HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ශ්‍රී පාද අඩවියේ ජීවත්වූ දුර්ලභ කළු කොටියා මර උගුලකින් මරුට!

පසුගිය ජනවාරියේ ‘මල් කැකුළු’ ඔස්සේ ශ්‍රී ලංකාවේ ඉන්නා අති දුර්ලභ කළු කොටියකු පිළිබඳ පුවතක් ගෙනාවා ඔබට මතකද? ශ්‍රී පාද අඩවියේ මෙවන් අපූරු සතකු ඉන්නා බව දුටු අය කියතත් උගේ පින්තූරවත් අපේ වනජීවී අය දැකලා තිබුණේ නැහැ. ඒ නිසාම ඔවුන් එදා කළේ ඌ යන බව කියන ඉසව්ව අල්ලා ස්වයංක්‍රීයව ක්‍රියා කළ හැකි ලෙස වීඩියෝ කැමරාවක් ඇටවීමයි. දින කීපයකින් ම ඔවුන් බලාපො‍රොත්තු ප්‍රතිඵල ලැබුණා. කළු කොටියා ඇවිද ගෙන යනු වීඩියෝ කැමරාවේ සටහන්ව තිබුණා. ඒ වීඩියෝ දසුන් අතර ‘බෝනස් දසුනකුත්’ තිබුණා. එවැනි කළු කොටි පවුලකුත් ඉන්නා බව හෙළි වුණා.

ශ්‍රී පාද අඩවියේ විසූ අති දුර්ලභ කළු කොටියා

ඒත් නල්ලතන්නියේ ලක්ෂපාන වතුයායේ කොනක පිහිටි වගා බිමක ඇටවූ උගුලකට අසුවී ඇති බව මැයි 26 වැනිදා උදේ වනජීවී නිලධාරින්ට දැන ගන්න ලැබුණා. උදේ 10ට ඔවුන් එහි ගියත් පශු වෛද්‍යවරයා එහි ආවේ සවස 2.45ටයි. පණ පිටින් සිටි නිසා අසුවී සිටි මන්ද ගලවා තුවාලවලට බේත් එතැනදීම කර ශ්‍රී පාද මුදා හැරිය හැකියයි වනජීවී නිලධ‍ාරීන් එහි ආ මාධ්‍යවේදීන්ට කීවත් පසුව ආ පශු වෛද්‍යවරයා කියා ඇත්තේ වැඩිදුර ප්‍රතිකාර පිණිස රෝගී සතා උඩවලව සත්ව රෝහල වෙත ‍ගෙන යායුතු බවයි. ඒ අනුව ඌ නිර්වින්දය කර කූඩුවක දමා ගෙන එහි ‍රැගෙන ගියා. අවාසනාවන්ත ලෙස ඌ එහිදී මියගොස් තියෙනවා.

කළු කොටියා මන්දට අසුවූ සිටි අයුරු.

නීතියෙන් සුරක්ෂිත කරන ලද මේ දුර්ලභ සතා අසුවී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් (නීති විරෝධීව අටවන ලද උගුලකට වීම) වන නිසා ඊට වගකිවයුතු තැනැත්තා අල්ලා හැටන් මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලදුව ලක්ෂයක ඇප මත මුදා හැර තියෙනවා. ඒ සමග මේ සත්වයා ඉතා දුර්ලභ එකකු බැවින් උගේ ජාන නිදර්ශකයක් ලබා ගැනීමටත් එම සිරුර කල්තබා ගැනීමටත් වනජීවී දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ලබා ගත්තා. ඒ නිසා අනාගතයේදී ගල්ගමුව වනජීවී කෞතුකාගාරයෙහිදී අපට මේ සතා දැක ගන්නට හැකි වේවි.

සාමාන්‍යයෙන් වන සතකු මිය යාම පිළිබඳ මරණ පරීක්ෂණ සිදු කරන්නේ වනජීවියෙන් වුනත් මේ සතාගේ වැදගත්කම සලකා, ඒ සඳහා දැනටමත් වැඩි අවධානයක් යොමු වි තියෙන නිසා, මේ කළු කොටියා පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේදී සිදු කිරීමට හැටන් මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තියෙනවා. මේ නඩුව නැවත කැඳවීමට නියම වී ඇත්තේ ජූලි 29 වැනිදාටයි.

බොහොම දෙනෙකු මේ ගැන සංවේගයෙන් යුත් සටහන් දැනටමත් සමාජ ජාලාවල ලියා තියෙනවා. ඒ අතර ප්‍රකට පරිසරවේදියකු වූ නයනක රන්වැල්ල සිය මුහුණු පොත් ගිණුමේ මෙහෙම සටහනක් තබා තියෙනවා.

තුවාල ලබා සිටි කළු කොටියා නල්ලතන්නියේ සිට 
උඩවලවේ සත්ව රෝහලට ගෙන ගිය අයුරු 
නයනකගේ මුහුණු පොතේ දක්වා තිබුණේ මෙසේයි.

‘උඹ අපිට හැමදේටම වඩා වටිනවා.
එත් අපිට උඹව බේර ගන්න බැරි වුණා ...
උඔ වෙනුවෙන් කරන්න පුළුවන් බොහෝ දේවල් ගැන අපි හැමෝටම කිව්වා.නමුත් කවුරුත් ගණන් ගත්තේ නැහැ.ඊයේ උඹ අන්තිම වතුර ටික බොන හැටි අපි බලාගෙන සිටියා තිරය ඉදිරියේ. මේ මළ පුඩු අන්තිම නරකයි.ඒවා නවත්වන්න නිවැරදි වැඩ පිළිවෙළක් දියත් කරන්න කියලා අපි වනජීවීයට දශකයකටත් වඩා වැඩි කාලයක් කිව්වා.කවුරුත් ගණන් ගත්තේ නැහැ…’

නයනක රන්වැල්ලගේ මුහුණු පොතේ ගිණුමට ගියොත් ඔබට එහි තවත් විස්තර කියවන්න පුළුවන්.

ශ්‍රී ලංකා කොටියා - නීතියෙන් අධි ආරක්ෂිත සතෙක්

අපේ රටේ ඉන්නා ඉතාමත් අලංකාර සත්වයකු වන ශ්‍රී ලංකා කොටියා නීතියෙන් අධි ආරක්ෂිත තත්වයක් හිමි සුවිශේෂී වූ ජීවියෙක්. ඌ විද්‍යාත්මකව හඳුන්වනු ලබන්නේ ‘පැන්තේරා පාඩුස් කොටියා’ (Panthera pardus kotiya) කියායි. මේ සතුන් දැනට සංඛ්‍යාත්මකව ඉන්නේ දහසකටත් අඩු ප්‍රමාණයක්. 2015 දී කොටියන් 700-950ක් පමණ වී යැයි විකිපීඩියා විශ්වකෝෂයේ සඳහන් වෙනවා. එයිනුත් අඩකටත් වැඩි ප්‍රමාණයක් ඇත්තේ විල්පත්තු අභයභූමියෙහියි.

පසුගිය මාසය තුළ පමණක් මිනිසුන් විසින් අට වන ලද උගුල්වලට අසු වූ නාඹර කොටියන් තුන් දෙනකු ම මිය ගිය බවට වාර්තා වුණා. එකෙක් උගුල කඩා ‍‍ගෙන ගියත්, ගෙල සිර කළ මන්දත් සමඟ ගසක් මත අසරණව සිටියදී වනජීවී නිලධාරිනට හමුවුණා. මහත් පරිශ්‍රමයක් යොදා ඌ ගසෙන් බස්සවා ගෙන ප්‍රතිකාර කළත් ඌ බේරා ගැනීමට නොහැකි වුණා. මේ ලියන මොහොතේ දීත් මන්දකට අසු වූ කොටියකු යටියන්තොටදී හමුවුණා. කොටින් ම කියතොත් කොටියාට එල්ල වී ඇති වඳ වී යාමේ තර්ජනය හරිම බරපතලයි.

දිවයිනේ ප්‍රකට පරිසරවේදියකු හා ක්‍රියාකාරිකයකු වූ නීතීඥ ජගත් ගුණවර්ධන මේ පිළිබඳ ඇති නීතිමය තත්වය පහදමින් පසුගියදා බීබීසී සිංහල සේවයට මෙසේ අදහස් දක්වා තිබුණා. ‘වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ 30 වන වගන්තියේ, දෙවන උප වගන්තිය අනුව කොටියා දැඩි ලෙස ආරක්ෂිත ක්ෂීරපායි සතෙක්. එවන් සතෙකු අල්ලා ගැනීම, තුවාල කිරීම, මරණයට පත්වෙන විදියේ තත්වයක් ඇති කිරීම වරදක්. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් මේවගේ දේවල් නොකරන්න, මිනිස්සුන්ට ආදර්ශයක් දෙන විදියේ කටයුතු කරන්න මේ අවස්ථාවේදී පුළුවන් වෙයි කියලා.’

මේ සතුන් රැක ගැනීම නීතියෙන් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා මහජන සහයෝගයත් ඕනෑ. ඒකට ජනතාව දැනුවත් කිරීම හා දැනුවත් වීම ඉතා වැදගත්.

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments