැවිරිදි වියේ පසු වුණා. සිංහල සිනමාවේ කැමරාව ප්‍රශස්ත ලෙස මෙහෙය වූ කැමරා අධ්‍යක්ෂවරයෙක් ලෙස ඩොනල්ඩ්ව හඳුන්වන්න පුලුවන්. ඔහු ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, තිස්ස අබේසේකර, අමරනාත් ජයතිලක ඇතුළු සිංහල සිනමාවේ අධ්‍යක්ෂවරුන් ගණනාවකට ම කැමරාව මෙහෙයවා සහාය වුණා. 

ඩොනල්ඩ් කරුණාරත්න (ඡායා. දයාන් විතාරණ)

චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකරයන් ඔහුගේ ‘දඩයම’ චිත්‍රපටය සඳහා කැමරාව මෙහෙය වූ අයුරු ගැන එදා වසන්ත ප්‍රශංසා මුඛයෙන් කථා කළේ මෙහෙමයි‍: “කැමරාව අතට ගත් විගස ඔහුට අමුතු ජවයක් ලැබෙනවා. මගේ ‘දඩයම’ චිත්‍රපටයේ එක් ජවනිකාවක් තිබුණා. එහි රත්මලී (ස්වර්ණා මල්ලවාරච්චි) තමා යට කරන්නට රිය පදවා ගෙන එන ජයනාත් (රවීන්ද්‍ර රන්දෙණිය) ගේ රිය ඉදිරියේ සිට මුගුරකින් පහර දීම රූගත කළ අයුරු විශිෂ්ටයි. ඒ අවස්ථාවේ රිය තුළ හිඳිමින්, රත්මලී වියරුවෙන් කළ පහරදීමෙන් කැඩී විසිවුණු වීදුරු කැබලිවලට මුහුණ දුන්නේ කැමරාව අතින් ගත් ඩොනල්ඩ් කරුණාරත්නයි. ඉතාමත් ආවේගශීලී දර්ශනයක් මතු වූ ඒ අවස්ථාවේ රිද්මය නොබිඳ ඔහු රූගත කළේ නරඹන්නාට ඒ ත්‍රාසය ඒ අයුරින් ම විඳ ගැනීමට සලස්වමිනි. මා ඔහුගෙන් අපේක්ෂා කළ ආකාරයට වඩා යමක් මට ලබා දීමට ඔහු ඒ මොහොතේ කැප වුණා. අවම පහසුකම් යටතේ කළ ඒ රූගත කිරීම හැම පහසුකමක්ම ඇතිව කරන බටහිර චිත්‍රපටයකට වඩා විශිෂ්ට එකක් වුණා.‍” 
වසන්ත ඔබේසේකරගේ ‘දඩයම’ චිත්‍රපටයේ 
ස්වර්ණා (රත්මලී) රවීන්ද්‍ර (ජයනාත්) 
පැදවූ කාරයට පහර දුන් අවස්ථාව.

ඒ ආකාරයට ‘දඩයම’ වැනි චිත්‍රපටයක ආවේගශීලී, ත්‍රාසජනක ජවනිකාවක් කැමරාවට නැඟූ ඔහු ඊළඟට සුමිත්‍රා පීරිස්ගේ ‘ගඟ අද්දර’ වැනි සෞන්දර්යාත්මක චිත්‍රපටයක, තැන්පත්කමින්, කැමරාව හසුරුවා ඇති ආකාරය සසඳා බැලුවොත් පුදුම හිතෙන තරම්. ඒ වගේ ම කරදිය සමග ගැටෙමින් කටුක ජීවිතයත් ගත කරන මිනිසුන්ගේ ජීවන අරගලයට ඔහු පණ දුන් හැටි ධර්මසේන පතිරාජගේ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයෙන් දැක ගන්න පුලුවන්. 

තමා කැමරාව මෙහෙයවන්නේ ලෙස්ටර් වැනි ප්‍රවීණයකුට ද අලුතින් සිනමාට ආ නවකයකුට ද යන්න ඔහුට කවදාවත් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ හැම කෙනකුට එක හා සමාන ගෞරවයකින් තමන්ගේ සේවය උපරිමයෙන් ලබා දුන්නා. 

කැමරාව මෙහෙයවමින් ඩොනල්ඩ් කරුණාරත්න

ඔහු කැමරාව මෙහෙය වූ චිත්‍රපට ගණන 65කට අධිකයි. මේ සමග පළ වන්නේ ඉන් කීපයක නම් පමණයි. ශේෂා පලිහක්කාරගේ ‘ලක්සෙට කොඩිය’ (1970), නීල් රූපසිංහගේ ‘යකඩයා’ (1976), අමල් බිසෝ (1979), ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘වීර පුරන් අප්පු’ (1978), ‘අහසින් පොළොවට’ (1978), ‘කලියුගය’ (1981), ශාන්ති අබේසේකරගේ ‘සිදාදියෙන් හයක්’ (1970), අමරනාත් ජයතිලකගේ ‘තිලක හා තිලකා’ (1976), වසන්ත ඔබේසේකරගේ ‘දියමන්ති’ (1976), වසන්ත ඔබේසේකරගේ ‘දඩයම’ (1983), පතිරාජ එල්. ඇස්. දයානන්දගේ ‘හත්දින්නත් තරු’ (1973), ධර්මසේන පතිරාජගේ ‘අහස් ගව්ව’ (1974), එයා දැන් ලොකු ළමයෙක් (1977), බඹරු ඇවිත් (1978), ‘සොල්දාදු උන්නැහේ’ (1981), ‘පොන්මනි’ (1977 දෙමළ) හා සක්කාරං (2014), සුමිත්‍රා පීරිස්ගේ ‘ගඟ අද්දර’ (1980) ‘සාගර ජලය මදි ඇඬුවා’(1988) ‘අමරණීය ආදරේ’ (1975), තිස්ස හේවාවිතාරණගේ ‘කෝකිලයෝ’ (1975), මණික් සන්ද්‍රසාගරගේ ‘කොළඹ සන්නිය’ (1976) හා ‘සීතා දේවී’ (1978), තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’ (1980), ඩෙන්සිල් පී. අබේසිරිවර්ධනගේ ‘විසි හතර පැය’ (1975), ගොළු මුහුදේ කුණාටුවක් (1991), වෛෂ්ණාවි (2017) ආදිය ඔහු කැමරාවෙන් දායක වූ චිත්‍රපට වේ. ඔහු හොඳම කැමරාකරණය සඳහා සම්මාන 19ක් ලබා ගෙන තියෙනවා. 2017 දී සිනමාවට කළ මෙහෙය වෙනුවෙන් එක් වරක් පමණක් පිදෙන ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවා. 

 - පර්සි ජයමාන්න 


Post a Comment

2 Comments