HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පිස්සු කෙළින එෆ් එම් නාලිකාවලට නියාමනයක් ඕනෑ!

අද පෙබරවාරි 13 වැනිදා 'ලෝක රේඩියෝ දිනය'යි. යුනෙස්කෝවට සම්බන්ධ සාමාජික රටවල් හා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය එක්ව 2012 වසරේ දී ගුවන්විදුලිය සඳහා අන්තර්ජාතික දිනයක් වෙන් කළා. වසරක් පාසා මුළු ලෝකයේ ම අවධානය යොමු කිරීමේ අරමුණු ඇතිව මේ දිනය ලෙස නම් කළේ 1946 දී එක්සත් ජාතීන්ගේ ගුවන්විදුලිය පිහිටවූ දායි. ඒ අනුව වසරක් පාසා ගුවන්විදුලිය පිිළිබඳව විවිධ පැතිකඩවලින් බලා එයින් ලෝක ප්‍රජාවට සැලසිය හැකි සේවාවන් ගැන විමර්ශනය කෙරෙනවා. ඒ වගේ ම ගුවන්විදුලිය ඔස්සේ කළ සේවාවන් අගය කිරීමක් ද සිදු කෙරෙනවා. ඒ සඳහා ගුවන්විදුලිය පිළිබඳ වාර්ෂික තේමාව සපයන්නේ යුනෙස්කෝ (UNESCO) ආයතනය විසිනුයි. 

2022 ව සර සඳහා ලබා දී ඇති තේමාව වන්නේ ගුවන්විදුලිය ගැන විශ්වාසය ගොඩනැඟීමයි. එය තුන් ආකාරයකින් කිරීම සඳහා උප තේමා තුනක් ද යෝජනා කරලා තියෙනවා. ඒවා මෙසේයි. 

1.විශ්වාසය රේඩියෝ පත්‍රකලාව (radio journalism) කෙරෙහි ඇති කිරීම - ඒ සඳහා නිදහස්, නිවහල් අදහස් රැගත් උසස් තත්වයේ වැඩසටහන් නිෂ්පාදන කිරීම. 

2. විශ්වාසය හා ප්‍රවේශ්‍යතාව - ශ්‍රාවකයන්ට පහසුවෙන් සමීපවියහැකි ඵලදායී වැඩසටහන් විකාශය කිරීම. 

3. විශ්වාසය හා ගුවන්විදුලි ස්ථාන ප්‍රභේද්‍යතාව - නාලිකා අතර තරඟකාරිත්වය  තුළින් සඵලමත්  සන්නිවේදනයක් සහතික කිරීම. 

මේ කරුණු තුන ගැන අප විශේෂයෙන් අවධානය යොමුකළ යුතු වන්නේ අද සියයකට ආසන්න ගුවන්විදුලි සේවාවන් අතුරින් ඒ තේමා අසලින් යන මට්ටමකවත් සේවාවක් සලසන ආයතන ඇද්දෝයි සැකයක් මතු වන නිසයි. ඒ තරමටම ඒවා ඝෝෂාවෙන් පිරුණු, දැන්වීම් ඉහවහ ගිය, වාචාල නිසරු කථාවලින් ශ්‍රාවකයන් විඩාවට පත් කරන, ශ්‍රාවක සිත් දූෂණය කරන, පොලඹවා ගැනීමට අල්ලස් දෙන මට්ටමට පත්ව ඇති නිසයි. මෙවැනි අවස්ථාවක වැරදි සොයනවාට වඩා මා හිතන්නේ ගුවන්විදුලිය මෙතෙක් ආ ගමන් මග දෙස හැරී බැලීම අවස්ථාවෝචිත බවයි. 


රේඩියෝව විසි වන සියවසේ මිනිසා නිර්මාණය කළ විශිෂ්ටතම සන්නිවේදන මෙවලමයි. ඒ කාලයේ ම ආ ටෙලිවිශනය හා ටෙලිග්‍රාෆය යන දෙකට ම රැහැන් අවශ්‍ය වුණා. ගුවන්විදුලිය ආවේ ජනතාව අතර සන්නිවේදනය සඳහා රැහැන් රහිතව යොදා ගත හැකි ප්‍රථම මාධ්‍යය හැටියටයි. එයට මුලදී ම 'වයර්ලස්' කියා කීවේ ඒ නිසයි. 

අපට අලුතින් එන හැම දෙයකටම නම් තැබීමේ දී පොට වරද්දා ගැනීම අපේ සිරිතයි. එදා 'දුම්රිය' යන වදන අද එයට නොගැළපේ. 'ගුවන් පාලම' ද එවැන්නකි. පාලම් සියල්ල තැනෙන්නේ ගුවනේය. ගුවන් විදුලිය ද එසේ මය. 'රේඩියෝ' යන්නට එදා දුන් වදන 'ගුවන් විදුලිය' යන්නයි. ඒ නම යොදන ලද්දේ ශ්‍රීමත් ඩී. බී. ජයතිලකයන්ගේ ද අනුමැති ඇතිවය. මෙහි නිර්මාතෘ මාකෝනි එය හැඳින්වූයේ 'රැහැන් රහිත' යන අරුත් දෙන 'වයර්ලස්' කියායි. හෙළ බස් ඇදුරන් එදා යෝජනා කළේ ඉංග්‍රීසි වදනෙහි හඬත් අරුතත් දනවන පරිදි 'රෙදෙවුව' යන යෙදුමයි. එහෙත් එයට පිළිගැනීමක් ලැබුණේ නැත. සියත්කම රැකගෙන 'බසය', 'කාරය' වැනි වදන් සිංහලයට වැද්ද ගත්තා සේ 'රේඩියෝව' කියා ගත්තා නම් වඩා හොඳය. ඒ කෙසේවෙතත් 'ගුවන් විදුලිය' යන්න දැන් හොඳින් පැළපදියම් වී ඇති බැවින් අද අපට එය භාවිත කිරීමට සිදු වී ති‍‌බෙනවා 

ආසියාවේ මුල් වරට ගුවන් විදුලි සේවයක් ආරම්භ කළ රට ලංකාවයි. ඒ යටත් විජිතයක් ව පැවති සමය බැවින් එහි ගෞරවය හිමි වන්නේ ඉංග්‍රීසීන්ටයි. ගුවන් විදුලිය අප අතරට ආ දිනය ලෙස නිල වශයෙන් සැලකෙන්නේ 1925 දෙසැම්බර් 16 වැනිදායි. ඉංග්‍රීසීන්ගේ ගුවන් විදුලිය වූ බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය හෙවත් 'බීබීසී'ය බිහි වූයේ 1922 ඔක්තෝබර් 18 වැනිදායි. ඔවුන්ගේ මෙහෙවර ලෙස දැක්වූයේ 'අධ්‍යාපනය, තොරතුරු සන්නිවේදනය හා විනෝදය' ලබා දීමයි. ආරම්භයේ දී අපේ ගුවන්විදුලිය රජයෙන් පවත්වා ගෙන යද්දී ගියේ ඒ මඟේයි. 

ඒ අනුව ගුවන්විදුලිය, ස්වදේශීය සේවය, වෙළඳ සේවය, අධ්‍යාපන සේවය කියා අසන්නන්ගේ අවශ්‍යතා අනුව විකාශන තුනක් පවත්වා ගෙන ගියා. එදා ස්වදේශීය සේවයෙන් ශ්‍රාවකයාගේ බුද්ධියට නිගා දෙන වැඩසටහන් ප්‍රචාරය කළේ නැහැ. ශ්‍රාවකයාගේ දැනුම, නුවණ, රසාස්වාදනය වර්ධනය වන ආකාරයේ වැඩසටහන් තමයි ප්‍රචාරය කළේ. ඒවායේ ගීත වුනත් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් මගින් පරීක්ෂා කර බලා තමයි විකාශය කළේ. හැම විට ම උසස් ප්‍රමිතියක් පවත්වා ගෙන ගියා. වෙළඳ සේවය ඊට වෙනස්. ස්වදේශීය සේවයට තරම් දැඩි පාලනයක් එහි තිබුණේ නැහැ. හුදු විනෝදයට, සරල රසවින්දනයට, කය වෙහෙසා වැඩ කරන, විනෝදාස්වාදයම පැතූ අයට සුදුසු ආකාරයටයි ඒ සේවයෙන් වැඩසටහන් විකාශය කෙරුණේ. අධ්‍යාපන සේවය යටතේ විධිමත් මෙන් ම අවිධිමත් අධ්‍යාපන වැඩසටහන් සකසා ඉදිරිපත් කෙරුණා. ඒ වගේම පාසල් අතර දැනුම මිනුම තරඟ වැනි ඒවාත් විකාශය කෙරුණා. 


එදා ගුවන්විදුලිය ඔස්සේ ස්වදේශීය සේවය ඔස්සේ අපට රසවිඳින්නට ලැබුණු වඩාත් සිත් ගත් අංගය වූයේ 'රේඩියෝ රඟමඬල'යි. 'රේඩියෝ රඟමඬල' යටතේ මුලින් ම විකාශය වූයේ ඒකාංගික නාට්‍යයයි. එයින් ලද අත්දැකීම් හා පලපුරුද්ද අනුව නිෂ්පාදකයන් පසුව කොටස් වශයෙන් විකාශය වූ නාටකවලට යොමු වුණා. එසේ විකාශය වූ අපේ ගුවන් විදුලි මාලා නාටකයේ ආරම්භ වූයේ ඇන්ටන් චෙකෝෆ්ගේ 'වලහා' නාට්‍යයයි. එයින් පසු මාලා නාටක ඔස්සේ, මාර්ටින් වික්‍රමසිංහගේ 'රෝහිණී', 'ගම්පෙරළිය', 'විජිතා', පියදාස සිරිසේනගේ 'ජයතිස්ස සහ රොසලින්', ලෙනාඩ් වුල්ෆ්ගේ 'බැද්දේගම', දොස්තර ආර්. එල්. ස්පිට්ල්ගේ 'වනසරණ', 'මැකී ගිය දඩමං', පර්ල් එස්. බක්ගේ 'සාරභූමි', ටී. ජී. ඩබ්ලිව් ද සිල්වාගේ 'මහ රෑ හමු වූ ස්ත්‍රිය', පී. කේ. ඩී. සෙනෙවිරත්නගේ 'කුරුලු බැද්ද', මුදලිනායක සෝමරත්නගේ මුවන් පැලැස්ස, ඇස්. පියසේනගේ 'මාරක ගින්න' වැනි නාට්‍ය රැසක් අපට ගුවන්විදුලියෙන් අසන්නට ලැබුණා. 

මේ අයුරින් විශ්ව සම්භාව්‍ය ලේඛකයන් රාශියකගේ කෘතීන් ද අපට ගුවන්විදුලිය හරහා සමීප වුණා. එඩ්ගා ඇලන් පෝ, ඇන්ටන් චෙකෝෆ්, ලියෝ ටෝල්ස්ටෝයි, ෆියදෝර් දොස්තවොස්කි, මැක්සිම් ගෝර්කි, රවීන්ද්‍රනාත් තාගෝර්, හෙන්රික් ඉබ්සන්, ඔස්කාර් වයිල්ඩ්, එමලි බ්‍රොන්ටේ වැනි ජගත් පූජිත ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණ රැසක් රස විඳීමට අපට ගුවන්විදුලියෙන් ඉඩකඩ සැලසුණා. 


පුද්ගලික අංශයට ගුවන් විදුලි සේවා පවත්වාගෙන යාමට අවසර දුන්නාට පසු දැන් තත්වය විශාල වශයෙන් වෙනස් වෙලා තියෙන්නේ. අද ඒවායින් විකාශය වන නාට්‍යවල තත්වය අන්තයටම පිරිහිලා. අද ඒ වෙනුවට බොහෝ විට අපට ඇසෙන්නේ බොළඳ දෙබස් සහිත අවර ගණයේ පෙම් කතායි. මා එවකට සේවය කළ පුවත්පතක අවශ්‍යතාවක් සඳහා ජනප්‍රිය නවකතාකාරියක් හමුවීමට ගොස් සිටිය දී ලැබූ අත්දැකීමක් මෙහිදී මගේ මතකයට එනවා. අප කතා කරමින් සිටියදී තරුණ ළමයෙක් කඩිමුඩියේ එහි ආවා. "අක්කෙ, අද හවස රෙකෝඩිංවලට පිටපත එව්වෙ නෑනෙ. ඒක ගෙනියන්යි මේ ආවේ." ඒ තරුණයා ගෙට ගොඩ වෙන ගමන් ම කීවා. ඇය හිස අත ගසාගෙන "අනේ මල්ලි හරි වැඩේ නෙ. ඒක මට අමතක වුණා නෙ." යයි කියමින් ගෙතුළට ගියා. 

ඇය ගිය පයින් ම වාගේ ආපසු ආවේ කිහිලි ගන්නා ගත් කඩදාසි ටිකක් හා බීම වීදුරු දෙකක් සහිත බන්දේසියක් ද ඇතිවයි. බීම පිළිගැන්නූ ඇය ඊළඟට අර කොළ ටික තරුණයාට දී ඔහු පිටත් කරනු ඇතැයි මා සිතුවද එය එසේ වුණේ නෑ. "මල්ලි විනාඩි 15ක් විතර ඉන්න මං දැන් ඒ එපිසෝඩ් එක ලියලා දෙන්නම්. කවුරුකවුරුද අද රෙකෝඩිංවලට එන්නේ? " කියා අසමින් අපට මඳක් එහායින් වූ කනප්පුවක් ‍වෙත ගියේ මගේ අවසරය ද තරුණයාගේ පෑනද ඉල්ලා ගෙනයි. 

මා බීම වීදුරුව තොලගාමින් කල්පනා කළේ ඇය ඒ වික්‍රමය කරන ආකාරය ගැනයි. විනාඩි 15කින් ඇයට එය කළ හැකිද? මට තවත් රස්තියාදු වන්නට සිදු වේවි ද යන දෙගිඩියාවෙන් සිටි මා ඇය මට දුන් පොත කියවන්නට පටන් ගත්තා. මා එහි පළමුවන පරිච්ඡේදය කියවා අවසන් කරන්නට පෙර ඇය ඇගේ හදිසි රාජකාරිය අවසන් කළා. තරුණයා මිටින් හළ කුරුල්ලකු මෙන් එතැනින් නික්මුණා. 

"සමා වෙන්න මට වෙච්චදේට. මං මේ මොහොතෙ පත්තර දෙකකටයි, එෆ් එම් නාලිකා තුනකටයි ඔය වගේ කතා ලියනවා. බෑ කියන්නත් බෑනෙ ඒ අය ඇවිල්ලා කරදර කරනව නෙ." ඇය තෘප්තිමත් මුහුණින් කීවා. 

"කොහොමද පැය බාගයක කතාවක් විනාඩි 15කින් ලියන්නෙ?" මට ඇතිවූ කුතුහලය නිසා ඇසුවා. 

"පහළොවක් කීවට විනාඩි 20ක් විතර ගියා. දෙබස් ටිකක් විතරයිනෙ ලියන්නේ ඒ අතරට මතක හැටියට සින්දුවල කෑලිත් දානවා. ඒ ගොල්ලන් පැය භාගයකට ඇද ගන්නවා." ඇය ගණනකට නැතිව කීවා. 

ඒ නාට්‍යය මට අසන්නට ඕනෑම තිබුණත් මට ඊට ඉඩක් ලැබුණේ නැහැ. ඒ වුණාට එහි ගුණාත්මක භාවය ගැන මට හිතා ගත හැකි වුණා. ඒ ආකාරයෙන් කරන නිර්මාණ තමයි අද ඇති එෆ් එම් නාලිකා වලින් අසන්නට ලැබෙන්නේ. 

ගුවන්විදුලිය ගැන වැඩිම අත්දැකීම් බහුල බහුශ්‍රැත විද්වතකු වූ අපේ මිතුරු මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සූරීන්ගේ 'ගුවනින් නුවනට' නම් පොතේ පෙරවදනෙන් එෆ් එම් නාලිකා ගැන දැක්වූ අදහසක් උපුටා දක්වමින් මේ සටහන අවසන් කරනවා. 

"එෆ් එම් නාලිකාවලින් අපට කොතෙකුත් ඇසෙන්නේ වාණීජවාදී ගොරහැඩි ඝෝෂාකාරී ශබ්දයකි. මේ ස්වභාවය කෙතරම් අධිවේගයකින් සිදුවෙතත් ඒ රැල්ලට හසු නොවී තම අනන්‍යතාව රඳවාගෙන ගුවන් විදුලි මාධ්‍යයක් භාවිතයට ගැනීම දුෂ්කර බව වටහා ගත යුතුය. අපගේ ශ්‍රාවක මණ්ඩලය නුවණින් පෝෂණය කිරීම විනා අල්පශ්‍රැත භාවයෙන් කුපෝෂණය කිරීම නොමනා ක්‍රියාදාමයකි. මේ කාරණය එෆ්එම් ‌පෞද්ගලික නාලිකා මෙහෙයවන අධිකාරිහූ නොසලකා හරිති. ඔවුනට මෙරට ස්වදේශික ගුවන් විදුලි සංස්කෘතියක් මැනවින් පදනම් වී තිබූ බව නොපෙනී යාම ගැන මම පුදුම වෙමි. එහෙත් අප හමුවේ පවතින ඇතැම් ගුවන්විදුලි දුර්මත පහ කළ යුතුව තිබේ. ලහි ලහියේ සහ නොනිසි ලෙස සැලසුම් වන දඩබ්බර හිතුවක්කාර නුවණමඳ වැඩසටහන්වලින් සිදුවන අනර්ථය පසුගිය කාලයේ දී අපට දක්නට ලැබිණ. සාමාන්‍ය ජනතාව එක් පැත්තකින් බිය වැද්දීමටත් තවත් පැත්තකින් නීරස සංවාදයන්ගෙන් මුලා කිරීමටත් වෑයම් කිරීම යහපත් මාධ්‍ය සංස්කෘතියක ලක්ෂණ නොවන්නේය." 

අද පිස්සු කෙළින එෆ් එම් නාලිකාවලට අතුල් පහරක් බඳු ඒ කියමන 2022 වසර සඳහා ලබා දී ඇති තේමාවන්ටත් අදාළයි. ඒ ගුවන්විදුලි නාලිකා ස්වයං අවබෝධයක් ලබා ගෙන වෙනස් නොවන්නේ නම් ඒවා නියාමනය කරන ක්‍රමවේදයක් රජයෙන් හෝ සැකසිය යුතු වෙනවා. 

- පර්සි ජයමාන්න

Post a Comment

2 Comments

  1. නියාමනය හොඳ අදහසක් වුවත් එය රජයට බාර දුන්නොත් නරියට කුකුළා බාර දුන්නා වාගේ වෙනවා. තමන්ට විරුද්ධ මත දරන අය යටපත් කිරීමට එය යොදාගන්නවාට සැක නෑ.

    ReplyDelete
  2. ඒක ඇත්ත ඒකට එකම විසඳුම අවබෝධයක් තුළින් ස්වයං නියාමනයක් ඇති කර ගැනීම. ඒකට තමයි ජනතාව තම අදහස් නොබිය නොපමාව ඉදිරිපත් කළ යුත්තේ.

    ReplyDelete