HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දැන් අප ලොව පුරා පාවිච්චි කරන ලෝක සිතියම වැරදිද?

අද ලෝක සිතියමක් දිහා බලන්න! ඔබට පෙනේවි මහාද්වීප අතරින් උතුරු ඇමරිකාව අපි‍්‍රකාවට වඩා ලොකුවට. ඇලස්කාව, මෙක්සිකෝවට වඩා ලොකුවට. චීනය ගී‍්‍රන්ලන්තයට වඩා කුඩාවට. ඒත් සැබෑවටම ඒක එහෙම නොවෙයි.

චීනය ගී‍්‍රන්ලන්තය වගේ හතර ගුණයක් විශාලයි. අපි‍්‍රකාව උතුරු ඇමරිකාවට වඩා තුන් ගුණයක් විශාලයි. මෙක්සිකෝව ඇලස්කාවට වඩා ලොකුයි!

මේ විකෘති වීම සිදු වී ඇත්තේ මර්කේටර් ප‍්‍රක්ෂේපණය නිසයි. අද පන්ති කාමරවල එල්ලා ඇත්තේ, පෙළපොත්වල භාවිත කෙරෙන්නේ, එපමණක් නොව ලොව පුරා පොදුවේ හැම තැනකම දක්නට ලැබෙන්නේ මේ මර්කේටර් ක‍්‍රමයට අඳින ලද ලෝක සිතියමයි. එය 1596 දී හඳුන්වා දෙනු ලැබුවේ නැවියන්ට මුහුදු ගමන්වලට ආධාර කර ගැනීමටයි.

සමහර විට ඔබ සිතන්න පුළුවන් නවීන චන්ද්‍රිකා තාක්ෂණය හා ගූගල් සිතියම් වැනි මෙවලම්වල පැමිණීම නිසා ලෝකය දෙස බලන අපේ බැල්ම වැඩි දියුණු වීමෙන් අපට දැන් අප භාවිත කරන සිතියම් වැරදි ලෙස පෙනෙනවාය කියා. ඒත් ඒකම නෙමෙයි, හේතුව. ප‍්‍රධාන හේතුව තාක්ෂණික එකක්. මේ ගැටලූව ඇති වුණේ ගෝලාකර හැඩයට ඇති ලෝකය පැතලි සිතියමකට ගළපා අඳින්න යාම නිසයි. මේ තාක්ෂණික ගැටලූව සියවස් ගණනාවක් තිස්සේ ලොව පුරා සිටි සිතියම් ශිල්පීන්ට ලොකු අභියෝගයක් වුණා; විසඳා ගත නොහැකි වදයක් වුණා. අනිත් අතට සිතියම් සැකසූ අය ලෝකයේ ඇතැම් රටවල් ගැන දැරූ ආකල්ප අනුවත් රටවල විශාලත්වය අඩුවැඩි වුණා.

 
මේ මර්කේටර් ප‍්‍රක්ෂේපණයට පැතලියට ඇඳි ලෝක සිතියම 1596 දී හඳුන්වා දෙනු ලැබුවේ නැවියන්ට මුහුදු ගමන්වලට ආධාර කර ගැනීමටයි. මේ හුරුපුරුදු සිතියමෙහි හැඩතල නිවැරදිව දැක්වුවත් ඒවායේ ප‍්‍රමාණයන් වැරදි බව දැන් හෙළි වී තියෙනවා.

මර්කේටර් සිතියමෙහි ඇති වැරදි මොනවාද?
අපි‍්‍රකානු මහාද්වීපය ගී‍්‍රන්ලන්නය මෙන් 14 ගුණයක් විශාලයි. ඒත් සිතියමේ දක්වා ඇත්තේ මේ ගොඩබිම් දෙකම එක සමාන ප‍්‍රමාණයටයි.

බ‍්‍රසීලය ඇලස්කාව මෙන් හැබෑවටම පස් ගුණයක් විශාලයි. ඒත් සිතියමට අනුව ඇලස්කාව බ‍්‍රසීලයට වඩා විශාලවයි දක්වා ඇත්තේ.

ඒ සිතියමට අනුව ස්කැන්ඩිනේවියානු රටවල් සමූහය ඉන්දියාවට වඩා විශාලව දක්වා ඇතත් ඒත් සැබැවින්ම නම් ඉන්දියාව ඒ රටවල් සියල්ල එක්ව ගත් විට ඒ වගේ තුන් ගුණයක් විශාලයි.

ඒ සිතියමට අනුව යුරෝපය උතුරු ඇමරිකාවට වඩා ලොකුයි. ඒත් ඇත්ත නම් එහි අනෙක් පැත්තයි. රුසියාවත් එහි ඇඳලා තියෙන විධියට අපි‍්‍රකාවට වඩා ප‍්‍රමාණයෙන් ලොකුයි. ඒත් අපි‍්‍රකාව රුසියාවට වඩා හුඟක් විශාලයි.

පසුගිය කාලයේ ලොව පුරා භාවිත වන ලෝක සිතියම්වල හැඩ විවිධාකාරව දක්නට ලැබුණා. හදවතේ හැඩයේ සිට කේතුකාකර හැඩයන් ඇති ලෝක සිතියම් බිහිවුණා. එහෙත් මේ විවිධත්වය නැති වී ගොසින් එක් සිතියමක් පමණක් ඉතිරි වුණා. අනෙක් සියල්ල අබිබවා සිටි ඒ සිතියම තමයි ජෙරාඞ් මර්කේටර් නිර්මාණය කළ මර්කේටර් ප‍්‍රක්ෂේපණ ලෝක සිතියම.

සියවස් ගණනාවක් තිස්සේ අපට හොඳට හුරුපුරුදු මර්කේටර් සිතියම තුළින් අපට ඒ ඒ රටවල හැඩයන් නිවැරදිව දැක ගන්න පුළුවන්. ඒත් ඒවායේ ප‍්‍රමාණයන් නම් විකෘති කරලයි තියෙන්නේ. උතුරු අර්ධගෝලයේ ඇති පොහොසත් රටවල් ප‍්‍රමාණයට වඩා විශාල වන ලෙසයි, ඒ සිතියමේ ඇඳලා තියෙන්නේ.

 
මේ මර්කේටර් ප‍්‍රක්ෂේපණයට වඩා හොඳ විකල්පය ලෙස ඉදිරිපත් වුණු ගෝල්-පීටර් ප‍්‍රක්ෂේපණයට අනුව ඇඳි සිතියමයි. 1974 දී ආ මේ සිතියම ඞී. ආනෝ පීටර්ස් විසින් ඉදිරිපත් කරන ලද්දක්. මේකෙත් අඩුපාඩු තියෙනවා. සමහර තැන්වලදි, ධ‍්‍රැව අසලදි, ගොඩබිම තිරස් අතට වැඩියෙන් ඇදුණු බවක් පේනවා. සමකයෙදි (නිරක්ෂයෙදි) සිරස් අතට වැඩියෙන් ඇදී ඇති බවක් පේනවා.

නිදසුනක් වශයෙන් මර්කේටර් ප‍්‍රක්ෂේපණයට අනුව උතුරු ඇමරිකාව අපි‍්‍රකාවට වඩා ලොකුවටයි ඇඳලා තියෙන්නේ. ගී‍්‍රන්ලන්තයත් එහෙමයි. නමුත් සැබෑවට නම් අපි‍්‍රකාව ඒ භූමි ප‍්‍රදේශ දෙකටම වැඩිය ලොකුයි. උතුරු ඇමරිකාව අපි‍්‍රකාව මත තැබුවොත් ඉන්දියාව, ආජෙන්ටිනාව හා ටියුනීසියාව යන රටවල් පමණක් නොව ඒ මත තවත් රටවල් කීපයක් තබන්න ඉඩ ඉතුරු වෙනවා.

ඒ අතර වඩාත් නිවැරදිව මහාද්වීප භූමි ප‍්‍රමාණයන් දක්වන්නේ යැයි පිළිගැනෙන ගෝල්-පීටර්ස් සමාන ප‍්‍රක්ෂේපණ සිතියමේ ගී‍්‍රන්ලන්තය දැක්වෙන්නේ මර්කේටර් සිතියමේ ඇති ප‍්‍රමාණයට වඩා 1/14ක් කුඩාවටයි.

 
මේ සිතියම හෝ මේ වගේ එකක් තමයි, කොලම්බස් ඇරගන්හී ෆර්ඩිනන්ඞ් රජුට හා කැස්ටීලයේ ඉසබෙලා රැජිනට පෙන්නුවේ, 1490 ගණන්වල මුල හරියෙදි තමන්ගේ සමුදුරු චාරිකාවලට උදවු ලබා ගන්න. මෙය ජර්මානු ජාතික හෙන්රිකස් මාටෙලස්ගේ නිර්මාණයක්. ඔහු ෆ්ලොරන්ස් නගරයේ සිටියදී ඇඳි මේ සිතියමෙහි ලංකාව දක්වා තියෙන හැටි බලන්න.

 
මේ 1623 දී චීන අධිරාජයා විසින් නිර්මාණය කරවන ලද ලෝක ගෝලයයි. එය නිර්මාණය කළ අය චීනයට වැඩි ඉඩක් හා වැඩි තැනක් ලබා දීල තියෙනව.

 
මේ වර්නර්ගේ හදවතෙහි හැඩය ඇති ලෝක සිතියමයි.

මර්කේටර් සිතියමේ ඉන්දියාවට වඩා ලොකුවට ස්කැන්ඩිනේවියානු රටවල් (ඩෙන්මාර්ක්, ස්වීඩනය, අයිස්ලන්තය, ෆින්ලන්තය ඇතුළු රටවල්) දක්වා තිබුණද ඒ රටවල් සියල්ලම එක්ව ගත් කළ ඉන්දියාව තුන් ගුණයකින් විශාලයි.

එසේ වුනත් අභාවිතයට ගිය ලෝක සිතියම් පවා ලෝක ඉතිහාසය දැක්වීමේ ඉතා වැදගත් තැනක් ගන්නවා.

සිතියම්වලින් ලෝක ඉතිහාසය සනිටුහන් වෙනවා. 1921 දී සෝවියට් දේශය ආරම්භ වූ අවධියේ ‘ආරක්ෂාකාරීව අවදියෙන් සිටින්න!’ නමින් සිතියමක් නිර්මාණය කෙරුණා. ආක‍්‍රමණය, සාගතය, හා සිවිල් කලබල ආදිය ගැන විමසිල්ලෙන් සිටින්න කියා ජනතාවට කියන්නයි ඒ සිතියම නිර්මාණය කළේ.

ඊට එරෙහි ව බෝල්ෂෙවික් පාක්ෂිකයන් දිමිති‍්‍ර මුවර් වැනි සැලසුම්කරුවන්ට ගෙවා ප‍්‍රචාරක කටයුතු දියත් කළා.

යුරෝපීය රුසියාවේ හා අසල්වැසි රටවල සිතියමක් යොදා ගෙන මුවර් ප‍්‍රචාරක කටයුත්තක් දියත් කළා. සෝවියට් දේශය ආරම්භයේ දී විදේශ ආක‍්‍රමණයන්, සාගතය හා සිවිල් කැරලිකෝලාහල ඇති වීමේ තර්ජනයක් එල්ල වුණා. එයට එරෙහිව සුප‍්‍රකට සැලසුම්කරුවකු වූ දිමිත‍්‍ර මුවර් බොල්ෂෙවික් අනුග‍්‍රාහක ප‍්‍රචාරක කටයුත්ත සඳහා ඇඳි සිතියමෙහි බෝල්ෂෙවික් ආරක්ෂකයෙකු ආක‍්‍රමණිකයන්ට එරෙහිව රට ආරක්ෂා කර අයුරු දැක්වෙනවා.

 
සාමාන්‍ය පිළිගැනීම අනුව ලෝකයේ බොහෝ සිතියම්වල උතුර උඩ අතට පිහිටින ලෙසයි, අඳිනු ලබන්නේ. ඒක නිවැරදියැයි ලෝක පිළි ගැනීම වුනත් මර්කේටර් සිතියම අනුව මේ විදියට යොදන්නත් පුළුවන්.

චීනය ලෝකය දුටු හැටි 1623 දී නිර්මාණය කරන ලද හිනීස් ග්ලෝබ් (Hinese Globe) ලෝක ගෝලයෙන් දැකගන්න පුළුවන්. එහි චීනය විශාලව හා කේන්ද්‍ර කොට දක්වා තියෙනවා. දැනට හමු වී ඇති පැරණිම චීන ලෝක ගෝලය ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

ඊට සියවසකට පෙර 1507 දී වොල්ඞ්සීමුලර් (Waldseemuller) සිතියමෙහි මුල්වරට ඇමරිකාව වෙන භූමි ප‍්‍රදේශයක් ලෙස දක්වා තියෙනවා. ඓතිහාසික වශයෙන් සිතියම් ඉතා වැදගත් බව පෙන්වන්න මෙය ඉතා හොඳ නිදසුනක්.

2005 දී ගූගල් අර්ත් ලෝක සිතියමක් හඳුන්වා දුන්නා. එයින් කෙනකුට තමන් ඉන්නා තැන සිට මාර්ග සිතියම කියවන්න පුළුවන්. යායුතු තැන තීරණය කළාම සිතියමේ ඒ කොටස තෝරා ගෙන කෙටි පහසුම මගින් එතැනට යන්න පුළුවන්.

මේ නිසා මුල්වරට තමන්ටම සිතියමක් ඇඳ ගන්නට පුළුවන්තමක් සාමාන්‍ය ජනතාවට ලැබුණා.

දැන් දිනපතා ම ලොව පුරා බිලියන ගණනින් ජනයා ගූගල් සිතියම් භාවිත කරනවා. ඒවා ජනතාවට මුහුදේ පමණක් නොව මහා මාර්ගවල, නගරවල, රටේතොටේ කුඩා පාරවල්වල පවා ඇවිදින්නට මග කියා දෙනවා. දැන් අනෙක් සිතියමක් අවශ්‍ය නොවන තරමට ගූගල් සිතියම ජනතාව අතර ව්‍යාප්ත වෙලා ඉවරයි.

”ඒත් පැරණි සිතියම්වල අගය මඳකින්වත් අඩුවක් වෙන්නේ නැහැ. ඒවා තුළින් ලෝකය හඳුනා ගන්න, ලෝකයේ කලින් කලට වෙනස් වූ හැටි, එහි ඉතිහාසය ආදිය ගැන දැන ගන්න පුළුවන්” යැයි ‘ලෝක සිතියම් 12කින් ලෝක ඉතිහාසය’ (The World History in Twelve Maps) නම් ග‍්‍රන්ථයේ කර්තෘ ජෙරී බ්‍රොටන් කියනවා.

 
1844 දී අතින් අඳින ලද ලෝක සිතියමක්. මෙහි රටවල් දක්වා ඇත්තේ ඒ කාලයේ ඒ රටවලට භාවිත කළ නම්වලිනුයි. සැබැවින් ම ගෝලාකාර ලෝකය සමතල සිතියමකට ගැනීම අතිශයින් ම නිවැරදිව කළ නොහැක්කක්.

 
සෝවියට් දේශය ආරම්භයේ දී විදේශ ආක‍්‍රමණයන්, සාගතය හා සිවිල් කැරලිකෝලාහල ඇති වීමේ තර්ජනයක් එල්ල වුණා. එයට එරෙහිව සුප‍්‍රකට සැලසුම්කරුවකු වූ දිමිත‍්‍ර මුවර් බොල්ෂෙවික් අනුග‍්‍රාහක ප‍්‍රචාරක කටයුත්ත සඳහා ඇඳි සිතියම. මෙහි බෝල්ෂෙවික් ආරක්ෂකයෙකු ආක‍්‍රමණිකයන්ට එරෙහිව රට ආරක්ෂා කර අයුරු දැක්වෙනවා.

 
ගූගල් සිතියම් දිනෙන් දිනම නිවැරදි වෙනවා පමණක් නොව ලොව පුරා හැමතැනකටම ඉක්මනින් යාමට ඔබට මග පෙන්වනවා.

 
1569 දී නිර්මාණය කරන ලද මර්කේටර් සිතියමක්. එහි උතුරු ඇමරිකාව අපි‍්‍රකාවට වඩා ලොකුවට ඇඳ තිබෙන අයුරු දැක ගන්න පුළුවන්.

 
මේ සිතියම තමයි, ඇමරිකානු නිදහස් අරගලය අවසානයේ දී බි‍්‍රතාන්‍ය තානාපතිවරුන් පැරීසියේ දී සම්මුතියකට එළඹීම සඳහා භාවිත කළේ. ඒ නියෝජිත පිරිසේ ලේකම් ධූරය දැරූ රිචඞ් ඔස්වල්ඞ් අතීතයේ එක්සත් ජනපදය හා කැනඩාව අතර දේශ සීමාව පැවති ආකාරය එහි රතු ඉරකින් ලකුණු කර තිබූ ආකාරය.




Post a Comment

6 Comments

  1. මං අර ප්ලේන් එක අතුරුදන් වුන කේස් එකේදිත් හිතුවෙ ලෝකෙ දක්ෂින ද්‍රැවයෙන් එහා පැත්තට ප්ලේන් එක යන්න ඇතිද කියල.

    ReplyDelete
  2. මේ වීඩියෝවත් ඒකෙ තියෙන සබැඳි ටිකත් මේ පෝස්ට් එකට තවත් එකතු කිරීමක් වෙයි.

    https://www.youtube.com/watch?v=2lR7s1Y6Zig

    ReplyDelete
  3. ගොඩක් වටිනා දැනුමක් ....

    බෙදා ගැනීම ගැන ස්තුතියි...

    ReplyDelete