HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නවසීලන්තයේ විස්මිත රුක්දෙවියා සොයා ගියෙමි

නවසීලන්තයට අයත් උතුරුලන්තයේ වයිපෝවා කව්රි වනාන්තරයේදී මේ යෝධ රුක්දෙවියා දැක ගත හැකිය. වසර දෙදහසක් තිස්සේ මෙහි වජඹෙන මේ යෝධයා මුලින්ම ඉර පායන රටට වූ මේ උත්තර දේශය දෙස නිහඬව බලා සිටියේය. ඔහුට කතා කළ හැකි නම් ඒ දිගු කතාව අපට පවසනු ඇත. ඔහුගේ දරුවන් ලෙස සිටි මහා වෘක්ෂ සමුදායත්, කුරුල්ලන් ඇතුළු අතීතයේ සිටි සියල්ලක් ම දැන් නැත. දැන් ඉතිරිව ඇත්තේ ඒ අතරින් සුවිශේෂ වූ කිවි පක්ෂියා පමණය. ඒ පක්ෂියා සංකේතවත් කර ගෙන මෑත යුගයේ ඔහුගේ දරුවන් බවට පත් වූ නවසීලන්ත වැසියෝ මේ යෝධයාව මහත් වූ පරිශ්‍රමයක් දරමින් ඔහුට මිය යා නොදී රැක බලා ගනිති.

නවසීලන්තයේ වනස්පති

පසුගියදා මෙම යෝධයා ඇතුළු කව්රි ගස් රාශියට දරුණු රෝගයක් වැලඳීමේ අවදානමක් ඇති විය. කව්රි ඩයි බෑක් ඩිසීස් කියා හැඳින්වුණු ඒ රෝගය නිසා කව්රි වනාන්තරයේ බොහෝ ගස් දිරා යන්නට විය. දැන් ඒ අනතුරෙන් ඒ වනසම්පත රැක ගැනීමට විශේෂ පියවර ගෙන තිබේ. එහි එන සංචාරකයන්ට ඒ මං පෙතට ඇතුළු විය හැක්කේ දෙපා (සපත්තු පිටින්) සෝදා ගැනීමෙන් අනතුරුවය. වනපෙතෙහි ඇවිද යන අයට ඒ රක්ෂිත වෘක්ෂවලට ළං වීමට නොහැකි වන සේ ආරක්ෂිත වැට ද යොදා ඇත.

ඒ ‍යෝධ වෘක්ෂය ඉදිරිපිට සවි කර ඇති පුවරුවක එහි අතීත කතාව මෙසේ සටහන් කර තිබේ.

ම‍වුරි ප්‍රවාදවලට අනුව රන්ගිනුයි (ආකාශය) පියාටත් පපාටුවානුකු (මිහිමව)ටත් දාව උපන් දරුවා ටානේ මහුටා ය. ඔහු මුළු වනගහනයට අධිපති වෘක්ෂ දේවතාවාය. වනස්පතිය. උපන් පසු මව්පියන්ගේ ප්‍රථම වැළඳ ගැනීම බිඳ දමා ඔවුන් දෙපසට කොට පොළොවට ආලෝකය, අවකාශය හා වාතය වැටෙන්නට සලස්වා මිහිමත ජීවය වැඩෙන්නට මඟ පෑදීය. ටානේ ජීවය දෙන්නාය. සියලුම ජීවීන්ගේ පියාය. මෙය නවසීලන්තයේ ඇති විශාලතම කව්රී වෘක්ෂයයි. එහි වයස හරියටම ඇස්තමේන්තු කළ නොහැකිය. සමහර විට වසර 2000කට පෙර ක්‍රිස්තුස්වහන්සේ ජීවත් වූ කාලයේ තරම් ඈතක මෙහි උපත කව්රි බීජයකින් සිදු වන්නට ඇතැයි සැලකේ.




ටානේ මහුටා වනස්පතිගේ කඳ පමණක් උසින් මීටර් 17.7කි. මුළු උස ප්‍රමාණය මීටර් 55.1කි. ක‍ඳ‍ෙහි වට ප්‍රමාණය මීටර් 13.8 කි. ක‍ඳ‍ෙහි මුළු පරිමාව ඝන මීටර් 244.5කි. ඒ දැවැන්ත කඳ මත 1200ක පමණ විවිධ ශාක ප්‍රජාවක් ද ඇත.

ටානේ මහුටා හැරුණු විට ඒ තරම්ම විශාල තවත් කව්රි ගස් හතරක් කව්රි වනාන්තරය මැදින් වැටී ඇති පිය මං ඔස්සේ යන විට හමුවෙයි. ඒවා නම් කර ඇත්තේ ‘යකා’ හා ‘සහෝදරියන් තුන් දෙනා’ කියායි. මේ දවස්වල ඒවා වෙත වැටී අතුරු මං වසා ඇති නිසා සංචාරකයන්ට ඒවා මේ දවස්වල නැරඹිය නොහැකිය. ‍ඒ වෙනුවට වෙනත් කවුරි ගස් නරඹමින් එහි සිසිලස විඳිමින් ප්‍රධාන පිය මග ඔස්සේ ඇවිද යා හැකිය.

සවස් කාලයේ හා රාත්‍රි කාලයේ දී මේ කව්රි වනාන්තරවල ගැවසෙන කිවි සතුන්ද මෙහිදී දැක ගත හැකිය. මේ රුක් දෙවියා වෙනුවෙන් ද ඔවුන්ගේ ගීතයක් තිබේ.

අතීතයේ දී යුරෝපීයයන් නවසීලන්තයට ආවේ තල්මසුන් දඩයම් පිණිසය. ඊට පසු කව්රි දැව හා කව්රි මැලියම් සොයා ගෙනයි. කව්රි දැව වැදගත් වූයේ එහි ඇති ශක්තිමත් බව හා ලුණු වතුරට ඔරොත්තු දීමේ හැකියාව නිසාය. ඒ හේතුවෙන් නැව් තැනීමට, විශේෂයෙන්ම කුඹ සඳහා කව්රි දැව යොදා ගනු ලැබීය. රන් හා රිදී සොයා පැමිණි පිරිස් ද ඒ අතර වූහ.

යුරෝපීයන් එන්නට කලින් නවසීලන්තයට මුලින්ම ආවේ පොලිනීසියානුවන්ය. ඒ මීට වසර 700කට පමණ පෙරය. ඔවුන් මවුරි නමින් වෙනම බසක් හා සංස්කෘතියක් මෙහි ගොඩනගා ගෙන තිබේ. පසුව ආවේ යුරෝපීයයන්ය. ඒ 18 වන සියවසේදී තරමය. මුලදී මෙහි ජනාවාස පිහිටුවා ගත් ඉංග්‍රීසීන් ප්‍රමුඛ යුරෝපීයයෝ (පකීහා) ඉඩම් වෙනුවෙන් දේශීය මවුරිවරුන් සමග ගැටුම් ඇති කර ගත්හ. පසුව ඉංග්‍රීසීන් 1843 දී එවකට දේශීයයන් වශයෙන් සලකනු ලැබූ මවුරි නායකයන් සමඟ ගිවිසුමකට එළඹෙමින් මෙරට ඉංග්‍රීසි ජනාවාස තහවුරු කර ගැනීමට කටයුතු කරනු ලැබීය.

අද යන යන තැන බොහෝ විට දකින්නට ඇත්තේ මවුරි බසින් යෙදූ නාම පුවරුය. ඒවා ලියා ඇත්තේද ඉංග්‍රීසි භාෂාවෙනි. මවුරි බසට අක්ෂරමාලාවක් නැති නිසා ඒ බස ලියන්නේද ඉංග්‍රීසියෙනි. ලියන හැම දෙයම එකම බසකින් ලියන නිසා මෙහි භාෂා භේදයක් නැත. කියන දේ හා ගයන දේ භාෂා දෙකෙන්ම සිදු කෙරේ. එරට ජාතික ගීය මුලින් ගැයෙන්නේ මවුරි බසිනි. දෙවනුව ඉංග්‍රීසියෙනි.

නවසීලන්තය මවුබිම කර ගත් ලොව නන් දෙසින් පැමිණි විවිධ ජාතීන් සියලු දෙනාගේම දරුවන් එක්ව කිවියන් වෙමින් එරට ජාතික ගීය මහත් අබිමානයෙන් යුතුව, මුලින් මවුරි බසින්ද දෙවනුව ඉංග්‍රීසියෙන් ද ගයනු මම පාසලක තෑගි ප්‍රදාන උත්සවයකදී දැක ගත්තෙමි. ඒ උත්සවයේ දී ඔවුන් සියලු දෙනාම එක්ව ඊළඟට ගැයුවේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් සහෝදරත්වය පළ කරන ගීයකි. උත්සවයේ වැඩ කටයුතුවලට යොමුවුණේ ඉන්පසුවය.

පර්සි ජයමාන්න


Post a Comment

0 Comments