HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 51කට පසුව ඇපලෝ 11 යානයේ කොටස් වෙන්දේසියේ!

නීල් ආම්ස්ට්‍රෝන් හා එඩ්වින් (Buzz) ඕල්ඩ්‍රින් මුල්වරට හඳට පා තබද්දී ඒ යානා හැසිරවීමට භාවිත කළ මෙහෙයුම් යෂ්ටි වෙන්දේසි කිරීමට සැරසෙනවා. ඒවා ජූලි 16 සහ 17 යන දිනවල කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ස්හිදී වෙන්දේසි කිරීමට නියමිතයි.

මේ මෙහෙයුම් යෂ්ටි හරියට පරිගණක ක්‍රීඩාවලදි පාවිච්චි කරන ජෝයිස්ටික වගෙයි. ඒවා 1969 ජූලි මාසයේ දී හඳ මතට මිනිසා ගෙන ගිය ඇපලෝ 11 යානයට සම්බන්ධ කොටස්. ඒ වෙන්දේසියෙන් ඇමරිකන් ඩොලර් ලක්ෂ තුනක් විතර ඉපැයීමට බලාපොරොත්තු වෙනවා. මේ මෙහෙයුම් යෂ්ටි දෙක තමයි, ඇපලෝ 11 මගින් හඳ මතට ඔවුන් ගෙන ගිය කොලොම්බියා සේවා මොඩියුලය හැසිරවීමට යොදා ගත්තේ. ඒවා තමයි මිනිසා පළමුවරට හද මතට ගෙන ගිය ඇපලෝ 11 මෙහෙයුමේ වැදගත් ම සිහිවටන වන්නේ.
ජූලි 16 සහ 17 යන දිනවල කැලිෆෝනියාවේදී 
වෙන්දේසි කිරීමට සැරසෙන මෙහෙයුම් යෂ්ටියක්

නීල් ආම්ස්ට්‍රෝන් භාවිතා කළ මෙහෙයුම් යෂ්ටිය

වසර 51කට පෙර මිනිසා මේ සියවසේ ලද විශිෂ්ටතම ජයග්‍රහණය සලකුණු කළ, සංකේත ලෙස සැලකිය හැකි මේ සුවිශේෂ කෞතුක වස්තු කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ස්හි ජුලියන්ස් වෙන්දේසි පොළේ දී ‘ලෙජන්ඩ්ස් ඇන්ඩ් එක්ස්ප්ලොරර්ස්’ නම් වෙන්දේසියේදී වෙන්දේසි කෙරෙනවා.
හඳ මත පළමු පියවර තබමින් නීල් ආම්ස්ට්‍රෝන් කීවේ, 
‘මිනිසා මේ තබන පුංචි පියවර මිනිස් වර්ගයා 
වෙනුවෙන් තැබූ එක් දැවැන්ත පියවරක්’ කියායි.

අඟල් හතර හමාරක් උස මේ මෙහෙයුම් යෂ්ටි හුරුබුහුටි දැව ඇසුරුමක බහා තියෙනවා. එහි ඇපලෝ 11 ලාංඡනය හා නාසා ආයතනයේ සහතික කළ ටැග් යොදා තියෙනවා.

මුල්ම සඳගාමීන් ‍ගෙන ගිය යානා කොටස හැඳින්වූයේ කොලොම්බියා කියායි. චන්ද්‍රයා වෙතට ගිය යානය නම් කර තිබුණේ ඊගල් කියායි.
එඩ්වින් ඕල්ඩ්‍රින් භාවිතා කළ මෙහෙයුම් යෂ්ටිය

ඇපලෝ වැඩ සටහන යනු කුමක්ද ? 

සෝවියට් දේශය 1957 අප්‍රේල් මාසයේ දී ස්පුට්නික් 1 යනුවෙන් කාත්‍රිම චන්ද්‍රිකාවක් යැවීමෙන් අභ්‍යවකාශ යුගය ඇරැඹුණා. සෝවියට් දේශය 1961 අප්‍රේල් 12 වැනිදා යූරි ඇල‍ෙක්සිවිච් ගගාරින් ප්‍රථම අජටාකාශගාමියා කරමින් වොස්ටොක් 1 යානයෙන් උඩුගුවනට යැවීමෙන් තවත් පියවරක් ඉදිරියට තැබීමෙන් අභ්‍යවාකශ තරණය සඳහා තරගයක් ඇති වුණා. ඒ සෝවියට් දේශයත් ඇමරිකා එක්සත් ජනපදයත් අතරයි.

එහි අභියෝගය බාර ගත් ඇමරිකා එක්සත් ජනපදය හඳ ගමන සැලසුම් කළා. එහි ප්‍රතිඵලයක් ලෙසයි, 1961 දී ඇපලෝ වැඩසටහන ඇරඹුණේ. ඉන් වසර අටකට පසු ප්‍රථම මිනිසා හඳට පා තැබුවා. සෝවියට් දේශය මිනිසුන් හඳට යැවීමට තරඟ කළේ නැහැ. ඒ වෙනුවට ස්වයංක්‍රීය අජටාකාශ යානා යැවුවා. ඒ යානා මගින් හඳ මතින් පස් සාම්පල පවා ගෙනාවා.

ඇපලෝ වැඩ සටහනේ මුල් ම යානා උඩුගුවනට යැවූයේ යන්ත්‍රසූත්‍රවල ක්‍රියාකාරිත්වය අත්හදා බලන්නයි. අනෙක් යානා හතෙන් හයක්ම හඳ වෙතට යැවීමට හැකි වුණා. මිනිසුන් රැගෙන හඳ බලා ගිය පළමු යානය වන ඇපලෝ 8 යානය හඳ වෙතට ගොඩ බැස්සේ නැහැ. 1968 නත්තල් දා සැන්දෑවේ එය හඳ වටා ගොස් ආපසු නිරුපද්‍රිතව අජටාකාශගාමීන් සමග ආපසු ආවා.

වෙනත් අජටාකාශගාමීන් පිරිසක් කැටුව ගිය ඇපලෝ 9 යානය දින දහයක් තිස්සේ පෘථිවි කක්ෂයක යමින් ප්‍රථම වරට හඳ මතට පා තබන්නට නියමිත මිනිසා වූ නීල් ආම්ස්ට්‍රෝන් හා එඩ්වින් ඕල්ඩ්‍රින් එහි ගෙනයන චන්ද්‍රයානයේ සාර්ථකත්වය අත් හදා බැලුවා.
1969 ජූලි 16 වැනිදා මිනිසුන් හඳට ගෙන ගිය 
අඩි 363ක් උස ඇපලෝ 11 අභ්‍යවකාශ යානය 
හා සැටර්න් V රොකට්ටුව.

ඇපලෝ 11 යානය තමයි, 1969 ජූලි 20 වැනිදා හඳ මතට ප්‍රථම වරට ගොඩ බැස්සේ. එහි ගිය අභ්‍යවකාශ ගාමීන් වූයේ ප්‍රධාන නියමුවා වූ නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්‍රින් හා මයිකල් කොලින්ස් යන තිදෙනායි. ඇපලෝ 11 යානය කොටස් තුනකින් යුක්ත වුණා. ඇපලෝ 11 උඩුගුවනට ගෙන යන සැටර්න් V රොකට්ටුව, මවු යානය වූ කොලොම්බියා හා චන්ද්‍ර යානය වූ ඊගල් ඒ කොටස් තුනයි. නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්‍රින් හඳ මතට ගොස් එනතෙක් මයිකල් කොලින්ස් මවු යානය පදවමින් හඳ වටා කක්ෂයක යමින් සිට ඔවුන් මෙහෙයුම අවසන් කර නැවත චන්ද්‍ර කක්ෂයකට ආපසු, චන්ද්‍රයානය අමුණා ගෙන පොළොවට පැමිණීම භාරවූයේ ඔහුටයි. චන්ද්‍රයානය පැදවීම පැවරී තිබුණේ එඩ්වින් ඕල්ඩ්‍රින්ටයි.

චන්ද්‍ර යානය ගොඩ බැස්සේ සඳ මත ‘නිසල මුහුද’ (Sea of Tranquillity) නම් ස්ථානයටයි. හඳ මත පළමු පියවර තබමින් නීල් ආම්ස්ට්‍රෝන් කීවේ, ‘මිනිසා මේ තබන පුංචි පියවර මිනිස් වර්ගයා වෙනුවෙන් තැබූ එක් දැවැන්ත පියවරක්’ කියායි. සඳ මත ඇමරිකන් ජාතික ධජය සිට වූ ඔවුන් දෙදෙ‍නා පෘථිවියෙන් ගෙන විවිධ සිහිවටන හා පරීක්ෂණ උපකරණ එහි සවි කර මෙහි ගෙන ඒමට පස් සාම්පල රැස් කළා. ඔවුන් එහි සිදුවන දේ සියල්ල ඒ මොහොතේම පෘථිවිවාසී අපට දැක ගැනීමට හා විස්තර අසා ගැනීම සැලැස්සුවා. එසේ සෑහෙන වේලාවක් පරීක්ෂණ කටයුතුවල නිරත වූ නීල් ආම්ස්ට්‍රෝන් හා එඩ්වින් ඕල්ඩ්‍රින් දෙදෙනා නියමිත පරිදි සියල්ල සාර්ථකව ඉටු කරමින් ආපසු පෘථිවිය බලා ආවා.

ඒ වසරේම නොවැම්බර් 19 වැනිදා තවත් නියමුවන් පිරිසක් කැටුව ඇපලෝ 12 යානය සඳ‍ෙහි ‘කුණාටු මුහුද’ නම් ස්ථානයට ගොඩ බැස්සා.

ඇපලෝ 13 යානය චන්ද්‍රයා වෙත යවනු ලැබූ ඇපලෝ වැඩ සටහනෙහි තුන්වැනි මෙහෙයුමයි. එය පෘථිවියෙන් නික්ම පැය 56කට පසු ඔක්සිජන් ටැංකියේ පිපිරීමක් සිදු වුණා. ඒ නිසා හඳට ගොඩ බැසීම අත්හිටුවා, එහි ඇක්වේරියස් චන්ද්‍ර යානයට නැඟී ආපසු දිවි ගලවා ගෙන පාථිවියට ආවා.

ඇපලෝ 15 යානය ඇපලෝ වැඩ සටහනෙහි නව වැනි මෙහෙයුමයි. එය එ් වැඩපිළිවෙළෙහි වඩාත් සාර්ථක සඳ ගමන ලෙස සැලකෙනවා. වැඩි වේලාවක් සඳ මත ගත කරමින් විද්‍යාත්මක ගවේෂණ රැසක් එමගින් ඉටු කරනු ලැබුවා.

අවසන් ඇපලෝ මෙහෙයුම සිදු වූයේ 1972 වසරේදියි. ඒ වන විට අජටාකාශගාමීන් 12 දෙනකු සඳ මතට පා තබා තිබුණා.

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments