HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නෙත පිනවන ගත සනසන නවසීලන්තයේ දිය ඇලි හා මංපෙත්

නවසීලන්තයේ කඳු බහුලයි. එහෙත් ඒවා වඩා උස ඒවා නොවෙයි. ඒ නිසා ම දිය ඇලිද උස ඒවා නොවෙයි. එහෙත් ඒවා අලංකා‍රයෙන් අඩුවක් නැත. පිහිටීම අනුවත් ඒවා බලන්නට යන සංචාරකයන්ට සපයා ඇති පිවිසුම් මං පෙත් නිසාත් ඒවායේ ආස්වාදයේ අඩුවක් නැත.

සුප්‍රකට මනුකා මී පැණිවලට දායක වන මනුකා ශාකය

දැනට දක්වා ඇති තොරතුරුවලට අනුව මේ රටෙහි නම් කළ දිය ඇලි 249ක් තියෙනවා. ‘මංගල වේලය’ කියා හඳුන්වන දිය ඇලිම හතක් ඇති අතර ඒවා අරින් උසම දිය ඇල්ල ලෙස සැලකෙන්නේ, දකුණු දූපතේ ඩවුට්පුල් සවුන්ඩ්හී පිහිටි මිටර් 836ක් උස ‍බ්‍රෝ (Browne) දිය ඇල්ලයි. එය දැක ගත හැක්කේ පියෝඩ්ලන්ඩ් ජාතික වනෝද්‍යානය තුළදීයි.

ෆන්ගරේ ඇල්ල නරඹන මං තීරුවක්

නවසීලන්තයේ උතුරු දූපතේ බ්‍රයිඩල් වේල් දිය ඇල්ල, මරකෝපා දිය ඇල්ල, වෛරේරේ දිය ඇල්ල, තරාවේරා දිය ඇල්ල, හුකා දිය ඇල්ල, තාරානාකි දිය ඇල්ල, පපාකොටෝ දිය ඇල්ල, රෙරේ දිය ඇල්ල හා වයිහි දිය ඇල්ල යන එ්වා වඩාත් ජනප්‍රසාදිතයි. දකුණු දූපතේ දිය ඇලි අතර වඩාත් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වී ඇත්තේ මංගටානි දිය ඇල්ල, ඩෙවිල්ස් පන්ච්‍බෝල් දිය ඇල්ල, බෝවන් දිය ඇල්ල, අර්ල්ලන්ඩ් දිය ඇල්ල, ස්ටර්ලින් දිය ඇල්ල, සදර්ලන්ඩ් දිය ඇල්ල, බ්‍රයිඩල් වේල් දිය ඇල්ල හා මැක්ලීන් දිය ඇල්ල යන ඒවායි.
ෆන්ගරේ (Whangarei) දිය ඇල්ල

නවසීලන්තයේ හැම ගෙදරකට ම කාර් දෙකකට ආසන්න ගණනක් තිබුණත් නගරයට රස්සාවට යන අය පොදු ප්‍රවාහන සේවය ප්‍රයෝජනයට ගන්නවා. ඒ නගරයේ රථගාල් ප්‍රමාණවත් තරම් නොමැති නිසායි. බයිසිකල් පදින අයට වෙනම මං තීරුත් තියෙනවා. පයින් යන අයට ඇවිදින මං තීරු සෑම තැනක ම හමුවෙනවා. රටේ භූමි ප්‍රමාණයෙන් සියයට 30කට වැඩි ඉඩක් වන රක්ෂිත පරිසර බවට පත් කර තියෙනවා. ඒ වගේ ම නිතර ගස් සිටුවීමත් නිතර කෙරෙනවා.

මං දැකපු මං තීරු අතරින් ලස්සනම මං තීරු වශයෙන් මා දුටුවේ ෆන්ගරේ (Whangarei) දිය ඇල්ල අවට ඇති මං තීරුවයි. ලොව විශාලතම පැරණි ගස ලෙස සැලකෙන ටානේ මහුටා බලන්න ගිය වේලේ අපට කව්රි වනයක් මැදින් යන්නට ලැබුණා. ඒ මං තීරුවත් සිත් ගන්නාසුලු එකක්. නමුත් ඊට වඩා ෆන්රේ ඇල්ල මංතීරුව විශිෂ්ටයි.

ෆන්ගරේ ඇල්ල නරඹන මං තීරුව දිය ඇල්ල වටා එතුණු එකක්. දිය ඇල්ල සාදන ඇල හරහා යන එය උයනකට යනවා. ඒ උයනේ අලුතින් පැල රෝපණයක් කර තියෙනවා. නවසීලන්තයේ අගනුවර වූ ක්‍රයිස් චර්ච් නගරයේ ඉස්ලාමීය පල්ලියක බැතිමතුන් පිරිසකට තනි ඝාතකයකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් මියගිය 51 දෙනා සිහිවීම සඳහායි, ඒ පැල 51ක් රෝපණය කර තියෙන්නේ.

එතැනින් විහිදෙන මං තීරුව යළිත් වනයේ ගස් අතරින් පහළට ගිහින් ලී පාලමකට පිවිසෙනවා. ඒ පාලම දිය ඇල්ල බලන්න ඇති තවත් තැනක්. ඒ මැදට ගියාම දිය ඇල්ල ඇස් මට්ටමෙන් නරඹන්නත්, ඒ වගේම පින්තූර ගන්නත් අපට පුළුවන්. එතැනින් පිට වී යන අපව මං තීරුව ගෙන යන්නේ දිය ඇල්ල වැටෙන බිමටයි.

හාටී රිවර් වෝක් (hatea river walk)

මීටර් 26.3ක් උස ෆන්ගරේ දිය ඇල්ල පහළට ඇද හැළෙන හැටි හොඳින්ම නරඹන්න පුළුවන් එතැනදියි. එතැනින් පසු කව්රි ගසින් යුත් වනයක් මැදින් යළිත් ගමන ඇරඹූ තැනට එන්න පුළුවන්.

මේ මංපෙතින් ඔබට අවශ්‍ය නම් ඒඑච් රීඩ් කවුරි වනෝද්‍යානයට යන්න පුලුවන්. නවසීලන්තයේ ඇති විශාලතම කවුරි වෘක්ෂය ගැන කලින් කීවා ඔබට මතක ඇති. එවැනි වෘක්ෂ රාශියක් මේ වනාන්තරයේත් තියෙනවා. ඒ සමහර ගස් අවුරුදු 500ක් තරම් පැරණියි. මෙහි ඉහළ කොටසට විහිදෙන මංපෙත හැඳින්වෙන්නේ ‘හාටී රිවර් වෝක්’ කියලයි. මේ මංපෙතේ යන ඔබට නවසීලන්තයට ආවේණික පඳුරු ගස් බහුලව දකින්නත් ඒවගේ සුන්දරත්වය විඳින්නත් පුළුවන්. ඒ ගස් අතර නිකාවු (nikau), ටොටාරා (totara), මනුකා (manuka), වගේම කෝකා (kouka) හෙවත් ගෝවා ගස්, පොංගා හෙවත් නවසීලන්තයේ සංකේතයක් වන මීවන විශේෂයත් දැක ගන්න පුළුවන්. ඒවගේ ම ඒ පඳුරු අතර ගැවසෙන නවසීන්තලයට ආවේණික කුරුල්ලන් රැසක් දැක ගත හැකියි. ඔවුන් අතර කුකුපා (kukupa) හෙවත් දේශීය වන පරවියා, ටුඊ (tui) හා රිරෝරිරෝ(riroriro) හෙවත් අළු පන්රැවියාත් වෙනවා.

නවසීලන්තයේ උසින් වැඩිම බ්‍රෝ (Browne) දිය ඇල්ල

කුකුපා (kukupa) හෙවත් දේශීය වන පරවියා


ටුඊ (tui)

-පර්සි ජයමාන්න

Post a Comment

0 Comments