HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මිනිසා තැනූ වර්ගයා බෝ කළ හැකි සජීවී රොබොට්ටන් මෙන්න!

ප්‍රතිජනන වෛද්‍යවිද්‍යාවේ නවෝත්පාදනයක් හැටියට විද්‍යාඥයන් දැන් පළමුවරට ප්‍රනනය කළ හැකි සජීවී රොබෝ පැටියන් බිහි කිරීමට සමත් වී තියෙනවා. මිලිමීටර් ප්‍රමාණයේ මේ රොබොට්ටන් ඔවුන් විසින් හඳුන්වා දී ඇත්තේ ‘සීනෝබොට්ස් 3.0’ (Xenobots 3.0) කියලයි. මේක සාම්ප්‍රදායික රොබොට්ටෙකුවත්, විශේෂ සතෙකුත් නොවෙයි, සජීවී ක්‍රමලේඛ්‍ය රොබොටේටෙක්. 

සීනෝබොට්ස් 3.0 සිය ගණනක් ඒක සෛල එක්කාසු කර ගෙන, එකට තද කර, 
එක ගුළියක් කර, ‘පැටවුන්’ බවට පත් කර ‘පැක්-මෑන්’ හැඩයේ කටකින් මුදා හැරෙනවා.

මේවා තනා ඇත්තේ මැඩි සෛලවලින්. ඇමරිකානු විද්‍යාඥ කණ්ඩායමක් විසින් පරිගණකයෙන් සැලසුම් කොට නිර්මාණය කර ඇති මේ රොබෝ සෛල නිපදවෙන්නේ පරිගණක ක්‍රීඩාවල එන තිත් ගිල දමන පැක්-මෑන් (Pac-Man) නම් රොබෝ කටක් බඳු කටක් තුළයි. ඒ ර‍ොබෝ පැටියන් පෙනුමෙන් හා හැඩයෙන් මාපියන් හා සමානයි. 

මෙසේ සමකාරකයන් තනන ජීව රොබොට්ටන්‍ගේ මේ හැකියාව නිසා අනාගතයේ දී වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශේෂ සහය ලැ‍බේවි. මේමා ක්ෂතික තුවාල සිදුවීම්වල දී, උත්පත්ති විකෘතිතාවලදී, පිළිකාවල දී, වියපත් වීම වැනි තත්වයන් ආදියේ දී ප්‍රතිකාර කිරීමට යොදා ගන්න පුලුවන් වේවි. 

මේ විස්මිත රොබෝ පැටවුන් බිහි කළ හැකි රොබොට්ටන් නිර්මාණය කිරීමේ ගෞරවය හිමිකර ගෙන ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ මැසෙචුසෙට්ස්හී ටෆ්ට්ස් (Tufts) විශ්ව විද්‍යාලයේ හා බර්ලින්ටන්හී වර්ම‍ොන්ට් (Vermont) විශ්ව විද්‍යලයේ ජීව විද්‍යා හා පරිගණක විද්‍යාඥයන් පිරිසක් තමයි. ඔවුන් ඒ විස්මිත නිර්මාණය හා ඉන් ලද හැකි ප්‍රයෝජන ගැන ඒ පිළිබඳව කළ අධ්‍යයන වාර්තාවකින් සඳහන් කර තියෙනවා. 

මේ ‘සීනෝබොට්ස් 3.0’ කියන්නේ කලින් 2020දී ඔවුන් විසින් තනන ලද ‘සීනෝබොට්ස් 2.0 නම් මුලාකෘතියේ වැඩි දියුණු කළ එකක්. ඒ මුලාකෘතියට කෙස්ගස් බඳු දෙපාවලින් ඇවිදීමටත්, යම් යම් දේ මතක තබා ගැනීමටක් හැකියාව තිබුණා. 

කෘත්‍රිම බුද්ධිය මගින් සැලසුම් කළ පැක්-මෑන් (Pac-Man) නම් රොබෝ කටක් 
බඳු කටක් මවු ජීවීන් (රතු) විසින් ඒ කඳ සෛල ගෝලයකට 
සම්පීඩනය කොට නව ජීවීන් (කොළ) මුදා හැරෙනවා.

‘අපට ඇවිදින්නට හැකි, පීනන්නට හැකි සීනෝබොට්ලා තැනිය හැකි වුණා. දැන් අප මේ අලුත් ම අධ්‍යයනයෙන් ඉදිරිපත් කරන සීනෝබොට්ලාට ප්‍රගතිකව තම වර්ගයා බෝ කළ හැකියි.’ යැයි වර්ම‍ොන්ට් විශ්ව විද්‍යලයේ පරිගණක හා රොබෝටික විද්‍යාඥ ජොශුවා බොන්ගාඩ් (Joshua Bongard) කියනවා. මේ මේ නව අධ්‍යයන පත්‍රිකාවේ කර්තෘවරයා ඔහු තමයි. 

‘අප හඳුනා‍‍ග‍ෙන තියෙනවා, ජීවීන් හෝ ජීව පද්ධතීන් තුළ අප මෙතෙක් නුදුටු අවකාශයක්. ඒක ඉතා විශාල ඉඩකඩක්. මේ සිනෝබොට්ලා අපට උදවු වේවි, පරිගණකයෙන් සැලසුම් කළ සජීවී සෛල නිපදවා ගන්නට. ඉන්පසු ඒවා යොදා ගෙන බුද්ධිය භාවිත කර සිරුරේ අවශ්‍ය තැන්වලට ඖෂධ ගෙනියන්න අපට පුලුවන්. ඒ වගේම අපට හැකියාව ඇත්නම් සෛල ප‍ොකුරකට කියා දෙන්න අපට මෙන්න මේ දේ කරන්න ඕනෑය කියලා, අපට පුලුවන්, ක්ෂතික තුවාලවලට, උපත් විකෘතිවලට, පිළිකාවල, වියපත් වීමට සාර්ථකව පිළියම් කරන්න.’ යයි ටෆ්ට්ස් විශ්ව විද්‍යාලයේ මයිකල් ලෙවින් පවසනවා. 

‘මේ වාගේ අප ඉදිරියේ ඇති විවිධ ගැටලු ඇති වන හැටි, ඒවා පාලනය කරන හැටි, අපට උගන්වන්න, ඒ වගේ අපට ඒ සඳහා තැනීමට අවශ්‍ය වන්නේ කුමන සෛල ද කියා කියා දෙන්න මේ සෛලවලට පුලුවන්. මේ සිනෝබොට්ස්ලා අපට මේවා උගන්වන්න නව වේදිකාවක් සපයනවා.’ ඔහු වැඩිදුරටත් කියනවා. 

2020 දී විද්‍යාඥයන් ප්‍රකාශ කළා ඔවුන් සීනෝබොට්ස් නමින් පරිගණකයෙන් සැලැසුම් කළ මූලාකෘතියක් රසායනාගාරය තුළ නිපදවූ බව. ඔවුන් ඒ සඳහා අප්‍රිකාවෙන් හමු වූ ‍සීනෝපස් ලැවිස් (Xenopus laevis) නම් මැඩි විශේෂයකගේ කඳ සෛල යොදා ගත් බව ඔවුන් එහිදී පැහැදිලි කළා. 

මේ කඳ සෛල ඕනෑම පටකයක් හෝ ඉන්ද්‍රියක් තැනීමට යොදා ගන්න පුලුවන්. ඒවා බීජ රක්කවනයක් මගින් මැඩි කලලවල තමයි වගා කෙරෙන්නේ. කඳ සෛල කියන්නේ මිනිස් සිරුරේ ඇති, විවිධ වර්ගයේ සෛල බවට වර්ධනය විය හැකි විශේෂ සෛල වර්ගයක්. සමහර අවස්ථාවල දී ඒ සෛලවලට ඇතුළත සිදුවන හානි වළක්වා ඒවා යථා තත්වයට පත් කරන්න පුලුවන්. 

ඉතා සියුම් ඩැහි අඬුවක් හෝ කුඩා ඉලෙක්ට්‍රෝඩයක් යොදාගෙන මයික්‍රෝ ශල්‍ය වෛද්‍යවරයකු විසින් පරිගණකය විශේෂයෙන් දක්වා ඇති ආකාරයට අනුව අන්වීක්ෂකයකින් බලා ඒ සෛලයක් බැගින් ඡේදනය කර බද්ධ කර ගන්නවා. වෙනදා සොබාදහමේ නැති ආකාරයට ඒ සෛල වැඩෙන්න පටන් ගන්නවා. ඊට බලය සැපයෙන්නේ කලලයේ වර්ධන ශක්තියෙන්. 

ඔවුන් කියන්නේ ඒ රොබොට සෛල නිර්මාණය කර ඇත්තේ යම් නිශ්චිත කාර්යයක් කිරීමට නම්, නිදසුනක් වශයෙන් සිරුරේ නිශ්චිත තැනකට ඖෂධ ප්‍රතිකාරයක් කිරීමට නම්, වහා එැනට ගොස් ඒ කාර්යය ඉටු කරනවා. 

මේ නව පරම්පරාවේ සීනෝබොට්ස් 3.0 නව සෛල තනන්නට භාවිත කරන්නේ සීනෝපස් ලැවිස් නම් මැඩි විශේෂයට අයත් කඳ සෛලමයි. සීනෝබොට්ස් 3.0 ට හැකියාව තියෙනවා, ඒක සෛල සිය ගණනක් එක්කාසු කර ගෙන, එකට තද කර, එක ගුළියක් කර, පරිගණක ක්‍රීඩාවල එන තිත් ගිල දමන රොබෝ කටක් බඳු කට තුළින් ‘පැටවුන්’ සේ මුදා හරින්නට. දින කිහිපයකට පසු මේ ‘පැටවුන්’ට ඔවුන්ගේ මාපිය හැඩ රුව ඇතිව එහෙ‍ මෙහෙ යන්න පුලුවන්. 

පරිගණකයෙන් සැලසුම් කළ ජීවීන් විසින් පරිසරයෙන් එකතු කර ගන්නා කඳ සෛල (වමේ) වීදුරු කදාව තුළ ඇති පද්ධතියට හරියට ම පෑහෙනවා.

මෙසේ යන නව සීනෝබොට්ස්ලාට පිටතට ගොස් අවශ්‍ය සෛල තෝරා ගෙන, ඒවාට ඇතුළු වී ඔවුන්ගේ ප්‍රජාව වැඩි කර ගන්නට පුලුවන්. ඉන්පසු මේ ක්‍රියාවලිය නොකඩවා නැවත නැවතත් සිදු වෙනවා. 

සාමාන්‍යයෙන් මේ සීනෝපස් ලැවිස් මැඩියන්ගේ කලල කඳ සෛලවලින් තමයි, සම නිර්මාණය වන්නේ. ‘ඒ කඳ සෛල ඉස්ගෙඩියාගේ පිටත රැ‍ඳ‍ෙමින් ව්‍යාධිකාරකයන් වළක්වමින් ශ්ලේෂ්මල පටක නිපදවීම සිදු කරනවා.’ යයි ලෙවින් කියනවා. 

‘ඒත් අප මෙහිදී කරන්නේ වෙනස් දෙයක්. අප ඒ සෛලවලට නව කාර්යභාරයක් පවරනවා. ඒ අනුව සෛලවල ඇති බහුසෛල නිපදවීමේ හැකියාව දෙසට ඒ සෛල යොමු කරනවා. මේ සෛලවල ඇත්තේ මැඩියාගේ ජිනොමියක් වුනත් ඔවුන් ඉස්ගෙඩියන් බවට පත් වෙන්නේ නැහැ. ඔවුන්ට සිය සාමූහික බුද්ධිය මෙහෙයවමින්, සුවිකාර්යතාව (plasticity) අනුව විස්මිත දේ කළ හැකියි.’ 

‘මේ සීනෝබොට්ස් මාපියකුට සෛල 3000ක් නිපදවා ගුළියක් කරන්න පුලුවන්. ඒත් සාර්ථකව පරම්පරා ගණනක් ප්‍රජනන කාර්යය කරන්න බැහැ. පැටවුන් බිහි කළත් ඉන්පසුව ඒ පද්ධතිය ඉබේම මිය යනවා. ඒ පද්ධතිය ලවා නොකඩවා ප්‍රජනනය කරවීම ඉතා අමාරු දෙයක් වුණා, ’ යයි ටෆ්ට්ස් විශ්ව විද්‍යාලයේ සෑම් ක්‍රීග්මාන් කියනවා. 

මේ පර්යේෂණය සඳහා කලල කඳ සෛල ලබා ගත් අප්‍රිකාවෙන් හමු වූ ‍
සීනෝපස් ලැවිස් මැඩියන්

‘ඒ නිසා අපේ කණ්ඩායම තීරණය කළා, ඒ ගැන සිතන්නට කෘත්‍රිම බුද්ධියකට බාර දෙන්න. ඔවුන් ඒ සඳහා යොදා ගත්තේ වර්ම‍ොන්ට් විශ්ව විද්‍යලයේ ඇති ඩීප් ග්‍රීන් සුපිරි පරිගණක පද්ධතියයි. ඒ සුපිරි පරිගණකය ඇල්ගොරිතම් ගණිත ක්‍රමය යොදා ගෙන, ත්‍රිකෝණ, චතුරස්‍ර, පිරමීඩ, තාරුකා ආදී විවිධ හැඩයන් බිලියන ගණනක් පරීක්ෂාවට ලක් කළා, පිටපත් කිරීමට වඩාත් සුදුසු හැඩය තෝරා ගන්නට.’ 

‘අපි වර්ම‍ොන්ට් විශ්ව විද්‍යලයේ ඇති සුපිරි පරිගණකයට පැවරුවා, මූලික මාපියන්ගේ හැඩය සකස් කරන ආකාරය ගැන අපට උපදෙස් දෙන්න කියා. ඒ කෘත්‍රිම බුද්ධිය මාස කීපයක් වෙහෙසී අවසානයේ අපට අමුතු හැඩයන් කීපයක් ම දුන්නා. ඒ එකක් තමා, පරිගණක ක්‍රීඩාවල එන තිත් ගිල දමන පැක්-මෑන් වැනි රොබෝ කටක් බඳු හැඩය.’ යයි ක්‍රීග්මාන් කියනවා. 

‘ඒක සුවිශේෂ එකක් නෙවෙයි, ඉතා සරල හැඩයක්. ඒත් මිනිස් ඉංජිනේරුවකුට නම් ඒ වගේ හැඩයක් හිතා ගන්නවත් බැහැ. ඇයි එක කුඩා කටක්? කටවල් පහක් බැරිද? අසන්නට ඉඩ තියෙනවා. අපි ඒ අදහස නිර්මාණ විශේෂඥයකුට යැව්වා. ඔහු තමා සීනෝබොට්ස් මාපියකු ලෙස මේ පැක්-මෑන් වැනි රොබෝ කට නිර්මාණය කරල දුන්නේ. දැන් ඒ මාපියන්ට පුලුවන්, පරම්පරාව ඉදිරියට ගෙන යා හැකි පැටවුන් බිහි කරන්න. ඒ පැටවුන්ගෙන් අලුත් පැටවුන් හැදන අතර ඒ අලුත් පැටවුන්ගෙන් ඊළඟ පරම්පරාව හැදෙනවා. මේ විදියට ඉවරයක් නොව ආකාරයට පැටවුන් බිහි කළ හැකියි.තවත් විදියකින් කීවොත් මේ පැක්-මෑන්ගෙන් නොකඩවා පරම්පරා ගණනක් බිහි කළ හැකියි.’ යයි ක්‍රීග්මාන් කියනවා. 

නවෝත්පාදනයක් වන කඳ සෛල එන්නතක් මගින් ලබා දීමෙන් හෘද රෝගවලට පිළියම් යොදන්නට අනාගතයේ දී හැකි වේවි. කලින් කළ අවස්ථාවල එය අසාර්ථක වූයේ ඒ පරිසරයට හැඩ ගැසීමට කඳ සෛල අසමත් වීම නිසයි. 

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන තියෙනවා, කඳ සෛල ඉතා කුඩා ගෝල වශයෙන් රසායනාගාර තුළ වැඩෙන්නට සලස්වා, කඳ සෛල ශක්තිමත් කිරීම මගින් ඒ බාධකය මඟ හරවා ගත හැකි බව. ක්ෂුද්‍රගෝල වශයෙන් තනා ගන්නා මේවා එන්නතක් මගින් ඔරීරය තුළට ලබා දිය හැකියි. 

සජීවී රොබෝලා විසින් මුව තුළ තබාගෙන පැටවුන් හදන හැටි වීඩියෝවෙන් බලන්න. 

මෙසේ පරිගණකයෙන් මිනිස් සෛලයට සමාන සෛල නිපදවීම සදාචාරාත්මකව හොඳ දෙයක් නෙවෙයි කියල කෙනකුට තර්ක කරන්න පුලුවුන්. දැනට මේවා රසානාගාරයෙන් පිටතට යැවෙන්නේ නැහැ. එහෙත් ඔවුන් දන්නවා, ඔවුන්ගේ පාලනයෙන් තොරව මෙය පරිගණකයට හිතුවක්කාරව නිපදවන්න පුලුවන්කමක් නැති බව. ඒවා පාලනය කරන්න, යමකට යොමු කරවන්න, අක්‍රිය කරවන්න, යළි පණ ගන්වන්න ඔවුන්ට හැකියාව තියෙනවා. 

‘මෙහි ඇති වඩාත් වැදගත් ම දෙය වන්නේ මෙවැනි ස්වයංක්‍රීය සමකාරක තැනිය හැකි පද්ධතීන් වැඩ කරන ආකාරය, අධ්‍යයනය කොට තේරුම් ගැනීමයි.’ යයි බොන්ගාඩ් කියනවා. 

ඔවුන්ගේ මෙම අධ්‍යයනය Proceedings of the National Academy of Sciences හී පළ වී තියෙනවා. 

- පර්සි ජයමාන්න 

Post a Comment

1 Comments

  1. Big hero ෆිල්ම් එකෙ microbots මතක් උනා

    ReplyDelete