Wednesday, February 29, 2012

අපේ කැලැන්ඩරයට අධික අවුරුද්ද ආ හැටි

අධික අවුරුද්දක් යනු වසරේ දවස් 366ක් සහිත එමෙන්ම පෙබරවාරි මාසයට දින 29ක් ඇති වසරකි. යම් වසරක් අධික අවුරුද්දක් ද යන්න සොයා ගැනීමේ පහසුම ක‍්‍රමය එම ඉලක්කම් දෙක 4න් බෙදීමය. එසේ බෙදූවිට ඉතිරි නොවී බෙදෙන්නේ නම් එය අධික අවුරුද්දකි. නිදසුනක් හැටියට 2012 වසර අධික අවුරුද්දකි.

අධික අවුරුද්දක් පිළිබඳව ඉහතින් දැක්වූ හැඳින්වීම සියයට සීයක් නිවැරදි නොවේ. හරියටම නිවැරදිව කිවහොත් සෑම වසර 400කට වරක් අධික අවුරුද්දක් අත හැර දමනු ලැබේ. ඒ අනුව කි‍්‍ර.ව. 1900 වසර අධික අවුරුද්දක් නොවූ අතර කි‍්‍ර.ව. 2300 වසර ද අධික අවුරුද්දක් නොවනු ඇත.

වසර හතරකට එන වාසනාවන්ත දවසක්! ලොව පුරා අද වගේ දවසක උපන් අයට අපේ සුබපැතුම්!

අද පෙබරවාරි 29 වැනිදා සුවිශේෂ දවසක්. මේ වගේ දවසක් එන්නේ අවුරුදු හතරකට වතාවක් විතරයි. ඒ වගේම අවුරුදු 100කට සැරයක් එන්නේ නෑ. අද දිනය හඳුන්වන්නේ අධික දිනය leap day කියලයි.

අප අද භාවිත කරන ග්‍රෙගෝරියානු කැලැන්ඩරයට අනුව සාමාන්‍ය අවුරුද්දක පෙබරවාරි මාසයට තියෙන්නේ දින 28යි. ඊළඟ දිනය එන්නේ මාර්තු 1 වැනිදායි.

ගොඩබිමට පා තැබූ ප‍්‍රථමයා හා උරගයින්ගේ පරිණාමය : පරිණාමයේ කතාව 3

උභය ජීවීන්ගේ පරිණාමය
 ඕනෑම සත්ත්වයෙකුගේ පරිණාමයට ඔවුන්ගේ දේහය සහ එහි ස්වභාවය ප‍්‍රධාන හේතුවකි. උභය ජීවීන්ගේ පරිණාමයට ද ඔවුන්ගේ ශරීර බර හේතු විය. (ගොඩබිම වෙසෙන සත්ත්වයකුගේ ශරීර බර ගොඩබිමේදී වැඩි බරක් දැනේ. නමුත් ජලයේදී එම බර දැනීම අඩුය) ගොඩබිමේදී සත්ත්වයා තම සිරුරේ බර දරයි. ඒ නිසා මෙතෙක් ලොව බිහිවූ මත්ස්‍යයින්ගෙන් ගොඩබිමට යාමට නම් ඔවුන්ගේ වරල් ශක්තිමත් පාද බවට පරිවර්තනය විය යුතුය. ජලජ පරිසරයක විසූ මත්ස්‍යයින් මෙවැනි පරිණාමයකට බඳුන් විය. මෙසේ ගොඩබිමේ වාසය කිරීමට හැකි පරිදි පා සතරක් සහිත සිව්පාවුන් බවට පරිවර්තනය විය.

Tuesday, February 28, 2012

ව්‍යාඝ‍්‍රයන්ට ඉරි හා දිවියන්ට තිත් ලැබුණේ කොහොමද? අවුරුදු 60 වසරක් පැරණි නියමය තහවුරු කරයි!

පළමු වතාවට විද්‍යාත්මක පරීක්ෂණ මගින් ශ්‍රේෂ්ඨ බි‍්‍රතාන්‍ය ජාතික විද්‍යාඥයකු වූ ඇලන් ටියුරින් ඉදිරිපත් කළ න්‍යායක් තහවුරු කිරීමට බි‍්‍රතාන්‍ය විද්‍යාඥ පිරිසක් සමත් වී තියෙනවා. මේ න්‍යාය ඔහු ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාඝ‍්‍රයන්ට ඉරි හා දිවියන්ට පුල්ලි ආදී ජීව රටාවන් ලැබුණු ආකාරය පිළිබඳවයි.

ටියුරින්ගේ ජන්ම ශත සංවත්සරය යෙදී ඇති මේ වසරේ දී ම ඔහුගේ න්‍යාය තහවුරු කිරීම විශේෂ දෙයක් ලෙස සැලකිය හැකියි. සතුන්ගේ සිරුරවල ඇති වන හඳුනා ගැනීමේ ලක්ෂණ ලෙස විශේෂ රටා ඇති කෙරෙන්නේ ප‍්‍රබෝධකයක් (activator) හා අවශේධකයක් (inhibitor) ලෙස එක විට කි‍්‍රයා කරන රූප ජනක ජාන හෙවත් මෝෆොජන්ස් (morphogens) යුගලක් නිසා යයි ඔහු ඒ න්‍යාය තුළින් ලොවට කීවා.

Monday, February 27, 2012

වර්ගයා බෝ කිරීමට අලස සතෙක්! ලෝකයේ ජීවත් වන්නේ 124ක් පමණයි! බේරා ගන්න විශාල සටනක්!

පැන්ඩාවන්, සුදු රයිනෝ සතුන්, කඳුකර ගෝරිල්ලන් වැනි සතුන්ගේ පැටවුන් බෝ වීම හරිම දුර්භලයි. ඒත් සියල්ලට ම වඩා වර්ගයා බෝ කිරීමට අලස සතෙක් නවසීලන්තයේ ඉන්නවා. ඇත්තටම නම් ඒ කුරුල්ලෙක්, ගිරවෙක්. නම කාකාපෝ. එහි තේරුම ‘රෑ ගිරවා’ යන්නයි.

මහත සිරුරක් ඇති මේ කුරුල්ලාට ඉගිල්ලෙන්න බැහැ. ඌ වර්ගයා බෝ කිරීමට කෙතරම් අලස ද කීවොත් මේ කුරුල්ලන් මේ වන විට මුළු නවසීලන්තයටම ඉන්නේ 124 දෙනයි.

කොළ පැහැති නිසා පරිසරය හා මුසුව සැඟවී සිටින්න ඌට පහසුයි

Sunday, February 26, 2012

අනාගතයේ දී බීම බොනවා විතරක් නෙවෙයි, ඒ බීම දැමූ බෝතලෙත් කන්න පුළුවන්!

අනාගතයේ දී ඔබ බීමක් මිල දී ගන්නා විට එම බීම බහා ඇති බෝතලයත් කෑමට ගැනීමට ඔබට පුළුවන්. මේ අමුතු නිෂ්පාදනය ගොඩ ගැහෙන ඉවත ලන ද්‍රව්‍ය අඩු කිරීමට විද්‍යාඥයන්ගෙන් ලැබෙන සහායක්. දිරවිය හැකි ප්ලාස්ටික් විශේෂයකින් තැනෙන එයට පොතු ඉවත් කර කෑමට ගත හැකි ආහාර කොටස් සහිතව සමහර විට සම්පූර්ණ බෝතලයම කෑමට ගැනීමට හැකි වන පරිදි මේවා නිපදවේවි.

ඇමරිකාවේ හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් මේ වන විට දොඩම් යුෂ දැමීම සඳහා දොඩම් ‘පට්ටයක්’ද ස්පාඤ්ඤ සුප් වර්ගයක් දැමීමට තක්කාලි රසැති ‘පට්ටයක්’ද වයින් දැමීමට මිදිවලින් තැනූ ‘පට්ටයක්’ද තනා තියෙනවා. මා මේ ‘පට්ටය’ යන වදන මෙතැනට ගත්තේ දොල්, කිතුල් පැණි පොල් පැණි දැමීමට පුවක් අත්තෙන් තනා ගන්නා ගැමි බහාලූව ගැන මතක් වූ නිසායි.

පට්ටයක් මිස ඔවුන් ‘විකීසෙල්ස්’වලින් තැනූ බෝතල් නිපදවීමට තවමත් පටන් ගෙන නැහැ. ජෛවරසායන ඉන්ජිනේරුවකු වූ ආචාර්ය ඬේවිඞ් එඞ්වඞ් එවැනි මුලාකෘතියක් තැනීමට බලාපොරොත්තු වන බව කියනවා. ”අපට ළඟදීම මේ විකීසෙල්ස් අවන්හල්වල දී දැක ගත හැකි වේවි.” ඔහු දැනටමත් එවැනි නිමැවුමක් විශේෂිත අළෙවිහල්වලට හා සුපිරි වෙළඳසල් සඳහා නිකුත් කිරිමට බලාපොරොත්තු වෙනවා.

මොනවද මේ කන්න පුළුවන් බඳුන් තනන විකීසෙල්ස් කියන්නේ ? විකිසෙල්ස් නිපදවන්නේ ජීර්ණය කළ හැකි පොලිමර් හෙවත් බහුඅවයවකයකින් හෝ ප්ලාස්ටික හා ආහාර කැබලිවලින්.

 
එවැනි බඳුනක් හරියටම බිත්තරයක කටුවක් වැනි සවිමත් එකක්. ඕනෑම රසවත් දෙයකින්, දොඩම් යුෂ, වයින් (මිදි යුෂ) හෝ චොකලට් වැනි දෙයින් එය පිරවිය හැකියි.

Saturday, February 25, 2012

අපෘෂ්ඨවංශී, පෘෂ්ඨවංශීන්ගේ පරිණාමය : පරිණාමයේ කතාව 2

අපෘෂ්ඨවංශීන්ගේ පරිණාමය
පෘථිවියේ වසර බිලියන 3.8 ක (මිලියන 3800ක) පමණ කාලයක සිට විවිධ සත්ත්ව විශේෂ වාසය කර ඇත. මේ බවට සාධක විද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබේ. පළමුවෙන් ම ඒක සෛලික සතුන් ද දෙවනුව බහු සෛලික සතුන් ද මිහිමත පහළ වන්නට ඇත. මේ පිළිබඳ අතීතය සොයා යන්නකුට ක්ෂුද්‍ර ජීවීන්ගේ සිට පළමු පෘෂ්ඨවංශික සතුන් දක්වා සත්ත්ව විශේෂ මිලියන ගණනක් මේ මිහිමත විසූ බව අනාවරණය කර ගත හැකිය.

විෂ විදීමෙන් හා විදුලි සැර පිටකිරීමෙන් පණ බේරාගන්න සත්තු : සත්ත්ව ලෝකයේ උපක‍්‍රම

ජීවත්වන වටපිටාව නැතිනම් ස්වාභාවික පරිසරයට අනුව හැඩ ගැසෙමින් සතුරන්ගෙන් බේරී සැඟවීමටත් ගොදුරු අල්ලා ගැනීමටත් විශේෂ හැකියාවන් ඇති කර ගැනීම සත්ව ලෝකයේ ඇති අරුමයකි. විෂ සහිත සතුන්ට නම් මේ විධියට සැඟවී සිටීමට සිදුවන්නේ නැත. ගොදුරක් වශයෙන් අල්ලා ගෙන ආහාරයට ගැනීමට නොහැකි විෂ සහිත සතුන් ස්වභාවයෙන්ම දීප්තිමත් කහ හෝ රතු වර්ණයන්ගෙන් යුක්තයි. මාර්ග සංඥා අලෝක පද්ධතිවල රතු, කහ සහ කොළ පැහැයන් යොදා ගෙන ඇත්තේ ද ස්වාභාවික වර්ණ අනුව යමිනි. රතු වර්ණයෙන් පෙන්නුම් කරන්නේ අවදානමක් එසේත් නැතිනම් අනතුරකි. කහ වර්ණය ඇති විටදී ද අනතුරක ස්වභාවය පෙන්නුම් කළත් අවදානම අඩුය. කොළ පාටින් පෙන්නුම් කරන්නේ අනතුරක් නොමැත යන්නයි. සත්ත්ව ලෝකයේ නොයෙක් නොයෙක් සත්තු විවිධ උපක‍්‍රම භාවිතා කරති. සමහරු විෂ යොදා ගනිති. තවත් සමහරු විදුලිය යොදා ගනිති.

Friday, February 24, 2012

හිම යට වසර 30,000ක් තිබූ පුරාණ පැළෑටියකට පණ දෙයි!

රුසියාවේ පර්යේෂණාගාරයක මුල්ල තබා ඇති විද්‍යාඥයන්ගේ සිත් ඇදගත් මල් පැළයක් තියෙනවා. එහි නම දක්වා ඇත්තේ සිලේන් ස්ටෙනොෆිලා (Silene stenophylla) කියලයි. මෙවැනි සපුෂ්ප ශාක බොහෝ විට මල් පෝච්චිවල වවන්නේ මල් ප‍්‍රදර්ශන තරගවලට ඉදිරිපත් කරන්නයි. මේ වවන්නේ එහෙම එකකට නෙමෙයි. ඒත් එහෙම තරගයකට ඉදිරිපත් කළත් මේක සම්මාන වැඩි ගණනක් දිනන එකක් නැහැ. කොහොම වුනත් එක් සම්මානයක් නම් දිනනව සිකුරුයි. ඒ තමා ‘පෘථිවියෙහි ඇති ඉතාමත් පැරණි, රෝපණය කළ හැකි, බහු-පටක සහිත සජීවී ශාකය’ යන සම්මානය.

සිලේන් ස්ටෙනොෆිලා නම් පැළෑටියට ‘යළි උපත’ දුන්නේ මීට වසර 30,000කත් පෙරාතුව රුසියාවේ සයිබීරියානු නිත්‍ය තුහින ප‍්‍රදේශයේ විසූ ලේනුන් විසින් වළලන ලද බීජ (ඇට) වර්ගයක් සොයා ගැනීමෙන් පසුවයි. මේ බීජ අධික ශීත තත්වයක් යටතේ නොනැසී තිබුණු ‘මිදුණු ජාන සංචිතයක්’ ලෙස විද්‍යාඥයන් අතට පත් වුණා.

 
තවමත් හොඳින් වැඩෙනවා: වසර 30,500කට පෙර නිත්‍ය මිදුණු බිමක යටවී තිබී හමු වූ සිලේන් ස්ටෙනොෆිලා දැන් ‘යළි ඉපිද’ මල් පල දරන අයුරු.

Thursday, February 23, 2012

කිසිදා හිරු එළිය නුදුටු අමුතු සතුන්! වෙනත් ග‍්‍රහ ලොවකින් ආ අය වගෙයි!

ඇත්තෙන්ම මොවුන් මෙතෙක් අපට දැක ගන්න ලැබුනෙ නැති අමුතුම සතුන් විශේෂයක්. හරියට අලෝක වර්ෂ ගණනක් ඈතින් පිහිටි ලෝකයකින් ආ අය වගෙයි. ඒත් ඔවුන් මෙසේ කැමරාවට නගා ඇත්තේ අපේ මේ පොළොවේ ඉතා ගැඹුරු සාගර පතුලේදියි. ඔවුන්ගේ පෙනුම හරියට බිහිසුණු සත්වයන් වගෙයි. ඔවුන් කිසිදාක ඉර එළිය දැකලා නෑ. පොළොවෙ ඇති ගැඹුරුම සාගර පත්ලවලයි, මොවුන් ජීවත්වෙන්නෙ.

මේ විස්මිත අලූත්ම පින්තූර පොලිකියේටයන් Polychaetes හෙවත් පත්තෑපණුවන්ගේ. ඔවුන්ගේ සිරුරු පරිණාමය වෙලා තියෙන්නෙ සාගර මතුපිට සිට මීටර 1000කට වැඩි ගැඹුරට යන විට මුහුණ දීමට සිදු වන දරුණු පීඩන තත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයටයි. ඒ තරම් ගැඹුරට හිරු එළියවත් විනිවිද යන්නේ නැහැ.

මේ කලාපයේ දී කෙරෙන සොයා ගැනීම් අපට සමහර විට උපකාර වේවි වෙනත් ග‍්‍රහ ලෝකවල පවත්නා සත්ව ජීවිත ගැන යම් අවබෝධයක් ලබා ගන්න.

 
මේ පත්තෑ පණුවන් අපේ ග‍්‍රහයා තුළ ඇති ඉතාම දරුණු පරිසර තත්වයන්ට ඔරොත්තු දෙන ආකරයටයි හැඩ ගැසී ඇත්තේ.

Wednesday, February 22, 2012

ඈත විශ්වය දෙසට යොමු වූ ඇස්වලින් හෙළි කර ගන්නා ගැලැක්සිවල අබිරහස්

ලෝකයේ විශාලතම පිරි වැයක් දරා බිම් මට්ටමෙන් සවි කර ඇති ලොකුම ගුවන්විදුලි දුරේක්ෂය ඇල්මා Atacama Large Millimeter Array (ALMA) යන කෙටි නමින් හැඳින්වෙනවා. එය චිලි රාජ්‍යයේ ඇන්ඞීස් කඳු වළල්ලේ උස් සානුවක සවි කර තියෙනවා. ඩොලර් බිලියන 1.3ක් වැය කොට තනා ඇති එයට පැවරී ඇති අලූත් ම රාජකාරිය අපේ පෘථිවිය වැනි ග‍්‍රහ ලෝක හැදුණු හැටි අධ්‍යයනය කිරීමයි.

මේ කාර්යයට තවත් ගුවන්විදුලි දුරේක්ෂයක් ද එක් කර තියෙනවා. ඒ නිව් මෙක්සිකෝවේ සවි කර ඇති ඇන්ටෙනා 27කින් සමන්විත වීඑල්ඒ නම් යෝධ ගුවන්විදුලි දුරේක්ෂයයි. ඇල්මා දැනටමත් නවක තරු වටා ඇති වායු හා දූලි තැටිවලින් ග‍්‍රහයන් හැදෙන හැටි කියාපාන මුල් ම රහස් තොරතුරු එවන්ට පටන් අරන්.

ඇල්මාහී විද්‍යාඥයන් කියන්නේ ඒ දුරේක්ෂය ගැලීලියෝගෙන් පසුව තාරකා විද්‍යාව හා තාක්ෂණය අතින් තැබූ යෝධ පිම්මක් බවයි.

 
ඇල්මා හා වීඑල්ඒ දුරේක්ෂ මගින් මුල් අවධියේ දූවිලි තැටියකින් හා නවක තරු වටා ඇති වායුවලින් ඒ වස්තූන් ඝනීභවනය වීමෙන් ග‍්‍රහයන් නිර්මාණය වන අයුරු හසු කර ගත හැකියි.

සිය ප‍්‍රබන්ධ තුළින් විස්මිත ලෙස අනාගතය දුටු දිවැසිවරයා - අද අප අත්දකින දේ එදා ඔහු දුටු හැටි!

ලෝකයට විද්‍යා ප‍්‍රබන්ධ කලාව හඳුන්වා දුන්නේ ඔහුයි. ඒ ඔස්සේ මුලින් ම හඳට ගියේත් ඔහුයි. ඔහුගේ නිර්මාණ තුළින් වසර සිය ගණනකට පෙර අපට හඳුන්වා දුන් බොහෝ තාක්ෂණික මෙවලම් අද අපට හුරුපුරුදු ඒවායි. ඔහුගේ 184 වැනි උපන් දිනය පසුගිය පෙබරවාරි 8 දාට යෙදී තිබුණා. ඔහු තමා ප‍්‍රංශ ජාතික විද්‍යා ප‍්‍රබන්ධ කථාකරු ජූල්ස් (යූල්ස්) වර්න්.

ඔහු යූල්ස් ගේබ්රියෙල් වර්න් Jules Gabriel Verne නමින් උපන්නේ 1828 පෙබරවාරි 8 වැනිදා ප‍්‍රංශයේ නැන්ටේවලදියි. අපව පොතපතින් ලොව පුරා විස්මිත චාරිකාවල රැගෙන ගිය ඔහු අවසන් ගමන් ගියේත් ප‍්‍රංශයේදිමයි. ඒ 1905 මාර්තු 24 වැනිදා එමියන්ස්හිදියි.

Tuesday, February 21, 2012

ලොව සිටින සාර්ථකම ධනාත්මක චින්තකයෙක් ලෙස සැලකෙන අත් කකුල් නැති නික් ගේ කතාව

1982 වසරේ දෙසැම්බර් මස 4 වෙනි දින ඕස්ට්‍රේලියාවේ වෝයිඅචිච් යුවළ ආදරයෙන් ඔවුන්ගේ කුළුඳුල් දරුවාගේ උපත බලාපොරොත්තු වූහ. ඒ පැතුම් මල් පුබුදමින් පුංචි පුතෙක් මෙලොව එළිය දුටුවේය. උතුරා ගිය ප්‍රීතියෙන් යුතුව කිරිකැටි පුතු දෝතට ගත් මවට ඉබේටම කෑගැස්විනි.

"දෙවියනේ. . මේ මොකද ?"

හිරු මත හමා යන ට්විස්ටරයක් (ටෝනේඩෝවක්) දැක ගන්න! එය අපේ පොළොව තරම් විශාලයි!

පසුගියදා සූර්යයා මත ප‍්‍රචණ්ඩකාරී සුළිසුළඟක් හෙවත් ටෝනේඩෝවක් හමා ගියා. එය හමා ගිය ආකාරය දැක ගන්න දැන් ඔබටත් පුළුවන්. අපේ මහ පොළොව තරම් විශාල මේ සුළිසුළඟ හමා යන්නේ පැය සැතැපුම් ලක්ෂ ගණනක වේගයෙන්. එය සුර්යයා මතුපිට සිට සැතැපුම් සිය ගණනක් ඈතට විහිද යන්නක්. මෙය වර්ධනය වී යන ආකාරය අනුව පැයට සැතැපුම් 300,000 වේගයකට ළඟා වේවි කියලයි කියන්නෙ.

 
ට්විස්ටරය හෙවත් මේ ටෝනේඩෝව අපේ පොළොව තරම් විශාලයි. පැ.සැ. 300,000 වේගයකින් හඹා යනවා.

කෘමි ලොවේ නුදුටු පැති - කෘමීන් තනන විස්මිත පාලම්


මේ රූප පෙළෙන් ඔබ දකින්නේ පුංචි කුහුඹුවන් රංචුවක් දිය කඩිත්තක් හරහා යන ගමනකදී දුෂ්කරතා ජය ගන්නා හැටියි. මැක්රෝ ඡායාරූප ශිල්පය යොදා නොගෙන කැමරාවේ කාචය අනික් පැත්ත හරවා ගත් අපූරු රූප පෙළක් තුළින් කෘමි නුදුටු මුහුණු දුට හැටි ඔබට මතක ඇති. ඒත් පින්තූර කැමරාවට නගා ඇත්තේ මැක්රෝ ඡායාරූප ශිල්පය යොදා ගෙනයි.

දිය කඩිත්තෙහි ඇති බාධක ගල්පරවලින් මාරු වීමේ දී කුහුඹුවන් ගන්නා උත්සාහයේ දී ඔවුන්ගේ සිරුරු ජලය මත පරාවර්තනය වී දැක්වෙන අයුරු සිත්ගන්නාසුලූයි.

මේ පින්තූර කැමරාවට ගත්තේ ඉන්දුනීසියාවේ කෙපුලෟව්වාන් රි ඕවල වෙසෙන වින්සන්ටියස් ෆර්ඩිනන්ඞ් කියන කැමරා ශිල්පියායි. ”මගේ නිවස අසල තැනකයි, මං මේ පින්තූර ගත්තේ.” ඔහු කියනවා.

Monday, February 20, 2012

කොයිතරම් ප‍්‍රමාණයක් නින්ද අවශ්‍ය ද? නවතම අධ්‍යයනයක්!

තරුණ ළමයින් බොහෝ විට තමන්ට තවත් වැඩිපුර වෙලාවක් නිදා ගන්නට යැයි කියන අවස්ථා අප දැක තියෙනවා. පාඩම් කරන්නට යැයි දෙමාපියන් දරුවන් පාන්දරින් ඇහරවන එක නිතරම සිදු වන්නක්. ඒත් ඒක සුදුසු ද?

ඒත් පමණට වඩා නිදා ගැනීම තරුණ ළමුන් පාසල් කටයුතුවල දී පසුගාමී විය හැකි බව පර්යේෂණයේ පෙන්වා දීල තියෙනවා.

අධ්‍යයනයෙන් සොයා ගෙන ඇත්තේ ඇඳේ වැතිර සිටීම අඩු කොට හොඳින් නිදා ගැනීමට පුරුදු වීමෙන් ඉගෙනීමේ දී වැඩි සාර්ථකත්වයක් ලබා ගත හැකි බවයි.

 
පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ 16 හැවිරිදි අයට අනුමත කර ඇති පරිදි දිනකට පැය 9ක් නිදා ගන්නා අයට වඩා 7ක් නිදා ගත් අය විභාගවලින් වැඩි දක්ෂතා පෙන්නුම් කරන බවයි.

මිහිමඬලේ ජීවය ගොඩ බිමින්, මුහුදින් නෙමෙයි. චාල්ස් ඩාවින් කී හරි! අලූත් ම අධ්‍යයනයකින්!

මිහිමත ජීවය ආරම්භ වූයේ ගොඩබිම උණුසුම් කුඩා විලකින් මිස සාගරයෙන් නොවෙයි - මීට වසර 140කට පෙර චාල්ස් ඩාවින් පළ කළ මේ අදහස දැන් නවතම පෙරළිකාර අධ්‍යයනයකින් ද සනාථ වී තියෙනවා. එම සොයා ගැනීම් ගැන ජාතික විද්‍යා ඇකඩමිය විසින් පළ කරන ලද වාර්තාවකට ඇතුළත් වෙනවා. මෙය එක්තරා ආකාරයකින් දැන ප‍්‍රචලිතව පවත්නා ජීවය ඇති වූයේ මහ මුහුදෙන් යන්නට විශාල අභියෝගයක් වනු නිසැකයි.

ජීවය හට ගත්තේ ගොඩබිමින් මුහුදෙන් නොවෙයි කී චාල්ස් ඩාවින්. 
මුල්ම ප‍්‍රාථමික සෛල ඇති වූයේ ‘කුඩා උණුසුම් පොකුණකින් - හරියටම හරියන රසායනික සංයුතියක් හා පරාජම්බුල කිරණ උදවු වුණා

Sunday, February 19, 2012

ධවල මන්දිරය සත්තු වත්තක්? : ඇමෙරිකානු ජනාධිපතිවරුන්ට සිටි සුරතල් සතුන්

ඇමෙරිකාව, හරියටම කියනව නම් ඇමෙරිකා එක්සත් ජනපදය තමයි, ලෝකයෙ බලවත්වම රටවල් අතර ඉහළින්ම ඉන්නෙ. ඒ හින්දයි එහි ජනාධිපතිවරයා ‘ලෝකෙට ලොක්කා’ හැටියට සැලකෙන්නෙ. අද ඇමෙරිකාවේ ජනාධිපති බැරැක් ඔබාමා තමයි එරට පළමුවැනි පුරවැසියා ලෙසින් ගෞරව ලබන්නෙ. එතුමාගේ බිරිඳත් එරට ‘පළමුවැනි කාන්තාව’ එනම් ‘ෆස්ට් ලේඩි’ ලෙසින් ගෞරවයට පාත‍්‍ර වෙනවා. ඇමෙරිකාවේ ජනාධිපතිවරයාට බිරිඳට පමණක් නොවෙයි දූ දරුවන්ටත් එයාලගේ සුරතල් සතුන්ටත් ඒ විදියට ම ගරු කරනවා. ඔබාමාගේ දියණියන් දෙදෙනා හඳුන්වන්නේ ‘ෆර්ස්ට් ඩෝටර්ස්’ නැතිනම් ‘පළමු දූවරු’ කියලයි. ඒ වගේමයි ඇමෙරිකා ජනපති මැඳුරට යන බලූ සුරතලා හැඳින්වෙන්නෙත්. ‘ෆර්ස්ට් ඩෝග්’ නැතිනම් ‘පළමු සුනඛයා’ කියලයි. ඒ විදියට ලෝකයේ ජීවත් වන සියලූම බලූ යාළුවන්ගේ ‘ලොක්කා’ තමයි ඇමෙරිකානු ජනාධිපතිගේ බලූ සුරතලා.

Saturday, February 18, 2012

කබරගොයන්ගේ නෑයෙකු වන ප‍්‍රචණ්ඩකාරී කොමෝඩෝ මකරු (Komodo Dragon)

කොමෝඩෝ මකරුන් (Komodo Dragon) පහරදීමෙන් මිනිසුන් මියගිය පුවත් ඉන්දුනීසියාවෙන් පසුගිය වසරවල වාර්තා විය. කොමෝඩෝ මකරුන්ගේ ප‍්‍රචණ්ඩකාරී හැසිරීම් හේතුවෙන් කොමෝඩෝ ජාතික වන රක්ෂිතයට මිනිසුන්ට ඇතුළු වීම තහනම් කර තිබේ.

Friday, February 17, 2012

මැස්සෙක් විතර පුංචි කටුස්සෙක් හමුවෙයි! මිහිපිට ජීවත්වන කුඩාම කටුසු වර්ගය!

මේ පුංචිම පුංචි කටුස්සා සමහර විට මේ මිහිපිට ජීවත්වන කුඩාම කටුසු වර්ගයට අයත් එකකු වෙන්න පුළුවන්. මැඩගස්කරයේ දී හමු වූ මේ කුඩා කටුස්සාගේ ප‍්‍රමාණය මේ සමග ඇති ඡායාරූපයෙන් ඔබට සිතා ගත හැකියි. ඒ සොයා ගැනීම කළ විද්‍යාඥයාගේ ඇඟිලි තුඩකයි ඌ මේ ළැග ඉන්නේ. මේ වර්ගයේ වැඩුණු සතකු දිගින් සෙන්ටිමීටර් 3කට වඩා නැහැ.


 
ගිනිකුර හිසක වුනත් මේ කුඩා කටුසු වර්ගයට ළැග ඉන්න පුළුවන්.

Thursday, February 16, 2012

රාති‍්‍රයට හොඳින් පෙනෙන දීප්තිමත් ඇස් දෙකක් - පිච් බ්ලැක් චිත‍්‍රපටයට ආ අදහස සැබෑවක් වෙයි

ඔහුගේ ඇස් නිල්පාටයි. දීප්තිමත්. ඔහුට රාති‍්‍රයට ඇස් පේනවා. කොයි තරම් අඳුරක වුනත් ඔහුගේ ඇස්වලින් ආලෝකයක් නිකුත් වෙනවා. මේක විද්‍යා ප‍්‍රබන්ධ ලෝකයේ දී මේ අයුරින් ම කලකට ඉහත චිත‍්‍රපටවලත් දකින්නට ලැබුණු දෙයක්. විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපට වූ පිච් බ්ලැක් (Pitch Black) හා ද ක්‍රොනිකල්ස් ඔෆ් රිඞ්ඩික් (The Chronicles of Riddick) යන ඒවායේ ආ රිචඞ් බී. රිඞ්ඩික් චරිතයේ ඇස් ඒ විදියට දිළිසුණා. ඔහුගේ ඇස් දීප්තිමත් නිල් පැහැයෙන් යුක්තයි. එහෙම වුණේ ඔහුගේ ඇස් භූගත හිර කඳවුරක දී සැත්කමකට භාජනය කරපු නිසයි. ඒ අනික් සිරකරුවන් පාලනය කරන්න යොදා ගන්න යොදපු උපායක්.

 
චිත‍්‍රපටයේ රිඞ්ඩික්ගේ ඇස්වල හැටි (රංගනය - වින් ඞීසල්)

අමරණීය චරිතයක් බවට පත් වූ සැබෑ තරුණයා : ටින්ටින්ගේ චරිතයට පාදක වූ වයස 16 දී ලොව වටා ගිය පෝල්

ටින්ටින්ගේ චරිතයට පාදක වෙච්ච එක චරිතයක් තමයි, ඩෙන්මාර්කයේ හෙලර්රප්වල උපන් පෝල් හල්ඞ්. Palle Huld 1912 අගෝස්තු 2 වැනිදා උපන් ඔහුට අවුරුදු දහසයේ දී, ඔහුට වාසනාව පෑදුනා ලෝක සවාරියක් යන්න.

සුදුම සුදු හමිංබර්ඞ් කුරුල්ලෙක් - කැලිෆෝනියාවෙන් හමු වූ ඉතා දුලබ දසුනක්.

හෆ් පෝස්ට් ගී‍්‍රන් huff post green නම් අන්තර් ජාල පුවත්පතේ අපූරු පුවතක් පළ වුණා, පින්තූරත් සමඟ. ඒ ඉතා දුලබ කුරුල්ලකු දර්ශනය වීමක් පිළිබඳ පුවතක්.

ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප‍්‍රාන්තයේ දී තමයි, මේ අපූරු කුරුල්ලා දකින්න ලැබිලා තියෙන්නෙ. ඌ අයත් වන්නේ කුරුලූ ලෝකයේ කුඩා ම කුරුල්ලා අයිති හමිංබර්ඞ් කුරුලූ පවුලටයි. ඌ ඇළි පැණි කුරුල්ලෙක්. ඒ කියන්නේ සුදු ම සුදු පැහැති පිහාටු ඇති හමිංබර්ඞ් කුරුල්ලෙක්. උගේ හොට හා දෙපා රෝල පැහැතියි. ගෙල හා ඇස් රතු පාටයි.

Wednesday, February 15, 2012

බයිබලයේ එන ෂීබා රැජිනගේ රන් බිම සොයා ගැනේ - විස්මිත පුරාවිද්‍යා ගවේෂණයක්!

පසුගියදා බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යාඥවරියක් ඇතුළු පිරිසක් බයිබලයේ එන ෂිබා රැජිනගේ අබිරහස සැඟවී ඇති තැන සොයා ගැනීමට සමත් වුණා.

බයිබලයට අනුව ෂීබා රැජින රත්තරන් තලෙන්තු (ටැලන්ට්) 120ක් (ටොන් හතර හමාරක් පමණ) තුටුපඬුරු ලෙස රැගෙන ජෙරුසෙලමට ගොස් සොලමන් රජු බැහැදුටු බව බයිබලයේ සඳහන් වෙනවා. එකල ෂීබා රාජධානිය ලෙස හැඳින්වුණේ වත්මන් ඉතියෝපියාව හා යේමනය අතර ප‍්‍රදේශයයි.

දැන් ඒ ඉපැරණි රන් ආකරයත් දෙවොලක නටබුන් ආදියත් හමු වී ඇත්තේ උතුරු ඉතියෝපියාවේ ඝෙරල්ටා සානුව පිහිටි ප‍්‍රදේශයේයි. එය ආදි කාලයේ ෂීබා රැජිනගේ පාලනය යටතේ පැවති ප‍්‍රදේශයක්.

මෙහි කැනීම් කරන කණ්ඩායමට නායකත්වය දෙන්නේ ලූයිස් ස්කෝෆීල්ඞ්. ඇය දුටුවා එහි ඉදිරිපිට අඩි 20ක් උස ගල්ලෑල්ලකින් අවුරා තියෙනවා. ඒ වගේම ඇය දුටුවා එහි ඉරයි අඩ හඳයි කොටලා තියෙනවා. ඒ ෂිබා රැජනගේ ලාංඡුනය ලෙස ඇය හඳුනා ගත්තා.

පැරණි ප‍්‍රතිරූපණයක්: ෂීබා රැජින අතීතයේ දී පාලනය කළේ වර්තමානයේ ඉතියෝපියාව හා යේමනය අතර ප‍්‍රදේශයයි.

පෘථිවියේ උපත, ලෝකයේ ආදීතම ජීවියා සහ ජීවයේ ආරම්භය : පරිණාමයේ කතාව 1

කෙළවරක් නොපෙනෙන මේ මහා විශ්වයේ අපේ නිවහන වන්නේ පෘථිවියයි. මනුෂ්‍ය අපට පමණක් නොවේ, තවත් ජීව විශේෂ ගණනාවකගේත් නිවහන වන්නේ පෘථිවියයි. අප මේ පෘථිවියෙහි පහළ වූයේ කෙසේ ද? පෘථිවිය ඇතුළු අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ උපත පිළිබඳ විවිධ මතවාද කිහිපයක් ඇත. ඒ අතුරින් වඩාත් පිළිගැනීමට ලක් වූ මතය වන්නේ ‘නීහාරිකා න්‍යායයි’. ඒ අනුව වායු හා දූවිලිවලින් පිරුණු විශාල නීහාරිකාවක් (Nebula) ඝනීභවනයට පත්වීමෙන් සූර්යයා, ග‍්‍රහලෝක සහ ඒවායේ උප ග‍්‍රහයන් නිර්මාණය වූ බවයි. පෘථිවියේ ජීවය පහළ වූ අයුරු නිශ්චිත ව ප‍්‍රකාශ කිරීමට ජීව විද්‍යාඥයන්ට නොහැකි වුනත් ජීව විශේෂ හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු ඔවුන් විසින් න්‍යායයන් කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඒ අතරින් වඩාත් පිළිගැනීමට ලක්වන්නේ මහා පිපිරුමත් පරිණාමයත් ගැන ඇති න්‍යායයන්ය. ජීව විද්‍යාඥයන් විසින් ජීවයේ ආරම්භය හා විකසනය වූ අයුරු ගැනත් ඉදිරියට ජීවයේ සිදුවිය හැකි යම් යම් වෙනස්කම් පිළිබඳවත් කරුණු කාරණා හා අදහස් උදහස් පළ කර තිබේ.

නීහාරිකාවක්

Tuesday, February 14, 2012

අන්ධ අයට පෙනීම දෙන නව උපකරණයක්! ස්ටාර් ටෙ‍්‍රක් විද්‍යා ප‍්‍රබන්ධ කතා හැබෑවක් කළ විද්‍යාඥ පිරිසක්!

ස්ටාර් ටෙ‍්‍රක් Star Trek චිත‍්‍රපටයේ අන්ධ ඉංජිනේරුවකු වූ ජෝඩි ලා ෆෝජ් පෙනීම ලබන්නේ ඇස් ඉදිරියෙන් උපැස් යුවළක් මෙන් පලඳින වයිසරයකින්. එදා ඒ විද්‍යා ප‍්‍රබන්ධයේ දී දුටු ඒ දෙය දැන් හැබෑවට ම සිදුවෙලා. ඊශ‍්‍රායල නව නිපැයුම් කණ්ඩායමකට පින් සිදු වන්නට දැන් හැබෑ ජීවිතයේ දී අන්ධ අයට ඒ අත්දැකීම අත්විඳින්නට හැකි වී තියෙනවා. ඔවුන් අපූරු උපකරණයක් නිපදවා තියෙනවා. ඒ මගින් ශබ්ද තරංග යොදා ගෙන අන්ධ අයගේ දෘශ්‍ය බාහිකය හරහා ඔවුන්ට පෙනී ලබා දිය හැකියි.

 
ආචාර්ය අමීර් ඇමෙදි සිය ‘පෙනීම ලබා දෙන සංවේදක උපකරණය’ පැලඳ සිටින අයුරු.

රජු හා රට වෙනුවෙන් වීරෝදාරව නොබියව සටන් කළ නයිට්වරු

සාම්ප‍්‍රදායිකව නයිට්වරුන් ලෙස හැඳින්වූයේ වංශවත් පෙළපතකින් පැවත එන වීර රණ ශූරයින්ය. මේ නයිට්වරු අතීතයේ මධ්‍යතන යුගයේ වීරයෝ වූහ. රජු ඉදිරියේ දිවුරුම් දෙමින් නයිට් පදවියට පත්වන්නෝ දේශපේ‍්‍රමීත්වයෙන් රජු හා ආගම සුරැකීමට ඉදිරිපත් වෙති. වර්තමානයේත් නයිට් පදවියෙන් පිදුම් ලැබීමක් සිදු කෙරේ. එය පුද්ගලයකුට පිරි නමනු ලබන විශේෂ ගෞරවයකි. වර්තමානයේ නයිට් පදවියෙන් පිදුම් ලබන්නේ සමාජයට මහා මෙහෙවරක් කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ය. ඔවුන්ට නයිට් පදවිය පිරිනැමීම සිදුවන්නේ රාජකීය පෙළපතකින් පැවැත එන රැජිනක් හෝ රජ කෙනකු විසිනි. ඒත් අපි කතාබහ කරන්න සූදානම් වෙන්නේ මධ්‍යතන යුගයේ ජීවත් වූ ලෝහ සන්නාහයකින් සැරසී අසු පිට නැගී රජු වෙනුවෙන් හා රට වෙනුවෙන් වීරෝදාරව නොබියව සටන් කළ නයිට්වරුන් ගැනය.

වත්මන් ළමා ගී පරපුරේ ආරම්භකයා - ශී‍්‍ර රූපදේව කවීන්ද්‍ර ආනන්ද රාජකරුණා

‘රෝස මලේ නටුවෙ කටූ - වන බමරෝ ඔහොම හිටූ
නටුව නොවේ මල සිඹිමී - මම ළමයෝ පැණි උරමී’

යනුවෙන් ළමයකුත්, වන බමරකුත් අතර සංවාදයක් ආකාරයෙන් ලියා ඇති කුඩා කවිය අදත් අපේ දරුවන් අතරත් වැඩිහිටියන් අතරත් එකසේ ජනපි‍්‍රය ළමා කවකි. ළමයින්ට කවි ලිවීම අරභයා ආනන්ද රාජකරුණා (1885-1957) කවියා දැක්වූ දක්ෂතාව මැන ගැනීමට එම කව ම ප‍්‍රමාණවත්ය. ළමයින් සඳහා විවිධ මට්ටමේ කව් රැසක් ආනන්ද රාජකරුණා විසින් අපේ ළමා පරපුරට දායාද කර තිබේ.

Monday, February 13, 2012

21 වැනි සියවසේ ජීවමාන මහිමය - මහා විද්‍යාඥ ස්ටීවන් හෝකින් සක්වළ ජීවීන් ගැන හා අපේ අනාගතය ගැන දක්වන අදහස්

ඔහු මේ සියවසේ විශිෂ්ටතම විද්‍යාඥයා මෙන් ම ජීවිත අභියෝගය ජයගත් මිනිසා යැයි හැඳින්වූවාට වරදක් නැහැ. මීට අවුරුදු 50කට පෙර ඔහු සුව කළ නොහැකි ස්නායුගත ආබාධයකින් පෙළෙන බව හෙළිවූවාට පසු වෛද්‍යවරුන් කීවේ ඔහු මාස 18කට වඩා ජීවත් නො වන බවයි. එහෙත් ඔහු පසුගියදා 70 විය පසු කරන විට විද්‍යාව වෙනුවෙන් ඔහු කර ඇති මෙහෙය ලොව වෙනත් කිසිම විද්‍යාඥයකු කර නැහැ.

1974 දී ඔහුට තනිවම කෑම ගන්නත් ඇඳට යන්නත් නොහැකි වුණා. 1984 දී ඔහුට හරිහැටි කතා කිරීමට නොහැකි වුණා. 1985 දී ඔහුට මුලූමනින්ම කතා කිරීම අහිමි වුණා. ඒත් ඔහු අධෛර්යයට පත් වුණේ නැහැ. එතැන් සිට ඔහු අදහස් පළ කළේ ඔහුගේ කතාව හඬට බවට පෙරළීමට හැකි පරිගණකයක් භාවිත කිරීමෙනුයි.

 
වසර ගණනාවක් තිස්සේ මහාචාර්ය හෝකින්ස් විශ්වය ගැන විස්මිත මත රැසක් ම පළ කළේ මේ අයුරින් ඔහු වෙනුවෙන් ම නිර්මාණය කෙරුණු විශේෂ රෝද පුටුවක සිටයි.

නීල් ආම්ස්ට්‍රෝංට කලින් හඳට ගිය පුවත් වාර්තාකරු ටින්ටින්

අපි කාගේත් ආදරයට ලක්වූ අපූරු චිත‍්‍රකතා වීරයෙක් පසුගියදා 82 වැනි උපන්දිනයට පා තැබුවේය. ඒ වෙන කවුරුවත් නොව නීල් ආම්ස්ට්‍රෝංට කලින් හඳට ගිය, අයුක්තිය අසාධාරණයට එරෙහිව නැගී සිටින ලෝකය වටේ යමින් වීර වික‍්‍රමයන්ට මුහුණ දෙන ලෝක පතල පුවත් වාර්තාකරු ටින්ටින්ය.

Sunday, February 12, 2012

කැල්කියුලේටරයට පෙර ඉපදුන කැල්කියුලේටරයක් වැනි ෆ්ලූවරි

ඔබ සමහර විට අහලා ඇති මෝඩකමයි නුවණක්කාරකමයි අතර තියෙන්නෙ ඉතාමත් තුනී සීමා ඉරක් කියල. මං කියන්න කැමතියි, එහෙමවත් සීමා ඉරක් නැති අවස්ථාත් තියෙනවා කියල. ඒ විතරක් නෙවෙයි, ඒ දෙකම එකම මොළේක තියෙන අයත් ඉන්නවා. මේ එහෙම කෙනෙක් ගැන කතාවක්.

සත්ව ලෝකයේ ඔබ මෙතෙක් නුදුටු දසුන්. හුරුපුරුදු සතුන්ගේ හැඩරුව කැමරාවට. ඉරාන ජාතිකයකුගේ දස්කමක්.

ඉරාන ජාතික ඡායාරූප ශිල්පියකු වන ඕමිඞ් ගොල්සාර් සමත්වී තියෙනවා, මකුළුවන්, ශලබයන්. බමරුන් හා කුරුමිණියන්ගේ සමීප දසුන් ප‍්‍රමාණයෙන් විශාල කර කැමරාවට නඟන්න. ‘මැක්‍රෝ’ ඡායාරූප ලෙස හැඳින්වෙන මේවා කැමරාවට නගා ඇත්තේ සාමාන්‍ය කැමරාවකින්.

මේ සතුන් පියාසර කරද්දී හෝ වසා සිටිද්දී හෝ ඡායාරූපයට නැඟීම කළ නොහැක්කක්. ඒ නිසා ගොල්සාර් මුලින්ම කර ඇත්තේ ඔවුන් අල්ලා ශීතකරණයක දමා ‘අලස’ තත්වයට පත් කර පසුව ඡායාරූපයට නැගීමයි.


ගොල්සාර් මෙවැනි සමීපරූප ගැනීමට සාමාන්‍යයෙන් යොදා ගන්නා මැක්‍රෝ කාචයක් පාවිච්ච් කර නැහැ. ඒ වෙනුවට ඔහු කර ඇත්තේ සාමාන්‍ය කැමරාවක ඇති මිමී 28කාචය අනෙක් අතට හරවා සවි කර පාවිච්චියට ගැනීමයි.

Saturday, February 11, 2012

අද 165 වැනි උපන්දිනය සමරන තෝමස් අල්වා එඩිසන්ගේ නුදුටු පැති

අද 2012 පෙබරවාරි 11 වැනිදා. තෝමස් අල්වා එඩිසන්ගේ 165 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ. ඔහු උපන්නේ 1847 පෙබරවාරි 11 වැනිදා ඇමෙරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයේ මිලාන්වලදීය. මියගියේ 1931 ඔක්තෝබර් 18 වැනිදා නිව්ජර්සි ප‍්‍රාන්තයේ වෙස්ට් ඔරේන්ජ්හිදීය.

පෙට්ටියක ජීවත්වෙනවා වගේද...ඇත්තෙන්ම නැහැ: මේක තමයි ලෝකයේ ඇති පරිසර හිතකාමී කුඩාම නිවස.

පුංචි හුරුබුහුටි නිවසක්. ඝන අඩි දහයයි. විසිත්ත කාමරයක්, නාන ෂවරයක්, කුස්සියක් ලොකු නිදන කාමරයක් තියෙනවා.

ඔබේ නිවස ඉඩකඩ මදියි කියල හිතනව නම්, මේක දිහා බලන්න.

පුංචි ඉඩක ලොකු අදහසක්! මේ ලෝකයේ පුංචිම පුංචි පරිසර හිතකාමී නිවසයි. දැන් එඩින්බර්ග්වල ප‍්‍රදර්ශනය කරනවා.

Friday, February 10, 2012

කැස්බෑවන්ගේ කටුව නිර්මාණය වූ හැටි පොසිලයකින් හෙළිවෙයි

කැස්බෑවන්ගේ කටුව නිර්මාණය වූයේ කෙසේද යන්නත් උරගයන්ගේ පරිණාමය ගැන නව අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමටත් පොසිල විද්‍යාඥ කණ්ඩායමක් සමත්වූහ. මේ සඳහා ඔවුන්ට උපකාරී වූයේ නිරිතදිග චීනයේ ගුවින්ෂූ පළාතේ සිදු කළ කැණීම්වලින් හමු වූ වසර මිලියන 220 ක් පැරණි කැස්බෑවකුට සමාන සත්ත්වයකුගේ පොසිලය. 2008 දී චීනයෙන් හමු වූ මෙම පොසිල ඉතා හොඳින් සුරැකී මෙතරම් කාලයක් පැවතීම ගැන පොසිල විද්‍යාඥ කණ්ඩායම මවිතය පළ කරති.

අපේ සැඟවුණු මීමුත්තකුගේ දතක් හා ඇඟිලි ඇටයක් සයිබීරියාවෙන් හමුවෙයි! මිනිසා අපි‍්‍රකාවෙන් ලොව පුරා විසිර ගිය අබිරහස හෙළි වෙයිද?

සයිබීරියාවේ ගල් ලෙනක තිබී හමුවූ මිනිස් ඇඟිල්ලක කුඩා ඇට කැබැල්ලක් යොදා ගෙන වසර ලක්ෂයකට පමණ පෙර වඳ වී ගිය මිනිස් පවුලේ ජිනෝමියක් සකසා ගන්නට ජර්මානු විද්‍යාඥයන් පිරිසක් දැන් සමත් වී තියෙනවා. මේ නිසා අපේ පැරණි මුතුන්මිත්තන්ගෙන් වත්මන් මිනිසා පරිණාමය වූ අන්දම ගැන අධ්‍යයනය කරන්නට එම අස්ථි අංශුවලින් සකසා ගත් අධි විභේදිත ජිනෝමයකින් විද්‍යාඥයන්ට දැන් මඟ පෑදී තියෙනවා. මේ ජිනෝමිය තැනීමේ කාර්යය සඳහා විද්‍යාඥයන් යොදා ගෙන ඇත්තේ පොසිල බවට පත් වූ මිනිස් ඇඟිල්ලකින් ලබා ගත් මයික්‍රො ග‍්‍රෑම් 10 කුඩා කැබැල්ලක්.

මෙම ඉපැරණි දත අවුරුදු 5-7ත් අතර දරුවකුගේය. ඩෙනිසෝවියන්වරුන් එහි විසූ බව හෙළි කළ මුල්ම සාක්ෂිය මෙයයි. දැන් එය මිනිසාගේ පරිණාමය හෙළි කරන්නටත් මඟ පාදන්නක් වෙලා!.

Thursday, February 09, 2012

පෘථිවියේ මෙතෙක් හමු වූ ඉපැරණිම සත්ව ජීවිත පොසිල නැමීබියාවෙන් හමුවෙයි! වසර මිලියන 760ක් පැරණියි!

ඉපැරණිම සත්ව ජීවිත පිළිබිඹු කරන පොසිල හමු වී ඇති මේ අවස්ථාව මහ පොළොවේ ජීවයේ සම්භවය පිළිබඳ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකියි. මෙය සත්ව ජීවීත මෙලොව පහළ වූයේ යැයි මෙතෙක් සිතා සිටි අවධියට වඩා වසර මිලියන 100ක් ඉදිරි පිම්මක්! ලෙසයි, මේ ගවේෂණ කාර්යයට එක් වූ අන්තර් ජාතික පර්යේෂක පිරිස කියන්නේ.

පොසිල විද්‍යාඥයන් ඇතුළු මෙම අන්තර් ජාතික පර්යේෂණ කණ්ඩායමට මේ පොසිල හමුවී ඇත්තේ නැමීබියාවේ ජාතික වනෝද්‍යානයක දී කළ කැනීම්වලදීයි. නැමීබියාවේ එටෝෂා Etosha ජාතික වනෝද්‍යානයේ පාෂාණ අතරින් ගොඩගත් මේවා ලොව මෙතෙක් සොයාගෙන ඇති ඉපැරණිම සත්ව ජීවිත සලකුණු කරන බව ඒ පර්යේෂකයන්ගේ අදහසයි.

පර්යේෂකයන් දැනටමත් මෙවැනි කුඩා පොසිල 1000කට වඩා ස්කෑන් කර තියෙනවා.

ලෝකයේ උස් ගස් අස්සේ ඇති අහස් කුස් සිඹින වනස්පතිලා කවුරුන්ද? මෙන්න ඒකට එක උත්තරයක්!

අපේ කියවන්නෙක් ඉල්ලා තිබුණා රූස්ස ගස් ගැන කතා කරන්න කියලා. ඒ නිසා අද කතා කරන්නේ රුක් හෙවත් ගස් ගැන. ගස්වලට ‘රුක්’ කියන වදන හැදුනේ ‘වෘක්ෂ’ යන සකු වදනින්. රූස්ස ගස්වලට වනස්පති කියා කියනවා. වනස්පති කියන්නේ වනයට අධිපති කියන අරුතින්.

Wednesday, February 08, 2012

පරමාණු බෝම්බයට වඩා සිය දහස් ගුණයක විනාශයක් කිරීමට හැකි න්‍යෂ්ටික අවි

‘මට මතකයි ජනාධිපති කෙනඩි වරක් කීවා ඇමෙරිකා එක්සත් ජනපදයට න්‍යෂ්ටික මිසයිල තියෙනවා කියලා සෝවියට් දේශය දෙපාරක් ම විනාශ කරන්න හැකියාව ඇති. ඒත් සෝවියට් දේශයට ඇත්තේ එක්සත් ජනපදය එක වරක් විනාශ කළ හැකි මිසයිල ප‍්‍රමාණයක් විතරයි කියල. පත‍්‍රකලාවේදීන් මගෙන් ඒ ගැන මොකද කියන්නේ කියල ඇහුවාම, මං ඒ ගැන විහිළුවක් කරමින් කීවේ ‘‘මං දන්නවා කෙනඩි කියන්නෙ මොකක්ද කියල. එයා හරියට ම හරි. මං ඒ ගැන මොකුත් කියන්නෙ නෑ. ඒත් අපි සෑහීමකට පත් වෙනවා, පළමු වටයේදිම එක්සත් ජනපදය විනාශ කිරීමට අපට ඇති හැකියාව ගැන. අපට එක් පාරක් හොඳටෝ ම ඇති. රටක් දෙපාරක් ම විනාශ කිරීමෙන් ඇති හොඳේ මොකක් ද? අපි ලේ පිපාසිත ජනතාවක් නෙවෙයි’’ එවකට රුසියන් අගමැති නිකිතා කෘෂෙප් 1974 දී සිය මතක සටහන් ලියමින් සඳහන් කර තිබේ.

පැළෑටිවලට එකිනෙකා හා කතාබහ කරන්න පුළුවන්! ශාක සන්නිවේදනය ගැන සෙවීම ඇරඹේ!

අප කුඩා කාලෙ අපට විද්‍යාව සිංහලෙන් කියා දෙන්න මහන්සි ගත්ත ලේඛකයෙක් හිටියා. ඔහු ලේඛකයෙක් විතරක් නෙවෙයි, ගුරුවරයෙක්. කෙළින්ම ඔහුගෙන් ඉගෙන ගන්න නොලැබුණත් ඔහු ලියූ පොතපත්, ලිපිලේඛන ඔස්සේ විද්‍යාව ගැන හුඟක් දේ අපි සිංහලෙන් ඉගෙන ගත්තා. ඔහු ‘විද්‍යා’ කියල සිංහල මාසික සඟරාවකුත් කළා. පත්තරවලට ලිපි ලිව්වා. ගුවන්විදුලි වැඩ සටහන්වලට විද්‍යාව එක්කළා. ඔහු තමා ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්. පුවත්පත් කලාවේදියෙක් වුණාට පස්සේ මටත් අවස්ථාව ලැබුණා, ඔහු මුහුණට මුහුණ හමුවන්න.

දවසක් මම ඔහු හමුවෙන්න යන කොට ඔහු රෝස පඳුරක් එක්ක කතා කර කර හිටියා. මට ටිකක් ඒක පුදුමයක් වගේ වුණා. මං ඒ ගැන අහන්නත් ඉස්සරින් ඔහු කටහඬ අවදි කළා. ‘මේ මල් පැලවලට කතා කරන්න පුළුවන්. ඒවා අපේ කතාවට ප‍්‍රතිචාර දක්වනවා. මේ බලන්න මං කතා කළාම එයා මං දිහාට නැවෙනවා’ ඔහු කීවා.

මට මේ සිද්ධිය මතක් වුණේ ගිය සතියේ ‘ඬේලි මේල්’ ඔන්ලයින් පුවත්පතේ පළ වූ ප‍්‍රවෘත්තියක් නිසයි. ඒ වාර්තාව ලියා තිබුණේ, චාල්ස් කුමාරයා අමතමින්. ‘ඔව්, චාල්ස් ඔබ හරි. පැළෑටිවලට එකිනෙකා සමග කතා බස් කරන්න පුළුවන්’ කියලයි. අපේ අදිකාරම් මහත්තයා වගේ ඉස්සර චාල්ස් කුමාරයත් ශාක සමග කතා බහේ යෙදිල තියෙනවා. ඒත් අදිකාරම් තුමා වගේ රෝස පඳුරුවලට නෙවෙයි, චාල්ස් කුමාරයා කතා කළේ ගෝව පඳුරුවලට. චාල්ස් කුමාරයාගේ ඒ ‘හීනය’ හැබෑ කරන්න දැන් එරට විද්‍යාඥයන් සමත් වී සිටිනවා. ඒත් ගෝවා ශාකවලින්මයි.

Tuesday, February 07, 2012

කුහුඹුවන්ගේ අති දැවැන්ත නගරයක් සොයා ගනිති! චීන මහා ප‍්‍රාකාරය වැනි පද්ධතියක්!

කුහුඹුවන් මිලියන ගණනක් වාසය කළ, භූගතව ඇති අති සංකිර්ණ දැවැන්ත කුහුඹු නගරයක් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව සිටිනවා.

අත් හැර දමන ලද මේ කුහුඹු නගරය සොයා ගෙන ඇත්තේ බ‍්‍රසීලයෙන්. සංකීර්ණ උමං මාර්ග, අතුරු මාර්ග, උද්‍යාන ආදියෙන් පිරි මෙම විස්මිත නගරය මෙතෙක් සොයා ගෙන ඇති විශාලතම එක ලෙස ද සැලකෙනවා. ‘ලෝකයේ මෙතෙක් හමු වී ඇති විශාලතම කුහුඹු ජනපදය මෙය ලෙස හඳුන්වන්න පුළුවන්. ඒත් මෙහි වාසය කළ කොළ කන කුහුඹුවන් හෙවත් කොළදැත්තන් leaf-cutter insects මෙය අතහැර දැමුවේ ඇයි දැයි තවමත් කාටවත් හිතා ගන්නට බැහැ.’ ඒ විශේෂඥ කණ්ඩායම පවසනවා.

කුහුඹු ජනපදයේ පොළොව මතුපිට ස්වරූපය මෙසේයි.

Monday, February 06, 2012

ලෝකයෙන් ඈත්ව වෙසෙන මෙතෙක් නුදුටු ගෝත‍්‍රයක්! ගුවනින් ගොස් ඔවුන්ට රැකවරණය

මේ කතාව ඇරැඹෙන්නේ මීට පස් වසරකට පෙර එනම් 2007 වසරේ සැප්තැම්බර් මාසයේ විදෙස් පුවත් සේවා සහ අන්තර්ජාලය ඔස්සේ පළ වූ අපූරු ඡායාරූප පෙළක් සමඟයි. මේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබුණේ දකුණු ඇමෙරිකානු රටක් වන බ‍්‍රසීලයේ, රාජ්‍ය ආයතනයක් වන ‘ජාතික ඉන්දියානු පදනම’ හෙවත් ‘ෆූනායි’ Funai පදනමයි. මාධ්‍ය හරහා ලෝ පුරා ප‍්‍රසිද්ධියට පත්වුණේ බ‍්‍රසීලය සහ අසල්වැසි පේරු රාජ්‍ය අතර මැද පිහිටි මහා ඇමසන් වැසි වනාන්තරය මැද සෙසු ලෝක වාසීන්ගෙන් වෙන්වී හුදෙකලාව වෙසෙන ඇමෙරිකන්/ඉන්දියානු එසේත් නැතිනම් ඇමෙරින්දි ගෝත‍්‍රයක ඡායාරූප කීපයක්.

Sunday, February 05, 2012

ලෝකයේ බර ඉසිලීමේ සූරයන් හඳුනා ගන්න : ගොම කුරුමිණියා ඉදිරියෙන්

ගොම කුරුමිණියාට තමාගේ බර මෙන් 1,141 ගුණයක බරක් ඇද ගෙන යා හැකියි. පරිමාණය අනුව එය මිනිසකු තට්ටු දෙකේ බස් හයක් ඇද ගෙන යාමට සමානයි.

සක්වළ තරණයට දොරටු විවර කරන ‘කැනැවරල් තුඩුව’

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නගරයේ මූලස්ථානය පිහිටුවා ඇති ඇමෙරිකාවේ අභ්‍යවකාශ කටයුතු පිළිබඳ ‘නාසා’ ආයතනය මේ උඩුගුවන් ගමන් සියල්ල සිදු කරන්නේ ෆ්ලොරීඩා ජනපදයේ කැනැවරල් තුඩුවේ සිටයි. එය ‘නාසා’ ආයතනයේ ප‍්‍රධාන යානා දියත් කිරීම් මධ්‍යස්ථානයයි.

Saturday, February 04, 2012

ලෝකයේ ලොකුම ඉස්සා නවසීලන්තයේ මුහුදෙන්!

ඝන කටුවක් හා සිවියක් සහිත බහුපාදික සාගර ජීවීන් හෙවත් ක‍්‍රස්ටේෂියාවන් අතර, තවත් විදියකින් කීවොත් කවචයන් අතර මේ අති දැවැන්තයා සොයා ගැනීමට සමත් වී ඇත්තේ බි‍්‍රතාන්‍ය සාගර ගවේශක කණ්ඩායමක්.

ඉස්සකුට සමාන මේ සුපිරි දැවැන්තයාගේ දිග අඟල් 11ක්. අම්ෆිපෝඩා වර්ගයට අයත් මේ අපූරු සත්වයා හමු වී ඇත්තේ නවසීලන්තට උතුරින් මතුපිට සිට සැතැපුම් 4ක් පමණ ගැඹුරු මුහුදේදීයි. සාමාන්‍යයෙන් අම්ෆිපෝඩා වර්ගයට අයත් කවචයන් අතර වැඩි දෙනකු අඟල් 0.8ත් 1.2ත් අතර දිග සතුන්ය. මේ නව සත්ව විශේෂය එමෙන් දස ගුණයකටත් වඩා විශාලයි.

නවසීලන්ත මුහුදේ මතුපිට සිට සැතැපුම් හතරක් ගැඹුරින් හමු වූ ඉස්සන්

Friday, February 03, 2012

ගොඩබිම වාසය කරන තුන්වැනියටම විශාල සත්ත්වයා

හිපෝ දිවා කාලය ගත කරන්නේ ගංගාවක, විලක හෝ වැවක පතුළේ ගිලී සිටිමිනුයි. කෑම සොයමින් ගොඩට පැමිණෙන්නේ සවස් කාලයේ අඳුර වැටුණාමයි. ඔවුන් කෑම සොයමින් දුර ගමන් කරන්නේ නැහැ. ප‍්‍රධාන ආහාරය තමයි, තණ කොළ වර්ග. හිපෝ පවුලේ සාමාජිකයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි සාමාන්‍යයෙන් අපට දකින්න ලැබෙන හිපෝ සහ ප‍්‍රමාණයෙන් කුඩා පිග්මි හිපෝ. මේ හිපෝ විශේෂයන් දෙකම දකින්න ලැබෙන්නේ සමකයට ආසන්නයේ අපි‍්‍රකානු රටවලයි. ගොඩබිම වාසය කරන තුන්වැනියටම විශාල සත්ත්වයා වන්නේ හිපපොටේමස්. පළමු ස්ථානය හිමි වන්නේ අලියාට. දෙවැනි ස්ථානය සුදු රයිනෝසිරස්ට.

ඩයිනසෝර වසුරුවලින් ඔරලෝසුවක්

යුවාන් අර්පා කියලා කියන්නේ සුප‍්‍රසිද්ධ ස්විට්සර්ලන්ත අත් ඔරලෝසු නිර්මාණකරුවෙක්. යුවාන් අර්පා සඳෙන් ගෙනා පස් යොදාගෙන ඔරලෝසු නිර්මාණය කළා. ගිලූණු ටයිටැනික් නැවෙන් ගත් ලෝහවලින් ඔරලෝසු හැදුවා. දැන් ඔහු තවත් අපූරු දෙයකින් අලූත් ඔරලෝසුවක් නිර්මාණය කරලා තිබෙනවා. එය සාදා තියෙන්නේ පොසිල වූ ඩයිනසෝර වසුරුවලිනුයි. ඒ කියන්නේ බෙටිවලිනුයි.

Thursday, February 02, 2012

ඈත අතීතයේ සාගරයේ අණසක පැතිරවූ දැවැන්තයෝ


නපුරු පොඞ්ඩා: ‘මෙසොසෝර්
සාගරයේ අණසක පැතිරවූ තියුණු දත්වලින් සහ දිගුවල්ගයකින් යුත් ‘මෙසොසෝර්’ සත්ත්වයන් ජීවත් වුණේ වසර මිලියන 125 ක් තරම් ඈත අතීතයේදී සිලූරියානු අවධියෙන් පසු ඇතිවූ පර්මියානු අවධියේදීයි. ශාක සහ ජීවීන් ගොඩබිමට පැතිර යන්න පටන් ගන්නේ පර්මියානු අවධියේදීයි.  ඩයිනසෝරයන් පෘථිවියේ රජ කිරීම ඇරඹෙන්නේද මේ අවධියේදීයි. ඒත් මුහුදෙන් ඇරඹුණු ජීවය මුහුදේ තව තවත් හොඳින් පරිණාමය වී වර්ධනය වුණා. මුලින්ම පහළ වූ උරග විශේෂ අතරින් කීප දෙනකු ජලජ ජීවිතය තෝරා ගත්තා. සමහරු ගොඩබිම වැව් පොකුණු ගංගා ආශ‍්‍රිත මිරිදියට පි‍්‍රය කළා. තවත් සමහර උරගයන් මහා සාගරය තෝරා ගත්තා. ‘මෙසොසෝර්’ යනු එලෙස සගරයේ ජීවිතයට හුරු වූ සත්ත්වයෙකි. පෙනුමෙන් නපුරෙක් වුනාට උන්ගේ දිග අඟල් 28 ක් පමණයි, කියලා කීවොත් පුදුම වේවි. උන් කිඹුල්ලූන්ට හුඟක්ම සමානයි. නමුත් පරිණාම චාරිකාවේ අපට අහිමි වී වඳවී ගිය සත්ත්වයෙක් හැටියට ‘මෙසොසෝර්’ හඳුන්වා දෙන්න පුළුවන්. මොවුන්ගේ මෘදු පොසිල අස්ථි කැබැලි අපි‍්‍රකාවෙන් හා දකුණු ඇමෙරිකාවෙන් හමුවී තිබෙනවා. මේ මහාද්වීප ඈත අතීතයේ එකට යාවී තිබුණු බවට මේ අස්ථි කැබැලි හොඳ සාධකයක්.

නව ශාක ප‍්‍රභේදයක් ලොවට හඳුන්වා දෙයි! ප‍්‍රභා අමරසිංහට ‘මල් කැකුළු’ සුබපැතුම්!

ලෝකයේ උද්භිද විද්‍යා නාමාවලියට අලූත් ශාකයක් එක් කිරීමට ශී‍්‍ර ලංකා උද්භිද විද්‍යාවරියක් සමත් වී තියෙනවා. මේ පිළිබඳ වාර්තාවක් Srilankamirror වෙබ් අඩවියේ සටහන්ව තියෙනවා. මෙම නව ශාක විශේෂය සොයා ගැනීමේ ගෞරවය හිමි කර ගෙන ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උද්භිද විද්‍යා උපාධියක් ලබා දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යාපති උපාධිය සඳහා පර්යේෂණවල නිරතව සිටින ප‍්‍රභා අමරසිංහ මෙනෙවියයි.

Wednesday, February 01, 2012

දැවැන්ත මූදු රකුසකුගේ හිස් කබලක් බි‍්‍රතාන්‍යයෙන්

මුහුදු රකුසකුගේ දැවැන්ත හිස්කබලක් සොයා ගන්නට බි‍්‍රතාන්‍ය පොසිල විද්‍යාඥ කණ්ඩායමක් සමත්වුණා. මේ යෝධ හිස්කබල හමුවුණේ එංගලන්තයේ දකුණුදිග වෙරළතීරයෙනුයි. මුහුදු රකුසෙක් කියලා කීවාට ඇත්තම කීවොත් මේ සත්ත්වයා අතීතයේ මුහුදේ ජීවත් වූ දැවැන්ත උරග විශේෂයක්. හරියටම කියනවා නම් ‘ප්ලියෝසෝර්’ (Pliosaur) සත්ත්වයෙක්. ප්ලියොසෝරයන් මීට අවුරුදු මිලියන 150 කට කලින් මුහුදේ ජීවත් වූ විලෝපියකයන් විශේෂයක් කියලා පොසිල විද්‍යාඥයන් පෙන්වා දෙනවා.