Skip to main content

Posts

Showing posts from July, 2012

මේ මිහිපිටින් වඳ වී යාමේ තර්ජනයට වඩාත් ළං වූ මැඩගස්කරයේ ලීමරයන්!

මේ මිහිපිටින් වඳ වී යාමේ තර්ජනයට වඩාත් ළං වූ සතුන් ලෙස මැඩගස්කරයේ ලීමරයන් නම් කර තියෙනවා. ඔවුන්ගේ අහේතුවට වාසස්ථාන අහිමි වීමේ අවදානමක් බිහි වෙලා! එයට හේතුව වී ඇත්තේ මැඩගස්කරයේ ඇති ඝර්ම කලාපීය වනාන්තර එළිපෙහෙළි කිරීමයි. මේ වන විනාශය අනවසරයෙන් සිදු වන්නක්. ඒ හැරෙන්නට දඩයක්කරුවන්ගෙන්ද ඔවුන්ට හානි පැමිණෙනවා.

වඳ වී යාමේ ඉමේ - නව සමීක්ෂණයකට අනුව ලීමරයන් ලෝකයෙන් තුරන් වීමේ වඩාත් ලොකුම තර්ජනය ඇති සතුන් ලෙස සැලකෙනවා.

ඔබේ කිවිසුම නවතාලිය හැකි ති‍්‍රමාන රූපයක් මෙන්න! විද්‍යාඥයෝ හෙම්බිරිස්සාව සාදන වයිරසයේ පරිගණක රූපයක් තුළට එබී බලති!

මේ විස්මිත නවතම පිළිබිඹුව හා වීඩියෝ දර්ශනය, වැඩිදෙනකුට හෙම්බිරිස්සාව සාදන, ආසාදන ඇති කරන වයිරසයේයි. මෙම පිළිබිඹුව නිර්මාණය කර ඇත්තේ ලෝකයේ වේගවත් ම සුපිරි පරිගණකයක් මගින්.

විද්‍යාඥයන් බලාපොරොත්තු වන්නේ හෙම්බිරිස්සාවට නව වයිරස ප‍්‍රතිකාර ක‍්‍රමයක් සොයා ගන්න මේ විස්මිත රූපවලින් මග පාදාගත හැකි වේවි කියලයි.

ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝන් විශ්ව විද්‍යාලයේ මේ පිළිබඳව පර්යේෂණය කරන කණ්ඩායම ප‍්‍රතිශ්‍යාව සාදන වයිරස අතරින් සියයට පනහකට වග කියන මානව රයිනෝ වයිරසයේ ජිනෝමියක (genome of the human rhinovirus) පූර්ණ ආකෘතියක් සකස් කරන්න සමත් වෙලා තියෙනවා.

ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙක් සුපිරි පරිගණකයක් භාවිත කරමින් සෙම්ප‍්‍රතිශ්‍යා වයිරසයේ විශාලනය කළ ති‍්‍රමාන ආකෘතියක් සකසන්න සමත් වෙලා තියෙනවා. මේ රූපයේ දක්වෙන්නේ එහි ඇතුළත පෙනෙන සේ කපා විවෘත කර ඇති ආකාරයයි.

කොවුල්ස්ටාර් : නව කවිසරණිය

සුමින්ද කිත්සිරි ගුණරත්න නව පරපුරේ කවියෙකි. අමුතු ඇසකින් ලොව දෙස බලන්නට නිතරම උත්සාහ කරන ඔහු පසුගිය කාලයේ තරුණ පරපුරට බලපෑ මහත් ආන්දෝලනයක් ඇති කළ එක් සිද්ධියක් දෙස උපහාසයෙන් බලන්නට මේ නිර්මාණය යොදා ගනියි. ඔහු යෙදූ මැයෙන් ම එය ප‍්‍රකට වෙයි. සොබාදහමේ එන පුංචි සිදු වීමක් ඔහු සිය අදහස් පළ කරන්නට යොදා ගත් අපූරුව බලන්න.

හිග්ස්ගේ ‘දේව අංශුවෙන්’ පසු ඊළඟට කුමක්ද? විද්‍යාඥයෝ දක්ෂිණ ධ්රුවයේ අඩි 8000ක් පොළෝ ගැබ යට රැඳ වූ යෝධ දුරේක්ෂයක් යොදා ගෙන තවත් අබිරහස් අංශුවක් සොයති!

මේ අභිරහස් අංශු සොයා ගතහොත් එයින් ලෝකයේ සම්භවය, විශ්වය තැනුනු අයුරු කෙබඳුදැයි විසඳා ගත හැකි වේවි.

මේවා හසු කර ගත හැකි මෙගා අනාවරකයක් දැන් නිපදවා තියෙනවා. අයිස් කියුබ් (IceCube) යනුවෙන් නම් කර ඇති මෙගා අනාවරකය, දක්ෂිණ ධ්රුවයෙහි හිම තට්ටුව විද ඒ යට මීටර් 2820ක් (අඩි 8000ක්) ගැඹුරේ මෙය ඉදි කරන්නට වසර 10ක් පමණ ගත වුණා.

ලෝකයේ ලොකුම දුරේක්ෂය ලෙස විද්‍යාඥයන් සලකන, දක්ෂිණ ධ්රුවයේ පොළොව යට වළලා ඇති මේ අපූරු උපකරණය යොදා ගෙන සොයන්නේ ‘නියුට්රිනෝ’ (neutrinos) නම් ගුප්ත අංශු විශේෂයක්.

මේ ලෝකයේ විශාලතම නියුටි‍්‍රනෝ නිරීක්ෂණාගාරයෙහි ඇති ‘අයිස් කියුබ්’ නම් මෙගා අනාවරකය වෙත යන ‘සංඛ්‍යාංක ප‍්‍රකාශ මොඩියුලය’ (Digital Optical Module - DOM) මෙයයි. මෙය ඉදිකර ඇත්තේ ඇන්ටාක්ටික් තුන්ද්‍රා ප‍්‍රදේශය යට පොළොව යටයි. මෙය ඉදි කර ඇත්තේ දක්ෂිණ ධ්රුවයේ පිහිටි ඇමරිකානු අමුන්ඞ්සන්-ස්කොට් කඳවුර අසලයි.

වසර 50ක් ලොව පුරා හමුදාමය, සමාජමය හා මානුෂික මෙහෙයුම්වල යෙදුනු ලොක්හීඞ් ගුවන් යානා පවුල!

ලොක්හීඞ් සී-130 හර්කියුලිස් යානය ලෝකය පුරා බොහෝ හමුදාවල යුද හා ප‍්‍රවාහන කටයුතුවලට යොදා ගනු ලැබේ. ඇමෙරිකානු නිෂ්පාදනයක් වන මෙය විවිධ මාදිලි 40කින් පමණ නිපදවෙන අතර රටවල් 50ක පමණ සේවයට යොදවා ගෙන ඇත. මුල් ඇනවුම්කරු නොකඩවා වසර 50ක් සේවය සැලසූ සිව්වැනි යානය ලෙස මෙම ලොක්හීඞ් සී-130 හර්කියුලිස් යානය වාර්තාවක් තබා ඇත. මෙහි දී ඇනවුම්කරුවා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවය. මේ වාර්තාව මුලින් ම පිහිටෙව්වේ 2001 දී බි‍්‍රතාන්‍යයේ ඉංග්ලිෂ් ඉලෙක්ටි‍්‍රක් කැන්බෙරා යානය විසිනි. 2005 දී බී-52 ස්ට‍්‍රැටෝෆෝට්‍ස් මේ තත්වය හිමි කර ගත් දෙවැනි යානය වන අතර 2006 දී ටියූ-95 ටුපොලොෆ් යානය තුන්වැනි වරට මෙම තත්වය හිමි කර ගත්තේය. මේ වාර්තාව හිමි කර ගත් ලොක්හීඞ් සමාගම නිපදවූ අලූත් ම යානය හැඳින්වෙන්නේ සී-130ජේ සුපර් හර්කියුලිස් කියාය.

සියවසක් පැරණි කතාවක්! පවුම් දහයේ අත්සන!

ජෝර්ජ් නියම මුදල් නාස්තිකාරයෙක් නොවීය. එහෙත් දොළොස් හැවිරිදි ඔහු ගෙදරින් පිට නැවතී සිටින්නට ගිය පළමු වැනි වතාව මෙය විය. ගෙදරදී නොයෙකුත් අන්දමේ සැපවිහරණයන්ට පුරුදුව සිටි ඔහුට වියදම් සීමා කිරීම පහසු වැඩක් නොවීය. ඒ හැරත් නාවික හමුදාවේ නිලධාරීන් පුහුණු කරන ආයතනයෙහි සිටියේ ධනවත් කුලීනයන්ගේ දරුවෝය. ඔවුන්ගේ වියහියදම් ඒ අනුව විය.

ජෝර්ජ්ගේ මිත්තනිය අතිශයින් ධනවත් කාන්තාවක් වූ නමුත් ඈ සකසුරුවම පුරුදු කළ තැනැත්තියකි. ඕ වියදම්කාර කම පි‍්‍රය නොකළාය. ස්පිට් හෙඞ් ආයතනයෙහි සිටි අනෙක් ශිෂ්‍යයන් මෙන් ජෝර්ජ් ද මාස්පතා සුළු වියදම් සඳහා සෑහෙන පමණ මුදලක් නොකඩවා ලැබුවේය. අනෙක් ශිෂ්‍යයන් මෙන් ජෝර්ජ් ද එසේ ලද පවුම් පහ ටික දවසක දී වියදම් කර ගෙන මාසයේ ඉතිරි කාලය සුළු මුදලක් අතමාරුවට ගෙන හෝ නිකම්ම හෝ ගත කළේය. වරක් ඔහුට වැඩි මුදලක් තදින්ම උවමනා වී ඊළඟ මාසයේ මුදලින් අඩු කර ගැනීමට කියා මිත්තනියගෙන් මුදල් ඉල්ලූවේය.

ඔබට කෝපි කෝප්පයක් සාදා දෙන්නත් පුළුවන් කාරෙකක්!!

මෝටර් රථයකින් දිගු ගමනක් යන විට ඔබට විඩාව දැනුනොත් අතරමග නතර කරලා කෝපි එකක් බොන්න හිතුනොත් ඒ සඳහා හොඳ කඩයක් හොය හොයා යන්න අවශ්‍ය නෑ. ඔබට උණු උණු කෝපි කොප්පයක් හදල දෙන්න පුළුවන් කාරෙකක් ළඟදීම වෙළෙඳපොළට එනවා.

ඔබට තියෙන්නෙ දෙපා දිග ඇරලා සුව පහසුව ඉඳගෙන කෝපි කෝප්පයකට ඇනවුම් කරන එකයි. ඔබ පදවන්නේ නව ෆියට් 500එල් කාරෙකක් නම් ටක් ගාලා කෝපි එකක් වක්කරලා දේවි.

අලූත් ම ෆියට් 500එල් රථය ඔබට අවශ්‍ය විට කෝපි හදා දේවි.

සෙනසුරුගේ රහස් එළිවේ! ‘කැසිනි’ එවූ මෙතෙක් නුදුටු විස්මිත දර්ශන පෙළක්!

ඇමරිකාවේ නාසා ආයතනය විසින් සෙනසුරු ග‍්‍රහයා වෙත යවන ලද කැසිනි අභ්‍යවකාශ යානය සෙනසුරු ග‍්‍රහයාගේ චිත්තාකර්ෂණීය රූප රැසක් පසුගියදා පොළොවට එවා තියෙනවා.

සෞරග‍්‍රහ මණ්ඩලයේ දෙවන විශාලතම ග‍්‍රහයා වන සෙනසුරුගේ වඩාත් ප‍්‍රසිද්ධ ලක්ෂණය වූ අයිස් හා දූවිලිවලින් සැදුණු එහි යෝධ වළලූවල මෙතෙක් නුදුටු විස්මිත දර්ශන පෙළක් ඒ අනුව ඔබට දැක ගන්න පුළුවන්.

කැසිනිගේ අලූත් ම පින්තූර මෙතෙක් ලද පැහැදිලිම ඒවා වන අතර ඒවායින් සෙනසුරුගේ යෝධ වළලූ අතරින් යන පුංචි චන්ද්‍රයන් දැක ගැනීමට විද්‍යාඥයන්ට අවස්ථාව ලැබුණා. ඒ චන්ද්‍රයන් වළලූවල හිම කපා ගෙන රිංගා යනු දැක ගත හැකිවුණා.

කැසිනි නව කක්ෂයකට යමින් මෙතෙක් නුදුටු ආකාරයේ දර්ශන රැසක් අපට එවා තියෙනවා. සෙනසුරුගේ වළලූ, රී (Rhea), ටෙතිස් (Tethys), පැන්ඩෝරා (Pandora) යන චන්ද්‍රයන් මෙහි දිස් වෙනවා.

නවතම විදුලි කාරය! ජීව වායුව යොදා බැටරිය ආරෝපණය! එකවර සැතැපුම් 500ක්!

ජීව වායුව යොදා බැටරිය ආරෝපණ කළ හැකියි. එක බැටරියක් වෙනුවට බැටරි හයක්! වේගය පැයට හැතැප්ම 75ක් (පැයට කිලෝ 120ක්) උපරිම ව ධාවනය කළ හැකියි!

හරිත ලෝකයකට මග පාදන දෙයක් වුනත් විදුලි කාරය ජනපි‍්‍රය වීමට එක් ප‍්‍රධාන බාධාවක් තිබුණා. ඒ පෙට්රල් කාරයට මෙන් එක වර වැඩි දුරක් ධාවනය කරන්නට විදුලි කාරයට නොහැකි වීමයි.

මේ තත්වය වෙනස් කළ හැකි විදුලි කාරයක් දැන් තනා තියෙනවා. එයට එකවර සැතැපුම් 500ක් (කිලෝ මීටර් 800ක්) දුර යන්න පුළුවන්. ඒ ගමන අතරතුර බැටරි ආරෝපණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

මේ කාරය ඒ අතින් දැනට ක්ෂේත‍්‍රයේ ඉදිරියෙන් ම ඇති කාර්වලටත් වඩා ඉදිරියෙන් ඉන්නවා. එයිනුත් වඩාත් කැපී පෙනෙන බැටරි හා ගැසොලින් භාවිත කරන චවලට් වොල්ට් කාරයට වරක් බැටරි චාජ් කළ පසු එකවර සැ. 375ක්(කි.මි. 600ක්) යා හැකියි. මේ නව රියට එකවර කි.මී. 800ක් දුර යන්න පුළුවන්.

වැඩි දුරක් යා හැකියි: ක්‍යුබීක් විදුලි කාරයට එකවර සැ. 500ක් යන්න පුළුවන්.

මේ ‘මොනා ලිසා’ගේ ඇටසැකිල්ලද? ලෝක ප‍්‍රකට චිත‍්‍රයේ සැඟවුණු රහස් සොයා මෙහෙයුමක්!

ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ කන්‍යාරාමයක කළ කැණීම්වලින් මතු වූ ඇටසැකිල්ල ඩා වින්චිට මොනා ලිසා අඳින්නට ආභාසය සැපයූ සේද වෙළෙන්දාගේ බිරියගේ ද? මේ හෙළිදරවුව මතු වුණේ එම බිමෙන්ම වසරකට පසු ලොඩ ගත් හිස් කබලක් නිසයි. මේ කටයුත්තේ නියැළි පුරාවිද්‍යා විශ්ලේෂක කණ්ඩායම විශ්වාස කරන්නේ එය ඩා වින්චිගේ රූපය අඳින්නට ආභාසය ලබා ගත් ලිසා ගෙරාර්ඩිනි (Lisa Gherardini) ගේ කියලයි.

ඒ පුරාවිද්‍යාඥයන් ප‍්‍රබලව විශ්වාස කරනවා, ඔවුන් මේ ගොඩගෙන ඇත්තේ ඒ ලෝක ප‍්‍රකට සිත්තම, මොනා ලිසාගේ, පසුබිම් රහස හෙළි කරන සාක්ෂියක් කියලා.

පුරාවිද්‍යාඥයන් සොයා ගෙන ඇතැයි කියන ඩා වින්චි මොනා ලිසාට ගුරු කර ගත් කාන්තාවගේ ඇටසැකිල්ල හමු වූ තැන.

මින් පෙර කිසිදා නුදුටු දසුනක් දැක ගන්න! කිසිදාක කැමරාවට නොනැඟූ මොංගෝලියානු හිම දිවියන්ගේ දුර්ලභ රූප පෙළක්!

හිම දිවියන් ලැගුම් ගන්නා තැන් හා පැටවුන් කැමරාවට නැඟු පළමු වතාවයි, මේ. මොවුන් හමු වුණේ මොංගෝලියාවේ ටොස් කඳුකරයේදියි. මේ වන හිම දිවි මව හා පැටවුන් ඇතුළත් වීඩියෝ දර්ශන කැමරාවට නගා ඇත්තේ පැන්තේරා බිළාල සංරක්ෂණ ව්‍යාපෘතියේ විද්‍යාඥයන් පිරිස හා හිම දිවි පදනමට අයත් කීපදෙනකු විසිනුයි.

මේ හිම දිවියන් වනාන්තරය තුළත් සැඟවී ජීවත්වන නිසාත් ඔවුන් ස්වභාවයෙන් ම කුලෑටි සතුන් වන නිසාත්, නිතර ම පලා යාමට බලන නිසාත් ඔවුන් කැමරාවට නැඟී ඉතාමත් අසීරු දෙයක්. ඔවුන් ලැගුම් ගන්නා තැන් සොයා ගැනීමත් ලේසිපාසු දෙයක් නෙවෙයි.

පැන්තේරා හිම දිවියන් සොයා වනයේ සැරිසරණ විද්‍යාඥ කණ්ඩායමේ ක්ෂේත‍්‍ර විද්‍යාඥයෙකු වූ ඕජාන් ජොන්සන් ඔවුන්ගේ ලෙනකදී මේ රූප පෙළ කැමරාවට නැඟුවේ ඔවුන්ට නොදැනෙන තරම් දුරක සිටයි. කැමරාව දිග රිටක ගැට ගහලා තමයි, පාවිච්චි කළේ. පැටවුන් ඉන්නා ලෙනෙහි මුව ගල්වලින් අඩක් ආවරණය කළේත් මේ විද්‍යාඥ කණ්ඩායමයි.

වනයේ දී හිම දිවි පැටවුන් අතට ගත් දුර්ලභ අවස්ථාවක්. මොංගෝලියාවේ සතුන් අධ්‍යයනය කළ යුත්තේ ඔවුන්ට බාධා නොවන පරිදි ඔවුන්ගේ පරිසරය තුළ සිටියදීමයි.

ඇසිරියාවෙන් මතුවූ දක්ෂ ආක‍්‍රමණිකයෝ : ඇසිරියානු ශිෂ්ටාචාරය

යුප‍්‍රටීස් හා ටයිග‍්‍රීස් ගංගා නිම්න ආශි‍්‍රතව බිහිවූ මෙසපොටේමියා ශිෂ්ටාචාරය ගැන කරුණු ඉදිරිපත් කළා. මෙසපොටේමියාවේ ප‍්‍රධාන වශයෙන් මහා ශිෂ්ටාචාර තුනක් බිහිවී තිබුණු බව අපි විස්තර කීවා. ඒවා තමයි සුමර්, ඇසිරියානු සහ බැබිලෝනියානු ශිෂ්ටාචාර. ඒ අතුරින් සුමර් ශිෂ්ටාචාරය ගැනත් සුමේරියානුවන් ගැනත් විස්තර අපි ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කළා. අද අපි කියන්න සූදානම් වන්නේ ඇසිරියානු ශිෂ්ටාචාරය ගැනයි.

ඇසිරියානු අධිරාජ්‍යය බිහිවුණේ කි.පූ. දෙවැනි සහ පළමුවැනි සියවසේදී ටයිග‍්‍රීස් නදියේ ඉහළ (වත්මන් ඉරාකයට අයත්) කොටසේයි. ඒ කියන්නේ උතුරු මෙසපොටේමියාවේ. මෙම අධිරාජ්‍යයට ඇසිරියාව කියා නම ලැබුණේ එහි ප‍්‍රථම අගනුවර වූ ‘අශුර්’ නිසයි. උතුරින් ආමේනියාවටත් දකුණින් බැබිලෝනියාවටත් නැගෙනහිරින් සර්ගෝස් කඳුවැටියටත් බටහිරින් සිරියානු කාන්තාරයෙනුත් වටවෙලයි ඇසිරියාව පිහිටියේ. ටයිග‍්‍රීස් ගංගාවෙන් සහ එහි අතු ගංගාවලින් පෝෂණය වූ මෙම බිම් තීරු ගොවිතැනට සරු බිමක් වුණා.

එදත් එහෙමයි, අදත් එහෙමද? මනුෂ්‍ය ජීවිතයක හැටි!

පහත පළ වෙන්නේ මීට වසර 60කට පෙර ‘පාඨකයා’ නම් සඟරාවේ පළ වූ ලිපියකි. අද ජීවතුන් අතර නැති ඇස් පී. පෙරේරා මහතා එදා ‘පාඨකයා’ තුළින් අලූත් අදහස් දෙන්නට නිතරම උත්සාහ කළේය. එපමණක් නොව ‘පාඨකයා’ පාඨකයන්ට අලූතින් හිතන්න ද සැලැස්සුවේය. මේ එදා ඔහු මිනිස් ජීවිතය දුටු හැටියි. මෙහි බස ඔහුගේ ය. අපි ඒ අයුරින් ම පළ කරමු.

විස්මය දනවන ඇස්! ඔබේ ඇස් හඳුනා ගන්න!

අපේ ඇස් සෙලවෙන විට ඒවා සම්පූර්ණයෙන් ම අන්ධය. එහෙත් යම් ද්‍රව්‍යයකට ඇස් තුඩු දුන් පසු එම ද්‍රව්‍යය සෙලවෙන විට ඇස් ද ඒ සමග ම සෙලවෙන කල අන්ධ කමක් නැත. මෙහි ඇත්ත නැත්ත අපට පහසුවෙන් අත්හදා බැලිය හැකිය.

කන්නාඩියක් ඉදිරියේ සිට ඔබේ එක් ඇසක් දෙස බලන්න. පළමුව ඒ ඇසේ දකුණු කෙළවර දෙස බලන්න. ඊ ළඟට ඒ ඇසේ ම වම් කෙළවර දෙස බලන්න. ඔබට ඇස ගමන් කරනවා පෙනුනේ නැත. එයට හේතුව ඇස සෙලවෙන්නට පටන් ගත් මොහොතේ එය අන්ධ වීමය. මේ අන්ධ මොහොත අපට නො දැනේ. එයට හේතුව ඇසට අන්තිමට පෙනුන රූපය අන්ධ වූ ස්වල්ප වේලාව තුළ මොළයේ රදා පැවතීම ය.

ලෝකයේ උස ම දියඇල්ලේ නම වෙනස් වේ ද? ලෝක උරුමයක් තනි මතයට වෙනස් වේ ද?

ඔයාලා දන්නවාද ලෝකයේ උස ම තැනක සිට ඇද හැලෙන දිය ඇල්ල මොකක්ද කියලා? උස ම දිය ඇල්ලේ නම මොකක් ද? කොහෙද තියෙන්නේ? පිළිතුර ‘ඒන්ජල්ස්’ දියඇල්ලයි. පිහිටා තියෙන්නේ වෙනෙසුවේලා කියන රටේ. ඒත් වෙනෙසුවේලානු ජනාධිපති හියුගෝ චාවේස් ඒ දියඇල්ලේ නම වෙනස් කරන්න තීරණය කරලා. ඒ අනුව මේ දියඇල්ල හඳුන්වන්න යන්නේ ‘කෙරෙපෙකුපායි වීනා’ දිය ඇල්ල කියලයි. වෙනෙසුවේලාවේ පැරැන්නන් දියඇල්ල හැඳින්වූ නම නැවත දමන්නයි එතුමාගේ වෑයම වන්නේ.

හඳ ගමන සිහි කරන්න! හඳට යන්න එන්න! නාසා ආයතනය ඔබටත් සංචාරයක් සුදානම් කරලා!

මීට අවුරුදු 43කට ඉස්සර, අද වගේ දවසක, 1969 ජූලි මාසයේ 16 වැනිදා, නීල් ආම්ස්ට්‍රෝං ඇතුළු පිරිස ඇපලෝ 11 යානයෙන් හඳ බලා පිටත් වුණා. ඔහු හඳ මත පා තැබූ ප‍්‍රථම මිනිසා වුණේ ජූලි 21 වැනිදායි. මේ සතියේ ඔබටත් හඳේ සංචාරයක් නාසා ආයතනය විසින් සූදැනම් කර තියෙනවා.

මේ වගේ ගමනක් හැබැහින් යන්න නම් ඔබ අතිශයෙන් ම ධනවත් අයෙක් වෙන්න ඕනෑ. ඒ නිසා මේ සංචාරය ඉතාමත් දුර්ලභ එකක් ලෙසයි සැලකිය හැක්කේ. හඳේ නොපෙනෙන පැත්තටත් ඔබව ගෙනියනවා.

මේ හඳ කිසිදාක නුදුටු ලෙසට ඔබට මේ නාසා ආයතනයේ වීඩියෝවෙන් දැක ගත හැකි වේවි.

මරණයේ දොර අසලට ම ආ සත්තු - සත්ව ලෝකයෙන්

අප දන්නා පරිදි 20 වන සියවස තුළ දී කිසි ම ප‍්‍රිමාටේසයකු හෙවත් අග්රේශයකු මේ මිහිපිටින් තුරන් වී වඳ වී ගියේ නැත. ඒක ඇත්තට ම අපූරු වාර්තාවක්. හේතුව අද ලෝකයේ පවතින තත්වය අනුව දිනකට සත්ත්ව විශේෂ 100 ක් මෙලොවින් තුරන් වී යන බව සත්ත්ව විද්‍යාඥයන් පෙන්වා දෙන නිසයි. මේ සත්ත්ව ගෝත‍්‍ර අතරින් මිනිසා ඇතුළත් වන පි‍්‍රමාටේසයන්ට ද අනාගතයේ දී මෙවැනි අවාසනාවන්ත කාලයක් උදාවනු නොඅනුමානයි. දිනෙන් දින වැඩි වන මිනිස් ප‍්‍රජාවගේ වර්ධනය හමුවේ අපේ කිට්ටු ම ඥාතීන් ලෙස සැලකිය හැකි වඳුරන් මෙන් ම නැගෙනහිර අප‍්‍රිකාවේ මීදුමින් වැසුණු ඝන වනාන්තරවල ජීවත්වන ගෝරිල්ලන්ගේ සිට සුමාත‍්‍රාවේ බුද්ධිමතා වන ඔරන් ඌටන් ලා දක්වා වානරයන් ඔවුන්ගේ නිජබිම් අහිමි වීමේ හේතුවෙන් වඳ වී යාමේ ආසන්නයට ම, මරණයේ දොරටුව අසලට ම, පැමිණ සිටිනවා.

චන්ද්‍රිකාවක සිට දිලිසෙන නගරවල සිට ලෝකයේ අඳුරු පැත්ත දෙස බලන්න! අපි ආලෝකය හා විදුලි බලය පාවිච්චි කරන හැටි දකින්න!

රාති‍්‍රයේ වැඩියෙන් ම ආලෝකය ඇතිව දිලිසෙන්නේ එංගලන්තයේ ලන්ඩන් නගරයයි. ඒ සමග අනෙක් පැත්තෙන් පෙනෙන්නේ අයර්ලන්තයයි.

අභ්‍යවකාශයෙන් එන මේ දීප්තිමත් දර්ශනවලින් ඔබට පුළුවන් බල ශක්තිය නාස්තිකරමින් ආලෝක දූෂණයෙහි යෙදෙමින් මහා පරිමාණයෙන් විදුලි බලය පරිභෝජනය කිරීමට වගකිවයුත්තන් කවුරුද කියා දැක ගන්න.

දැන් සසඳන්න අපි‍්‍රකාවේ හා දකුණු ඇමරිකාවේ පිහිටි තුන්වැනි ලෝකයේ රටවල් විදුලිය පාවිච්චි කරන හැටි. ඒ වගේ ම ආසියාවේ විශාල කොටසක් අඳුරේ තිබෙන හැටි ඔබට පෙනේවි.

රාති‍්‍රයේ දී බි‍්‍රතාන්‍යය හා යුරෝපීය රටවල් චන්ද්‍රිකාවක් මගින් රූපයට නැඟූ අයුරු. මේ කලාපයේ ප‍්‍රධාන නගරවල පමණක් නොව ධනවත් රටවල විදුලිය නාස්ති කරන අයුරු.

විශ්වයේ අබිරහස සොයා ගන්නට පොටක් පෑදෙයි. ‘සර්න්’(CERN) විද්‍යාඥයෝ ලොවට හෙළි කරති!

පසුගිය සතියේ භෞතික විද්‍යාඥයන් පිරිසක් නව සොයා ගැනීමක් ගැන ලෝකයට හඬගා කී අතර ඒ පුවත ඇසූ ලොව පුරා භෞතික විද්‍යාඥයෝ සතුටින් ඉපිල ගියහ. ඔවුහූ එය මේ සියවසේ විදුලිබලය, ඉලෙක්ට්‍රෝනය ආදිය සොයා ගැනීමෙන් පසු මිනිසා ලත් ලොකුම භෞතික විද්‍යාත්මක ජයග‍්‍රහණය ලෙස හැඳින්වූහ. මේ අපූරු සොයා ගැනීම කුමක්ද ? ඒ පරමාණුවක් තුළ ස්ථිර වශයෙන් ම බොසොන් අංශු (විශේෂයෙන් හිග්ස් බොසොන් අංශු) ඇති බව තහවුරු කර ගැනීමය.

මේ විශේෂ බෝසෝන් අංශුව විද්‍යාඥයන් හඳුන්වන්නේ ‘දේව අංශුව’ (God particle) කියාය. මෙය සොයා ගැනීම නවයුගයකට දොර හරින්නකි. විශ්වයේ උපත පිළිබඳ අබිරහස ඇතුළු මෙතෙක් මිනිසාට ගැටලූවක් ව පැවති බොහෝ දෑ විසඳා ගැනීමට මෙය උපකාර කර ගත හැකිය. විකිරණශීලී නොවන ද්‍රව්‍ය හෙවත් අඳුරු පදාර්ථ (dark matter) ගැන තේරුම් ගන්නට යොදා ගත හැකිය.

මහාචාර්ය පීටර් හිග්ස් ඔහුගේ කල්පිතය ඔස්සේ කළ නව සොයා ගැනීම ගැන ප‍්‍රකාශ කරද්දී සිය නෙතට නැඟුණු සතුටු කඳුළු පිසදාගත් හැඟුම්බර මොහොත.

මායා කැලැන්ඩරයට අනුව 2012 දෙසැම්බර් 21 වැනිදා ‘අවසාන දිනය’ ලෝකයේ අවසාන දිනය ද? ඒ ගැන සඳහන් තවත් සෙල්ලිපියක් හමුවෙයි!

පුරාවිද්‍යාඥයන්ට හමුවුණා, ගෝතමාලාවේ ලා කොරෝනා කැණීම් බිමෙන් ගල් පඩි පෙළක කොටස් වගයක්. මායා කැලැන්ඩරයට අනුව 2012 දෙසැම්බර් 21 වැනිදා ‘අවසාන දිනය’ යැයි කියවෙන බව එහි කොටා ඇති රූපාක්ෂරවලින් (hieroglyphics) හෙළිවෙනවා කියල ඔවුන් කියනවා. ‘අවසාන දිනය’ ගැන සඳහන් වූ දෙ වන ශිලා ලේඛනය එයයි.

අන්තර්ජාලය හරහා පැතුරුණු විවිධ මත හා මිත්‍යා ඇදහිලි අනුව යමින් ‘ලෝකාවසානය’ ගැන විශ්වාස කරන්නට පෙලඹුණු ඇතැම් උදවිය ඇමරිකා එක්සත් ජනපදයේත් වෙනත් රටවලත් පොළොව යට තැනෙන විශේෂ ආරක්ෂක කුටි සඳහා ඇනවුම් කරන්නට පටන් ගෙන තියෙනවා. ඒ වගේ ම ප‍්‍රංශයේ බුකාරාක් (Bugarach) නම් විශේෂ ගම්මානයක රැකවරණ පතන්නටත් පටන් අරන්.

තුලේන්හී මිඞ්ල් ඇමරිකන් රිසර්ච් ඉන්ස්ටිටිටුට් අධ්‍යක්ෂ මාසෙල්ලෝ ඒ. කැනුටෝ ගෝතමාලාවේ ලා කොරෝනා කැණීම් බිමෙහි මතුකර ගෙන ඇති ශිලාලේඛන පරීක්ෂා කරන අයුරු.

යෝධ කුරුල්ලෙක් ද? තල්මසකු ඉගිල්ලෙනවාවත් ද? නෑ, මේ තමා සුපිරි ගප්පියා!

ඇමරිකාවේ නාසා ආයතනයේ බඩු ප‍්‍රවාහන ගුවන්යානය, මෙයයි. තල්මසකුගේ හැඩගත් මේ යෝධයා නිතර ම අහසේ සැරිසරන්නේ නෑ.

නාසා ආයතනයේ සුපර් ගප්පි ප‍්‍රවාහන යානය දැක බලා ගන්නට සියැටල්හි කෞතුකාගාරය අවට විශාල පිරිසක් රැස්ව සිටියා. මේ ගුවන් යානය එහි රැගෙන ගියේ අභ්‍යවකාශ ෂටලයේ පුහුණු වීම් සිදු කරන මැදිරියයි.

බිමට පහත් වීමට පෙර එය සියැටල්හී පියසැරි කෞතුකාගාරය වටා යද්දී ඒ නරඹන්නන් පී‍්‍රතිඝෝෂා කළා. ඊළඟට ඒ සුවිශේෂ ගුවන්යානය මහත් හරසරින් පිළිගනු ලැබුවා.

මේ ගුවන්යානය ගෙන ගියේ නාසා ආයතනය අභ්‍යවකාශ ගමන්වලට නියමුවන් පුහුණු කිරීමට යොදා ගත් ෂටලයේ ප‍්‍රමාණයට ම සකස් කළ විශේෂ පුහුණු මැදිරියයි. දැන් ඒ මැදිරිය සියැටල් කෞතුකාගාරයේ දී මහජන ප‍්‍රදර්ශනයට තැබීමට අදඑස් කර තියෙනවා. ඒ අනුව එය ඉදිරියේ දී එහි ජනපි‍්‍රය ම ප‍්‍රදර්ශන භාණ්ඩය වෙනවා නොඅනුමානයි.

මේ යානය තුළ ගෙන යන්නේ නාසා ආයතනය ෂටල ගමන් සඳහා නියමුවන් පුහුණු කළ විශේෂ පුහුණු මැදිරියයි.

අතුරුදන් වූ ඇමෙලියා ඉයර්හාට් සොයා වසර 75කට පසු මහ මෙහෙයුමක්! පැසිපික් සාගරය ගුවනින් තරණය කරද්දී ඇමෙලියාට මොකද වුණේ?

විද්‍යාඥ කණ්ඩායමක් විසින් මේ මෙහෙයුම ආරම්භ කළේ පසුගිය ජූලි 3 වැනිදායි. එදාට ඇමෙලියා පැසිපික් සාගරයට ඉහළින් අතුරුදන් වී හරියට ම 75 වසරක් සපිරෙනවා.

මේ පර්යේෂකයන් කණ්ඩායම ඇය අතුරුදන් වූයේ යැයි සැලකෙන හුදෙකලා දූපතක් වූ නිකුමාරෝරෝ වෙත මෙවර යන්නේ අධි තාක්ෂණික මෙවලම් ද සමගයි. එදා, 1937 ජූලි 2 වැනිදා, මේ ලෝක ප‍්‍රකට නියමුවරියට වූයේ කුමක් ද යන්න සැක හැර දැන ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

ඇමරිකානුවන්ගේ හද බැඳ ගත් ඉයර්හාට් තරුණ ගුවන් නියමුවරිය

අප හැමෝටම පාට හැම එකක් ම එකම විදියට පෙනෙන්නේ නැහැ! අලුත් ම පර්යේෂණයකින්!

අප හැමෝටම පාට හැම එකක් ම එකම විදියට පෙනෙන්නේ නැහැ. විද්‍යාඥයන් කියන්නේ කෙනකුට රතු පාට හැටියට පෙනෙන දෙයක් තවත් කෙනකුට නිල් පාට ලෙස පෙනෙන බවයි.

මාර්ග සංඥාවල ඇති වර්ණ නිවැරදිව නොපෙනෙන අය ඉන්නවා. ඔවුන්ගෙන් සමහරුන්ට රතුයි කොළයි දෙකේ වෙනස පෙනෙන්නේ නැහැ. ඒත් දැන් නවතම පරීක්ෂණයකින් හෙළි වුණු කරුණු අනුව අප හැම කෙනෙකුට ම සමාන වස්තූන්වල වර්ණ ම එක ම විදියට පෙනෙන්නේ නැතැයි හෙළි වී තියෙනවා.

සාමාන්‍ය පිළිගැනීමට අනුව කෙනෙකුට රතු පැහැය එකම විදියටයි පෙනෙන්නෙ, ස්ට්‍රෝබෙරි, ලේ, අඟහරු ග‍්‍රහයා ආදී කොයි දේ දිහා බැලූවත්. එහෙම රතු පාට පෙනෙන දේවල් තවත් කෙනෙකුට මුළුමනින් ම නිල් පැහැයෙන් පෙනෙන්න පුළුවන් කියලයි විශේෂඥයන් කියන්නෙ.

රතු පැහැති ස්ට්‍රෝබෙරි ගෙඩියක් කෙනෙකු නිල් පැහැයට පෙනෙන්න පුළුවන්.

මේ වගේ දෙයක් රාති‍්‍ර අහසෙදි දැක්කොත් කොහොමද? මේක චිත‍්‍රයක් වුණාට සක්වළ එක තැනක ඇත්තටම සිදු වන්නක්!

පුංචි ග‍්‍රහ ලෝකයක්, හඳට තියෙන දුරෙන් පහෙන් එකක් තරම් දුරක සිට, පොළොව වගේ හතර ගුණයක් විතර ලොකු යෝධ ග‍්‍රහ ලෝකයක් සමඟ භ‍්‍රමණය වෙන හැටි. මේ ඒ සිද්ධිය සිත්තරකුගේ ඇසින් පෙනෙන හැටියි.
සිතිජයෙන් පුන්සඳ පායා එනවාට වඩා චමත්කාරයක් අපේ සිත්වල ඇති කළ හැකි මේ වගේ රාති‍්‍ර දසුන් කීපයක් ම තියෙනව.

දැන් සිතන්න, හඳ වගේ නෙවෙයි, ඒ යෝධ වායු ග‍්‍රහයා අපේ ග‍්‍රහයාගේ සිට හඳට ඇති දුර මෙන් තුන් ගුණයක් ඈත අහසට ලෝදිය විදිනවාය කියා.

මේ සක්වළ අමුත්තා සිටින්නේ අලූතින් සොයා ගත් ‘කෙප්ලර් 36’ (Kepler 36) නම් සෞර ග‍්‍රහ මණ්ඩලයෙයි. එහි ඇත්තේ ග‍්‍රහ ලෝක දෙකක් විතරයි. එසේ ම සූර්යයා වෙනුවට ඇත්තේ අපේ හිරුට තරමක් විශාල තරුවක්. එය අපේ සූර්යයාට බොහෝ සේ සමානයි. වෙනසකට ඇත්තේ එය අපේ හිරුට වඩා වසර බිලියන ගණනකින් වයස් ගත වීම පමණයි.

ග‍්‍රහාරෝහණය: සිත්තරකුගේ ඇසින් - නෙප්චූන් තරම් ඇති දැඩි ලෙස රත් වූ කෙප්ලර් 36සී නම් යමහල් සහිත ග‍්‍රහයා සිය අසල්වැසි පාෂාණමය ග‍්‍රහයා වූ කෙප්ලර් 36බී අසලින් යන හැටි! මේ ග‍්‍රහයන් දෙදෙනා පැය 97කට පමණ වරක් එකිනෙකාට මුණ ගැහෙනවා.

ඔබේ ‘චෙක් පතේ’ උපත

චෙක් පතක දැන් කවුරුන්වත් අත්සනට පෙර ‘මෙයට ඔබේ ආදරණීය මිතුරා’ කියා ලියන්නේ නැහැ. එහෙත් මුල් කාලයේ එහෙම ලියන පුරුද්දක් තිබුණා. ඒ මීට අවුරුදු 300කට පෙරයි. ඒ කාලයේ තමයි, බැංකු ක‍්‍රමය පටන් ගත්තේ. ඒ කාලේ එංගලන්තයේ වෙළෙන්දන් ඔවුන්ගේ මුදල් ආරක්ෂාවට තැන්පත් කළේ ලන්ඩන් නගරයේ පිහිටි ප‍්‍රසිද්ධ සිරගෙදරයි. එකල එංගලන්තයේ විශාල වශයෙන් රැකවරණ යොදා තිබුණු තැන එයයි.

1640 දී මුදල් හිඟයෙන් නිතර පෙළුණු දෙ වන චාර්ල්ස් රජතුමා හිරගෙදර තිබූ වෙළෙඳුන්ගේ මුදල් තැන්පතුවලින් රන්පවුම් දෙ ලක්ෂයක් රාජකීය භාණ්ඩාගාරයට ඇද ගත්තා. වෙළෙන්දන් ඉන් කලබලයට පත් වුණා. මුදල් තැන්පත් කරන්නට වෙනත් ආරක්ෂිත ස්ථානයක් සොයන්නට පටන් ගත්තා. ඒ කාලයේ පොහොසතුන් තමන්ගේ වටිනා පිඟන් බඩු හා මැණික් ආදිය ආරක්ෂාවට තැබුවේ රන්රිදී බඩු තනන්නන් ළඟයි. වෙළෙන්දනුත් මේ ක‍්‍රමය අනුගමනය කරමින් රන්රිදීකරුවන් ළඟ මුදල් තැන්පත් කරන්න පටන් ගත්තා.

රතු මුහුදේ කිමිදුම්කරුවන්ගේ විස්මිත සොයා ගැනීමක්! අඳුරු මුහුදු පත්ලේ සොඳුරු දසුන් පෙළක්!

රතු මුහුදේ පතුළේ විසිතුරු බලන්න එන්න! මින් පෙර නුදුටු සතුන්ගේ දසුන් දැක ගත හැකි දුලබ අවස්ථාවක්. සාමාන්‍යයෙන් මුහුදේ ගැඹුරු පත්ල අඳුරුයි. වර්ණ රහිත පරිසරයක්. නමුත් මේ අලූත් ක‍්‍රමයේ කිමිදීමේ ප‍්‍රවණතාවක් නිසා හෙළිකර ගෙන තියෙනවා, රතු මුහුදෙහි ආලෝකය නොවැටෙන ගැඹුරෙහි ඇති මුහුදු හතු (ස්පන්ජියන්) හා කොරල් (ගල්මල්) දීප්තිමත් ආලෝක විහිදුවන බව.

‘ෆ්ලොරසන්ට් ආලෝක ධාරා සමග කරන කිමිදුමක්’ ලෙස හැඳින්වෙන මේ ක‍්‍රමයට අනුව කිමිදුම්කරුවන් පාරජම්බුල කිරණවලට ආසන්න ආලෝක ධාරා රැගෙන කිමිදීමෙහි යෙදෙනවා. එහිදී ඔවුන්ට දැක ගන්න පුළුවන් වුණා, ඒ ගැඹුරේ ජීවත්වන සතුන්ගේ සැඟවුණු පාට වර්ග. මොළයට සමාන හැඩයක් ඇති ගල්මල් වර්ගවල පටන් ඇල්ගේ හා බැක්ටීරියා වර්ග දක්වා සෑම දෙයක් ම ස්වාභාවික ජෛව සන්දීප්තයෙන් බැබලෙන බව හෙළිදරවු කෙරුණා.

සිලින්ඩරාකාර දිය ලිලියක් (Cylinder water lily) සේ හැඳින්වෙන මෙය අඩි 49ක් ගැඹුරේ දී නියොන් එළියෙන් දිස් වූ හැටි.

ගුවන්ගමන් යාමට අධි වේගී සුපර්සොනික් යානයක්! ලෝකයේ ප‍්‍රධාන සමාගම් අතර තරගයක්!

ගුවන්ගමන් ඉක්මනින් යාමට තිබූ කොන්කෝඞ් යානය නවතා දැමුණු පසු ඒ වෙනුවට නව යානයක අවශ්‍යතාව දැන් වඩාත් තදින් දැනෙමින් තියෙනවා. ගුවන්ගමන් ගැන හා ගුවන් යානා ගැන උනන්දුවක් දක්වන අය ලන්ඩනයේ සිට සිඞ්නි තෙක් දුර පැය හතරකින් යා හැකි සුපර්සොනික් ජෙට් යානයක් කවදා හෝ එතැයි මග බලාගෙනයි ඉන්නෙ.

ඒ බලාපොරොත්තු මල්පල ගැන්වෙන දවස වැඩි ඈතක නෙවෙයි. ලබන මාසයේ එංගලන්තයේ ෆාන්බරෝහි ද්විවාර්ෂිකව පැවැත්වෙන අන්තර්ජාතික ගුවන්යානා ප‍්‍රදර්ශනයට කොන්කෝඞ් යානයට අදේශක මූලාකෘති කීපයක් ම ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙවර එය පැවැත්වෙන්නේ ජූලි 9-15 අතර දිනවලයි.

සිත්තරකුගේ ඇසින් - අධිවේගී ගමන, නව සුපර්සොනික් ජෙට් යානයේ වේගය පැ.සැ. 2,500යි.

නොපෙනෙන ලොවට එබී බලන්න අවස්ථාවක්! ලන්ඩනයේ අන්වීක්ෂ ඡායාරූප උළෙලක්!

මේ ඡායාරූප සියල්ල ම ජෛව ලෝකයේ සැඟවුණු රහස් එළි කරන ඒවායි. පියවි ඇසට නෙපෙනෙන ජෛව ලෝකයේ අලංකාරයත්, සැඟවුණු කටුක බවත් මේවායින් ප‍්‍රදර්ශනය කෙරෙනවා. මේවා එක් රැස් කෙරෙන්නේ සම්මානයක් දෙන්නයි, ප‍්‍රදර්ශනයක් සඳහායි.

වෙල්කම් ඉමේජ් සම්මාන සඳහා පැවැත්වෙන මෙම ඡායාරූප උළෙලට ඇතුළත් වෙනවා, පිළිකා සෛල බෙදෙමින් වැඩෙන ආකාරය දැක්වෙන දුලබ ඡායාරූපයක්. ඒ වගේ ම කෝපිවල ඇති කටු සහිත කැෆේන් ස්ඵටිකවල ඡායාරූපයක්.

මේ සමහර පින්තූර අතිශයින් ම ලස්සනයි. හරිත ඇල්ගේවල සමීප රූපය එවැන්නක්. ඒ වගේ ම බැක්ටීරියාවක රූපයත්, පාචනය වළක්වන ඔසුවක් වන ලොපරමයිඞ් ස්ඵටිකවල රූපයත් අමතක නොවන ඒවායි.

පිළිකා සෛල චලනයේ යෙදෙන අයුරු විස්මිත සේයාරුවක්: අනතුරුදායක සෛල වෙනස් පැහැයකින් දක්වා තියෙනවා. මේ එක් චැනලයක් මයික්‍රෝන 12ක් පළලයි. දළ වශයෙන් කෙස් ගහකින් දහයෙන් පංගුවක් විතර ඇති.

නොවිසඳුණු ජල ප‍්‍රශ්නයක්! විසඳුවොත් විද්‍යාඥයන්ගෙන් පවුම් 1000ක් තෑගි! මෙන්න ප‍්‍රශ්නය! උණු ජලය සිසිල් ජලයට වඩා ඉක්මනින් මිදෙන්නේ ඇයි?

මේ ප‍්‍රශ්නය සියවස් ගණනක් තිස්සේ විද්‍යාඥයන්ට හා දාර්ශනිකයන්ට විසඳිය නොහැකි වූ එකක්. මේ සංසිද්ධියට පිළිගත හැකි නිර්වචනයක් හෝ පැහැදිලි කිරීමක් දුන්නොත් රසායන විද්‍යාඥයන්ගේ රාජකීය සංගමය සමස්ත ලෝකවාසීන් අතරින් කෙනකුට මේ ත්‍යාගය පිරිනමන්නට සූදානම්.

මේ අසීරු ගැටලූව ලෝකයේ විසූ විද්‍යාත්මක චින්තකයන් රැුසකට විසඳිය නොහැකි ව තියෙනවා. ඇරිස්ටෝටල් කියන මහා පඬිවරයාත් ඉන් එක් කෙනෙක්. විසඳිය නොහැකි වූ මේ ගැටලූව එදා විද්‍යාඥයන් අතහැර දැමුවත් අද අයට අවශ්‍ය වෙලා තියෙනවා, උණුසුම් ජලය සිසිල් ජලයට වඩා ඉක්මනට මිදෙන්නේ ඇයි කියල දැන ගන්න කොහොම හරි. ඒක නිසා ඔවුන් එය ලෝකයාට ඉදිරිපත් කරනවා.

මුළු මිනිස් වර්ගයාට ම සදාකාලික ගැටලූවක් වූ මෙය විසඳන්න ඔබට පුළුවන් නම් එක්සත් රාජධානියේ රසායන විද්‍යාඥයන්ගේ රාජකීය සංගමය (The Royal Society of Chemistry) මේ ත්‍යාගය පිරිනමන්න සූදානම්.

උණු වතුර සීතල වතුරට වඩා ඉක්මනින් මිදෙන්නේ ඇයි යන සංසිද්ධිය හැඳින්වෙන්නේ මෙම්බා (Mpemba Effect) ආචරණය කියලයි.

ඇදහිය නොහැකි තරම් විස්මිත පින්තූරයක්! මේ අපේ ‘කිරි සයුර‘යි!

සමහර පින්තූර ඇස් අදහන්නත් බැරි තරම්! මේ පින්තූරය ගන්න ඡායාරූප ශිල්පියාට අවුරුදු දෙකක් බලා ඉන්න සිද්ධ වුණා. මේ නිසල විලට ඉහළින් අහසේ මෙම පිහිටීමත් එය ඡායාරූපයට නැඟිය හැකි තරම් ප‍්‍රමාණවත් ආලෝකයක් ලැබෙන තෙක් ඒ තරම් කාලයක් බලා ඉන්න ඔහුට සිද්ධ වුණා. එතරම් කලක් ඉවසා සිටීමේ වටිනාකම පෙනෙන්නේ මේ විස්මිත සේයා රුව දුටුව පසුවයි.

මෙන්න චීනයෙන් රොබොට් රෙස්ටොරන්ට්! උයන්නෙ, පිහින්නෙ, කෑම මේසයට ගේන්නෙ ඔක්කොම රොබෝලා!

කතාවට කියන්නෙ අනාගත මිනිසාට සේවය කරන්නට අතට පයට රොබොට්ටන් ඉඳීවි කියලයි. ඒ කතාව දැන් චීනයෙන් හැබෑවෙලා!

කෑමට මේ හෝටලයට යන ඔබ ඉදිරියට මුලින්ම එන්නෙ පිළිගැනීමේ රොබොට්ටා. ඔහු දෑත් විදහලා, ”පෘථිවිවාසීනි, රොබොට් රෙස්ටොරන්ට් ඔබව සාදරයෙන් පිළිගන්නවා!” යන අරුත් දෙන චීන වදනකින් ඔබට ආශිර්වාද කරනවා. හරියට විද්‍යා ප‍්‍රබන්ධයක වාගෙයි.

චිනයේ හාබින් නගරයේ තමයි, මේ අපූරු හෝටලය තියෙන්නෙ. දැනට රොබොට්ටන් 18 දෙනෙක් මෙහි සේවයට යොදවා ගෙන ඉන්නවා. වේටර්ලා, නූඞ්ල්ස් කෑම පිළියෙල කරන්නන්, වෙනත් ආහාර පිසින්නන්, අරක්කැමියන් හා වෙනත් සේවකයන් විදියට.

අනාගතය ඇවිත්! චීනයේ හාබින් නගරයේ විවිධ වර්ගයේ රොබොට්ටන් 18ක් මේ හෝටලයේ විවිධ කටයුතු කරනවා.