අප කුඩා කාලෙ අපට විද්‍යාව සිංහලෙන් කියා දෙන්න මහන්සි ගත්ත ලේඛකයෙක් හිටියා. ඔහු ලේඛකයෙක් විතරක් නෙවෙයි, ගුරුවරයෙක්. කෙළින්ම ඔහුගෙන් ඉගෙන ගන්න නොලැබුණත් ඔහු ලියූ පොතපත්, ලිපිලේඛන ඔස්සේ විද්‍යාව ගැන හුඟක් දේ අපි සිංහලෙන් ඉගෙන ගත්තා. ඔහු ‘විද්‍යා’ කියල සිංහල මාසික සඟරාවකුත් කළා. පත්තරවලට ලිපි ලිව්වා. ගුවන්විදුලි වැඩ සටහන්වලට විද්‍යාව එක්කළා. ඔහු තමා ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්. පුවත්පත් කලාවේදියෙක් වුණාට පස්සේ මටත් අවස්ථාව ලැබුණා, ඔහු මුහුණට මුහුණ හමුවන්න.
දවසක් මම ඔහු හමුවෙන්න යන කොට ඔහු රෝස පඳුරක් එක්ක කතා කර කර හිටියා. මට ටිකක් ඒක පුදුමයක් වගේ වුණා. මං ඒ ගැන අහන්නත් ඉස්සරින් ඔහු කටහඬ අවදි කළා. ‘මේ මල් පැලවලට කතා කරන්න පුළුවන්. ඒවා අපේ කතාවට ප‍්‍රතිචාර දක්වනවා. මේ බලන්න මං කතා කළාම එයා මං දිහාට නැවෙනවා’ ඔහු කීවා.
මට මේ සිද්ධිය මතක් වුණේ ගිය සතියේ ‘
ඬේලි මේල්’ ඔන්ලයින් පුවත්පතේ පළ වූ ප‍්‍රවෘත්තියක් නිසයි. ඒ වාර්තාව ලියා තිබුණේ, චාල්ස් කුමාරයා අමතමින්. ‘ඔව්, චාල්ස් ඔබ හරි. පැළෑටිවලට එකිනෙකා සමග කතා බස් කරන්න පුළුවන්’ කියලයි. අපේ අදිකාරම් මහත්තයා වගේ ඉස්සර චාල්ස් කුමාරයත් ශාක සමග කතා බහේ යෙදිල තියෙනවා. ඒත් අදිකාරම් තුමා වගේ රෝස පඳුරුවලට නෙවෙයි, චාල්ස් කුමාරයා කතා කළේ ගෝව පඳුරුවලට. චාල්ස් කුමාරයාගේ ඒ ‘හීනය’ හැබෑ කරන්න දැන් එරට විද්‍යාඥයන් සමත් වී සිටිනවා. ඒත් ගෝවා ශාකවලින්මයි.