HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වඳ වී ගිය ගොඩට එක් වුණු මුහුදේ ‘ඇවිද ගිය’ මාළුවා!

වර්තමානයේ වඳ වී ගිය ප්‍රථම මුහුදු මත්ස්‍යයා ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා. සාගර ජීවවිද්‍යාඥයන් කියන විදියට මෑතක් වන තෙක් ම ඒ මාළුවා ඕස්ට්‍රේලියාව අවට සාගරයේ ජීවත්ව සිටියත්, ඌ දැන් වඳ වී ගිය මත්ස්‍යයකු ලෙස තහවුරු කළ හැකි යයි කියනවා. මේ ශෝකජනක ඉරණම අත් වූයේ මුහුදු පත්ල සිය වාස භවනය කර ගත් ‘ස්මූත් හෑන්ඩ් ෆිෂ්’ හෙවත් ‘අත් මාළුවා’ටයි.
විද්‍යාඥයන් විසින් හෙළිදරවු කර ඇති ශෝකජනක පුවත 
අනුව මේ ස්මූත් හෑන්ඩ් ෆිෂ් නම් අත්මාළු විශේෂය 
වර්තමාන ලෝකයේ අපට අහිමි වී ඇති ප්‍රථම මුහුදු මත්ස්‍යයායි.

අත්මාළුවා (smooth handfish) ඒ නමින් හැඳින්වෙන්නේ ඉදිරිවරල් ‘අතක ඇඟිලි’ බඳු හැඩයක් ගන්නා නිසයි. සිරුර තුළ වාත ආශයක් නැති නිසා ඌට පිහිනීමට නොහැකියි. උගේ අත් බඳු වරල්වලින් මුහුදු පත්ලේ එහා මෙහා ‘ඇවිදිමින්’ ජීවත්වූ උගේ ප්‍රභේද 14ක් ඇති අතර ඒ සියලු වර්ග අතරින් එක් වර්ගයක් නිශ්චිතව ම වඳ වී ඇතැයි දැන් සැලකෙනවා.

මුහුදු පත්ලේ ජීවත් වුවත් මේ මත්ස්‍යයා මෙසේ වඳ වී ගොස් ඇත්තේ විනාශකාරී මසුන් ඇල්ලීමේ ක්‍රම, සාගර දූෂණය හා ඔවුන්ගේ ජීවන පරිසරය අහිමි වීම නිසයි.
මේ ස්මූත් හෑන්ඩ් ෆිෂ් මාළුවා මුලින් ම හඳුනා ගැනීමට ලැබුණේ 
1800 ගණන්වල කරන ලද විද්‍යාත්මක ගවේෂණයකදියි. 
දැනට ඉතිරිව ඇත්තේ එදා එකතු කර ගත් ආකෘතීන් පමණයි.

මේ අත්මාළුවා මුලින් ම හඳුනා ගත්තේ 1800 ගණන්වලදී කළ විද්‍යාත්මක ගවේෂණයකදියි. නමුත් අද ඉතිරිව ඇත්තේ ඒ ගවේෂණයෙහිදී එකතු කර ගත් නිදර්ශක කීපය විතරයි.

බටහිර ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක හා එම විශ්ව විද්‍යාලයේ අනාගත සාගර අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂිකා ජෙසිකා මීයුවිග් මහත්මිය කියන්නේ, ‘සමහර අය කියන්නේ සාගරය කොයිතරම් විශාල ද කීවොක් ඒ නිසා ම සාගර වන ජීවීන් කිසිසේත් වඳ වී යා නොහැකි බවයි. ඒත් සාගරය ධීවර කටයුතු අතින්, විවිධ කැණීම් නිසා, තෙල් හා ගෑස් ගවේෂණය හේතුවෙන් ඇති වූ කාර්මීකකරණය වගේ ම නැව් ගමනාගමනයෙන් හා ගොඩබිමෙහි සිදුවූ මහා පරිමාණ කාර්මීකකරණයට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයේ දී ඇති වූ තත්වයන් නිසා සාගර ජීවීන් වඳ වී යාමේ තර්ජනය ඇති වුණු බවයි. එහි පළමු ගොදුර වූයේ මේ අත්මාළුවායි.’
මුහුදු පත්ලට ම වී ජීවත්වන මේ අත්මාළුවා ඒ වර්ගයට අයත් සත්ව විශේෂ 14ක් එකක්. 
උගේ විශේෂයක් වූයේ පිහිනීමට නොහැකි නිසා මුහුදු පත්ලේ ‘ඇවිද යාම’ට 
හැකි වන පරිදි අත් සමාන වරල් පිහිටා තිබීමයි.

අත්මාළුවා අයත් වන මත්ස්‍ය විශේෂයට තවත් මාළුන් වර්ග 13ක් අයත් වෙනවා. ඔවුන් විවිධ ප්‍රමාණයෙන්, විවිධ හැඩයෙන් හා විවිධ වර්ණයෙන් යුක්තයි. ඔවුන් සියලු දෙනාට ම පසුපස වරල් ඇති අතර උල් වූ හිසෙහි ඉදිරියෙන් ප්‍රමාණයෙන් කුඩා ඇස් දෙක බැගින් තියෙනවා. මේ මාළු අයත් ගෝත්‍රයේ විශේෂත්වය වන්නේ අනෙක් මසුන්ට මෙන් ජලයේ පාවීමට අවශ්‍ය සුළං පිරුණු ආශයක් නොතිබීමයි. ඒ නිසා ඉදිරි වරල් පැතලිව අතක හැඩය ගන්නවා. ඔවුන් ඒවා යොදා ගෙන මුහුදු පත්ලේ ඇවිද ගෙන යනවා.

අත්මාළුවාගේ හිසෙහි දීප්තිමත් ඇන්ටෙනාවක් වැනි අංගයක් පිහිටා තියෙනවා. ඌට පිහිනා යාම කළ නොහැකි නිසා ඒ ඇන්ටෙනාව මගින් ගොදුරු ආකර්ෂණය කර තමා ළඟට ගෙන්නා ගන්නවා.
පසුගිය වසර 20ක කාලයක් තිස්සේ අපට දැක ගැනීමට හැකි වී ඇත්තේ දැනට ඉතිරිව ඇති අත්මාළු විශේෂ 13න් හතරක් පමණයි. මේ පින්තූරයේ ඇත්තේ දැනට බරපතල ලෙස 
වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති සීබෙල්ස් හෑන්ඩ් ෆිෂ්(Ziebell's handfish) ය.

මිනිසාගේ දඩයම් කිරීම නිසා විවිධ සාගර ජීවීන් පසුගිය කාලයේ වඳ වී ගියා. 1952 දී වඳ වී ගිය මන්ක් සීල් එවැනි එක් මුහුදු සතෙක්. නමුත් මුහුදු මත්ස්‍යයන්ට එහෙම කරදරයක් මෑතක් වන තෙක් තිබුණේ නැහැ. මෑත යුගයේ වඳ වී ගිය පළමු මත්ස්‍යයා මේ අත්මාළුවා (smooth handfish)යි.

ෆෝනා ඇන්ඩ් ෆ්ලෝරා ඉන්ටර්නැෂනල් නම රාජ්‍ය නොවන ආයතනයේ පර්යේෂකයන් කියන්නේ, ‘ස්මූත් හෑන්ඩ් ෆිෂ්ගේ මේ ඛේදජනක කතාව අපට වර්තමානයේ මේ යන ගමන මඳකට නවත්වා මුහුදු ආහාර පරිභෝජනය ගැන නැවත වරක් සිතා බලන්න අවස්ථාක් ලබා දි ඇති බවයි. තිරසාර මුහුදු ආහාර සංකල්පය නිසා අපට මොන තරම් පාඩුවක් සිදු වෙනවාද යන්න ගැන දෙවරක් සිතා බැලිය යුතු ගැටලුවක්’ කියායි. ඔවුන් කියන්නේ මේ අත්මාළුවාගේ වඳ වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ධීවර කර්මාන්තය බවයි.

රතු දත්ත පොතට සිය වාර්තාව සපයමින් විද්‍යාඥයන් කියා ඇත්තේ, ‘සමහර විට මේ මත්ස්‍ය විශේෂය වඳ වී යාමට බලපාන්නට ඇත්තේ කෙළින් ම මාළු දැල්වලට අසුවීම හා ඔවුන්ගේ ජීවන පරිසරය විනාශ වීම යනු කරුණු බවයි. ඔවුන්ගේ ජීවන පරිසරය විනාශ වූයේ විශාල වශයෙන් රැලි බෙල්ලන් ඇල්ලීමේ කර්මාන්තය නිසයි. විසිවන සියවසේ විශාල වශයෙන් පැවති මේ කර්මාන්තය 1967දී බිඳ වැටුණා.’ යනුවෙනි.
මේ රතු අත්මාළුවා දැනට ඕස්ට්‍රේලියානු මුහුදේ බහුලව දැක ගත හැකි ඒ වර්ගයේ එකම සත්වයාය.

කෙසේවෙතත් ධීවරයන් හිතාමතා මේ මසුන් අල්ලන්නේ නැහැ. බෙල්ලන් එකතු කිරීමට දමන දැල්වලට ඔවුන් බොහෝ විට අවසනාවන්ත ලෙස අසුවෙනවා.

සාගර හා ඇන්ටාටික් අධ්‍යයන ආයතනයේ පර්යේෂිකාවක වූ ජෙමිනා ස්ටුවර්ට් ස්මිත් මොන්ගාබේ (Mongabay) වෙබ් පිටුවට සිය අදහස් දක්වමින් කියා ඇත්තේ, ‘මිනිස් ක්‍රියාකාරකම් නිසා වඳ වී යාමේ තර්ජනයට ලක්විය හැකි සතුන් ගැන අපි කවුරුනුත් වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. අපි මේ අත්මාළුවා ගැන වැඩි යමක් දන්නේ නෑ. උගේ ජීවන පරිසරය ගැන හෝ පරිසරයේ ඔවුන්ට හිමිව තිබූ කාර්ය භාරය ගැන හෝ අපට ඇත්තේ අල්ප දැනුමක්. උගේ පරිසර විනාශයට බලපෑ හේතු නිසා තවත් මසුන් වඳ වී යාමට ඉඩ තියෙනවා. මේ ස්මූත් හෑන්ඩ් ෆිෂ් වඳ වී ගියේ ඌ ගැන අධ්‍යයනයක් කරන්නත් කලින්.’ යනුවෙනි.

කෙසේ වෙතත්, දැනට ඉතිරිව ඇති අත්මාළු විශේෂ 13න්, පසුගිය වසර 20 තිස්සේ ම අපට හමු වී ඇත්තේ විශේෂ හතරක් පමණයි. ප්‍රමුඛ පෙළේ විශේෂඥයන් කියන්නේ අප නොදැනුවත්වම තවත් සාමාජිකයන් වඳ ගොස් තිබිය හැකි බවයි.
-පර්සි ජයමාන්න

Post a Comment

0 Comments