HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

2020ට වඩා 2021 තවත් භයානකයි - ලෝක ආහාර සංවිධානය කියයි!

කොවිඩ්-19 තියන මාරක වසංගතය නිසා 2020 වසර ඉතා අවාසනාවන්ත වසරක් ලෙස ඔබ සිතුවාද? ඒත් එය වැරදි නිගමනයක් යැයි මෙවර 2020 වසරේ සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනූ ලෝක ආහාර සංවිධානය කියනවා. ඔවුන් කියන්නේ එළඹෙන 2021 වසර මීටත් වඩා ලෝකය මරු කටට ළං කරන අවාසනාවන්ත වසරක් වෙන බවයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට අනුබද්ධ ලෝක ආහාර වැඩ සටහන (World Food Programme) ලොව පුරා සිය වැඩ සටහන් මෙහෙයවමින් බිලියන සංඛ්‍යාත ජනකායකගේ කුසගිනි නිවමින් ක්‍රියාත්මක වන අන්තර්ජාතික සංවිධානයක්.

ලොව පුරා මන්දපෝෂණය පිටු දැකීම පිණිස දියත් කර ඇති වැඩසටහන් 
අතර පාසල් ළමුනට දිවා ආහාර ලබාදීමේ වැඩ පිළිවෙළ ප්‍රධාන එකකි.

‘කොවිඩ්-19 වසංගතය ලෝකය පුරා රටවල් බොහොමයක ආර්ථිකයන් කඩා බිඳ දැම්මා. දැන් සාගතයක් එනවා. එය ඉතිහාසයේ අතීතයේ ආ රුදුරු සාගතවලට වඩා බිහිසුණු සාගතයක් ලොව පුරා රටවලට බලපානවා.’ මෙසේ කියන්නේ 2020 නොබෙල් සාම සම්මානයෙන් පිදුම් ලද ලෝක ආහාර වැඩසටහනේ ඩේවිඩ් බීස්ලියි. ‘දැන් අපි ඉන්නේ මහා සාගතයක අද්දරයි’ ඔහු වැඩිදුරටත් කියනවා. 

නොබෙල් සාම සම්මානයෙන් ඔහු ලද ලෝක අවධානය ප්‍රයෝජනයට ගෙන ඔහු සමස්ත ලෝකයටම අවධාරණය කර කියන්නේ එන වසරේ එළඹෙන මහා සාගතයක් ගැනයි. ලොව පුරා විසිරී සිටිමින් ලෝකයේ වැඩි ජනගහනයක කුසගිනි නිවන්නට ගෙන යන ලෝක ආහාර වැඩසටහනේ 20,000ක් වූ සේවක පිරිස ලොවපුරා ලබන අත්දැකීම්වලින් ඔවුන් ලෝකය දකින විධිය අනුවයි, ඔහු මෙසේ කියන්නේ. ‘අපේ අත්දැකීම් තත්වය ඉතාමත් භයානකයි. අපේ සේවාවට මුහුණ දීමට සිදුවන නරකම තත්වය එන්නේ ලබන වසරේදියි’ ඔහු කියනවා. 

අවතැන් වූවන්ට ආහාර හා අනෙකුත් සහන සැලසීම ද එහි තවත් කාර්යයභාරයකි.

‘අපි ලෝකයේ සියලුම රාජ්‍ය නායකයන්ට අනතුරු හඟවන්නේ කොවිඩ් 19 වාගේ ම මේ සාගතයත් වර්ගබේද, ජාතිබේද නැතිව ලොව හැමටම මුහුණ දීමට සිදු වන බවයි. ඉදිරි මාස 12ත් 18ත් අතර කාලයේ දී අත්විඳින්නට සිදු වන බවයි.’ 

‘අපට මෙතෙක් කල් ලෝකයේ සාගින්නේ පෙළෙන ජනතාව වෙනුවෙන් ‍ලොව පුරා රටවල දියත් කර තිබූ වැඩසටහන් ඒ අයුරින් ම කර ගෙන යාමට අවශ්‍ය අරමුදල් හිඟයකට අප දැන් මුහුණ පාලා තියෙනවා. අප ඉදිරියට පාවී එන අර්බූදකාරී ‘අයිස්බර්ග්’ ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. ඒවා නම්, දුර්භික්ෂය, කුසගින්න, මන්දපෝෂණය, වාසස්ථාන අස්ථාවරත්වය, සංචරණය ආදී සමස්ත ලෝකයේ ම ජනගහනයේ වැඩි කොටසක් මුහුණ දෙන ගැටලුයි.’ 

එක්සත් ජාතීන්ගේ ආයතන අතර සාගිනි නිවීම 
සඳහා කැපවූ ලෝක ආහාර සංවිධානයේ ලාංඡනය.

බීස්ලි කියන විධියට ඉදිරියේ දී දරුණු සාගත තත්වයට පත් වන ලෝකයේ රටවල් අතර රාජ්‍ය 35කට වැඩි ගණනක් අයත් වෙනවා. ඒවා අතර යේමනය, දකුණු සුඩානය, නයිජීරියාව, බුර්කිනා ෆාසෝ යන රටවල් දැනටමත් මේ සාගත තත්වයට මුහුණදී තියෙනවා. ඇෆ්ඝනිස්ථානය, කැමරූන්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොංගෝව, ඉතියෝපියාව, හයිටි, ලෙබනනය, මාලි, මොසැම්බික්, නයිජර්, සියරා ලියොන්, සෝමාලියාව, සුඩානය, සිරියාව, වෙනසියුලාව, සිම්බාබ්වේ යන රටවල් ඒ තත්වයට පත් වෙන්න ඉතාමත් ආසන්නයි. 

දේශපාලන හා ජනවාර්ගික අර්බූද නිසා උන්හිටි තැන් අහිමිව ගිය පිරිස් ලොව පුරා මහත් පීඩාවකට ලක්වී සිටිනවා. ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන තුරු ඔවුන් ජීවත් කරවීමේ වගකීම දරන්නේ එක්සත් ජාතීන්ගේ සහෝදර ආයතන සමග එක්ව මේ ලෝක ආහාර සංවිධානයයි. එහි මූලස්ථානය පිහිටා ඇත්තේ ඉතාලියේ රෝම නගරයේයි. 

ලෝක ආහාර සංවිධානයේ වැඩ සටහන් අතර බරපතල වැඩ කොටසක් සිදුවන්නේ අප්‍රිකාවටයි.

මීට වසර 60කට පෙර ආරම්භ කළ ලෝක ආහාර වැඩසටහන මේ වන විට රටවල් 80ක පමණ ඔවුන්ගේ කුසගිනි නිවන වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා. ඔවුන් දරුණු ලෙස පීඩාවට පත් රටවල ජනයාට විශේෂ වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා. පොදුවේ ලොව පුරා රටවල් රැසක පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දීම සිදු කරනවා. ගැබිණි මවුවරුන්ට ත්‍රිපෝෂ ලබා දීමේ පෝෂණ වැඩ සටහනක් ද ක්‍රියාත්මක කරනවා. මේ වැඩසටහන්වලට අමතරව මන්ද පෝෂණය තුරන් කිරීමේ වැඩසටහන්, ආපදා කළමනාකරණ වැඩසටහන් ද ශ්‍රී ලංකාව තුළත් ක්‍රියාත්මක කෙරෙනවා. 

කෝවිඩ්-19 නිසා ලෝකයේ සෑම රටකටම සිදුවූ බලපෑම පහසුවෙන් මග හැරිය හැක්කක් නෙවෙයි. එයින් බිඳ වැටුණු නිෂ්පාදනය, කර්මාන්ත, ජනජීවිතය යථා තත්වයට පත් වෙන්න ටික කලක් ගත‍ වෙනවා නිසැකයි. එවගේම ඒවායින් ව්‍යාපාරික ලෝකයට වැදුණු පහර අනික් පැත්තෙන් ආධාර ලබා ගැනීමේ දී ලෝක ආහාර වැඩසටහනට ද බලපානවා. ඒ අනුව ඔවුන් ඉදිරි වසර තුළ ඇති වන තත්වය පහදා දී යළිත් වරක් ඔවුන්ට අනුග්‍රහය දක්වන ලෙස ලෝකයේ බලවත් රටවලින් හා ආධාර සපයන බිලියනපතියන්ගේ ඉල්ලා සිටින්නේ ඒ නිසයි. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments